රේගුවෙන් විනාශ කරන්නට නියමිතව තිබූ කසල තේ තොගයක් කාබනික පොහොර වලට මිශ්‍ර කරන්නට ගෙනැවිත් එප්පාවලදී උණුසුම් තත්වයක්
Posted on October 14th, 2021

තිසර සමල් – අනුරාධපුර

රේගුවෙන් විනාශ කරන්නට නියමිතව තිබූ කසල තේ තොගයක්  කාබනික පොහොර වලට මිශ්‍ර කරන්නට ගෙනැවිත් එප්පාවලදී උණුසුම් තත්වයක්….

කාබනික පොහොර නිශ්පාදනය සඳහා කලවම් කිරීමට ගෙන ආ බවට පැවසෙන කසල තේ තොග වල ඇසුරුම් එප්පාවල ඇඳගල ප්‍රදේශයේ රජයේ වී ගබඩා වල ගිණි තැබීමට හේතුවෙන් අවට ප්‍රදේශවාසීන් හා එම ස්ථානයේ සිටි පිරිස අතර උණුසුම් තත්වයක් ඊයේ (13) මධ්‍යම රාත්‍රියේ ඇති විය.

ඉඩම් ප්‍රථිසංස්කරණ කොමිෂන් සභාව මගින් නිෂ්පාදනය කරන කාබනික පොහොර සඳහා කලවම් කිරීමට බව පවසා ඊයේ (13) රාත්‍රියේ  එප්පාවල ඇඳගල ප්‍රදේශයේ රජයේ වී ගබඩා වෙත කන්ටේනර් දෙකකින් රේගුව මගින් අත්අඩංගුවට ගෙන විනාශ කිරීමට නියමිතව තිබූ කසල තේ තොග ගෙනවිත් ගබඩාව අසලම ඒවායේ ඇසුරුම් ඉවත් කර එම කාඩ්බෝඩ් ඇසුරුම් වලට (පෙට්ටි) හා පොලිතීන් කවර වලට එම පරිශ්‍රයේම  ගිණි තැබීම හේතුවෙන් අවට නිවෙස් වෙත දුම් ගැසීමෙන් බාධා සිදු වන බව පවසා ප්‍රදේශවාසීන් එම ස්ථානයට පැමිණ විරෝධය දැක්වීය.

ප්‍රදේශවාසීන්ගේ දැනුම් දීම මත අදාළ ස්ථානය වෙත එප්පාවල පොලිස් ස්ථානයේ නිළධාරීන්ද පැමිණියහ. පොලිස් නිළධාරීන් සමඟ ගබඩා පරිශ්‍රය  වෙත ගම්වාසීන්ද ඇතුළු වූ අතර, එම වී ගබඩා පරිශ්‍රය තුළ කසල තේ ගෙන ආ කන්ටේනර් දෙකක්, රේගු නිළධාරීන් පැමිණි වෑන් රථයක් ඇතුළු  රජ්‍යය ලාංඡන  සහිත කැබ් රථ  කීපයක්ද දැක ගත හැකි විය.

කන්ටේනර් පෙට්ටි දෙක  තුළ ඇති ඇසුරුම් කළ කසල තේ වල ඇසුරුම් ඉවත් කර  කසල තේ ගබඩා දෙකක් තුළ බිමට හලන අයුරු දැක ගත හැකි වූ අතර, ඉවත් කරන කසල තේ වල  ඇසුරුම් වූ කාඩ්බෝඩ් පෙට්ටි හා පොලිතීන් ගබඩා පරිශ්‍රයේ ස්ථාන දෙකක ගිණි තබන අයුරුද දැක ගත හැකි විය.

එප්පාවල පොලිස් ස්ථාන නිළධාරීන් අදාළ ස්ථානයේ සිටි පිරිසගෙන විමසා සිටියේ එහි කුමක්ද සිදු වන්නේ යන්නයි.

එවිට පැමිණි නිළධාරියකු කියා සිටියේ මම ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ, අපි කොම්පෝට් හදනවානේ, ඒකට ගෙනාපුවා මේ යනුවෙනි.

එවිට පොලීසිය අදාළ ස්ථානයේ කසල තේ ගබඩා කිරීමට ලබා දුන් අවසර පත්‍රය ඔහුගෙන් විමසා සිටි අතර, එවැනි අවසර පතක් ඉදිරිපත් කිරීමට අදාළ නිළධාරියාට නොහැකි විය.

අනතුරුව අදාළ ස්ථානයේ සිටි රේගු නිළධාරීන්ගෙන්ද මේ සම්බන්ධයෙන් පොලීසිය විමසීමක් කළ අතර,

රේගු නිළධාරීන් කියා සිටියේ,   අපි ගෙනාපු පෙට්ටි තමා මේ පුච්චන්නේ, තේ කොළ මේ ගබඩාවේ තැන්පත් කරනවා.

මෙතන මොනවා හරි කරන්න ඔයාලට දුන්න අවසර පත්‍රය මට දෙන්න, එච්චරයි මට අවශය යැයි පොලීසිය පැවසු විට ,  ඉඩම් කොමිෂන් සභාවේ නිළධාරියා සතුව එවැනි  අවසර පතක් නොමැති බවද පැවසූ අතර, මේ පෙට්ටි දාලා යන්න බෑ, පිටට යවන්න බෑ ඒ නිසා තමයි ගිණි තියන්නේ යැයි පැවසීය.

අනතුරුව රේගු නිළධාරීන් විසින් අදාළ කසල තේ තොගය නිදහස් කිරීම සම්බන්ධ ලිපියක් පොලීසිය වෙත ඉදිරිපත් කරනු ලැබීය.එම ලිපිය පොලීසිය විසින් පරික්ෂා කළ අතර, කසල තේ බහාලුම් 44 ක් එප්පාවල ඇතුළු  ස්ථාන 08 ක් වෙත යොමු කිරීම සම්බන්ධයෙන් එහි සඳහන්වී තිබිණි.

අනතුරුව ගම්වාසීන් කියා සිටියේ මෙතන ගිණි තියන්න බෑනේ මේවා, අවට ගෙවල් වල පොඩි ළමයි ඉන්නවා, ගෙවල් වල ඉන්න බෑ දුම යැයි පැවසීය.

රේගු නිළධාරීන් කියා සිටියේ, අපි කස්ටම් එකේ, අපිට වැඩක් නෑ මේ කසල තේ, එස්.එම් චන්ද්‍රසේන මහත්තයා හරහා මේ ගොල්ල ඉල්ලලා තියෙනවා, කොම්පෝස්ට් හදන්න මේවා.

ඉඩම් කොමිෂන් සභාවේ යැයි පැවසූ නිළධාරියා කියා සිටියේ, අපි මේවා ගෙනාවේ කාබනික පොහොර හදන්න, මේවාගේ පොටෑසියම් වැඩියි.ගබඩා කරලා අපි මේවා කොම්පෝස්ට් වලට මිශ්‍ර කරන්න අරන් යනවා.රේගුවෙන් මේවා ටික නිදහස් කරලා යන්නයි ආවේ.

ගම්වාසීන් අවට පරික්ෂා කළ අතර, රේගු නිළධාරීන් පැමිණ  වාහන තුළ මෙන්ම අවට මත්පැන්, බයිට් ඇතුළු දෑ දැක ගත හැකි විය.

අනතුරුව ගම්වාසීන් හමුවට පැමිණි රේගු නිළධාරීන් කියා සිටියේ, අපිටත් මේක ප්‍රශ්නයක් අපි මේ ටැංකි දෙක සීල් කරලා අරන් යනවා කොළඹට යනුවෙනි.

එවිට ගම්වාසීන් කියා සිටියේ මේකේ එක එක දේවල් ගිණි තියන්න මේක සොහොන් පිටියක් නෙමෙයිනේ, අපිව දැනුම්වත් කරලාත් නෑ, යනුවෙනි.

එවිට ඉඩම් අමාත්‍යංශයේ යැයි පැවසූ නිළධාරියා පැමිණ කියා සිටියේ මේවා පුච්චන එක නේ ගැටලුවක් වෙලා තියෙන්නේ, ඒ නිසා අපි මේවා පුච්චන එක නවත්වන්නම්, අපි මේ රටට කාබනික පොහොර හදන්නනේ මේවා කරන්නේ  යැයි පැවසීය.

එවිට ගම්වැසියකු කියා සිටියේ කාබනික පොහොර හැදුවා කියලා අපිට වැඩක් නෑ, එවිට ඉඩම් අමාත්‍යංශයේ නිළධාරින් කියා සිටියේ අපිටත් වැඩක් නෑ, අපි ගන්නෙත් නෑ මේ පොහොර, අපි මේවා අපි හදන කාබනික පොහොර තියෙනවා නේ, මේවායේ පොටෑසියම් වැඩියි මේවා කළවම් කරලා කාබනික පොහොර හදන්න හදන්නේ.නැත්නම් මේ කසල තේ ගිණි දානවානේ, මේවායේ පොටෑසියම් වැඩියි කියලා සහතික කරපු ලියවිලි තිබේදැයි විමසු විට එවැනි ලියවිලක් ඒ අවස්ථාවේ තමා සතුව නොමැති බවද, එස්.එම් චන්ද්‍රසේන ඇමතිතුමා කියලා තමයි අපි මේවා ගෙනාවේ, අපේ වරායේ නතර කරලා තිබ්බා විදේශ රටකින් ප්‍රතික්ෂේප කරපු කසල කන්ටේනර් 40  ක් තියෙනවා අපි දෙකක් නිදහස් කර ගත්තා, මේවා ඔක්කොම පුච්චන්න තමයි නියෝග කරලා තිබ්බේ, නමුත් ඉඩම් අමාත්‍යංශයේන් මේවා නිදහස් කර ගත්තා ,  යැයි ඉඩම් අමාත්‍යංශ නිළධාරීන් පැවසීය.

අනතුරුව එම ස්ථානයේ කසල තේ ඇසුරුම් ඉවත් කළ කම්කරුවන්ද පැමිණ තමන්ට ගම්වාසීන්ගෙන් තර්ජනයක් විය හැකි බැවින් පොලිස් ආරක්ෂාව ලබා දිය යුතුයැයිද, නොඑසේනම් රාජකාරී කරන්නේ නැති බවද පැවසීය.

අනතුරුව එම ස්ථානයේ උණුසුම් තත්වයක්ද  ඇති විය. කොම්පෝස්ට් කියලා මුං කසල තේ දෙන්න හදන්නේ, පොලීසිය මැදිහත් වී අදාළ තත්වය සමතයකට පත් කළ අතර, ගම්වාසීන් එම ස්ථානයෙන් ඉවත් කිරීමට කටයුතු කරනු ලැබීය.අනතුරුව පොලීසියද එම ස්ථානයෙන් පිටව ගිය අයුරු දැක ගත හැකි විය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress