බෞද්ධ ජනරජ ප්‍රවාදය – 39 වැනි කොටස- ‍ආර්ථිකයේ පළමු ප්‍රශ්නය
Posted on October 11th, 2021

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

බුදුරජාණන්වහන්සේ විසින් සෝපාක සාමණේරයන්ට උපසම්පදාව ලබාදුන්නේ ප්‍රශ්න දහයකට පිළිතුරු විමසීමෙනි. ඒක නාමකිං?” (ලෝකයේ පළමුවැනි දේ කුමක් ද?) ලෙසින් උන්වහන්සේ අසා වදාළ පළමු ප්‍රශ්නයට සෝපාක සමාණේරයන්වහන්සේ පිළිතුරු ලබාදුන්නේ සබ්බේ සත්තා ආහාරට්ඨිතිකා” (සකල සත්ත්වයෝ ම ආහාරය නිසා පවත්නෝ ය) යනුවෙනි. මෙම ප්‍රවාදයේ දී,, අපගේ අවධානය යොමුකරන්නේ කබලිංකාර ආහාර කෙරෙහි ය. මෙ ලෙසින් හැඳින්වෙනුයේ ශරීර පෝෂණය පිණිස අප විසින් අනුභවකරනු ලබන ද්‍රව්‍යමය වූ ආහාරය ය.

ළදරු කාලය ඉක්ම වූ බොහෝ සත්ත්වයෝ තමන්ගේ ආහාර තමන් විසින් ම සපයාගනිති. වගාකිරීමෙන් හෝ වෙළෙඳපොළෙන් මිල දී ගැනීමෙන් මිනිස්සු තම ආහාර අවශ්‍යතාව සපුරාගනිති. ගෘහාශ්‍රිත සතුන් බොහෝමයක් පෝෂණය ලබන්නේ තම ස්වාමියා ලබාදෙන ආහාරවලිනි. එහෙයින් තමන් ඇතුළත් පවුලෙහි පෝෂණය ද හදාවඩාගන්නා සතුන්ගේ පෝෂණය ද සැපැයීම මිනිසාගේ වගකීමකි.

දිවිපැවැත්ම සඳහා වන මූලික ම අවශ්‍යතාව වනුයේ කුසගින්න නිවාගැනීම ය. කුසගින්න නිවාගැනීමේ මූලික අවශ්‍යතාව ඉක්මවා නිරෝගී බව රැකගැනීම වෙනුවෙන් ද දිව සහ මනස පිනැවීම වෙනුවෙන් ද මිනිස්සු ආහාර අනුභව කරති. ශරීරයේ සවිමත් බව සහ නිරෝගී බව රැකගැනීම කුසගින්න නිවාගැනීමේ මූලික අවශ්‍යතාවට දුරින් වන්නක් නොවේ. එහෙයින්, එය ද මිනිසාගේ මූලික අවශ්‍යතාවක් ලෙසින් සැළකිය හැකි ය.

මෙම මූලික අවශ්‍යතාව සපුරාගැනීමට යම් ජාතියක් අසමත්වන්නේ නම් එහි පැවැත්ම ඒ හේතුව නිසා ම අභියෝගයකට ලක්වන්නේ ය. කොපමණ මුදල් තිබුණ ද මූලික ආහාර අවශ්‍යතා වෙනුවෙන් බාහිර වෙළෙඳපොළ මත රඳාපැවතීම ඉතාමත් අවදානම් සහගත කටයුත්තකි. ගොවිතැන සඳහා ඉතා හිතකර භූමියක් පවතින ශ්‍රී ලංකාව වැනි රටක ජනතාව කිසිදු ලෙසකින් තම මූලික ආහාර අවශ්‍යතා වෙනුවෙන් බාහිර වෙළෙඳපොළ දෙස බලා සිටිය යුතු නොවේ. එහෙයින් බෞද්ධ ජනරජය තුළ විසඳාගත යුතු පළමුවැනි ආර්ථික ප්‍රශ්නය වනුයේ තම ජනතාවගේ මූලික ආහාර අවශ්‍යතා නිෂ්පාදනය කිරීම ය.

කාර්යක්‍ෂම අයුරින් මූලික ආහාර නිෂ්පාදනය සඳහා භූමිය යෙදවීම, ගොවිතැන සඳහා අවශ්‍ය ජලය සහ අනෙකුත් අවශ්‍යතා නිසි පරිදි සැපැයීම, ඒ ආශ්‍රිතව ඇතිවන ගැටලු ඉතා සුළු කාලයක් තුළ විසඳීම, නාස්තිය වැළැක්වීම හෝ අවමකිරීම, නිෂ්පාදකයා සහ පාරිභෝගිකයා අතර ඇතිවිය හැකි තොරතුරු පරතරය අවමකිරීම මේ යටතේ සිදුකළ යුතු වෙයි. කාර්යක්‍ෂම අයුරින් භූමිය යොදාගැනීමේ ක්‍රමයක් මෙම ප්‍රවාදය විසින් හඳුන්වා දී තිබේ. කුඩා කැබැලිවලට බෙදී ඇති ඉඩම් ඒවායෙහි පුද්ගලික අයිතිය පවතින අතර ම ඒකරාශිකිරීම එහි පළමු පියවර වේ. (මෙම ලිපි මාලාවේ 27 වැනි කොටසින් අදාළ ක්‍රමය විස්තර කර තිබේ).

වැව් සහ ඒ හා බැඳුණු ජල සැපයුම් පද්ධති නිර්මාණයෙහි උරුමයක් ඇති රටක් වශයෙන් ශ්‍රී ලංකාව තුළ ගොවිතැනට ජලය සැපැයීම ගැටලුවක් විය යුතු නැත. ඒ වෙනුවෙන් කළ යුතු මූලික ම කාර්යය වනුයේ අදාළ දැනුම හඳුනාගෙන එම ඥානය හොඳින් ජනගතකිරීමේ වැඩපිළිවෙළක් ආරම්භකිරීම ය. වැව පිළිබඳ දැනුම පාසල් අධ්‍යාපනයට ඇතුළත්කිරීම සහ එම දැනුම පදනම් කරගත් සාහිත්‍ය – කලා නිර්මාණ ප්‍රචලිතකිරීම ඒ යටතේ සිදුකළ හැකි ය. වාරිමාර්ග විෂයය වෙනුවෙන් ම කැපකෙරුණු විශ්වවිද්‍යාලයක් ඇතිකිරීම ද මේ සඳහා වන පිළියමකි.

ජෛව විවිධත්වයෙන් අනූන රටක ගොවිතැන් කටයුතු සඳහා රසායනික පොහොර සහ කෘෂි රසායන යෙදීම අනිවාර්යය කටයුත්තක් බවට පත්විය යුතු නොවේ. අදාළ ස්වභාවික සම්පත් නිසි පරිදි යොදාගැනීමට ඇති නොහැකියාව, නොදැනුම නිසා මෙවැනි බාහිර පිළියම් වෙත මිනිස්සු යොමුවෙති. එහෙයින් මෙම කාර්යයට අදාළ පර්යේෂණ සහ සංවර්ධන කටයුතු ද නිරන්තරයෙන් ම සිදුකළ යුතු වෙයි. කාබනික පොහොර වැනි අවශ්‍යතා සඳහා ද විදේශ නිෂ්පාදකයන් මත රඳාපවතින්නේ නම් ඒ පිළිබඳව ජනරජයේ උගතුන් ලජ්ජාවිය යුතු ය.

කිසිදු හේතුවක් නිසා හෝ ආහාර නාස්තිකිරීම බෞද්ධ පිළිවෙතට ඉඳුරා ම පටහැනි ය. එහෙයින් ගොවිබිමේ සිට මුළුතැන්ගෙය දක්වා පවතින සෑම තැනක ම නාස්තිය වැළැක්වීමේ හෝ අවමකිරීමේ ක්‍රම හඳුන්වාදිය යුතුව තිබේ. මේ සඳහා යොදාගත හැකි විධිමත් සහ අවිධිමත් අධ්‍යාපන වැඩපිළිවෙළක් ඇතිකිරීම ද ජනරජයේ මූලික කාර්යයක් බවට පත් කළයුත්තේ ය.

ආහාර වෙළෙඳපොළෙහි මිල පිළිබඳ ගැටලු නිරන්තරයෙන් ම උද්ගතවන්නේ අදාළ නිෂ්පාදකයින් සහ පාරිභෝගිකයින් අතර විශාල තොරතුරු පරතරයක් පවතින විට ය. භූමි ප්‍රමාණයෙන් කුඩා ශ්‍රී ලංකාව වැනි රටක මෙවැනි තොරතුරු පරතරයක් ඇතිවීමට කිසි ලෙසකින් ඉඩදිය යුතු නැත. මෙවැනි තොරතුරු පරතරයක් ඇතිවීම නිෂ්පාදකයා සහ පාරිභෝගිකයා යන දෙදෙනාට ම අවාසිසහගත වේ. එහෙයින් ඒ සඳහා පිළියම් හඳුන්වාදීමේ වගකීම ද ජනරජයේ උගතුන් සතුවෙයි.

කෘෂිකර්ම නිෂ්පාදනය කාර්යක්‍ෂම කරන අතර ම ආහාර සැකැසීමේ දැනුම ද ප්‍රචලිත කළ යුතු වෙයි. ඒ පිළිබඳව අපි ඊ ළඟ ලිපියෙන් සාකච්ඡා කරමු.

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress