අලි මදිවට පිස්තෝල ගත්තු හරක්
Posted on September 19th, 2021

විශේෂාංගය කතුවැකිය උපුටාගැණීම  මව්බිම

මෙරට රාජාවලියේ කීර්තිමත් රජුන් අතර විමලධර්මසූරිය රජුට (1562-1604) හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. කොනප්පු බණ්ඩාර නමින් පෘතුගාලයේ ලිස්බන් නුවර සෙමනේරියක අධ්‍යාපනය ලද හෙතෙම භාෂා කීපයක හසළ දැනුම ඇත්තකු ලෙසද සැලකේ.

විමලධර්මසූරිය රජ කරන සමයේ ප්‍රථම ලන්දේසි නියෝජිත පිරිස මෙරටට පැමිණ තිබේ. එම නාවික කණ්ඩායම පැමිණියේ සෝබෝල්ඩ් ද වයිට්ගේ ප්‍රධානත්වයෙනි.  විමලධර්මසූරිය රජු නැඟෙනහිර පළාතේ සංචාරයක නිරතව සිටි බැවින් ආගන්තුක විදේශිකයන් හමුවීම මඩකළපුවේදී සිදුකිරීමට තීරණය කර තිබේ.

රාජකීය හමුව සිදුවන තුරු ලන්දේසි නැව් මඩකළපු මුහුදේ නැංගුරම්ලා තිබී ඇත. නියමිත පරිදි මඩකළපුවේ ස්ථානයක විමලධර්මසූරිය රජු සහ සෝබෝල්ඩ් ද වයිට් හමුව සිදුවී ඇත. ලන්දේසි නියෝජිතයා රජු හමුවට පැමිණ ඇත්තේ අධික ලෙස බීමත්වය. නිසි ආචාරශීලිත්වයක් ඔහු වෙතින් පළවී නැත. ඒ පිළිබඳව රජු දැඩි කනස්සල්ලෙන් සිටියදී  සෝබෝල්ඩ් වයිට් විමලධර්මසූරිය රජුට නෞකාව වෙත යෑමට ඇරයුම් කර තිබේ.

එම ඇරයුම විනීතව ප්‍රතික්ෂේප කළ රජු රජ බිසව කන්ද උඩරට මාලිගාවේ තනිව පසුවන බැවින් තමා නොපමාව එහි යායුතු බව පවසා ඇත.

කන්දේ නුවර ඇමැතිවරු රජ බිසව හොඳින් බලා ගනු ඇතැ”යි පැවැසූ ලන්දේසි ජාතිකයා සමච්චල් ලෙස සිනාසී තිබේ. එයින් බලවත් සේ කිපුණු විමලධර්මසූරිය රජු,

මේ බල්ලා බැඳ දමනු” යනුවෙන් රාජ පුරුෂයන්ට අණකර තිබේ. රාජ පුරුෂයෝ ද වයිට් වෙත හැරෙත්ම ඔහු වහා අසිපත එළියට ඇද පහරදීමට සැරසුණු බැවින් රාජ පුරුෂයකු ලන්දේසි තානාපතිගේ හිස සිඳ දමා තිබේ.

කට ගොන්නක් මත්පැන් බී රාජකාරි කරන්නට ගියොත් එය අවසානයේ බෙල්ල ගහලා යන වැඩක් බව මේ ප්‍රකට ඉතිහාස කතාවෙන් සනාථ වේ. එවැනි බල්ලන් බැඳ දැමීම, අන් අයගේ ආරක්ෂාවට මෙන්ම බල්ලන්ගේ ද ආරක්ෂාවට හේතුවේ.

මේ පූර්වාපර සන්ධි ගැළැප්පීම සිදුකළේ බන්ධනාගාර රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේ අනුරාධපුර සහ වැලිකඩ බන්ධනාගාරවලට අවේලාවේ බීමත්ව ආයුධ සන්නද්ධව ඇතුළුවීම  ගැන මේ දිනවල පවතින සමාජ කතිකාව පැවැතීම හේතුකෙට ගෙනය.

කෙසේ වුවද බන්ධනාගාර රාජ්‍ය ඇමැති එම තනතුරින් ඉල්ලා අස්වී ඔහු දරන අනෙක් රාජ්‍ය ඇමැති ධුරයේ තවදුරටත් කටයුතු කරන බව වාර්තා වේ.

යථෝක්ත සිදුවීම සම්බන්ධව විධිමත් විමර්ශනයක් සිදුකෙරෙන බව තවමත් දැන ගන්නට නැත. මෙය සෙල්ලමක් නොවේ. රට පවතින්නේ වසංගතයේ පීඩාව මැදය. විසි  තිස්දාහක් කොවිඩ් ආසාදිතව රෝහල්වලය. දිනකට පුරවැසියන් දෙසීයකට ආසන්න ගණනක් මරුමුවට වැටේ. රට ලොක් ඩවුන් තත්ත්වයේය. එවැනි පසුබිමක ඇමැතිවරු ගිනි අවිගෙන යකා නටනවා නම් ජනතාව කළයුත්තේ කුමක්ද?

ජාත්‍යන්තර මාධ්‍යවල මෙම තිරශ්චීන සිදුවීම ඉහළින් වාර්තා කර තිබේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය, ඇම්නෙස්ට් ඉන්ටර්නැෂනල් සංවිධානය මෙම සිදුවීමට දැඩි අවධානය යොමුකොට තිබේ.

ලොහාන් රත්වත්තේගේ ක්‍රියාවෙන් ආණ්ඩුවේ කිරි කළයට ගොම වැටුණා යැයි සමහර ඇමැතිවරු ප්‍රකාශ කර තිබිණි. සත්‍යය එය නොවේ. බොහෝ දේශපාලකයන්ගේ ක්‍රියා නිසා කිරි හැළිය අවපැහැ ගැන්වී තිබිණි. සියල්ල අවසානයේ බැරවන්නේ ජනපතිගේ ගිණුමටය. බල්ලා උගේ ස්වාමියාගේ හඬට කන් දෙනවා යැයි (his masters Voice) පිළිගැනීමක් තිබේ.

එවකට නියෝජ්‍ය ඇමැතිවරයකු වූ මර්වින් සිල්වා වළං කඩේට ගොනා පැන්නා සේ ජාතික රූපවාහිනි සංස්ථාවට පැන නැටූ නාඩගම රටේ ජනතාවට අමතක නැත. 2007 දෙසැම්බර් 26දා රූපවාහිනියට පැන්න මර්වින්ගේ මැර කල්ලිය 2008 ජනවාරි 25දා රූපවාහිනි ප්‍රවෘත්ති අංශයේ ප්‍රධානියකු වූ ලාල් හේමන්ත මාවලගේට තුවාල සිදු කළේය.

එදා පැවැති ආණ්ඩුව ඇමැති මර්වින්ගේ ක්‍රියා දඟකාර සුරතල් වැඩ සේ සැලකීම නිසා ඔහුගේ මැර කණ්ඩායම සිරස මාධ්‍ය ආයතනයට මහ දවල් ප්‍රසිද්ධියේ පහර දුන්නේය. එම අනීතික ක්‍රියාවල අවසන් ප්‍රතිඵලය ආණ්ඩුවේ ජාත්‍යන්තර ප්‍රතිරූපය විනාශ වීමය. අවසානයේ G.S.P. සහනය වැනි ප්‍රතිලාභ රටට අහිමිවීමටද එය බලපෑවේය. ලොහාන් රත්වත්තේලා කරන්නේ රටට එරෙහි බලවේගවලට තලු මර මරා හපන්නට කේජු සැපයීමය. මානව හිමිකම් සමුළුවේදී ලංකාව වෙනුවෙන් කතාකළ රටවල රෙදි ලිහා වැටෙන තත්ත්වයට ආණ්ඩුව කටයුතු නොකළ යුතුය.

2 Responses to “අලි මදිවට පිස්තෝල ගත්තු හරක්”

  1. aloy Says:

    Looks like the writer has no idea whats happening around the world to write this. If we toe the world’s policeman’s line no harm will come our way.

    However, the information he gave about Kusumasana devi, who was the heir to thrown by being in the blood line of the country’s ancient rulers. The king was only about 40 years old when he had become ill and ‘passed away peacefully’ according to our historians. Indonesia became a colony of Holland in 1596 (according to wikipedia) and perhaps they wanted to oust the Portuguese. They may have plotted to get the king ousted by subterfuge and this guy who was beheaded would have known the plot. And an Indonesian by the name Adahasin became out king. Was it because of a ‘hitha honda’ geeni’, that we Sinhalese are suffering to this day?. Adhasin (or Rajasinha II) ruled like a tyrant for 35 long years.
    I think Taleban has a point in not to allowing women have a say in their governance. What guarantee is there that even Sri Dalada was safe from that tyrant who paved the way for likes of our man to come to the scene.

  2. aloy Says:

    Please correct the second para as “However, …….. country’s ancient rulers, is interesting”.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress