බෞද්ධ ජනරජ ප්‍රවාදය – 37 වැනි කොටස – ‍අරපිරිමැසුම් භාවිතාව
Posted on September 27th, 2021

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

බෞද්ධ පරිභෝජනයේ ආදර්ශය අල්පේච්ඡතාව ය. බහුභාණ්ඩික බව විසින් ජනිත කරනු ලබන අසහනය, නාස්තිය, ආර්ථික අකාර්යක්‍ෂමතාව සහ සම්පත් භාවිතයේ අසාධාරණය අල්පේච්ඡතාව විසින් දුරුකරයි. මෙයට පෙර ලිපියෙන් අපි ඒ ගැන සාකච්ඡා කළෙමු.

බුදුදහම විසින් අනුදැන වදාරනු ලබන තවත් වැදගත් පරිභෝජන මූලධර්මයක් වනුයේ අරපිරිමැස්ම ය. ධම්මපද අටුවාවේ අප්‍රමාද වර්ගයෙහි පළමුවන සාමාවති මාගත්‍දියාදීන්ගේ මරණය දැක්වෙන උදේන වස්තුව තුළින් මෙම අරපිරිමැසුම් මූලධර්මය මැනැවින් විස්තර කෙරෙයි. ආනන්ද හිමියන් ප්‍රමුඛ භික්‍ෂූන්වහන්සේලා පන්සිය නමකට උදේන රජ මාළිගාවේ දී පූජා කෙරුණු උත්තරසාටක පන්සියය මුල් කරගෙන මෙම අරපිරිමැසුම් භාවිතාව වර්ණනා කෙරී තිබේ.

එම වස්ත්‍රවලින් කුමක් කරන්නාහු ද?” යනුවෙන් රජතුමා භික්‍ෂූන්වහන්සේලාගෙන් විමසීය. මහරජ අපට පොහෝනා තරම් අරගෙන සෙස්ස දිරූ සිවුරු ඇත්තන්ට දෙන්නෙමු”. ඉක්බිතිව රජතුමා විසින් ඇසූ ප්‍රශ්න සහ භික්‍ෂූන්වහන්සේලා ඒවාට ලබාදුන් පිළිතුරු මෙ සේ ය. ඒ අය තමන්ගේ පුරාණ සිවුරුවලට කුමක් කරන්නාහු ද? ඊටත් වඩා දිරූ සිවුරු ඇත්තන්ට දෙති. ඔවුහු තමන්ගේ දිරූ සිවුරුවලට කුමක් කෙරෙත් ද? ඇතිරිලි කෙරෙති. පුරාණ ඇතිරිලිවලට කුමක් කෙරෙත් ද? බුමුතුරුණු කෙරෙත්. දිරූ පසු බුමුතුරුණුවලට කුමක් කෙරෙත් ද? මහරජ පාපිසි කෙරෙති. පුරාණ පාපිසිවලට කුමක් කෙරෙත් ද? මහරජ කුඩා කැබැලිවලට කඩා මැටි සමග අනා බිත්තිවල ආලේප කරති”

මෙම අරපිරුමැසුම් පරිභෝජනය විවිධ අයුරින් අගය කළ හැකි ය.

අප ජීවත්වනුයේ සීමිත සම්පත් ඇති ලෝකයක ය. තම රට, තම ප්‍රදේශය සහ ගම අනුව ද සම්පත්වල මෙම සීමිත බව අප හට හඳුනාගත හැකි ය. මෙම සම්පත්වල උරුමය ඇත්තේ දැනට ජීවත්වන්නන්ට පමණක් නොවේ. අනාගතයේ උපදින අය සඳහා ද මෙම සම්පත් උරුමකර දිය යුත්තේ ය. එය කළ හැක්කේ සම්පත් නාස්තිය වැළැක්වීමෙනි. අරපිරුමැසුම් භාවිතාව තුළින් එය සිදුවෙයි.

අවශ්‍ය සියලු භාණ්ඩ තම රට තුළ නිෂ්පාදනය නොකරන කල්හි අදාළ පරිභෝජන අවශ්‍යතා සම්පූර්ණ කරගත හැකිවනුයේ ආනයනයෙනි. භාණ්ඩ ආනයනය සඳහා රට සතු විදේශ විනිමය වැය කළ යුතු වේ. අරපිරිමැස්මකින් තොරව මෙම භාණ්ඩ පරිභෝජනය සිදුකෙරෙන්නේ නම් ඒවා නිතර නිතර ම ආනයනය කළ යුතු වෙයි. ඒ හේතුවෙන් විදේශ විනිමය විශාල වශයෙන් අදාළ භාණ්ඩ නිපදවන රාජ්‍යයන් වෙත ඇදීයන්නේ ය. අරපිරිමැසුම් භාවිතාව විසින් මෙම ගැටලුව විසඳිය හැකි ය.

අරපිරිමැසුම් භාවිතය තුළින් දේශීය පරිභෝජන අවශ්‍යතා සීමාවෙන විට එම භාණ්ඩ සඳහා ද ඒවා නිෂ්පාදනය සඳහා යොදාගනු ලබන සම්පත් (අමුද්‍රව්‍ය) සඳහා ද වන ඉල්ලුම් අඩුවෙයි. අඩු ඉල්ලුම විසින් උද්ධමනය ද පාලනය කෙරෙයි. මිල මට්ටම පහළ අගයක් ගන්නා විට ශ්‍රමය සඳහා ගෙවිය යුතු මිල ද ඉහළ අගයක් නොගනියි. ඒ අනුව භාණ්ඩ නිෂ්පාදනයේ කාර්යන්‍ෂමතාව ඉහළ යන්නේ ය. නිපදවනු ලබන යම් අතිරික්ත භාණ්ඩ ප්‍රමාණයක් වේ නම් ඒවා අපනයනයෙන් විදේශ විනිමය උපයාගැනීමට අවස්ථාවක් ද සැලසෙන්නේ ය.

අලුතින් යම් භාණ්ඩයක් මිල දී ගත්විට හෝ ලැබුණු විට කලින් භාවිතා කළ දෑ ඒවා අවශ්‍ය වෙනත් අයට දීම ද අරපිරිමැසුම් පරිභෝජනයට අයත් වේ. පැරැණි ඇඳුම්, පොත්පත්, ගෘහභාණ්ඩ වැනි බොහෝ දෑ සඳහා මෙම කාරණය අදාළ වේ. මෙවැනි කටයුතු පින්කම් ආකාරයෙන් දැනට ද බොහෝ අය සිදුකරති. පිනට දීමට අමතරව සාධාරණ මුදලකට ඒවා අලෙවිකිරීම ද කළ හැකි ය. දැනට ද වාහන වෙළෙඳපොළ තුළ මෙය සිදුවෙයි. මෙම ක්‍රමය තෝරගෙත් වෙනත් භාණ්ඩ සඳහා ද හඳුන්වාදිය හැකි ය. ඒවා වෙනුවෙන් වෙළෙඳපොළ නිර්මාණයකිරීම අපහසු කාර්යයක් නොවේ.

භාවිතයෙන් ඉවත්කරනු ලබන ඇතැම් භාණ්ඩ අලෙවිය සඳහා සුදුසු වෙළෙඳපොළ හඳුන්වාදීමෙන් නව රැකියා අවස්ථා විශාල ප්‍රමාණයක් ද බිහිවන්නේ ය. තවදුරටත් භාවිත කළ නොහැකි අබලි ද්‍රව්‍ය මිල දී ගැනීම සහ විකිණීම සඳහා දැනට ද වෙළෙඳපොළ ඇති වී තිබේ. මෙම ප්‍රවාදයෙන් මගපෙන්වන්නේ එකී සීමාව ඉක්මවා තවදුරටත් භාවිතා කළ හැකි රෙදිපිළි, ගෘහභාණ්ඩ, විදුලි උපකරණ ආදිය අලෙවි කළ හැකි වෙළෙඳපොළ හඳුන්වාදීම වෙනුවෙනි. මුල් හිමිකරුවන්ගෙන් අදාළ භාණ්ඩ මිල දී ගෙන ඒවා පිළිසකර කර විකිණීම ද මේ යටතේ කළ හැකි ය.

නිෂ්පාදනය සඳහා අවැසි උත්තේජනය ලැබෙන්නේ පරිභෝජනයෙනි. එහෙයින් නිෂ්පාදනය ඉහළ නැංවීම උදෙසා පරිභෝජනය ඉහළ දැමිය යුතු බව ආර්ථික ශාස්ත්‍රයේ ඉගැන්වෙයි. එය සැබෑවකි. එහෙයින් පරිභෝජනය වැළැක්වීම සිදුකළ යුතු නොවේ. සැබැවින් ම, මෙම ප්‍රවාදය විසින් නිර්දේශ කෙරෙනුයේ පරිභෝජනය වැළැක්වීමක් හෝ සීමාකිරීමක් හෝ නොවේ. අරපිරිමැසුම් පරිභෝජනය විසින් ද අවශ්‍යතා සංතෘප්ත කරනු ලබයි. ඒ අතර ම, එය විසින් සම්පත් නාස්තිය වළක්වනු ලබයි. බෞද්ධ ජනරජය විසින් අනුබල දියයුත්තේ එවැනි චිරස්ථායි, සැමට සෙත සළසන පරිභෝජනයක් සිදුකිරීම වෙනුවෙනි.

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2021 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress