”කැබිනට් තීරණ සම්මත කර ගැනීමේ ක්‍රමය සුදුසු නැහැ” – විමල් වීරවංශ
Posted on October 14th, 2021

 කාංචනා විජයබණ්ඩාර මව්බිම දැන්

ඇතැම් අමාත්‍ය මණ්ඩල පත්‍රිකා නිසි ලෙස සාකච්ඡා කිරීමට ප්‍රමාණවත් කාලයක් නොගෙන වහා ම සම්මත කර ගන්නා බවත් එලෙස ක්‍රියා කිරීම සුදුසු ක්‍රමයක් නොවන බවත් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

පවතින පොහොර ගැටලුව සම්බන්ධයෙන් සලකා බැලීමේදී ද ඒ සම්බන්ධයෙන් ගත් තීරණ මෙම වසංගත කාලය තුළ ක්‍රියාත්මක කළ හැකි ද? ඊට ගොවි ජන මනස සකසා ගත හැකි ද? ආදිය සම්බන්ධ නිසි පරිදි සාකච්ඡා කොට සැලසුම් සකසා ගැනීමට කටයුතු කළා නම් ඇතැම් දේ පවතිනවාට වඩා නිවැරදි වීමට ඉඩ තිබූ බව ඔහු සඳහන් කළේය. 

“සමහර අමාත්‍ය මණ්ඩල පත්‍රිකා එදා එනවා එදා දිනයේ ම අනුමත කර ගන්නවා. ඕනෑ ම හොඳ දෙයක් වුණත් ක්‍රියාවට නගද්දි හොඳ සැලසුම් සහිතව ක්‍රියාවට නගන්න ඕනෑ. ඒ වගේ ම කාලය, දීපය, දේශය, කුලය, මව ඕවා හොඳට හොයන්න ඕනෑ. මේ වසංගතයක් තියෙන කාලෙක මේ වගේ දෙයක් කරන්න පුළුවන් ද? ඒකට සමාජය බලගන්වන්න පුළුවන් ද? ඒකට ගොවි ජනතාව මානසිකව සූදානම් කරන්න පුළුවන් ද? ඒකට කෘෂිකර්ම ක්ෂේත්‍රයේ නිලධාරී යාන්ත්‍රණය සූදානම් කරන්න පුළුවන් ද? ඒ ඔක්කොම ගැන තක්සේරුවක් කරන්න පුළුවන් ද? විශේෂයෙන් ම රසායනික පොහොර සමාගම්වලින් එන්න පුළුවන් ප්‍රතික්‍රියාව කොහොම ද? ඒකට මුහුණ දෙන්නෙ කොයි විදියේ සැලසුමකින් ද? මේ විදියේ මහා සාකච්ඡාවකින්, සැලසුමකින් සිද්ධ විය යුතු දෙයක්. මේ වගේ වසංගත තත්ත්වයකට මුහුණ දීලා ඉන්න කාලෙක ඒ තීරණය ගත යුතු ද? කියන එකත් සලකා බැලිය යුතුව තියෙනවා. මේවා ගැන ප්‍රමාණවත් සාකච්ඡාවක් ආණ්ඩුව ඇතුළේ සිදුවුණා නම් සමහර දේවල් මීට වඩා නිවැරදිව කරන්න තිබුණා.”

ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව සඳහන් කළ අවස්ථාවේදී නිසි සාකච්ඡාවලින් තොරව රජය ඒකමතිකව තීරණ ගන්නවා ද? යනුවෙන් මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ මෙවැනි අදහසකි. 

“මම අමාත්‍ය මණ්ඩලය තුළදීත් මේක ප්‍රකාශ කළා. සමහර අමාත්‍ය මණ්ඩල පත්‍රිකා එදා දිනයේ එනවා, එදා දිනයේදී ම ප්‍රමාණවත් සාකච්ඡාවක් නොමැතිව අනුමත කර ගන්නවා. ඒක සුදුසු ක්‍රමයක් නෙවෙයි කියලා මම ආමාත්‍ය මණ්ඩලයේදී ප්‍රකාශ කළා. විවෘතවත් ප්‍රකාශ කරනවා.”

 කාංචනා විජයබණ්ඩාර 2021-10-14 16:19:00 | Updated 7 hours agoSHARE

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress