ගෑස් පිපිරුම් ගැන ගම්මන්පිලගෙන් හෙලිදරවුවක්.. ‘මකැප්ටන්’ යයි ප‍්‍රබල සැකයක්..
Posted on December 2nd, 2021

උපුටා ගැන්ම ලංකා සී නිව්ස්

පෞද්ගලික බස් රථ වලට භාවිතා කෙරෙන ඩීසල් ලංගම බස් රථ වලද දුම්රිය, වෑන්, විදුලි ජනන යන්ත්‍ර, විදුලි බලාගාර සදහා ද භාවිතා වන බවත් ඒසේ තිබිය දී පෞද්ගලික බස්රථ පමණක් නතර වනුයේ ඩීසල් බාල නිසා නොව පෞද්ගලික බස් රථ හිමියන්ගෙන් විශාල පිරිසක් දිගුකලක් භූමිතෙල් සිය බස්රථ වල ඉන්ධනයක් ලෙස භාවිතා කිරීමට යාම නිසා බවත් බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කර සිටියේ ය.

බලශක්ති අමාත්‍යංශය සහ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව එක්ව සකස් කරන ලද ඛනිජ තෙල් නිෂ්පාදන පාරිභෝගිකයන්ගේ අයිතිවාසිකම් සහ වගකීම් ප්‍රකාශනය හා පැමිණිලි සහ ආරවුල් විසඳාලීමේ ක්‍රියාපටිපාටිය බලාත්මක කිරීමේ සහ ජනගත කිරීමේ උත්සවය 2021 දෙසැම්බර් මස පළමුවනදා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්විණි.

එම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් දැක්වීය.

අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ ප්‍රකාශ කර සිටියේය

අයිතිවාසිකම් පමණද ? යුතුකම් සහ වගකීම් නැතිද ?

පාරිභෝගිකයන්ගේ අයිතිවාසිකම් 19 සහ වගකීම් 11 ක් සහිත ලේඛනයක් තමයි අද අපි පාරිභෝගිකයන්ට භාර දෙන්නේ. මේක තරාදියේ දෙපැත්ත වගෙයි. අයිතිවාසිකම් කියන දේත් සමගම වගකීම් සහ යුතුකම් කියන දේත් බැඳී තිබෙනවා. මේ පිළිබඳ පළමුවෙනි දාර්ශනික දැක්ම ඉදිරිපත් කළේ බුදුරජාණන් වහන්සේ සිඟාලෝවාද සූත්‍රයේ. එහි සඳහන් වෙනවා අපේ ජීවිතයේ හමුවන සබඳතා හයක් සම්බන්ධයෙන්. අඹුසැමියන් සේවක සේව්‍යයන් ගුරුවරුන් ශිෂ්‍යයන් දරුවන් දෙමව්පියන් මේ ආදීන් සමාජයේ තිබෙන සබඳතාවලදී එකිනෙකා ඉටුකළ යුතු යුතුකම් ගැන එහි සඳහන් වෙන්නේ.

අද හැමෝම තමන්ගේ යුතුකම් ඉටු කරනවා නම් අයිතිවාසිකම් පිළිබඳ සංවාදයක් සමාජයේ ඇති වන්නට විදිහක් නෑ. හැමෝම තමන්ගේ අයිතිවාසිකම් ගැන කතා කරනවා ඒ සම්බන්ධයෙන් වෘත්තීය සමිති ද තියෙනවා. නමුත් කවුරුවත්ම ඔවුන් ඉටු කළ යුතු යුතුකම් ගැන සිහිපත් කරන්නේ නැහැ. මේ සමාජයේ අද ගැටුම් ඇතිවී තිබෙන්නේ අපි හැමෝම ඉතාම ආත්මාර්ථකාමී වාසිකම් ගැන පමණක් අවධානය යොමු කරන නිසා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අත්තානං උපමං කත්වා හැම විටම තමන් අනුන් තැන්හි තබා සිතන්න. අඹුසැමි සබඳතාවලදීත් එහෙමයි. මොහොතකට බිරිඳගේ සපත්තු දෙකට බැහැලා බිරිඳගේ පැත්තෙන් බලනවා නම් ඔය කේන්ති යන ඒවා රණ්ඩු වෙනවා අඬදබර වේවා නතර කරගන්නත් පුළුවන්. අවාසනාවට අපි තාම අපේ හිත් ඒ් තැනට දියුණු කරගෙන නැහැ. හරිම ආත්මාර්ථකාමී නිසා තමයි අයිතිවාසිකම් පිළිබඳව සමාජයේ මහා කලබලයත් තියෙන්නෙ. ඒ නිසාම යුතුකම් කියන කොටස යටපත් වෙලා තියෙන්නෙ. සැබැවින්ම යුතුකම් කියන කොටස යුතුකම් පමණක් තිබුණනම් අයිතිවාසිකම් කියන සංවාදය ඇති වන්නේම නැහැ.

ඉන්ධන ක්ෂේත්‍රයේ නියාමනයේ වැදගත්කම

ඉන්ධන ක්ෂේත්‍රයේ නියාමනය අතිශයින්ම වැදගත් වෙලා තියෙනවා කාරණා කීපයක් නිසාම. එක පැත්තකින් ඉන්ධන කියන්නේ ඉහළ මිලක් ගෙවා ලබාගතයුතු භාණ්ඩයක්. ඒ නිසා අපි ගෙවන මිලට සරිලන ප්‍රමිතියක් තියෙනවද කියලා තහවුරු කරගැනීමට මේ රටේ සෑම පාරිභෝගිකයෙකුට ම අයිතිවාසිකමක් තියෙනවා. මේ විතරක් නෙවෙයි මේ මිලදී ගන්නා ඉන්ධන යොදා ගන්නේ ඊටත් වඩා මිල අධික මිලියන ගණනින් කතා කරන වාහන යන්ත්‍ර සූත්‍ර වල භාවිතයට. ඉන්ධන වලට වැය කරන මුදල අපට අමතක කරන්න පුළුවන් උනත් නිවැරදි ප්‍රමිතියේ ඉන්ධන නොලැබුණොත් විනාශ වෙන්නේ රුපියල් මිලියන ගණනක් වටිනවා වාහනයක් යන්ත්‍රසූතුයක් වන්නට පුළුවන්. ඉන්ධන දහනය පරිසරයටත් සෞඛ්‍යයටත් බලපෑම් එල්ල කරනවා. මෙන්න මේ කාරණා නිසා තමයි අපට ඉන්ධන සම්බන්ධයෙන් දැඩි නියාමනයක් අවශ්‍ය වන්නේ.

ලෝකයේ සෑම රටක ම දැඩි ලෙස නියාමනයට ලක් වූ කර්මාන්තයක් තමයි ඉන්දධන ආශ්‍රිත කර්මාන්ත. නමුත් අවාසනාවකට මෙරට නීතිමය වශයෙන් බලාත්මක කෙරෙන එවැනි නියාමනයක් නැහැ. බලශක්ති අමාත්‍යාංශය වාර්ෂිකව ලිහිසි තෙල් වලට ග්‍රීස් වලට අනිකුත් ඉන්ධන වර්ග වලට බලපත්‍ර නිකුත් කරලා ගාස්තුවක් අය කර ගන්නවා. නමුත් බලපත්‍රය ලබා ගත් ආයතනය නිසි ප්‍රමිතියෙන් භාණ්ඩය ගෙන එනවද එයින් පරිසරයට සෞඛ්‍යයට බලපෑමක් එල්ල කරනවා ද භාවිතා කරන යන්ත්‍ර සූත්‍ර වලට හානියක් සිදු වෙනවාද කියලා පසු විපරම් ක්‍රියාවලියක් ඇත්තේම නෑ. ඒ නිසා මා හිතනවා මහජන උපයෝගීතා කොමිසම මෙම ඉන්ධන පාරිභෝගිකයන්ගේ අයිතිවාසිකම් හා යුතුකම් පිළිබදව ප්‍රකාශනයක් එළිදක්වන්න කටයුතු කිරීම ඉතාම කාලෝචිත පියවරක් විදිහට.

මෙම ක්ෂේත්‍රයේ නියාමනය කිරීම සඳහා අවශ්‍ය අණ පනත් සංශෝධනය කිරීම සඳහා මම අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කළා. අවාසනාවට මේ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව තවමත් අනුමත වී නැහැ. ලෝකය පුරා දැඩි නියාමනයට ලක් වී ඇති මෙම ක්ෂේත්‍රයේ ඇයි ලංකාවේ විතරක් නියාමනයට ලක් වී නැත්තේ. ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට තමයි ගෑස්ද, පෙට්‍රල් ඩීසල් ද, ලිහිසි තෙල් සහ තාර ද, නැව් තෙල් යනාදී වශයෙන් මේ හා සම්බන්ධ සමස්ත ඒකාධිකාරය තිබුනේ. එම ආයතනය අමාත්‍යාංශයේ නියාමනයට සහ අධීක්ෂණයට යටත්වන නිසා නියාමන ක්‍රියාවලියක නියාමන ආයතනයක නීතිමය යාන්ත්‍රණයක අවශ්‍යතාවයක් පැවතුණේ නැහැ.

නමුත් වරින් වර මෙය පෞද්ගලීකරණය ආරම්භ වුණා. අලාභ ලබන ව්‍යාපාර සංස්ථාවට ඉතුරු කරලා ලාභ ලබන ව්‍යාපාර පෞද්ගලීකරණය තමයි මෑත කාලයේ සිද්ධ වුණේ. ඒ නිසා අද නැව් තෙල් ලිහිසි තෙල් ග්‍රීස් වැනි ක්ෂේත්‍රවල තරගකාරීව ආයතන ගණනාවක් ඉන්නවා. පෙට්‍රල් සහ ඩීසල් අංශවල ආයතන දෙකක් ඉන්නවා. ඒ නිසා අද මේ ක්ෂේත්‍රවල නියාමනය අත්‍යවශ්‍ය කාර්යයක් බවට පත්ව තියෙනවා.

පෞද්ගලික බස්වලට බාල ඩීසල් දෙනවා ද?

නියාමනය නැති නිසා සමහර විට අනිසි චෝදනාවලට ද ලක් වෙනවා. බස් රථ හිමියන්ගේ සංගමයක සභාපතිවරයෙක් සඳහන් කරලා තිබුනා විදේශ විනිමය හිඟයකට රට මුහුණ පා තිබෙන නිසා අද අපේ රටට ආනයනය කරන්නේ බාල ඩීසල්. එම බාල ඩීසල් භාවිතා කිරීමෙන් ඔවුන්ගේ බස්රථ එන්ජිම මග නතර වීමට පටන් ගෙන තියෙනවා. අප මේ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැමිණිලි කරනවා කියලා. පෞද්ගලික බස් රථ වලට භාවිතා කරන ඩීසල් ම තමයි ලංගම බස් රථ වලද භාවිතා වෙන්නේ. දුම්රිය වෑන් විදුලි ජනන යන්ත්‍ර විදුලි බලාගාර වලට භාවිතා වන්නේ. එහෙම නම් පුද්ගලික බස් රථ එන්ජින් පමණක් නතර වෙන්නෙ කොහොමද ?

බස්රථ සංගම් වලම සංඛ්‍යා ලේඛන වලට අනුව පෞද්ගලික බස් රථ ක්ෂේත්රයේ බස්රථවලින් 25% ක් පමණ ඩීසල් වෙනුවට භූමිතෙල් භාවිතා කරනවා. භූමිතෙල් ලීටරයක් රුපියල් හැත්තෑ හතයි. ඩීසල් ලීටරය රුපියල් 111 යි. මේ තියන මිල පරතරය නිසා බස්රථ විශාල වශයෙන් භූමිතෙල් භාවිතා කරනවා. ඇතැමුන් භූමිතෙල් මිශ්‍ර කරලා භාවිතා කරනවා. තවත් සමහර අය පිරිසුදු භූමිතෙල් භාවිතා කරනවා. දීර්ඝ කාලයක් මෙලෙස භූමිතෙල් භාවිතා කරමින් ඒංජිම දිව්වාම එය නරක් වෙනවා කියන එක අමුතුවෙන් සාකච්ඡා කළ යුතු කාරණාවක් නෙවෙයි. පැමිණිලි ඉදිරිපත් කරලා ඒවා විසඳීමේ යාන්ත්‍රයක් දැන් තියනවා. ඒ නිසා කාටවත් දැන් තැන තැන මාධ්‍ය ඉදිරියේ බොරු කියන්න බැහැ.

ගෑස් පිපිරුම් ගැන තවත් අනුමානයක්

මේ දිනවල තව තියෙන ප්‍රශ්නයක් තමයි ගෑස් පිලිබඳ ප්‍රශ්නය. ගෑස් වර්ග ගොඩක් තියෙනව. අප මෙතන කතා කරන්නේ ඒල්පීජී වායුව ගැනයි. ගෑස් ටැංකි පුපුරා යනවා යැයි මේ දිනවල ලොකු ආන්දෝලනයක් තියෙනවා. ඉතා පැහැදිලිව කියන්නට ඕනි ගෑස් ටැංකි පුපුරා යාමක් නොවෙයි සිදුවෙලා තියෙන්නේ. ගෑස් වලින් සිදුවන පුපුරා යෑම තමයි සිදු වෙලා තියෙන්නේ. තියෙන ආරක්ෂිත ක්‍රම වේදය අනුව ගෑස් ටැංකිය පුපුරන්නෙ නෑ. මොකක්ද මේ වෙන්නේ.

රසායනික විද්‍යාඥයෙක් වන මහාචාර්ය ජයතිලක මහතා මේ පිළිබඳව හොඳ අනුමානයක් ඉදිරිපත් කළා. ගෙවල් වල ගෑස් කාන්දුවකින් ගෑස් ගඳක් ආවොත් ගිනිකූර ගහන්න එපා දොරවල් අරින්න ජනෙල් අරින්න ගෑස් එක ඉවතට ගෙනියන්න කියලා කියනවා.

නමුත් ගෑස් වල එහෙම ගඳක් නැහැ. මකැප්ටන් කියන රසායනික ද්‍රව්‍ය ගෑස් වලට එකතු කරනවා ගඳ ඇති වන්න. ආරක්ෂාකාරී පියවරක් විදියට. එවිට ගෑස් එක කාන්දු වෙනවා කියන ගෑස් ගන්ධයෙන් අපේ නහයට දැනෙන්නේ ගෑස් නිසා නොවේ. ගෑස් වලට මෙම මකැප්ටන් එකතු කරලා තියෙන නිසයි. මහාචාර්යතුමා අනුමානයක් ඉදිරිපත් කළා මෙම මකැප්ටන් නොදා හෝ ප්‍රමාණවත් ලෙස දමා නොමැති නම් ගෑස් කාන්දුවක් වුණත් ගෑස් කාන්දු වෙනවා කියන එක අප කවුරුවත් දන්නේ නැහැ. එවිට සුපුරුදු පරිදි ගිහිල්ලා ගිනිකූරක් ගැහුවොත් ලිප පත්තු කරන්න ගෑස් උදුන පත්තු කලොත් දුම්වැටියක් දල්වා ගත්තොත් පිපිරීමක් ඇතිවෙනවා ගෑස් හේතුවෙන්.

2016 විතර මට මතකයි පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ මැතිනියත් ගෑස් පිපිරීමකින් බරපතළ තුවාල ලැබුවා. හේතුව ගෑස් කාන්දුවක් තිබිලත් ගෑස් ගඳක් දැනිලා නැහැ. පහනක් දල්වන්න ගිනි පෙට්ටිය ගැහුවහම ගිනි ගැනීමක් ඇති වුණා. දීර්ඝ වේලාවක් ගෑස් කාන්දු වී තිබුණ ද ඇයට ගඳක් ඇවිල්ලා නැහැ. එහෙමනම් මේ ගෑස් වල අඩංගු විය යුතු මකැප්ටන් රසායනිකය ප්‍රමාණවත්ව අඩංගු නොවීම හෝ කිසිසේත් අඩංගු නොවීම සිදුවෙලා තියෙනවාද ?

ශ්‍රී ලංකාවේ එල්පීජී ප්‍රමිතිය ?

ශ්‍රී ලංකාවේ එල්පීජී පිළිබඳ පරීක්ෂණ කිරීමට ප්‍රතීනනය කරපු රසායනාගාරයක් නැහැ. ලාෆ්ස් සමාගමට අයිති රසායනාගාරයක සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයිති රසායනාගාරයක ගෑස් ගැන පරීක්ෂණ කළ හැකියි. නමුත් ඒවා හදලා තියෙන්නේ ඔවුන්ගේ අභ්‍යන්තර අවශ්‍යතාවයන් සඳහායි. ඒ නිසා ඒක පිළිගැනීමට ලක් කර ගැනීමේ අවශ්‍යතාවයක් වත් කවදාවත් ඇති වුණේ නැහැ. නමුත් මෙතනින් පරීක්ෂණ වාර්තා ඉල්ලද්දි තමයි ප්‍රශ්න මතුවන්නේ.

ඒ වගේම මකැප්ටන් අඩංගුද නැද්ද නිසි ප්‍රමිතියට තිබේදැයි බලන්න ඇමරිකානු ක්‍රමවේදයත් තියෙනවා. අත් බෙහෙත් වලින් මෙය තිබේදැයි බලන්න හැකියාව තිබුණත් එම ඇමරිකානු ක්‍රමවේදය අනුගමනය කිරීම සඳහා පහසුකම් අප ගාව නැහැ. එවැනි අවශ්‍යතාවයක් කවදාවත් ඇතිවෙලා නොතිබුණු නිසා. ඒ නිසාම මෙම ගෑස් ක්ෂේත්‍රය අනිකුත් ඉන්ධන වලටත් වඩා මේ මොහොතේ වඩාත් වැදගත් වෙලා තියෙනවා නියාමනය කිරීම.

අපේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ කතා කරමින් කියනවා මෙම ගෑස් වල ප්‍රොපේන් 30% ක් සහ බියුටේන් 70% තියෙන්නට ඕනෑ. නමුත් දෙකම 50% බැගින් තමයි ගෑස් සිලින්ඩරයේ තියෙන්නෙ. ඒ නිසයි මේක පුපුරන්නේ කියලා. එවැනි නීතියක් හෝ නියාමනයක් තියෙනවා දැයි කියා මා සොයා බැලුවා. නමුත් එහෙම නීතියක් නැහැ. දැනට නියාමනයකට තියෙන්නේ පීඩනය සම්බන්ධයෙන් පමණි. මකැප්ටන් දාන්න ඕනේ කියලා කොහෙවත් සඳහන් කරලා නෑ. ප්‍රොපේන් සහ බියුටේන් ප්‍රතිෂත ගැන කොහෙවත් සඳහන් කරලා නෑ. ආරක්ෂාකාරී උපකරණ සම්බන්ධයෙන් ගෑස් සිලින්ඩරයේ සඳහන් කළ යුතු තොරතුරු සම්බන්ධයෙන් කොතනකවත් නියාමනයක් නැහැ. ඒ නිසා අද අපේ රටේ පාරිභෝගිකයෝ බියෙන් පෙළෙනවා. මෙතෙක් කලක් අප බයෙන් සිටියේ අපට හොරෙන් අනුන් ඇවිල්ලා තියන බෝම්බ වලට. නමුත් දැන් ගෙදර තියෙන ගෑස් සිලින්ඩරය සියදිවි හානි කර ගැනීම සඳහා සල්ලි දීල ගෙදරට අරන් ගිය බෝම්බයක් බවට පත්වී තියෙනවා.

මේ බය නැති කළ හැක්කේ ඇත්ත හොයලා ඒය ප්‍රසිද්ධ කරලා එම හේතුව මගහැර ගැනීම සඳහා ක්‍රමවේදයක් සැකසීමෙන් ම පමණයි. ඒ නිසා බලශක්ති ක්ෂේත්‍රය නියාමනය කිරීමේ වගකීම පවතින මහජන උපයෝගිතා කොමිසම කඩිනම් පියවර ගනු ඇතැයි අප විශ්වාස කරනවා. ඒ සඳහා අපෙනුත් ලබාදිය යුතු යම් සහයෝගයක් වේ නම් ඕනෑම අවස්ථාවක ඒය ලබාදීමට අප සූදානම්. බලශක්ති ක්ෂේත්‍රයේ දී අපි හැමදාමත් ඉතා සුහද සබඳතාවක් පවත්වා ගනිමින් මහජන උපයෝගීතා කොමිසම සමග කටයුතු කරලා තියෙනවා.

බලශක්ති අමාත්‍යාංශය සහ ඊට අනුබද්ධ ආයතන වල නිලධාරීන් හා සභාපතිවරුන්ද ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ නිලධාරීන් ද මෙම අවස්ථාව සඳහා සහභාගී විය.

– media unit

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2022 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress