ආපදා ණය රුපියල් කෝටි 17 ක් නොගෙවීම නිසා දුම්රිය සේවකයින් දැඩි පීඩාවක. අවශ්‍ය මුදල් කඩිනමින් ලබා දෙන්න
Posted on November 30th, 2021

දුම්රිය වෘත්තීය සමිති සන්ධානය.

ලේකම්,
එස්.ආර්.ආටිගල මැතිතුමා,
මුදල් අමාත්‍යාංශය,

ආපදා ණය රුපියල් කෝටි 17 ක් නොගෙවීම නිසා දුම්රිය සේවකයින් දැඩි පීඩාවක. අවශ්‍ය මුදල් කඩිනමින් ලබා දෙන්න

ආපදාවක් වූ විට හෝ වෙනත් ණය අවශ්‍යතාවයක් වූ විට, හදීසි හා අත්‍යාවශය වියදමක් දැරීම සඳහා  රාජ්‍ය සේවකයින්ට ගෙවනු ලබන ආපදා ණය මුදල් නොගෙවීම නිසා දුම්රිය සේවකයින් දැඩි පීඩාවකට පත්ව ඇත.ආයතන සංග්‍රහයේ XXIV වන පරිච්ඡේදය 10: 1 අනුව සේවකයාගේ ඉල්ලීම මත, මාස 10 ක වැටුප් උපරිමයකට යටත්ව, ආපදවක් වෙනුවෙන් වැටුප් අත්තිකාරමක් ලබාගැනීමට සේවකයාට හැකියාව ඇත.

ගංවතුර, නායයෑම් ආදි ස්වාභාවික විපත් වලදී සහන සැලසීමට, වෛද්‍ය වියදම්, පවුලේ කෙනෙකුගේ අවමංගල්‍යකදී වියදම් පියවාගැනීමට, ගෙවල් කුලී ගෙවීමට හෝ නිවාස අළුත්වැඩියාවක් කිරීමට, මදුරු දැල් මිළදී ගැනීමට, දරුවෙකුගේ පාසල් උපකරණ, පොත්පත්, පරිගනක යන්ත්‍ර හා උපාංග මිළදී ගැනීමට ආදී අත්‍යවශ්‍ය වියදමක් දැරීමට අවශ්‍ය වූ විට, පිටස්තර ණය කරුවෙකු වීමෙන්, රාජ්‍ය සේවකයා මෙන්ම රාජ්‍ය සේවයට අගෞරවයක් වීම වැලැක්වීම සඳහා රාජ්‍ය සේවකයින්ට මෙම ණය මුදල් අනුමත කරනු ලබයි.  

එසේ අනුමත කරන ණය මුදල් කඩිනමින් ගෙවිය යුතු වුවත්, අනුමත කර වසර ගණනක් බලා සිටීමට දුම්රිය සේවකයින්ට සිදු වී ඇත. මේ ආකාරයෙන් අනුමත කර, දුම්රිය සේවකයින්ට නොගෙවා ඇති ණය මුදල මේ වනවිට රුපියල් කෝටි 17 කට අධිකය. දවසින් දවස මෙම මුදල ඉහල යන අතර, මේ හා සමාන වන මුදලක් මේ වන විට සේවකයින් ඉල්ලා තිබියදීත් ගෙවීම් නොකිරීම නිසා සේවකයින් දැඩි පීඩාවකට ලක්ව ඇත.

මේ සඳහා අවශ්‍ය මුදල් භාණ්ඩාගාරයෙන් ලබා නොදීම නිසා දුම්රිය පරිපාලනයද දැඩි අපහසුතාවයකට පත්වී  ඇත. රටේ ජනතාව පීඩාවට පත්වී සිටින ආකාරයෙන්ම, දුම්රිය සේවකයාද දැඩි පීඩාවකට පත්කර ඇති බව අවධාරණය කරන අතර, රටට බරක් වී ඇත්තේ රාජ්‍ය සේවය නොව, රාජ්‍ය සේවකයා පීඩාවට ලක් කරන මේ ආණ්ඩුව බව අවධාරණය කර සිටිමු.

දුම්රිය සේවකයින්ට මුහුණදීමට සිදුවී ඇති ආපදා තත්වය හෝ මුදල් අවශ්‍යතාව පිළිබඳ අවධානය යොමුකර, අනුමත කර ඇති ණය මුදල් සහ ඉල්ලා ඇති ණය මුදල් ගෙවීම් කිරීමට කඩිනම් ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස කරුණිකව ඉල්ලාසිටිමු.

ස්තූතියි.

මෙයට,
එස්.පී.විතානගේ
සමකැඳවුම්කරු
දුම්රිය වෘත්තීය සමිති සන්ධානය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress