දීපවාලි සුභාශිංසන පණිවිඩය
Posted on November 2nd, 2021

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

රට ගොඩනඟන ‘සෞභාග්‍යයේ දැක්ම’ යන රජයේ ජාතික ප්‍රතිපත්තියට අනුකූලව බාධක රැසක් ජයගනිමින් අපි ප්‍රබුද්ධ සංවර්ධන මාවතක් උදෙසා ගමන් කරමින් සිටිමු. අපේ ජාතිය සෑම ක්ෂේත්‍රයකම ප්‍රගතිය දැකීම අප කාගේත් අපේක්ෂාවයි.

අද ලෝකයටම තර්ජනයක් වී ඇති කොවිඩ් 19 වසංගතයෙන් ශ්‍රී ලාංකීය ජනතාව ආරක්ෂා කර ගැනීම සඳහා අපි ප්‍රගතිශීලී සහ ඵලදායී ක්‍රියාකාරකම් රැසක් සිදු කරමින් සිටිමු. සියලු දෙනාගේ සිතුම් පැතුම් ඉටුවී, ශ්‍රී ලංකාව සමෘද්ධිමත් ජාතියක් ලෙස දියුණු වන යහපත් අනාගතයක ආරම්භය ලෙස මෙම දීපවාලි උත්සවය දිනය උදා වේවා.

අඳුරු මාවතක ආලෝකය ඇත්නම්, එය අප යන මාවතට සහාය වනු ඇත. දීපවාලි යනු එවැනි අධ්‍යාත්මික ප්‍රඥාවේ ආලෝකය නමස්කාරය තුලින් ලබා ගන්නා සුවිශේෂී දිනයකි. දීපවාලි උත්සවය ඉතා භක්තියෙන් සමරන සියලුම හින්දු බැතිමතුන් වෙනුවෙන් මාගේ සුභාශිංසන එක්කරන්නේ ඉමහත් සතුටුනි.

ජාතික සමගිය සැමරීමට මෙය විශිෂ්ට දිනයකි. පහන් වන්දනාව සෑම ආගමකටම පොදු වේ. අප තුළ ඇති අවිද්‍යාව නමැති අඳුර දුරු වී, අභ්‍යන්තර ආලෝකය බැබළිමයි එම පහන් පූජාවේ අරමුණ. මෙම සුවිශේෂි දිනයේ දල්වන ආලෝකය ප්‍රජාවන් අතර වඩා හොඳ අවබෝධයක් සඳහා සංඥාවක් ලෙස සැලකිය යුතුය. මෙතරම් කාලයක් අපේ ජනතාව භේද භින්න කළ සියලු වෙනස්කම් මකා දමන මොහොතක් ලෙස දීපවාලි උත්සවය සමරමු. මේ ආලෝකය නිවී යන්නට ඉඩ නොදී නැවත අඳුරේ ගිලී නොයනලෙස අපි ආරක්‍ෂා කර ගත යුතු බව ශ්‍රී ලංකා මාතාවගේ දරුවන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

ශ්‍රී ලාංකික සියලු හින්දු බැතිමතුන්ට ප්‍රීතිමත් දීපවාලි දිනයක් වේවා! යැයි ප්‍රාර්ථනා කරමි.

මහින්ද රාජපක්ෂ

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress