දුෂණය, මර්ධනය, ප්‍රජාතන්ත්‍රවාදය ගිලිහී යන යුගයක සැබෑ සමාජ ප්‍රශ්න ජයගැනීමට විපක්ෂයේ සියළු බලවේග එක්කරමු
Posted on October 5th, 2021

හිටපු ආණ්ඩුකාර ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න
ජ්‍යෙෂ්ඨ නීතිඥ ශිරාල් ලක්තිලක
හිටපු ආණ්ඩුකාර රජිත් කිර්ති තෙන්නකෝන්
ජ්‍යෙෂ්ඨ නීතිඥ ගුණරත්න වන්නිනායක

ලංකා දේශපාලනයේ ගමන් මඟ වෙනස් කළ කුරුඳු පොලු පාගමනේ අට (8) වන සංවත්සරය නිමිත්තෙන් මෛත්‍රී, ශිරාල්, කීර්ති සහ වන්නිනායක නිකුත් කළ පුවත්පත් නිවේදනය

 ලංකා දේශපාලනයේ ගමන් මඟ වෙනස් කළ දෙවිනුවර – මාතර කුරුඳුපොළු ගැටුමේ අට (8) වන සංවත්තරය අදට යෙදී ඇත. විකල්පය විපක්ෂ බලවේගයක් ගොඩනැගීමත්, දුෂණයට මර්ධනයට හා පීඩණයට එරෙහිව ආණ්ඩුවේත් – ආණ්ඩුවේ බළල් අත්වලටත් එරෙහි නැගී සිටීම තුලින් අප යහපාලන ආණ්ඩුවක් කරා වන ගමන ආරම්භ කළේ මෙයින් වසර අටකට (8) පෙර අද වැනි දවසකය.

2010 – 2013 සමයේ අල්ලස දුෂණය වංචාව ඉහවහා ගිය සමයක, සමාජයේ සියළු කණ්ඩායම් වෙත මර්ධනයේ පීඩණය මුදා හැර තිබූණි.    පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ ගෞරවයට ද, අධිකරණයේ ස්වාධීනත්වය ද විනාශ කර තිබුණි. පාර්ලිමේන්තුව, සමාජ ක්‍රියාකාරීත්වය, ජනමාධ්‍ය, වෘත්තීය සමිති, ශිෂ්‍ය ව්‍යාපාර මර්ධනයේ හස්තයට ගොදුරුව තිබුණි. නීතිඥවරුන්, වෘත්තිකයින්, රාජ්‍ය සේවය හෑල්ලු කර තිබුණි. 

අවස්ථාවක, විපක්ෂය ආණ්ඩු පක්ෂයේ අතකොළුවක් – රූකඩයක් වී තිබූ යුගයක් පසුකරමින් තිබුණි. 

එදා, විපක්ෂයේ ක්‍රියාකාරකම් බලහත්කාරයෙන් මැඩලීමට එරෙහිව ජනතාව පෙළ ගැසෙමින් තිබුණි. එයට නායකත්වය ලබා දෙන්නට විපක්ෂයට නොහැකි විය. එහි ප්‍රතිඑලයක් ලෙස විපක්ෂයේ බල කඳවුර ශක්තිමත් කරන්නට දෙවුන්දර සිට කොළඹ බලා එන දැවැන්ත පාගමන සංවිධානය කිරීමටත් එයට නායකත්වය ලබාදීමටත් අපි ක්‍රියා කළෙමු.  

අපගේ පා ගමනට රජයටත් වඩා රජයේ අතකොළුවක් බවට පත්ව සිටි විපක්ෂයේ කණ්ඩායම් බිය විය. එහි ප්‍රතිඑලයක් ලෙස දෙවුන්දර සහ මාතර දී අවස්ථා තුනක දී ප්‍රහාරයන්ට ලක්වන්නට අපට සිදු විය.  ගිණිඅවි, කඩු පොළු මුගුරු රැගෙන ආ මැරයින් ආණ්ඩුවේ පොලිස් රැකවරණ මැද අපට පහර දුන්හ. අප ද පෙරළා පහර දුන්නෙමු. පා ගමන ගැන අපේක්ෂාවෙන් ද, කුතුහලයෙන් ද සිටි පිරිස් එදා ආණ්ඩුවත් – විපක්ෂයත් අතර තිබූ සම්බන්ධය සක්සුදක් සේ දැනගත්තේ මේ සිද්ධියෙනි.

ගැටුමට මැදිවූ දෙපිරිසේම කොටස් සක්‍රීය විකල්ප වැඩ පිළිවෙලකට යොමු කිරීමට පා ගමන හේතුවිය. වංචාව, දුෂණය, මර්ධනයට විරුද්ධව සවිමත් බලවේගයක් ගොඩනගන්නට අපට හැකි විය.  එහි ප්‍රතිඑලය ලෙස 2015 දී රාජ්‍ය බලය ලබා ගැනීමට සමත්වූවෙමු. 

එදා අප ගත් ක්‍රියාමාර්ග රටට ප්‍රජාතන්ත්‍රවාදය දිනා දෙන බොහෝ සමාජ ප්‍රතිසංස්කරණයන්ට කේන්ද්‍රය වූවේය. පුද්ගලිකව අපට දිනා ගැනීමට කිසිවක් නොතිබූ සටනක ජයග්‍රහණ රටට ලැබුණේය. අද යහපාලනය, ප්‍රජාතන්ත්‍රවාදය, විනිවිදභාවය, අධිකරණයේ ස්වාධීනත්වය, කොමිෂන් සභා ඇතුළු ඒ සකලවිධ ජයග්‍රහණයන් ආපහු හැරවෙමින් ඇත.

අවසනවකට, අප අද තවත් එවැනිම සමාජ ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටිමු. රාජ්‍ය සම්පත් විකුණා දමමින්, රට තව තවත් ආර්ථික අර්බුදයක් කරා යොමු වෙමින් ඇත.

විපක්ෂය කැඩී වෙන්වී එකිනෙකාට චෝදනා කරමින් වක්‍ර ලෙස රජය ශක්තිමත් කරන තත්වයකට පත්ව ඇත.

මෙයට වසර අට (8) කට පෙර මුහුණ දුන් අභියෝගය ජය ගත් ලෙසටම අපි මෙවර ද එක්ව අභියෝග ජයගැනීමට අදිටන් කර ගනිමු.  උපක්‍රම තෝරා ගනිමින් ශක්තිමත් විකල්පයක් බවට පත්වීම හැර, හුදු ආණ්ඩු විරෝධය පමණක් ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදී සමාජ ජයග්‍රහණ ලබාදෙන දේශපාලන ව්‍යාපාරයක් බවට පත්වන්නේ නැත. එක්ව සටන් කිරීම හැර කෑලි පහ හයකට කැඩුණු මහජන විරෝධයකට අනාගතයක් නැත.

අතීත අත්දැකීම් මතින් අනාගතය ගොඩ නැගීමට කුරුඳුපොළු ගැටුමේ අටවන සංවත්තරයේ දී අප අදිටන් කර ගමු. 

හිටපු ආණ්ඩුකාර ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න
ජ්‍යෙෂ්ඨ නීතිඥ ශිරාල් ලක්තිලක
හිටපු ආණ්ඩුකාර රජිත් කිර්ති තෙන්නකෝන්
ජ්‍යෙෂ්ඨ නීතිඥ ගුණරත්න වන්නිනායක

කුරුඳුපොළු සටනේ 8 වන සංවත්සරය අදයි.

මර්ධනය, දුෂණය, බොරුව, වංචාවට එරෙහිව ශක්තිමත් එක්සත් විපක්ෂයක් ගොඩනගමු. 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress