වැවක් නිසා උණූසුම් වූ මිහින්තලය ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම
Posted on September 26th, 2021

තිසර සමල් – එප්පාවල

මිහින්තලය ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක, සූර්ය බල, සුළං හා ජල විදුලි ජනන සංර්ධන රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතාගේ සභාපතීත්වයෙන් මිහින්තලය ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.එහිදී ප්‍රදේශයේ සිදු කෙරෙන සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් මෙන්ම ප්‍රදේශයේ ජනතාවට පවතින පොදු ප්‍රශ්න සම්බන්ධයෙන් රාජ්‍යය නිළධාරීන් හා දේශපාලන අධිකාරිය අතර සාකච්ජා සිදු කර විසදුම් ලබා දීම සිදු විය.මෙම කමිටු රැස්වීමේදී කොරෝනා වසංගත පාලනය, කාබනික පොහොර සඳහා ගොවීන් යොමු වීම මෙන්ම වාරී පද්ධති නවීකරණය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ජා කෙරිණි.

පවතින පොහොර ගැටලුව සම්බන්ධයෙන් අදහස් දැක්වූ රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා

රසායනික පොහොර ආයේ ලැබෙන්නේ නෑ,  අපි දැන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට කියන්නේ ගොවිජන සේවා එකත් එක්ක කථා කරලා, දැන් රජයෙන් ගේන කාබනික  නයිට්‍රජන් දියර පොහොර ටික තියෙනවානේ, ඒ ටික හරියට අනුරාධපුරයට ගෙන්න ගන්න දැන්ම හරියට සැලසුම් කරන්න, අවශ්‍ය ප්‍රමාණය ඉල්ලුම් කරන්න.ඔය කියන විදිහට කාබනික පොහොර දාලා බඩඉරඟු හදන්න බෑ, දැනට හදලා තියෙන කාබනික පොහොර වල නයිට්‍රජන් ප්‍රථිශතය 1%- 2% ක්වත් නෑ, කාබනික පොහොර දැම්මයි කියන එක උත්තරයක් වෙන්නේ නෑ වගාවට.අමතර භෝග වලට අවශය දියර කාබනික නයිට්‍රජන් ගෙන්වන්නේ පුද්ගලික අංශයෙන්, ඒ නිසා අමතර භෝග වගා කරන පිරිසට දැන්ම ඉඳන්ම  ගෙන්වා ගන්න සැලැසුම් නොකලොත් ඔක්තොම්බර් 15 වැනිදායින් පස්සේ අපි අමාරුවේ වැටෙනවා යැයි පැවසීය.

සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී අදහස් දක්වමින් මිහින්තලය ප්‍රාදේශීය සභා මන්ත්‍රී චමින්ද සම්පත් මහතා කියා සිටියේ,

මහකිරින්දේගම එල්ලංගා පද්ධතිය සකස් කිරීම යටතේ වැව් 05ක් සංවර්ධනය කිරීමේ කටයුතු සිදු වෙමින් පවතිනවා.මෙම එල්ලංගා පද්ධතිය සංවර්ධනයේදී යම් යම් ගැටලු තිබෙනවා.මහ කිරින්දේගම වැව අසලම පිහිටි  කඳුපාගම වැව සංවර්ධනය නොකර එල්ලංගා පද්ධතියේ කෙලවරේම වැව් කීපයක් මේ වන විට සංවර්ධනය කිරීම  සිදු වෙනවා.මෙම වැව් පද්ධති සිදු කිරීමේ ගැටලු පවතින බවද පැවසීය.

අනතුරුව අදහස් දැක්වූ වාරී මාර්ග ඉංජිනේරුතුමන් වැව් තෝරා ගැනීම සම්බන්ධයෙන් පවතින නිර්නායක කමිටුව හමුවේ පැහැදිලි කර දුන්හ.

අනතුරුව අදහස් දැක්වූ ගොවි මහතෙකු කියා සිටියේ,

ඔය වැව වටේම තිබුනේ කැලෑව, කැලෑව කොටලා වැව් බන්ට් එකට එනකල් දැන් අස්වද්දලා, පුරාවිද්‍යාවෙන් දාපු ගල් දැන් නෑ, සේරම ගල් පෙරලලා, ඩෝසර් කරලා කුඹුරු අස්වද්දලා.අනාගතේ මේවාට මුහුණ දෙන්නේ අපේ දරුවෝ. අපි ඉල්ලන්නෙත් නැතිව මේ වැව හදන්න පටන් ගත්තා, අලුත්වැව /කුඹහා වැව යටක් අක්කර 80ක් විතර පැස්සුවා.නමුත් කන්න අවසන් වෙද්දී වතුර හිඟයක් එනවා,වතුර මෝටර් තියෙන අය වතුර ගහ ගත්තා, නැති අයට කරන්න දෙයක් තිබුණේ නෑ. ඒ නිසා තමයි අපි වානක් හදලා දෙන්න කියලා ඉල්ලීමක් කරලා වානක් ඉදි කරන්නේ යැයි පැවසීය.

ඒ අවස්ථාවේදී නැගී සිටි තවත්  ගොවි මහතෙකු සභාව තුළ නොසන්සුන්ව හැසිරෙමින් කෑකෝ ගසමින් කියා සිටියේ වැවේ වාන වෙනස් කිරීමෙන් තම කුඹුරු යට වන බවයි.තවත් ගොවි මහතෙකුද නැගී සිටිමින් අදහහස් දැක්වීමේදී සභාවේ යම් උණුසුම්කාරී තත්වයක් ඇති විය.ඔහු කියා සිටියේ කඳුපාගම වැව කියන වැව යටතේ ඉඩම් බෙදා ගත්තේ එකම පවුලේ 05 දනෙක් යැයි කියමින් චෝදනා කළ අතර, ඒ අවස්ථාවේ ගොවින් අතර උණුසුම් වචන හුවමාරුවක් සිදු විය.

එහිදී අදහස් දැක්වූ රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා කියා සිටියේ,

ඔක්කොමලා නිශ්ශබ්ද වෙන්න, මම කියන දේ අහගන්න කැමති අය ඉඳලා, අනෙක් අය යන්න එළියට, අනුරාධ ජයරත්න ඇමතිතුමා එනවා අනුරාධපුරයේ එල්ලංගා පද්ධති නිරීක්ෂණයට එතුමාටත් මම කථා කරන්නම්.එතනදී ප්‍රායෝගිකව කරන්න පුලුවන් දේ කරන්න කථා කරන්නම්.මෙතනදී කාටද වාසී වෙන්නේ, කාටද අවාසි වෙන්නේ කියලා නෙමෙයි, මේ ව්‍යාපෘති හරහා පොදුවේ තියෙන වටිනාකම ගැන තමයි අපි බලන්න අවශ්‍යතාව  තියෙන්නේ.බැරි වෙලා හරි කාට හරි අසාධාරණයක් වෙනවා නම් අලුතින් ඉඩම් අස්වද්දනකෙට ඒ අයට ප්‍රමුඛතාවය දෙන්නත් අවශ්‍යයි.මෙච්චර කාලයක් ක්‍රමවේදයක් නැති නිසා වැව් ටික ඇල්ලුවා, ඉවරු ඇල්ලුවා, ආණ්ඩුවේ ඉඩම් ඇල්ලුවා.දැන් අතිගරු ජනාධිපතිතුමන්ගේ හා ආණ්ඩුවේ යම්කිසි ක්‍රමවේදයක්, වැඩපිළිවෙලක් එන කොට අර කලින් කරපු වැරදි සියල්ලම අපිට නිවැරදි කරන්න පුලුවන්කමක් නෑ,යම් පිරීසකට අසාධාරණයක් සිද්ධ වෙයි.හැබැයි අසාධාරණයක් වෙන අයටත් යම්කිසි සාධාරණයක් කරලා දෙන්න පුලුවන්කම තියෙනවා.ඒ නිසා හැමෝටම සාධාරණයක් වෙන විදිහට, අවම අසාධාරණයක් වෙන විදිහට මේ ප්‍රශ්නය අපි විසඳලා මේ ව්‍යාපෘති අපි ක්‍රියාත්මක කරමු.

අද බැනගත්තා නොයෙකුත් දේවල් සිද්ධ වුණා, ඒවා වෙන එකත් හොඳයි, සමහර වෙලාවට තමන්ට ප්‍රශ්නයක්, පීඩාවක් තියෙන කොට දරා ගන්න බැරි වෙන කොට ඒ වගේ දේවලුත් වෙනවා.හැබැයි අපි මේක පුරුද්දක් කර ගන්න හොඳ නෑ, නමුත් අපි සියලු දෙනාම මේකෙන් තේරුම් ගන්න අවශ්‍යය කාරණය තමයි අපි කොච්චර හරි දේ කළත්,  හොඳ දේ කළත් පීඩනයට පත් වෙන බොහෝ පිරිසක් ඉන්නවා.ඒ අය වෙනුවෙනුත් යම් කිසි සාධාරණයක් කරන්නේ කොහොමද කියලා අපි තේරුම් ගන්න අවශ්‍යයි.අපි අපේ පැත්තෙන් හරිම දේ කළා වෙන්න පුලුවන්, අපි හරිම වෙන්න පුලුවන්,  හැබැයි ප්‍රායෝගිකව පීඩාවට පත් වෙන පිරිසක් ඉන්නවා නම් ඒ අය වෙනුවෙනුත් යම්කිසි සාධාරණයක් කළ යුතුයි. මම විශ්වාස කරනවා මේ රජයේ නිළධාරීන් තමන්ගේ රාජකාරිය කරන ගමන්ම මනුෂයන් ලෙස මේ ප්‍රදේශයේ ජනතාවගේ අවශ්‍යතා, ප්‍රශ්න ගැනත් යම් වැටහීමක් තියෙනවා.හැබැයි ඔබතුමන්ලාට ඒ ප්‍රශ්න ගැන වැටහීමක් තිබුණත් රටේ තියෙන නීතී රීති එක්ක කරන්න දේකුත් නෑ, හැබැයි ඒ වගේ අවස්ථා වලදී දේශපාලන අධිකාරිය විදිහට අපිට පුළුවන්කම තියෙනවා මැදිහත් වෙලා යම් සාධාරණයක් කරන්න, දෙගොල්ලගේම තියෙන ප්‍රශ්න එක තැනකට ගෙනල්ලා විසදන්න අපිට පුළුවන්කම තියෙනවා. අද මේ කථා කර ගත්ත ඒවා, කෑ ගහගත්ත ඒවා මහා ලොකු දේවල් නෙමෙයි, ඒකෙන් කාගේ හිත් රිද්දවාගන්න අවශ්‍ය නෑ, කවුරුත් අධෛර්යමත් වෙන්න අවශ්‍යත් නෑ, මේ වගේ සාකච්ජා, අදහස් හුවමාරු කර ගැනීම් තුළ තමයි අපිට වගේම ඒ අයටත්  නිවැරදි වෙන්න පුළුවන්කම තියෙන්නේ, මේක වැරදි ආදර්ශයක් නෙමෙයි, හොඳ පූර්වාදර්ශයක් විදිහට අරගෙන කොහොමද අපි අපේ සේවය ජනතාව වෙනුවෙන් හරියට, හොඳට කරන්නේ කියන පණිවිඩය ගමු.ඒක තමයි අනාගතයේදී අපිට වටින්නේ, ඒ නිසා අපි සියලුම රජයේ නිළධාරීන්ට ස්තූතිවන්ත වෙනවා, දේශපාලන අධිකාරිය විදිහට මේකත් පැහැදිලි කරන්න අවශ්‍යයි, නිළධාරීන් ලෙස ඔබතුමන්ලාව ආරක්ෂා කරන්න අපි මැදිහත් වෙලා  ඉන්නවා.මේ සියලු නීතී රීතී සම්පාදනය කරලා තියෙන්නේ දේශපාලන අධිකාරිය විදිහට අපි, ඒ නිසා රජයේ නිළධාරීන්ට ඒ නීතී-රීතී මත ඉඳන් තමයි තීන්දු තීරණ ගන්න වෙලා තියෙන්නේ, දේශපාලන අධිකාරිය විදිහට අපි ජනතාව ගැන බලනවා වගේම නිළධාරීන්ව රාජකාරී මට්ටමින් ආරක්ෂා කරන්නත් අපි බැඳිලා ඉන්නවා, අපි ඒ දේ කරනවා යැයි පැවසීය.

මෙම අවස්ථාවට මිහින්තලය ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ උපසභාපති හිටපු ප්‍රධාන අමාත්‍යය එස්.එම් රංජිත් මහතා ඇතුළු ප්‍රාදේශීය දේශපාලඥයින්, මිහින්තලය ප්‍රාදේශීය ලේකම් සිරිමෙවන් ධර්මසේන මහතා ඇතුළු රාජ්‍යය නිළධාරීන් සහභාගී වූහ. 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress