කොවිඩ්-19 වැළඳී නිවසේ ප්‍රතිකාර ලබන රජයේ සේවකයන්ටත් අග්‍රහාර රක්ෂණ වන්දි දෙන්න – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා
Posted on October 14th, 2021

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

කොවිඩ්-19 වසංගතයෙන් රෝගාතුරව නිවසේ ප්‍රතිකාර ලබන රාජ්‍ය සේවකයන්ටත් අග්‍රහාර රක්ෂණ අරමුදලෙන් වන්දි ලබා දීමේ ක්‍රමවේදයක් සකස් කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ(13) පස්වරුවේ අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වෘත්තිය සමිති සහ ඒකාබද්ධ වෘත්තිය සමිති නියෝජිතයන් සමඟ අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාව අතරතුර අග්‍රාමාත්‍යතුමා මේ බව දැනුම් දුන්නේය.

මෙයට පෙර රාජ්‍ය සේවකයන් කොවිඩ්-19 වැළඳී ජීවිත අහිමිවීම හා රෝහල්ගතව ප්‍රතිකාර ගැනීමේ දී අග්‍රහාර රක්ෂණ වන්දි ගෙවීමේ ක්‍රමය 2021 අය-වැය යෝජනා මගින් ක්‍රියාත්මක කිරීමට එවකට මුදල් අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍යතුමා පියවර ගෙන තිබිණි.

වෘත්තිය සමිති මෙහි දී රාජ්‍ය සේවය කාර්යක්‍ෂම කිරීමේ අවශ්‍යතාව සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යතුමා හමුවේ කරුණු ඉදිරිපත් කළේය.

රාජ්‍ය ආයතනවල ක්‍රියාකාරීත්වයට ආයතන මට්ටමෙන් උසස් නිලධාරින් සහ සේවකයන් අතර  පවතින ගැටලු බලපා ඇති අකාරය ද මෙහි දී පැහැදිලි කෙරිණි.

රාජ්‍ය සේවාව තුළ කාර්යක්‍ෂමතාව සහ ඵලදායිතාව වර්ධනය කළ යුතු බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යතුමා, ඒ සඳහා වගකිව යුතු නිලධාරින්ගේ ක්‍රියාත්මක වීම අවශ්‍ය බව පෙන්වා දුන්නේය.

ඒ සඳහා රාජ්‍ය සේවකයන්ගේ දේශීය සහ විදේශීය පුහුණු අවස්ථා ඉහළ දැමිය යුතු බව ද අග්‍රාමාත්‍යතුමා ප්‍රකාශ කළේය.

2016 වර්ෂයෙන් පසු රාජ්‍ය සේවයට එක්වූ සේවකයන්ට පසුගිය යහපාලන රජය අහිමි කළ විශ්‍රාම වැටුප යළි ලබා ගැනීම සම්බන්ධයෙන් වෘත්තිය සමිති නියෝජිතයෝ මෙහි දී අදහස් පළ කළහ.

මේ පිළිබඳව සොයා බලන්නැයි අග්‍රාමාත්‍යතුමා ඒ මොහොතේ දී ම රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයාට දැනුම් දුන්නේය. ජිවන වියදම ඉහළ යෑමට සාපේක්ෂව විශ්‍රාම වැටුප් ඉහළ දැමීම සම්බන්ධයෙන් ද මෙහි දී සාකච්ඡා කෙරිණි.

දුම්රිය දෙපාර්තමේන්තුවේ මිලදී ගැනීම්වල පවතින ඇතැම් අකටයුතුකම් සම්බන්ධයෙන් ද මෙහි දී වෘත්තිය සමිති නියෝජිතයෝ අග්‍රාමාත්‍යතුමා දැනුවත් කළහ.

කොවිඩ් වසංගතය හේතුවෙන් රටේ ආර්ථිකයට බලපෑම් එල්ල වී ඇති මෙවැනි කාලවකවානුවක රාජ්‍ය ආයතන තුළ වියදම් සීමා කර ගැනීම සම්බන්ධයෙන් දැනටමත් දැනුවත් කර ඇතැයි සිහිපත් කළ අග්‍රාමාත්‍යතුමා, දුම්රිය දෙපාර්තමේන්තුව තුළ පවතින අකටයුතුකම් පිළිබඳ සොයා බලන බව සඳහන් කළේය.

මෙම අවස්ථාවට අමාත්‍යවරුන්වන ගාමිණී ලොකුගේ, නිමල් සිරිපාල ද සිල්වා, රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ රත්නසිරි, කම්කරු අමාත්‍යාංශයේ ලේකම් එම්.පී.ඩී.යූ.කේ මාපා පතිරණ, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් නීතිඥ චමින්ද කුලරත්න, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් කුමාරි අත්තනායක, ජාතික අය වැය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ජූඩ් නිලුක්ෂාන්, මහත්ම මහත්මීහු සහ ප්‍රගතිශීලී වෘත්තිය සමිති ජාතික මධ්‍යස්ථානය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වෘත්තිය සංගම් හා වෘත්තිය සමිති ඒකාබද්ධ බල මණ්ඩලයේ නියෝජිතයෝ පිරිසක් එක්වූහ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress