යුද්ධයට දිවි දුන් රණවිරුවන් සිහි කරමින් අග්‍රාමාත්‍යතුමාට පොපි මල පළඳවයි
Posted on October 26th, 2021

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ සාමාජිකයෝ අද (26) දින අරලියගහ මන්දිරයේ දී  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සංකේතාත්මකව පොපි මල පැළඳවුහ.

ලොව පුරා යුද්ධයට දිවි පිදූ  රණවිරුවන් සිහිගන්වන  ලෝක පොපි මල් දිනය ලබන නොවැම්බර් 11වැනිදාට යෙදී තිබේ.

කොවිඩ් වසංගතය හේතුවෙන් ලෝක පොපි මල් දින සැමරුම ලබන 14 වැනිදා ඉතා චාම්ව සැමරීමට ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමය සැළසුම් කර ඇත.

පොපි මල් අලෙවියෙන් ලැබෙන ආදායම සෑම වර්ෂයකම ප්‍රධාන වශයෙන් විශ්‍රාමික රණවිරුවන්ගේ සුබ සාධන කටයුතුවලට යොමු කරයි.

ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමය ප්‍රකාශයට පත් කළ වාර්ෂික සඟරාව “Veteran” මෙහිදී එම සංගමයේ සභාපති මේජර් ජනරල් උපුල් පෙරේරා (විශ්‍රාමික) විසින් අග්‍රාමාත්‍යතුමාට පිළිගන්වන ලදි.

මෙම අවස්ථාවට අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ සභාපති මේජර් ජනරල් උපුල් පෙරේරා (විශ්‍රාමික) උප සභාපති මේජර් ජෙනරාල් මහින්ද  අඹන්පොල (විශ්‍රාමික) ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress