ලෝක සංචාරක දින පණිවුඩය
Posted on September 26th, 2021

මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය

සංචාරක ව්‍යාපාරයේ වැදගත්කම සහ එහි සමාජ, සංස්කෘතික, දේශපාලන හා ආර්ථික වටිනාකම් පිළිබඳව ජාත්‍යන්තර ප්‍රජාව දැනුවත් කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂිත ආයතනයක් වන ලෝක සංචාරක සංවිධානය (UNWTO) ප්‍රමුඛත්වය ඇතිව වාර්ෂිකව සමරනු ලබන ලෝක සංචාරක දිනය නිමිත්තෙන් සුබ පැතුම් එක්කරනුයේ ඉමහත් සතුටිනි.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කර ගැනීමේ දී සංචාරක කර්මාන්තයෙන් ඊට ලැබෙන දායකත්වය සුළුපටු නැත. මිලියන තුනකට ආසන්න මෙරට ජනතාවක් සෘජු හා වක්‍ර ලෙස සංචාරක ව්‍යාපාරය හා සම්බන්ධ වී සිටිති. ඔවුන් ජීවනෝපාය ලෙස මෙන්ම ව්‍යාපාරික අරමුණෙන් ඉටු කරන මෙහෙවර රටට විදේශ විනිමය උපයාදීමේ ප්‍රධාන මාර්ගයක් බව කෘතවේදීව සිහිපත් කළ යුතුය.

යුද්ධය නිමාවීමෙන් පසු පැවති  සාමකාමී නිදහස් වාතාවරණය මෙරට සංචාරක ව්‍යාපාරයේ සීග්‍ර දියුණුවට බලපෑ බව නොරහසකි. එහෙත් පසු කාලීනව රට තුළ ඇතිවූ අනාරක්ෂිත සිදුවීම් මෙන්ම තවමත් අවසානයක් නොපෙනෙන කොවිඩ් වසංගතය හේතුවෙන් සංචාරක කර්මාන්තයත් ඒ හා බැඳී සිටින ජනතාවත් දිගු කාලීනව පීඩාවට ලක් විය.

ජනතාව ආරක්ෂා කර ගනිමින් මෙම වසංගතයට මුහුණ දීමේ අභියෝගය භාරගත් රජය එන්නත්කරණය වේගවත් කිරීමට පියවර ගත්තෙමු.

එහි ප්‍රගතිය අනුව බිඳ වැටුණු එම ව්‍යාපාර ක්ෂේත්‍ර නොබෝදිනකින් යළි ගොඩනැගීමට අවශ්‍ය  වටපිටාව නිර්මාණය කිරීමට රජයට හැකිව තිබේ.

සංචාරක අමාත්‍යාංශය ඒ සඳහා අවශ්‍ය පියවර දැනටමත් ක්‍රියාත්මක කරමින් සිටින අතර ශ්‍රීලංකන් ගුවන් සේවය නව ගමනාන්ත සොයා යමින් සංචාරක ක්ෂේත්‍රයේ දියුණුව සඳහා ජාතික ගුවන් සේවයේ කාර්යය භාරය ඉටුකරමින් සිටියි.

ලෝක මට්ටමෙන් සංචාරක ව්‍යාපාරයේ නව පරිච්ඡේදයක් ආරම්භ වී ඇත්තේ අභ්‍යාවකාශ සංචාරක යුගයකට මුල පිරීම හේතුවෙනි. ස්වභාව සෞන්දර්යෙන් අනූන සංස්කෘතික උරුමයන්ගෙන් පිරි අපගේ මාතෘභූමියට ද නව සංචාරක ආකර්ශනීය විෂය ක්ෂේත්‍ර හඳුන්වා දීමේ වගකීම අපි භාරගෙන ඇත්තෙමු.

වසංගත තත්ත්වය හමුවේ වුවද ඊට මුහුණ දෙමින් රටක් ලෙස ඉදිරියට යාමේ අභිප්‍රාය අප වෙතින් කිසි ලෙසකත් ගිලිහී නැත. ඒ නිසා ලොව තිරසර ඉලක්කයන්ට ද ගැලපෙන පරිදි පරිසර හා සංස්කෘතික හිතකාමී සංචාරක කර්මාන්තයක් ගොඩනැගීම රජයේ අරමුණයි.

 අන්තර්කරණීය වර්ධනයක් උදෙසා සංචාරක කර්මාන්තය” මැයෙන් වූ කාලීන තේමාවකට අනුව මෙවර සැමරෙන ලෝක සංචාරක දිනයට අප ඉතා උද්යෝගයෙන් යුතුව එක්වන අතර මෙරට සංචාරය සඳහා පැමිණෙන ආගන්තුක ඔබ සැම වෙනුවෙන් ආරක්ෂිත හා සුවදායී සංචාරක අත්දැකීමක් ලබාදීම ශ්‍රී ලාංකික අපගේ අපේක්ෂාව බව සිහිපත් කරමි.

මහින්ද රාජපක්ෂ
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress