පරිවාස භාරයේ සිටින දරුවන් නිවැරදි වෘත්තීය දිශානතියකට යොමු කිරීම වෙනුවෙන් නිපුණතා සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය හා කාන්තා හා ළමා සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය එක්වෙයි
Posted on September 30th, 2021

නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශය

මීට සමගාමීව වෘත්තීය මාර්ගෝපදේශනයේ නව දිශානතිය පෙන්වාදෙන Youthjobs.lk වෙබ් අඩවිය දියත් කෙරේ

නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය, විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මැතිණියගේ සංකල්පයක් අනුව පරිවාසභාරයේ සිටින ළමුන්ට නිවැරදි වෘත්තීය අධ්‍යාපනයක් ලබාදීම වෙනුවෙන් අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම රාජ්‍ය අමාත්‍ය, විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මැතිණියගේ සහ කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (30) දින සිදුකෙරිණි.

කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් කුමාරි ජයසේකර  මහත්මිය සහ නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් දීපා ලියනගේ මහත්මිය විසින් මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම සිදුකරන ලදී.

ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරි පරිශ්‍රයේ දී අත්සන් කෙරුණු මෙම අවබෝධතා ගිවිසුම හරහා ළමා නිවාසවල සිටින ළමුන්ගේ නිපුණතා මට්ටම් හදුනාගෙන ඔවුන්ගේ හැකියාවන් අනුව නිවැරදි වෘත්තීය දිශානතියකට යොමුකරමින් සමාජගතකිරීම මෙහි මූලික අරමුණයි.

ඒ අනුව මෙම පාඨමාලා අවසානයේදී නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශයේ වෘත්තීය අධ්‍යාපන ආයතන සම්බන්ධීකරණයෙන් ජාතික වෘත්තීය සුදුසුකම් සහතික (NVQ) පිරිනැමීම සිදුකරයි.

 මෙයට සමගාමීව නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශය මගින් පාසල් සිසු සිසුවියන්ගේ වෘත්තීය අධ්‍යාපනයේ නිවැරදි දිශානතිය පෙන්වාදෙන ‘ඔබට ඔබ සොයා දෙන YOU CAN SRI LANKA’ වෘත්තීය මාර්ගෝපදේශන ජාතික වැඩසටහන යටතේ යාවත්කාලීන කරන ලද www.youthjobs.lk වෙබ් අඩවිය දියත් කිරිම අද (30) දින නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මියගේ ආරාධනයෙන් ගරු අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමන් විසින් සිදුකෙරිණ.

මෙම වෙබ් අඩවිය හරහා පුද්ගලයගේ රුචිකත්වයන්, හැකියා හඳුනාගනිමින් ඔවුන්ව නිවැරදි වෘත්තිය දිශානතියට ගෙනයාම සිදුකරන අතර, වයස 16 අඩු පිරිස සඳහා වෘත්තීය ලැදියා පරීක්ෂණය හා වයස 16 වැඩි පිරිස සඳහා වෘත්තීය යතුර ලෙස පරික්ෂණයන් මෙම වෙබ්අඩවිය තුළ ඇතුලත් වේ.

තවද මෙම වෙබ් අඩවිය තුළ දැනට මාර්ගගතව කෙරෙන දේශන (Webinar) ඇතුලත් කර ඇති අතර වෘත්තීය පුහුණු ක්ෂේත්‍රයට අදාළ විශේෂඥයින් මෙම දේශනමාලා පවත්වනු ලබයි. මීට අමතරව නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශයේ වෘත්තීය පුහුණු ආයතන පිළිබඳවද තොරතුරු ද වෙබ්අඩවිය තුළින් ලබාගැනීමේ හැකියාව පවතියි.

මෙම අවස්ථාවට ගරු අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමන්, ගරු රාජ්‍ය අමාත්‍ය, විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මැතිනිය, ගරු අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමන්, ගරු කාන්තා හා ළමා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මැතිතුමන්, අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්, මහාචාර්ය කපිල පෙරේරා මැතිතුමන්, රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන්, වෘත්තීය අධ්‍යාපන ආයතන ප්‍රධානීන් ඇතුළු පිරිසක් සහභාගී විය.

මාධ්‍ය ඒකකය
නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශය

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress