ළිප ගිනි මොළවන තෙක් දිය සැළියේ – සැපයක් යැයි කකුළුව දිය කෙළියේ!
Posted on October 13th, 2021

වාගිස ප්‍රනාන්දු විසිනි.

1780 දී ප්‍රංශයේ පැවැති දරුණු සාගතයෙන් තම දූ දරුවන් බඩගින්නේ මියැදෙන බැවින් ඔවුන් වෙනුවෙන් පාන් ඉල්ලා වීදි බට ප්‍රංශ ජනතාවට එවකට ප්‍රංශ අගරැජිණ දුන් පිළිතුරවූයේ පාන් බැරිනම් කේක් කාපල්ලා යනුවෙනි. මේ සම්බන්ධයෙන් නොයෙකුත් මතවාද ඇතත් අදද මේ කියමණ ප්‍රංශයේ මෙන්ම පිටස්තර ලෝකයේද බෙහෙවින් ප්‍රකට කියමණකි.

අදවන විට ලංකාවේ ගෑස් මිළ 75% කට ආසන්න මුදලකින් වැඩිවීම නිසා බහුතර නාගරික මෙන්ම ඇතැම් ග්‍රාමීය ජනතාවද කබලෙන් ලිපට වැටී ඇත.

ඒ අතරම අත්‍යාවශ්‍ය පාරිභෝගික භාන්ඩවල මිළ පසුගියදා ඉහළ ගිය අතර ඒවායේ මිළ තීරණය කිරීමේ බලය පවා මේවන විට රජයෙන් ගිලිහෙමින් පවතී. හදිසිනීතිය (සීමිතව) පණවා අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස්වරයෙකුද පත් කර ඇති මොහොතක මෙවැනි දේ සිදුවීම සැබැවින්ම හාස්‍යජනකය.

එවන් තත්වයක් තුල පසුගිය 7 වනදා මොළ හතක් ඇතැයි පවසන එක්තරා දේශපාලකයෙකු විසින් මෑතකදී එක දිගට භාන්ඩවල මිළ ඉහළ යෑම ගැන පැවසූයේ දැන් පවත්නා මිළට බඩු ගන්න පුළුවන් අය ගනීවි. අනිත් අය අරපිරිමැස්මෙන් පිරිමහගෙන ජීවත්වේවි යන්නයි. එම ප්‍රකාශය එදා ප්‍රංශ අගරැජිණියගේ ප්‍රකාශයට දෙවැනි නැත.

1970-77 යුගයේ මුදල් ඇමතිව සිටි ඇන් ඇම් පෙරේරා වරක් සීනි මිළ ඉහලයාම ගැන ප්‍රතිචාර දැක්වූයේ හකුරු කෑල්ලක් සමග දැන් කහට එකක් බොන්න පුරුදුවෙමු යනුවෙන් පවසමිනි.

මීට වසර කීපයකට පෙර කිහිපවිටක් මාධ්‍ය හැසිරවූ ඇමතිවරයෙක් ප්‍රකාශ කර සිටටියේ ඇති ඇත්තෝ කති බොති. නැත්තෝ ලෙව කති යනුවෙනි. මේ සියළු ප්‍රකාශයන් මගින් හෙළිවන්නේ රටේ දුප්පත් ජනතාව ගැන ඔවුන් දක්වන ආකල්පයයි.

ගෑස් බැරිනම් දර ලිප් හෝ භූමිතෙල් ලිප් පාවිච්චි කරපල්ලා යනුවෙන් වත්මන් දේශපාලකයෝ උපදෙස් දීමට මත්තෙන් අදවන විට නාගරික ජනතාව තමන්ගේ පහසුව කෙසේවෙතත් සංසන්දනාත්මකව වඩාත් පිරිමැසුම්දායක විකල්පයක් වන භූමිතෙල් ලිප් වෙත යොමුවෙමින් පවතී. දර ලිප පාවිච්චි කිරීම භූමිතෙල් ලිපටත් වඩා වාසිදායක වුවද, දර ලිපට දුම් පිඹින බට පවා දැන් වෙළද පොලේ තිබුනද බෙහෙවින් කාර්යබහුල ජීවිතයක් ගත කරන නාගරික සහ අර්ධ නාගරික ජනතාවට ඒ විකල්පයට කිසිසේත් යා නොහැක.

නමුත් එම විකල්පයද තව කොපමණ කලක් රටේ ජනතාවට පිරිමැසුම්දායක විකල්පයක් වේදැයි කිව නොහැක. මන්ද? බලශක්ති ඇමතිවරයා පසුගියදා පැවසූයේ ලෝක වෙළදපලේ තෙල් මිළ ඉහළයාම නිසා ඛනිජතෙල් සංස්ථාව ලබන අධික පාඩුව තවදුරටත් දැරිය නොහැකි නිසා ඒ පාඩුවද රටේ ජනතාව පිට පැටවීම හැර වෙන විකල්පයක් තමන්ට නොමැති බවයි. ඒසේවුවහොත් ඩීසල්, පෙට්‍රල් පමණක් නොව ජනතාවගේ නව විකල්ප තෝරාගැනීම නිසා ඉදිරියේදී ඉහළයාමට නියමිත භුමිතෙල් ඉල්ලුම ගැනද ගැඹුරෙන් සලකා බලා, භූමිතෙල් මිළද ඉහළ දමනු නොඅනුමානය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress