විශේෂ අවශ්‍යතා සහිත අවු.12ට වැඩි දරුවන්ට කොවිඩ් එන්නත් දීම අග්‍රාමාත්‍ය ආර්යාවගේ ප්‍රධානත්වයෙන් ඇරඹෙයි
Posted on September 24th, 2021

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

විශේෂ අවශ්‍යතා සහ නිදන්ගත රෝග සහිත දරුවන් වෙනුවෙන් කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත් ලබාදීමේ දීප ව්‍යාප්ත වැඩසටහන කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ දී අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (24) දින පෙරවරුවේ ආරම්භ විය.

විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සහ නිදන්ගත රෝග සහිත දරුවන්ට ප්‍රමුඛතාව ලබා දෙමින් කොවිඩ්-19 වැළදීමේ දී ඇතිවන සංකූලතා සහ මරණ අවම කර ගැනීමේ අරමුණ ඇතිව වයස අවුරුදු 12ත් 19ත් අතර ළමයින්ට ෆයිසර් එන්නත ලබාදීම සිදු වේ.

කොළඹ, කුරුණෑගල සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සහ නිදන්ගත රෝග සහිත දරුවන් හට මෙම අවස්ථාවට  සමඟාමීව එන්නත්කරණ වැඩසටහන ආරම්භ විය. මෙය ලබන සතියේ සිට දීප ව්‍යාප්තව ක්‍රියාත්මක වනු ඇත.

විශේෂ අවශ්‍යතා සහ නිදන්ගත රෝග සහිත දරුවන්ට එන්නත් ලබා දීමේ දී ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයෙකුගේ අනුමැතිය සහ පූර්ණ අධීක්ෂණය සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මේ වනවිටත් අනිවාර්ය කරනු ලැබ තිබේ.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මෙහි දී අදහස් පළ කරමින් මෙසේ කියා සිටියේය.

විශේෂයෙන් වයස 12ත් 19ත් අතර දරුවන්ට එන්නත් ලබා දීම අපි  අද දවසේ ආරම්භ කළා. වෛද්‍යවරුන් මෙන්ම සෞඛ්‍ය සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ උපදෙස් අනුව විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සහ නිදන්ගත රෝග සහිත දරුවන් හට මෙසේ පළමුව එන්නත් ලබා දීම සිදුවෙනවා.

මෙවැනි දරුවන් වැඩි වශයෙන් වාර්තාවන කුරුණෑගල සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලින් මෙම එන්නත්කරණ වැඩසටහන ආරම්භ කරන්නැයි අතිගරු ජනාධිපතිතුමා මෙයට පෙර උපදෙස් ලබා දුන්නා.

ඒ අනුව දරුවන් වෙනුවෙන් වෙන් වූ රෝහලක්වන රිජ්වේ ආර්යා ළමා රෝහලේ දී අපි අද සංකේතාත්මකව එම දරුවන් සඳහා එන්නත්කරණය ආරම්භ කරනවා.

විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සහ නිදන්ගත රෝග සහිත දරුවන්ට ප්‍රමුඛතාව ලබා දෙමින් ඉදිරියේදී වයස අවුරුදු 12ට වැඩි සියලු දරුවන්ට ෆයිසර් එන්නත ලබා දීමට අපි රජයක් ලෙස කටයුතු කරනවා යැයි අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසීය.

මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජනරාල් විශේෂඥ වෛද්‍ය සංජය මුණසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ සභාපති මහාචාර්ය ශාමන් රජීන්ද්‍රජිත්, ළමාරෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ ලේකම් විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී වූහ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress