පාරිභෝගික අධිකාරියේ විධායක අධ්‍යක්ෂගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්: ඇමතිලාගේ වැඩත් හෙළි කරයි
Posted on September 18th, 2021

තාරක සම්මාන් මව්බිම දැන්

පාරිභෝගික සේවා අධිකාරියේ විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතා රාජකාරී කටයුතු කිරීමේදී තමන්ට එල්ල වූ තර්ජන සහ විවිධ බලපෑම් මෙන් ම සතොස ආයතනයේ සිදුවන විවිධ අකටයුතුකම් සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක් කර තිබේ.

ඒ, ජනප්‍රිය යූටියුබ් නාලිකාවක වැඩසටහනකට එක්වෙමිනි.

එහිදී ඔහු ප්‍රකාශ කළේ, තමන්ට විෂය භාර අමාත්‍යවරුන් දෙදෙනකුගෙන් බලපෑම් එල්ල වූ බවය.

එමෙන් ම, තමන් සෘජු තීරණ ගෙන නිවැරදිව කටයුතු කිරීම හේතුවෙන් මරණීය තර්ජන පවා එල්ල වූ බව හෙතෙම එහිදී අනාවරණය කළේය.

තනතුරු ලද පසු ජනාධිපති පළමුවෙන් ම කියූ දේ…

පාරිභෝගික සේවා අධිකාරියේ විධායක අධ්‍යක්ෂ ධූරයට පත්වීමෙන් පසු ජනාධිපතිවරයා සමග පැවති පළමු හමුවේදී ජනාධිපතිවරයා තමන් ඇතුළු නිල තල ලැබූ පිරිසට “කෙලින් වැඩ කරන ලෙස” උපදෙස් ලබා දුන් බව තුෂාන් ගුණවර්ධන මහතා පැවසීය. එමෙන් ම කිසිවෙකුටත් නොනැමී, නිවැරදි දේ සිදු කරන ලෙසට ජනාධිපතිවරයා උපදෙස් ලබා දුන් බව ද ඔහු පැවසීය. 

“අපිට කිව්ව පළවෙනි දේ තමයි මට තාමත් මතකයි. අපිට කෙලින් වැඩ කරන්න කිව්වා. කාටවත් නැවෙන්න එපා කිව්වා. හරි දේ කරන්න කිව්වා. ඔක්කෝම අධ්‍යක්ෂක මණ්ඩල ගෙන්නලා කිව්වේ මේක. අපි භාර ගත්ත තනතුරේ වගකීම 100%ක් ඉටු කරන්න කියලා එතුමා බොහෝ ම පැහැදිලිව කිව්වා.” 

විෂය භාර අමාත්‍යවරුන් දෙදෙනා සමග විරසකය ආරම්භ වුණු තැන…

විෂය භාර අමාත්‍යවරුන් වන වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සහ පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න යන මහතා තමන් සමග විරසක වූයේ ජාත්‍යන්තර පාරිභෝගික දිනය සැමරීම සඳහා ඉල්ලා තිබූ මුදලක් අනුමත කිරීමේදී තමන් එහි තැබූ සටහනක් හේතුවෙන් බව තුෂාන් ගුණවර්ධන මහතා පැවසීය.

“මම පළවෙනියට ම සෘජු තීරණයක් ගත්තේ, මාර්තු මාසයේ පාරිභෝගික අධිකාරියේ අපේ ජාත්‍යන්තර පාරිභෝගික දිනය සමරන්න ලක්ෂ 4ක් ඉල්ලලා තිබුණා. මම ඒකේ සටහනක් දැම්මා අත්සන් කරනකොට ලක්ෂ 4 ගත්තාට කමක් නෑ, මේක මහජන සල්ලි. මේක පාරිභෝගිකයාට වැදගත් වෙන වැඩක් කරන්න කියලා.

ඒකට මාත් එක්ක ලොකු ප්‍රශ්නයක් ඇති කර ගත්තා ඇමතිතුමා. බන්දුල ගුණවර්ධන ඇමතිතුමායි. ලසන්ත අලගියවන්නයි.”

ඒ මහතා ප්‍රකාශ කළේ, ඉන්පසුව තමන්ට විරුද්ධව කැබිනට් මණ්ඩලයේ පවා අදහස් පළ කර තිබුණු බවය.

“ඊට පස්සේ ගිහිල්ලා, මං හිතන්නේ කැබිනට් මණ්ඩලයේත් කියලා තිබුණා අපි පත් කරපු එක්කෙනෙක් අපිට විරුද්ධව වැඩ කරනවා කියලා. මම තේරුම් කරන්න හැදුවා ඒ කියපු කට්ටියට විරුද්ධව නෙමෙයි. මේවා මහ ජනතාවගේ සල්ලි මේවා අපි පරිහරණය කරනවා නම්, අපිට කිව්වේ කෙලින් වැඩ කරන්න කියලා. මේවා වැරදි වැඩ. මම කිව්වා දේශපාලන වැඩවලට ඒක පාවිච්චි කරන්න එපා කියලා. පොලිටිකල් වැඩ කරන්න එපා කියලා සටහනක් ඒකේ දැම්මා. ඒක වරදවා තේරුම් අරගෙන මට විරුද්ධව ලොකු කැම්පේන් එකක් කළා. මාව අයින් කරන්න කියලා.”

තමන් ඉවත් කරන ලෙස ජනාධිපතිවරයාට පවා ඇතැම් පිරිස් පවසා ඇති බව ද තුෂාන් ගුණවර්ධන මහතා සඳහන් කළේය. ඒ අනුව එම සිද්ධියෙන් පසු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සහ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා තමන් සමග විරසක වූ බව ඔහු පෙන්වා දුන්නේය.

“ඒ සිද්ධියෙන් පස්සේ හොඳ නෑ. කතා කරනවා. හිත යටින් හොඳ නෑ.”

“සුදු ළූණු වංචාව ගැන පළමු ඇමතුම ආවේ මට…”

සුදු ළූණු වංචාව සිදුවන අවස්ථාවේදී ලංකා සතොසෙන් ම එම සිද්ධිය පිළිබඳව දැනුවත් කරමින් තමන්ට දුරකතන ඇමතුමක් ලැබුණු බව තුෂාන් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය. ඔහු සඳහන් කළේ, එම අවස්ථාවේදී ම පාරිභෝගික සේවා අධිකාරියේ කණ්ඩායමක් එම ස්ථානයට පිටත් කර යැවූ බවය.

“ලංකා සතොසෙන් මයි කෝල් එක ආවේ. මට කිව්වා මෙන්න මෙහෙම වැඩක් වෙනවා. Head Office එකේ කට්ටියත් ඉන්නවා. කට්ටිය කොළ පොත් හදනවා. සතොසේ කට්ටිය. ඔබතුමාලා දැන් ගියෝතින් කට්ටිය අල්ලගන්න පුළුවන් කියලා”

එම වැටලීම සිදු කළ අවස්ථාවේදී ම අමාත්‍යංශයේ සහ සතොස ප්‍රධාන කාර්යාලයේ ප්‍රධානීන් කලබල වී පාරිභෝගික සේවා අධිකාරියට තොරතුරු දෙන්නේ කවුරුන් දැයි විමසා සතොස නිලධාරීන්ට බැන වැදී ඇති බව ඔහු පැවසීය. එමෙන් ම, ඒ සම්බන්ධයෙන් තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයාට දැනුම් දුන්න ද එහි පැමිණ සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි කරන ලෙස ඔහු සඳහන් කළ බව තුෂාන් ගුණවර්ධන මහතා පැවසීය.

“මේක කාලයක් කරගෙන ආපු ගේම් එකක්…”

පාරිභෝගික සේවා අධිකාරියේ විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ, සුදු ළූණු වංචාව සේ ම මීට පෙර උඳු, සීනි සහ පිටි බහාලුම් ද මෙලෙස වංචා කර ඇති බවය. 

“මීට ඉස්සෙල්ලා උඳු කන්ටේනරයක් යවලා තියෙනවා. සීනි යවලා තියෙනවා. පිටි යවලා තියෙනවා. මේ දිගට ම කරගෙන ආපුවා.”

සුදු ළූණු වංචාවෙන් ද ලද රුපියල් ලක්ෂ 74ක මුදල කිසිදු ලේඛනගත කිරීමකින් තොරව සේප්පුවේ බහා තැබීමට අදාළ සතොස ශාඛාවේ කළමනාකරු වෙත නියෝග කර ඇතැයි අනාවරණය වුණු බව තුෂාන් ගුණවර්ධන මහතා පැවසීය.

ඔහු සඳහන් කළේ, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති සතොස නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයාගේ සිට ඉහළ සහ පහළ නිලධාරීන්ගේ සම්බන්ධතා ද මෙම වංචාවට අනිවාර්යෙන් ම ඇති බවය.

කලින් වැඩ තහනමට ලක් වුණු අයත් සම්බන්ධයි… 

මෙම වංචාවට මීට පෙර වැඩ තහනමට ලක් වූ නිලධාරීන් ද සම්බන්ධ බව තුෂාන් ගුණවර්ධන මහතා අනාවරණය කළේය.

“මේකට සම්බන්ධ වෙච්ච් කට්ටිය අපි දන්නා තරමට ඒගොල්ලෝ ඉස්සෙල්ලත් ඉන්ටඩික් වෙච්ච කට්ටිය. එගොල්ලොන් ව ආයේ රස්සාවට අරගෙන තියෙනවා මේ මෑත කාලයේ. ඒ අරගන්නෙත් අර ඔක්කො ම ඇරියසුත් ගෙවලා තමයි ගන්නේ. 135ට විකුණන්නේ සතොසට සප්ලයි කරන එක්කෙනාට. මේක අනෙක් පාරෙන් ආයෙත් ගෙනත් දානවා සතොසට රුපියල් 450කට විතර. ඒක තමයි වෙන්නේ.” 

“මට මරණ තර්ජන තියෙනවා…”

පාරිභෝගික සේවා අධිකාරියේ විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතා අනාවරණයේ කළේ තමන්ට මරණ තර්ජන ඇති බවය.

“මට කෙලින් බලපෑමක් කරන්නේ නැහැ. ඒක තමයි ප්‍රශ්නය තියෙන්නේ. වටෙන් කියනවා මේකෙන් යන්න තත්ත්වයක් ලැස්ති කරලා තියෙන්නේ. මට තර්ජන තියෙනවා. මම ඒ තර්ජන CID එකට ගිහිල්ලා ලිඛිතව භාර දීලා තියෙනවා. මරණ තර්ජන තියෙනවා. අද වෙනකම් ඒකට කිසි ම උත්තරයක් නැහැ.”

මෙහෙම වැඩ කරන එකේ තේරුමක් නැහැ…

තුෂාන් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ, මෙලෙස රාජකාරි කිරීමෙන් ඵලක් නොවන බවත් ජනාධිපතිවරයා පැවසූ පරිදි සෘජු තීරණ ගැනීමට නොහැකි බවත්ය. තමන් එය තේරුම් ගෙන සිටින බව ද ඔහු පැවසීය.

“මම ඉන්නකම් ගන්නවා. මෙහෙම කරන්න ගියෝතින් එක්කෙනෙක් ඒක පේන්නේ නිකම් කඩාකප්පල්කාරී වැඩ කරනවා වගේ.”

මෙම හොරකම සහ වංචාව නැවතිය නොහැකි බව ද ඔහු අවධාරණය කළේය.

“කොහොම ද කරන්නේ? මේ හොරකම වංචාව එච්චරට deep routed.”

සෞභාග්‍යයේ දැක්ම නෙමෙයි දැන් වෙන්නේ…

තමන් පැමිණියේ සෞභාගයේ දැක්ම ක්‍රියාත්මක කිරීමට වුව ද දැන් සිදුවන්නේ එය නොවන බව තුෂාන් ගුණවර්ධන මහතා පැවසීය.

“අප ආවේ සෞභාග්‍යයේ දැක්ම ක්‍රියාත්මක කරන්න නේ. දැන් ඒ සෞභාග්‍යයේ දැක්මට අනුව මේ ජනාධිපතිතුමාට පොරොන්දු වෙච්ච දේ කරන්න නේ ආවේ. ඒ පොරොන්දුව කර ගන්න බැරි වෙන තත්ත්වයක් දැන් උදාවේගෙන එන්නේ. දැන් සෞභාග්‍යයේ දැක්ම හුඟ දෙනෙකුට අමතක වෙලා මං හිතන්නේ.”

කිරි පිටි, පාන් පිටි සහ සිමෙන්ති ගැන ළඟදීම එන ගිවිසුම…

මේ වන විට රාජ්‍ය ඇමති ලසන්ත අලගියවන්න මහතා, කිරි පිටි, පාන් පිටි සහ සිමෙන්ති මිල ගණන් සම්බන්ධයෙන් පාරිභෝගිකයන්ට අවාසිසහගත ලෙස ආනයනකරුවන් සමග ගිවිසුමක් අත්සන් කිරීමට සැලසුම් කර ඇති බවත් තමන් ඊට අත්සන් නොකළ බවත් තුෂාන් ගුණවර්ධන මහතා පෙන්වා දුන්නේය.

“ගිවිසුමක් අත්සන් කරනවා පාන් පිටි, කිරි පිටි සහ සිමෙන්ති. ආනයනකරුවන් එක්ක කොම්පැනිත් එක්ක. මිල වැඩි කිරීම සම්බන්ධයෙන්. ඒක අත්සන් කරන එක මම කිව්වා, කිසි ම තේරුමක් නැහැ කියලා. ඒ අත්සන් කරන ගිවිසුමෙන් වෙන්නේ අපේ අතපය බැඳගන්න වැඩක් කරන්නේ.” 

ගෑස් වංචාව…

ගෘහස්ත ගෑස් සිලින්ඩරවල අඩංගු ගෑස්වල සංයුතියේ ලොකු වෙනසක් ඇතැයි තමා සිතන බව ද පාරිභෝගික සේවා අධිකාරියේ විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතා පැවසීය. 

ඒ මහතා සඳහන් කළේ, මීට පෙර ගෘහස්ත ගෑස් සිලින්ඩරයක බියුටේන් වැඩි ප්‍රමාණයක් අඩංගු වී තිබුණු බවය. 

“මේ මම කියන්නේ ලිට්‍රෝ සමාගමේ ලිඛිතව කියපු එක අපිට. 80%ක් තියෙනවා කියනවා බියුටේන්. 20%ක් තියෙනවා කියනවා ප්‍රොපේන්. දැන් අර 80% තියෙන එක 50% කරලා. අපි චෙක් කරා ජාත්‍යන්තරව පිළිගත් ලැබ් එකකට දාලා. එතකොට ඒගොල්ලෝ කිව්වා 50යි 50යි තියෙන්නේ කියලා. මෙගොල්ලෝ ලිඛිතව කිව්වානේ කිලෝග්‍රෑම් 12 එකේ සියයට 80යි 20යි තියෙනවා කියලා. ඒකත් බොරු. ඒකෙත් තියෙන්නේ අර 50යි 50. ඒකත් බොරු කරේ. ලිට්‍රෝ එකේ. ලාෆ්ස් එකෙත් එහෙම ඇති.”

තව කොච්චර කල් තනතුරේ ඉන්නවා ද?

පාරිභෝගික සේවා අධිකාරියේ විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ තමන් නුදුරේදී ම සිය තනතුරෙන් ඉල්ලා අස්වීමට නියමිත බවය. 

“වැඩි කාලයක් නම් ඉන්න බලාපොරොත්තුවක් නැහැ. පෞද්ගලිකව මට සතුටක් තියෙනවා මේ ඔක්කෝට ම විරුද්ධව වැඩ කරලා ජනාධිපතිතුමා කියපු දේ කරන්න අපි ලොකු උත්සහයක් ගත්තා.”

ඔහු අවධාරණය කළේ, තම රාජකාරි ඉටු කිරීමට නොහැකි තරමට බලපෑම් එල්ල වී ඇති බවය.

“මේක කරන්න දෙන්නේ නැති තත්ත්වයට දැන් ඇවිල්ලා තියෙන්නේ. එච්චරට බලපෑම් ගොඩක් තියෙනවා. අනිත් ඩිරෙක්ටර්ස්ලා වුණත් කල්පනා ක‍රන්න ඕනේ වහල්ලු නොවී වැඩ කරන්න. දැන් මම දන්නවා මට විරුද්ධව එතන ඉන්න එක්කෙනෙක් දෙන්නෙක් වැඩ කරනවා. එක්සකටිව් ඩිරෙක්ටර් කෙනෙක්.”

තමන් මේතාක් පාරිභෝගික සේවා අධිකාරියේ විධායක අධ්‍යක්ෂ ධූරයේ රැඳී සිටියේ එහි සභාපතිවරයා නිසා බවත් තමන් ඉල්ලා අස්වීමට පෙර සියලු දේ පිළිබඳව නම් ද සහිතව ජනාධිපතිවරයාට ලිඛිතව ලබා දීමට කටයුතු කරන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress