පාඩු ලබන ආයතන ලාභ ලබන ආයතන ලෙස පරිවර්ථනය කරමින් රාජ්‍ය ආයතන 2022 වසරේ දී විශේෂ ප්‍රගතියක් අත්කර ගත යුතුයි – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා
Posted on November 26th, 2021

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

සියලු රාජ්‍ය ආයතන ලබන වසරේ දී විශේෂ ප්‍රගතියක් අත්කර ගත යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (26) දින අරලියගහ මන්දිරයේ දී අවධාරණය කළේය. 

මේ වනවිට පාඩු ලබන ආයතන ලබන වසරේ දී ලාභ ලබන ආයතන ලෙස පරිවර්ථනය කර ගැනීම කෙරෙහි ද සියලු නිලධාරීන්ගේ අවධානය යොමු විය යුතු බව ද අග්‍රාමාත්‍යතුමා ප්‍රකාශ  කළේය.

ග්‍රාමීය නිවාස සහ ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය හා අනුබද්ධ ආයතනයන්හි තෙවන කාර්තුව සඳහා වූ ප්‍රගති සමාලෝචනයට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා ලෙස එක්වෙමින් අග්‍රාමාත්‍යතුමා මේ බව සඳහන් කළේය.

ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා මෙහිදී අරමුණ පැහැදිලි කළ අතර අමාත්‍යාංශ ලේකම් සිරිනිමල් පෙරේරා මහතා දැනට ලබා ඇති සමස්ත ප්‍රගතිය සාරංශගත කොට ඉදිරිපත් කළේය.

ජාතික නිවාස සංවර්ධන අධිකාරිය, සීමාසහිත ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව, ගොඩනැගිලි දෙපාර්තමේන්තුව, රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුව, ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව, ජාතික යන්ත්‍රෝපකරණ ආයතනය සහ ඕෂන්වීව් සංවර්ධන පුද්ගලික සමාගමට අයත් ප්‍රගතිය පිළිබඳව ඒ ඒ ආයතන ප්‍රධානීහු අග්‍රාමාත්‍යතුමාට සැළකර සිටියහ.

අඩක් නිම කරන ලද නිවාස 72000න් තවදුරටත් වැඩ නිම කළ යුතු නිවාස 40723ක් සඳහා වාර්ෂිකව රුපියල් මිලියන 500 බැගින් ප්‍රතිපාදන ලබා ගැනීම, මාදුළුවාවේ සෝභිත නා හිමි ගම ඉතිරි නිවාස 31 හා අත්‍යවශ්‍ය වැඩ නිම කිරීමට රුපියල් මිලියන 112ක් ප්‍රතිපාදන ලබා ගැනීම ඇතුළු සංවර්ධන ව්‍යාපෘති මෙන්ම අමාත්‍යාංශය යටතේ ඇති ආයතන ලබා ගත් ණය මුදල් සඳහා අදාළ බැංකුවලින් යම් සහනයක් ලබා ගැනීම ඇතුළු කරුණු රැසක් මෙම හමුවේ දී අවධානයට යොමු විය.

මෙම අභියෝගාත්මක කාලයේ  වැඩ අඩපණවීමට ඉඩ නොදිය යුතු බව කී අග්‍රාමාත්‍යතුමා සාකච්ඡා මාර්ගයෙන් කඩිනම්ව අවශ්‍ය තීරණ ගෙන නීත්‍යානුකූලව අදාළ කාර්යයන් නිසි පරිදි අවසන් කිරීමට කටයුතු කළ යුතු යැයි නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

ආයතන අතර සහයෝගයෙන් කරන ව්‍යාපෘති වලදී ව්‍යාපෘති අවසන් කිරීම සඳහා සියලු ආයතන වල සහයෝගය ලබාදීම වැදගත්, වෙළඳපොලේ ටයිල් හිඟයක් ඇති වූ අවස්ථාවේ රාජ්‍ය ආයතන ක්‍රියාත්මක වූ ආකාරයෙන්ම සිමෙන්ති සහ යකඩ හිඟවීමකින් තොරව ලබාදීම කෙරෙහිත් අවධානය යොමු කරන්න” යැයි අග්‍රාමාත්‍යතුමා පැවසීය.

ඉදි කිරීම් සඳහා ආනයන කරන අමුද්‍රව්‍ය වල තත්ත්වය නිවැරදි විය යුතු බවත් නිවැරදි තත්ත්වයෙන් යුතු අමුද්‍රව්‍ය  ආනයනය කිරීමට ආනයනකරුවන්ට මඟපෙන්වීම වැදගත් බවත් අග්‍රාමාත්‍යතුමා අවධාරණය කළේය.

පසුගිය යහපාලන රජය ගෙන ගිය අදුරදර්ශී වැඩපිළිවෙළ සමඟ පාඩු ලබන තත්ත්වයට පත්ව තිබූ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව මේ වන විට ලාභ ලබන තත්ත්වය දක්වා පැමිණෙමින් තිබෙන බවත් මෙහිදී හෙළි විය.

මෙයට අමතරව යහපාලන ආණ්ඩුව අයතු ලෙස භාණ්ඩ බෙදා දීම නිසා විශාල වශයෙන් පාඩු ලබන තත්ත්වයට පත්කර තිබූ ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව විෂය භාර අමාත්‍ය අග්‍රාමාත්‍යතුමාගේත්, රාජ්‍ය අමාත්‍යතුමාගේ හා නිලධාරීන්ගේත් කැපවීම මත අද වනවිට ලාභ ලබන ආයතනයක් බවට පත්ව ඇති බව ද මෙහි දී අනාවරණය විය.

පසුගිය ආණ්ඩුව යටතේ නවතා දැමූ සංවර්ධන ව්‍යාපෘති නැවත ආරම්භ කිරීම තුළින් භාණ්ඩාගාරය මගින් වැටුප් ගෙවමින් තිබු ආයතන රැසක් මේවනවිට භාන්ඩාගාරයට බරක් නොවී ලාභ ලබමින් පවත්වාගෙන යන බව ආයතන ප්‍රධානීන් කිහිප දෙනෙක් අදහස් දක්වමින් පෙන්වා දුන්හ.

මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා, අතිරේක ලේකම් ආචාර්ය එම්.එම්.එස්.එස්.බී යාලේගම, ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් එම්.ඒ.එස්.කේ ගුණවර්ධන,  නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ආර්.දුමින්ද සිල්වා, ගොඩනැගිලි දෙපාර්ත්මේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එච්.එම් ඉස්මයිල්, රජයේ කර්මාන්ත ශාලාවේ අධ්‍යක්ෂ ජනරාල් කේ.පී වතුගේ, ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ සභාපති මහාචාර්ය එන්.ටී.එස් විජේසේකර, ඉංජිනේරු සංස්ථාවේ සභාපති ආර්. කළුපහන, යන්ත්‍රෝපකරණ ආයතනයේ සභාපති භාග්‍ය ජයතිලක, ඕෂන් වීව් සංවර්ධන පුද්ගලික සමාගමේ සභාපති මහින්ද සෙනවිරත්න, කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් හිරන්සා කළුතන්ත්‍රි, රාජ්‍ය මූල්‍ය දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් එස්.යූ. චන්ද්‍රකුමරන්, රාජ්‍ය මූල්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ඩබ්ලිව්.එච්.ඒ. විමලජීව, නිවාස හා යටිතල පහසුකම් ව්‍යාපෘති අධ්‍යක්ෂ හා නියෝජ්‍ය අධ්‍යක්ෂ  ආර්.ඒ.එම්.ඩී රාජපක්ෂ, ආර්.එස්.මදුරප්පෙරුම මහත්ම මහත්මීහු ඇතුළු රාජ්‍ය නිලධාරී පිරිසක් එක්ව සිටියහ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress