සුද්දගෙ නීතිය අපිට එපා – හතරවෙනි කොටස
Posted on November 24th, 2021

 චන්ද්‍රසිරි විජයවික්‍රම,  LL.B., Ph.D.

‘You cannot legislate against geography’ -Sir Wilfred Laurier

‘One law for the lion and the ox is oppression’ – William Blake

දුක,  දුකට හේතුව

නා නා ආකාරයේ සිංහල හා සිංහල නොවන කළු සුද්දන් විසින්එක රටක්-එක නීතියක් යන  සංකල්පයේ පක්ෂ දේශපාලක නොවන වින්නඹුවන් වී සිටින, ජනාධිපති ගෝඨාභය  හා ඥානසාර හිමියන්ට නගන අවලාද, විදේශ බලවේගවල ආධාර සමඟ දැන් දියත් කර ඇති රෙජිම් චේන්ජ් ව්‍යපෘතියේම තවත් පැත්තක් බව මේ වනවිට හොඳටම පැහැදිලිය. මේ නිසා අප විසින් කල යුතු මෙම සංකල්පයේ සාධාරණකම, විද්‍යාත්මක බව හා රට නොකැඩී තබා ගැනීමට නම් එය පියවරෙන් පියවරට වත් ක්‍රියාත්මක කිරීම අත්‍යාවශ්‍යම  බව ජනතාවට සිංහල භාෂාවෙන්ම ලියා පෙන්වා දීමය. අනාගාරික ධර්මපාලතුමා 1920  ගණන් වලදී සිට කියා සිටියා මෙන් රටේ සිංහල බෞද්ධ ශිෂ්ටාචාරය රැක ගැනීමට තව දුරටත් ඉතිරිව ඇති කාලය ශීඝ්‍රයෙන් ගෙවී යන බව පෙනේ.

එක රටක්-එක නීතියක් යන සංකල්පය රාවරයේ වික්ටර් අයිවන්ට හා ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාටද තේරී නැත (සරත් කියන්නේ ඔහුගේ මතය සජිත්ලාගේ මතයද බවය). සිංහල බෞද්ධ රටේ සෙසු ජනවර්ගවලට සමාන අයිතිවාසිකම් ඇතුව ජීවත් විය හැකි නමුත් ඔවුන් අසාධාරණ ඉල්ලිමි නොකල යුතුයයි යුද්ධය කාලයේ කියූ සරත් දන් කියන්නේ එක නීතියක් යනු තිබෙන නීති එක සමානව ක්‍රියාවට යෙදීම මිස, දැනට නීති පොතේ තිබෙන නීති වලට අත නොතැබිය යුතුය යනුය. ජනවර්ග වලට විශේෂ වූ එක රටක පැවැත්මට හානිකරවූ, හානිකරණ, නීති ගැන ඔවුන් දෙන්නාම දෙපැත්තක සිටිමින් එකඟවේ!  තමන්ගේ සිරිත්-විරිත්, ආගමික කාරණා තමන්ගේ ගෙවල්වල පුද්ගලිකව කල හැකිමුත්, සෙසු සමාජයට පොදුවේ බලපාන විශේෂ නීති අහෝසි කිරීම එක නීතියක් යන කාසියේ අනිත් පැත්තය. සරත් ෆොන්සේකා  නොදන්නාකමට හෝ  වික්ටර් අයිවන් දැන දැනම  හෝ කරන්නේ ඒකීය රට කබලි කිරීමේ ව්‍යාපාරයට මුක්කු ගැසීමය.

එක ජනවර්ගයක පිරිමින්ට ස්ත්‍රීන් 4 ක් එක්වර තබාගන්නට ඉඩදෙන නීතිය, මුස්ලිම් රටවලට මිස ලංකාව වැනි  සිංහල ජාතියට ඇති එකම දූපතේ තවදුරටත් කරගෙන යාමට ඉඩදීම සියදිවි නසා ගැනිමකි. බල්ලෙක් වුනත් ඉස්සෙල්ලාම බලන්නේ යමෙකුගේ මුහුණය. එසේ නම් මුළු මුහුණම වසාගෙන මහපාරේ යාමට සයින්දමරිදු නම් හිස්බුල්ලාගේ පුංචි අරාබියෙදීවත් ඉඩදිය යුතුද?

යම් මිනිසෙකුගේ පුද්ගලික අවශ්‍යතා හා උවමනාකම් (wants & needs), බෙදුම්වාදී දේශපාලකයින් විසින් හුදෙක් තමන්ගේ පැවැත්ම සඳහා භාෂාව, ආගම අනුව ජාතිවාදී ලෙස රටවල් කැබලිකර ගැනීම සඳහා භාවිතා කරණ පොදු ආශා හා අභිප්‍රායන්  (aspirations) නම් මෙවලමට  හාත්පසින්ම වෙනස්ය. මේ ආශා (ඊලම, හලාල්, ශාරියා ගම්මාන ) ඒකීය රටක් සඳහා මහජාතියේ ඇති ආශාව, අවශ්‍යතාව හා ගැටේ. උදාහරණයක් වශයෙන් ඉස්ලාම් තුර්කියට ඕනෑ යුරෝපා සංගමයට බැඳී වාසි හතම ලබාගැනීමටය. එහෙත් මේ ආශාව යුරෝපය ක්‍රිස්තියානි ලෙස තබාගැනීමට කතෝලික ප්‍රංශයේ ඇති ආශාව හා ගැටේ.

මෙවැනි ආශා නොහොත් කපටි නායකයින්ගේ කෑදරකම දුකට මුලය. මෙහිදී යම් රටක, ප්‍රදේශයක, භූගෝල විද්‍යාව අමතක කල නොහැකිය. 1832 දී සුද්දා ලංකාව පලාත් පහකට බෙදුවේ රටේ භූගෝල විද්‍යාවට පටහැනිවය. බොරු නිදහස ලබා අවුරුදු 74 කට පසුත් මේ අමනෝඥ  පලාත් බෙදීම, රටේ  ගංවතුර, නාය යෑම්, නියං වැනි දුක් වලට එක් ප්‍රධාන හේතුවක් බව පක්ෂ දේශපාලන කළුසුද්දන්ට අවභෝධවී නැත. බුදු දහම අනුව ලෝකයේ දෙන්නෙක් එක සමාන නොවේ. මෙය ඇඟිලි සළකුණු එක සමාන නොවනවාය කියනවා වගේය. පුද්ගලයින් එක සමාන නොවනවා මෙන්ම, එම් පුද්ගලයින් වසන භූමියද අසමානය.

කැළෑ නීතිය (law of the jungle)

මිනිසාටත් තිරිසනාටත්, කුසගින්න, නින්ද, කාමාශාව හා භය යන කාරණා හතර පොදුය. මේ දෙවර්ගය අතර ඇති වෙනස නම් සතෙකුට, සිතීමට හැකි මනසකින් යම් දෙයක හොඳ නරක තෝරා බේරා වෙන්කර ගත නොහැකිවීමය. සතුන්ට පුස්තකාලද නැත. පරෙවියන් තැපැල් පණිවුඩ ගෙනයාම, හරකෙක් කෝවිලක් ඉදිරියේ  තිබෙන ටැප් කරාමයක් කරකවා ඇර ඉන් වතුර බී එය නැවත වසා  යාම වැනි නිදසුන් දුර්ලභය.

සතුන්ටත් ‘නීතියක්’ ඇත. එය බලය හා ශක්තිය මත පදනම් වූවකි. එය ලොකු මාළුවා පොඩි මාළුවා ගිලගන්නා මත්ස්‍ය න්‍යායය. තමන්ගේ ආරක්ෂාව තම තමන් විසින්ම සපයා ගතයුතු යයි ජේආර් වරක් කිව්වේ මේ න්‍යායට අනුගත වෙමින්ය. එවිට සිදුවන්නේ  සතුන්ගේ ‘නීතිය’ නොහොත් කැළෑ නීතිය, මිනිසාගේ ‘නීතිය’ බවටද පෙරලීමය. පොලිසිය නීතිය නවනවා කියන්නේද එයටය. සල්ලි, ලිංගික අල්ලස්, මිනිස් කම යටකර දමා යයි.  මහා මංගල සූත්‍රයේ කියැවෙන ඥාති සංග්‍රහය, අසාධාරණ (unreasonable) ලෙස භාවිතා කිරීමය. මෙහිදී බොහෝ විට සිදුවන්නේ සවුත්තු නීති, කූට ලෙස පාස් කරවා ගැනීමට වඩා (උදාහරණයක් වශයෙන්, චන්දයෙන් පැරදුන අය ලිස්ට් මන්ත්‍රීලා කිරීම), දැනටමත් තිබෙන නීති අයුතු ලෙස භාවිතා කිරීමය. උසස්වීම් හා නොයෙක් වරදාන පෙන්වා උසාවි නඩුකාරයින් බිලීබා ගැනීමද මීට අයත්ය. සරත් ෆොන්සේකා නොදන්නාකමටත්, වික්ටර් අයිවන් කොලේ වහලාත් කියන්නේ මේ වැඩේ ය.

හමුරාබිගේ නීති සංග්‍රහය හා  බුද්ධාගමේ විනය පිටකය

1901 දී සොයාගත් ලෝකයේ දැනට ඇති පැරණිම මිනිස් නීති සංග්‍රහයක් වන්නේ බැබිලෝනියාවේ සුමේරියන් ශිෂ්ටාචාරයට අයත් හමුරාබි කෝඩ් එකය.  ක්‍රිස්තු පූර්ව 1755-50 වර්ෂ වල ගලක කොටා ඇති එය නීති 282 කින් සමන්විතය. මෙය කවුරුන් හෝ විසින් සිංහල භාෂාවට පෙරළිය යුතුය කියා මට සිතෙන්නේ ලංකාවේ වත්මන් සමාජ චර්යා ආශ්‍රයෙන් ඒවා සසඳා බැලීමට ඉඩක් ලබාදීම පිණිසය. ඇසට ඇසක්,  දතට දතක් යන අදහස එහි 4c නීතියේ ඇත (අරාබි රටවල ශාරියා නීතිය-හොරකමට අත කපා දැමීම).  මේ නීති වලින් වානිජ කටයුතු පමණක් නොව, ජීවිතයේ නොයෙක් අංශ ආවරණය කර තිබේ. යම් ශල්‍ය වෛද්‍යවරයෙකුගේ වරදින් ලෙඩෙක් මළොත් ඔහුගේ අත් දෙක කපා දමනු ලැබේ. යම් නඩුකාරයෙක්  වැරදි ලෙස තීන්දුවක් දුන් බව එලිවුනොත් ඔහුට ලැබෙන දඬුවම විශාල දඩයක් හා තනතුරෙන් පහකිරීමයි.   Code of Hammurabi – Wikipedia

හිරි-ඔත්තප්ප (ලැජ්ජා-භය)

හමුරාබිට පසුව, යුරෝපයේ නැපෝලියන් කෝඩ් එකට බොහෝ කාලයකට පෙර, ඉන්දියවේ බුදුහාමුදුරුවන් විසින් භික්ෂූන්ට හා මෙහෙණින් සඳහා පිළිවෙලින් විනය නීති 227 ක් හා 305 බැගින් පැණවූ සේක. වතුරට කෙල නොගැසීම, තණ කොළ මත මුත්‍රා නොකිරීම, ගස්වල අතු නොකැපීම  වැනි මිනිස් හැසීරිම් පවා ඉන් ආවරණය කර තිබේ. සාමනේර හා උපසම්පදාවූ භික්ෂූන් අතර මෙම නීතිවල දැඩි හෝ මෘදු  බවක්ද විය.  ස්ත්‍රීන් දණහිසෙන් උඩට කොට ගවුම් ඇඳීම නුසුදුසු බව පෙන්වා දී තිබේ (අනාගාරික ධර්මපාලතුමාද 1920-30 ස් ගණන්වල දින චර්යාව ගැන ලැයිස්තුවක් ප්‍රසිද්ධ කළේය). බයිබලය, කුරාණය හෝ ටෝරා ගැන මට දැණුමක් නැත. එහෙත් ආගමික අණදීම් නොවන, ගිහියන්ගේ හැසිරීම්, වගකිම්, යුතුකම් ගැන ත්‍රිපිටකයේ  ඇති සූත්‍ර රාශියකි. ගිහියන් විසින් මෙම අනුශාසනා නොපිළිපැදීම නිසා යම් සමාජයක සිදුවන පරිහාණිය කොසොල් රජතුමා දුටු සීන දාසැය නමින් අප කියවා ඇත. ලංකාව 1948 න් පසුව සිටින්නේ මේ සීන සැබෑවෙන කාලයකය. කොරෝනාව ඒ පිළිඹඳ ලෝක මට්ටමේ උදාහරණයය. බුදු දහමේ ගිහියන්ට නීති නොවුනා පමණක් නොව, රජකුමාරයෙක්ව සිටි බුදුන් වහන්සේ (හතලිස් පස් වසරක් පුරාම) රාජ නීතියට ඇඟිලි ගැසුවේද නැත. මීට වෙනස්ව ධීවරයෙකුව සිටි ජේසුතුමා රෝම අධිරාජ්‍යයේ නීති හා ගැටී වසර තුනකින් ස්වර්ගස්ථ විය.

නීති හා සිරිත් විරිත්

මිනිසෙකුට දිය හැකි ලොකුම දඬුවමක් නම් ඔහුව/ඇයව හුදකලා කර තැබීමය (රිෂාඩ් බතියුර්දීන් හා රංජන් රාමනායක හිරගෙදරදී හොරෙන් ටෙලිෆෝන් තබා ගන්නේද මේ නිසාය). සතුන් මෙන්  මිනිසාද රංචු ගැසී ජීවත් වූවෙකි. මෙසේ ජීවත්වීමේදී ඔවුන් අතරින් යමෙක් ‘නායකයෙක්’ ලෙස බිහිවූයේ මූලික වශයෙන්ම සෙසු රංචු වලින් එන ආක්‍රමණ වලට මුහුණදීම පිණිසය. මෙසේ එක භූමි ප්‍රදේශයක ගොවිතැන්කරමින් ජීවත්වන ගෝත්‍ර අතර පමණක් නොව එඬේර ජීවිත ගතකල පිරිස් අතරත් සිරිත් හා සම්ප්‍රදා  වර්ධනය විය. අතීත සමාජ පාලනයවූයේ, සංවිධානයවූයේ, ඒ මඟින්ය. ලංකාවේ රජවරුන් විසින් පැණවූ විධාන ශිලාලිපි වල සටහන්ය. අශෝක අධිරාජයාගේ ශිලාලිපි බෞද්ධ මධ්‍යම ප්‍රතිපදාවට අනුකූලව හා අවිහිංසාවාදී වුවත් බ්‍රාහ්මණ හින්දු බලය ඉදිරියේ ඒවා වැඩිකල් පැවතියේ නැත. ගම-වැව-දාගැබ යන ත්‍රිත්වය මත ගොඩ නැඟුණ ලංකාවේ වාරි සමාජය එක රටක් ලෙස බැඳුනේ පරම්පරානුගත යුතුකම් හා වගකීම් සම්ප්‍රදා මඟින්ය. 1551 දී ධර්මපාල කතෝලික රජු වීමත් සමඟ ඉවක් බවක් නැතිව යුරෝපයේ ක්‍රම ලංකාවට පැටවීමේ අවුරුදු 500 යුගය ආරම්භ විය.  ක්‍රිස්තියානිකරණය හා බද්ධවූ මෙමනීති, කසාද රෙජිස්ටර්, උපත් රෙජිස්ටර් වශයෙන් සමාජයට රිංගුවේය.

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු ක්‍රමය දැනටත් සම්ප්‍රදා අනුව දුවවන යාන්ත්‍රණයකි. මෙහි ඇති සමහර ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ ඉන්දියාවේ බෞද්ධ සංඝ සමාජයේ තිබූ බව සාමි පෙන්වා දී තිබේ (The legacy of India, edited by G. T. Garratt; with an introduction by the Marquess of Zetland, 1937). ඇමෙරිකාවේ නිව්යෝර්ක් ප්‍රදේශයේ නේටිව් ඉන්ඩියන් ට්‍රයිබ්ස් වල තිබූ පාලන මූලධර්ම කොපිකරණ ලෙස එකමුතුවක් නැති  ඇමෙරිකන් ජනපද 13 ට බෙන්ජමින් ෆ්‍රෑන්ක්ලින් විසින්  උපදෙස් දුන්නේය. මෙම ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම පසුව යුරෝප රටවල දාර්ශකයින් විසින් ප්‍රචලිත කරණ ලදී. (Lies my teacher told me, James W. Loewen 1995). අඩුතරමින් ලංකාවේ සරසවි සිසුන්ටවත් මේ ඉතිහාස කතාව මතක් කර  දිය යුතුය.

නීතිය කියන්නේ මොකක්ද?

යම් නිවසක රෙපයාර් වැඩකට එන ඉලෙක්ට්‍රිෂියන්ට හෝ ප්ලම්බර්ට ගෙහිමියා වියදම අඩුවන ආකාරයේ යම් යෝජනාවක් කලොත් ඔහු කියන්නේ ඒ යෝජනාව නීතියට පටහැනිය කියාය. යම් පංචස් කන්ධයක උපතට පෙර සිට මරණයෙන් පසුව දක්වාම නීතිය බලපාන්නේය. ඔහුගේ/ඇගේ නිදන කාමරයේ සිට කන්තෝරුවේ බෝඩ් රූම් එක දක්වා සියළු හැසිරීම්ද නීතියට යටත්ය. යම් නීතියෙන් තහනම් කර ඇති ලිංගික ක්‍රියා එලිවෙන්නේ දික්කසාද නඩුවලදී උසාවියේ ශක්ෂි දෙද්දීය. ඇලෝසියස්ලාගේ, රනිල්, රවි කරුණානායකලාගේ නීතිවිරෝධී මහබැංකු මංකොල්ලය අල්ලා ගත්තේ ඩිව් ගුණසේකරගේ කෝප් කමිටුවෙන්ය. නැත්නම් එය යට යන්නේය. සිරිල් ගාමිණී නම් කතෝලික පියතුමාට  සීඅයිඩියට බඩගාන්නට සිදුවී තිබෙන්නේ නීතියේ සීමාව ඉක්මවා කතාකල නිසා නොව, සිය හැසිරීම පැහැදිලි කිරීමට ඔහු නීතියෙන් බැඳී සිටින නිසාය. එය ඔහු කොටිවලිගයක් අල්ලගත්තා වැනිය. දියවන්නා හෝටලයේ මන්ත්‍රීලා නීති විරෝධී කතාකරන්නේ දැනට ඇති නීති අනුව නීතියේ රැහැණට ඔවුන්ගේ හැසිරීම අසු නොවන නිසාය. මෙසේ මන්ත්‍රී පරාණවලට  වගකීම් රහිතව හැසිරීමට ඉඩ නොදීම රටේ හැමෝටම එක නීතියක් බලපානවා යයි  පිළිගැනීමකි. මේ අය සීඅයිඩීයේදී අසරණවී වරද පිළිගනී. එහෙත් ඔවුන්ට දඩයක්, දඬුවමක් නියම නොවේ.

නීතිය කියන්නේ කුමක්ද යන්න ගැන ඇති අදහස් අතරින් වඩාත්ම ප්‍රචලිත, එය ආණ්ඩු විසින් සමාජය පාලනය කිරීමට යොදාගන්නා මෙවලමක් යනුය (law is governmental social control). මෙහිදී රජය, ආණ්ඩුව, ප්‍රතිපත්තිය යන වචන තුන වැදගත්ය (state, government in power, public policy). යටහ් විජිතයකදී නම් රජය හා ආණ්ඩුව  යන ආයතන දෙකම එකය. සුද්දගෙ ආණ්ඩුව සුද්දගෙ රජයය. නඩුත්, බඩුත් දෙකම ඔහුටය.  නිදහස් රටකදී රජය, තට්ටුමාරු ක්‍රමයට මාරුවෙන් මාරුවට තාවකාලිකව බලයට එන හා යන, පක්ෂ දේශපාලන ආණ්ඩුවට වඩා වෙනස්ය. රටක රජය යනු යම් ප්‍රතිපත්ති සමූදායයන්ගෙන් සමන්විත අඛන්ඩ සංස්ථාවකි.

කාලයක් පුරා එකතුවූ පොදු ප්‍රතිපත්ති රජයේ නීති බවට පෙරලේ. මෙම නීති රටක ජනතාව විසින් අනුමතකල ඓතිහාසික පදනමය. කාලානුරූපව ඒවා ඉවත්කිරීම හෝ නවීකරණය කිරීම නියම වශයෙන් නම් මහජන අනුමැතිය ලබාගෙන සිදුවිය යුතුය. වරින් වර ආණ්ඩු බලය ලබාගන්නා පිරිස් ඓතිහාසික රාජ්‍ය ප්‍රතිපත්ති/නීති රාමුව තුල ක්‍රියාකල යුතුය. යම් රාජ්‍යයක් යම් පැරඩයිම්  මත   හැඩගැසෙන්නේ ආණ්ඩුව නමැති ඒකකයේ මැදිහත් වීමෙනි. උදාරණයක් වශයෙන් ‘පෝලිම් යුගයෙන්’ ගැලවීම සඳහා ජේආර් විසින් 1978 දී ‘නිදහස් වෙළඳපොල’ නම් පැරඩයිම් එක ගෙනාවේය. ආණ්ඩුවේ ප්‍රතිපත්තිය ක්‍රමයෙන් රජයේ නීතිය විය. ඉන් පසු ආ ආණ්ඩු මෙම රජයේ නීතියට කොටුවිය.

ඓතිහාසිකව ලෝකය පුරා පැවති සම්මුති ආණ්ඩුක්‍රමය වෙනුවට (අප්‍රිකාවේ, ඇමෙරිකාවේ ට්‍රයිබල් කවුන්සිල්, ලංකාවේ ගම් සභා, ඉන්දියාවේ පංචයාත් සභා), එංගලන්තයෙන් හදුන්වාදුන් නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය යටතේ ආණ්ඩු බලය බලය අල්ලා ගන්නා සුළු පිරිසකට රාජ්‍ය බලය ග්‍රහණය කරගත හැකි විය. මේ මඟින් සමාජය පාලනය කිරීමට ආණ්ඩුවට (පාලක පන්තියකට) ඉඩ ලැබුණි. රජය නමැති ජනතා පරමාධිපත්‍යය, ආණ්ඩුව නමැති සුළු පිරිසකගේ වාසිය, පැවැත්ම සඳහා යොදාගන්නා ආයුධයක්  බවට පත්වීම ලෝකයේ නියෝජිත ප්‍රජා තන්ත්‍ර (නාස් ලණූ) වාදය පවතින හැම රටකම පොදු ලක්ෂණයය. මෙය 2021 දී ඇමෙරිකාවටත්, එංගලන්තයටත්, ඉන්දියාවට හෝ ලංකාවටත් අදාල සංසිද්ධියකි.

සුද්දට විරුද්ධව සටන් කලේ සිංහලයා පමණය

එක රටක්-එක නීතියක් යන වෘත්තාන්තය තේරුම් ගත යුතු,  නිසි ආකාරයට තේරුම් ගත හැක්කේ, මෙවැනි පසුබිම් දැණුමකින් පසුවය. මෙය ජනාධිපති ගෝඨාභයගේ-ඥානසාර හිමිගේ සුදුසුකම්-අඩුපාඩු පිළිඹඳ ප්‍රශ්ණයක් නොවේ. ඒ පංචස්කන්ධ දෙක ඉණිමං දෙකක් පමණය. ඔවුන් නැත්නම් වෙනත් දෙන්නෙක් ඉක්මණින් හෝ ප්‍රමාදව හෝ මේ පුණ්‍ය කර්මයට කරගැසිය යුතු වන්නේය. 1815 න් පසුව ලංකා කොලනියේ තිබෙන්නේ සුද්දා විසින් තමන්ගේ වාසිය සඳහා ගෙනා නීතිය. රට සූරාකෑම ඔවුන්ගේ ප්‍රතිපත්තිය විය. ඒ සඳහා බෙදා පාලනය එලිපිටින් හා දිය යටින් ශූක්ෂම ලෙස යොදාගත්තේ නොයෙක් නීති හරහාය. ලංකා ඉංග්‍රීසි කොලනියේ ඉතිහාස කතාව සුද්දා හා පන්සල අතර ඇතිවූ නොනවතින අරගලයේ වාර්තාවය. 1948 න් පසු එය සුද්දාගෙන් කළුසුද්දාට මාරුවිය. 1798 දී නෝත් ආණ්ඩුකාරයාගේ සිටම සුද්දාගේ අභිප්‍රායවූයේ පන්සල විනාශකර දැමීමය. මලබාර් ඉන්හැබිටන්ට්ලාටත්, මුස්ලිම්, බර්ගර්, මැලේ, ක්‍රිස්තියානි ජනකොටස් වලටත් වාසි වෙන අකාරයේත් බෞද්ධයාට හානිවන ආකාරයේත් නීති පැනවීම සුද්දා විසින් දිගටම කරගෙන ගියේය. 1948 දී සුද්දා ගියේ 29 වෙනි වගන්තිය මඟින් සිංහලයා කොටුකර තබන්නට සිංහල කළුසුද්දන් එකඟකරවා ගෙනය. බලය ලබා ගැනීමේ කෑදරකම නිසා ජාතිය අසාධාරණ ලෙස පාවා දීමට සූදානම්වූ මොවුන් ජාතියේ පියවරු විය. එක්සත් ජාතික පක්ෂය  යනු එක්සත් මායාවක් පමණය. ද්‍රවිඩ රටක, ශාරියා රටක හොල්මන්  ඒ වනවිටත් දෘෂ්‍යමාන වෙමින් තිබුණි.

රටේ දැනට ඇති සියළුම නීති සියුම් පනාවකින් මෙන් පීරා බලා ඒවායේ ඇති සිංහලයාට හෝ වෙනත් ජනවර්ගයකට හානිකර ලෙස බලපාන කොටස්, වගන්ති, ඉවත් කිරීම මාස තුනකින් කල නොහැකිය. ඒ සඳහා වෙනම කාර්යාලයක් පිහිටුවීම මෙම බලකායේ නිර්දේශයක් වනු නොඅනුමාණය. රටේ ඒකීය භාවයට තර්ජනයක් වන දැනට සක්සුදක්සේ පැහැදිලිව පෙනෙන නීති ඉවත් කිරීම හෝ වෙනස් කිරීම සඳහා නිර්දේශ කිරීමට අවශ්‍ය නිපුණත්වය ඥානසාර හිමියන්ට ඇත. ඒ සඳහා බලකායේ සෙසු සාමාජිකයින් මතවාදීව එකඟකර ගැනීමට බෞද්ධ රාජ්‍ය පාලන ප්‍රතිපත්ති (සියළු සත්වයෝ නිදුක්, නිරෝගී-සුවපත් වෙත්වා) හා මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කරණ කොමිටියක නායකයෙකුට අපහසු නැත.

මීලඟ කොටස: එක රටක් එක නීතියක් සංකල්පය ක්‍රියාත්මක වන්නේ, නීතිය-බුදුදහම-භූගෝල විද්‍යාව යන ත්‍රිකෝණය තුලය. එයට පක්ෂ දේශපාලනයක් හෝ ජාතිවාදයක්  හෝ නැත.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress