ආණ්ඩුව දොසෙන් බේරෙන්න රසායනික පොහොර ගේන්න කියලා කිව්වත් කොහොමද ගේන්නේ? කවුද ගේන්නේ?
Posted on December 19th, 2021

තිසර සමල් – අනුරාධපුර

ආණ්ඩුව දොසෙන් බේරෙන්න රසායනික පොහොර ගේන්න කියලා කිව්වත් කොහොමද ගේන්නේ? කවුද ගේන්නේ?  ගේන්න සල්ලි ටික කෝ,දැන් අපි කාට බැන්නත් වැඩක් තියෙනවාද,අපිට රසායනික පොහොර හම්බෙන්නෙත් නෑ, කාබනික පොහොර හම්බෙන්නෙත් නෑ, පැලේට හයියක් එන්නෙත් නෑ. දැන් ප්‍රශ්නය තියෙන්නේ පුද්ගලික අංශයටත් රසායනික පොහොර ගේන්න සල්ලි නෑ, ඒ ගොල්ලන්ට අවසර දීලා තිබුණට ගේන්න පුලුවන්කමක් නෑ.ආණ්ඩුවක් විදිහට අපිට  නෑ මේක පුද්ගලික අංශයට දුන්නා කියලා නිකං ඉන්නත් බෑ, අපිට වගකීමක් තියෙනවානේ ගොවිමහත්වරුන්ගේ ගොවිතැනට අපි කොහොමද දායක වෙන්නේ කියන එක පිළිබඳව.යූරියා ටොන් එකක් ඉස්සර වුණේ ඩොලර් 300 ක් විතර, හැබැයි දැන් මේ වෙන කොට ඩොලර් 1250 යි,ඒ කියන්නේ කී ගුණයක් වැඩි වෙලාද, රුපියල් 12000 ක් වත් වෙයි යූරියා මිටියක්. 12 000 ට යූරියා දාලා වගාවක් කරලා වී කිලෝ එක කීයට දෙන්නද? යැයි රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා පැවසීය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ, අනුරාධපුර මහවිලච්චිය ප්‍රදේශයේ ගොවි නියෝජිතයන් සමඟ පැවති සාකච්ජාවකදීය.

එහිදී ගොවීන් කියා සිටියේ,

තෙල් පොහොර නැතිව අපි වගා කළා, තෙල් පොහොර නැතිව හැදෙන්නේ නෑ, පැළ වුණා, කොළ දෙක-තුන ආවා කහ වුණා එහෙම්ම වගාව ඉවරයි.ආයේ ඒක ගැන කථා කරන්න දෙයක් ගොවියට ඉතුරු වෙලා නෑ වගාව සම්බන්ධයෙන්.කාබනික දියර දෙනවා කිව්වා ඒ මුකුත්ම නෑ,ඒ දීපු ඒවත් ආසාර්ථක වෙලා මාධ්‍යයෙන් පෙන්නවා, මිනිස්සු ආපහු ගිහිල්ලා දෙනවා, ඒවායේ ප්‍රමිතිය සම්බන්ධයෙන් අපි මාධ්‍යයෙන් දකිනවා.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් අපිට කාබනික දියර පොහොර දීලා ගැහුවා, මොනවත්ම නෑ, ගොයම් ගහ තියෙනවා කූර වාගේ, දැන් පූදින්න ඔන්න මෙන්න. මාස 02 ට පූදිනවානේ ගොයම්, අද උදෙත් වෙල හැම තැනම ඇවිදලා බැලුවා කිසිම සරුවක් නෑ, එකම ගහ තියෙන්නේ, පඳුරු ගැහිලක් නෑ, වෙච්ච දෙයක් නෑ.අක්කරයට දියර පොහොර ලීටර 04 බූලියක් දුන්නා , ඒ ලීටර 04 ම ගැහුවා.මොනවත් නෑ, එහෙම්මම තියෙනවා.කොළපාට වෙන්නෙවත්, රතු පාට වෙන්නෙවත් මොකක්වත් නෑ, ඇගේ ටිකක් ගඳ ගහනවා.ඒවා තනියම ගිහින් ගහන්නත් බෑ,ඇඟටත් එකක් වෙනවා.අමුතු සැරක් තියෙන්නේ ඒකේ.ඒක ගහලා අත් දෙක පස් පාරක් හේදුවත් ඒ ගඳ යන්නේ නෑ.පුදුම ගඳක් තනිකර අර මිනී කුණු වුණා වගේ, ඒ තරම් කුයිලයි ඒක.

රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා එහිදී ගොවීන්ගෙන් විමසා සිටියේ   ඒ කියන්නේ දියර පොහොර එක අසාර්ථකයි කියලාද? යනුවෙනි.

එවිට ගොවීන් අසාර්ථකයි යැයි පැවසීය. වැඩිදුරටත් අදහස් දැක්වූ ගොවීන් කියා සිටියේ,

ස්වයං පෝෂිතයි කියන්න තියෙන්නේ දිළිදුකමින්,වෙන නම් කියන්න පැත්තක් ඇත්තේම නෑ අපිට,මේ වෙද්දී ගොවියෝ ඉතාම අසරණ තත්වයක ඉන්නේ, කුඹුරක් සී සාන්න අක්කරයකට රුපියල් 12000 ක් යනවා. කුලියට මනුස්සයෙක් ගත්තොත් රුපියල් 2000 යි.ගොවියට ස්ථිරවම නිෂ්චිත වශයෙන්ම මේකෙන් ආදායමක් ලැබෙයි කියලා බලාපොරොත්තුවක් ඇත්තෙම නෑ.ඒ නිසා බැගෑපත්ව ඉල්ලා සිටින්නේ මේ රසායනික පොහොර ටික කොහොම හරි ලබා දෙන්න.මිල කොච්චර වුණත් කියලා කියන්න බෑ, ඇත්තටම ගොවියෝ අසරණ වෙලා ඉන්නේ. රුපියල් 5000 කට හරි කමක් නෑ, රසායනික පොහොර ටික මේ අවස්ථාවේ ගොවියට ලබා දුන්නොත් ඇත්තටම අපේ දරුවෝ ටික හරි මේ වෙලාවේ ජීවත් කරවන්න පුලුවන්.නැත්නම් රට ගැන කෙසේ වෙතත් අපේ දරුවෝවත් අපිට ජීවත් කරවන්න  බැරි තත්වයක තමයි අපි ඉන්නේ.මම මේ පාර වට්ටක්කා කලා අක්කරයක, 5500 ට පොහොර ගෙනත්, සම්පූර්ණ විනාශයි, සේරම කෑවා අලි. මාලු මිරිස් හැදුවා වතුරට යට වුණා.රුපියල් 24 000 ක ඇට,අපි රත්‍රන් බඩු, තියෙන සේරම දේවල් උකස් කරලා නැත්තටම නැති වෙලා ඉන්නේ ඇත්තම කියනවා නම්.ඔබතුමන්ලාගෙන් බැගෑපත්ව, කාරුණිකව ඉල්ලා සිටින්නේ රසායනික පොහොර ටිකයි, රසායනික බෙහෙත් ටිකයි අපිට ලබා දුන්නොත් නැවත අපිට හිටපු මට්ටමටවත් එන්න සලස්වලා දෙන්න.අපි ඉතාම අමාරු තත්වයක තමා මේ වෙන කොට ඉන්නේ.මේ සියලුම ගොවියෝ කිසි කෙනකුට කර කියා ගන්න දෙයක් නැතිව ඉන්නේ.

අද ගිහින් කුඹුරට බැහැලා උදැල්ලක් අරගෙන චුට්ටක් වැඩ කරනවා,ඉස්සරහා බලපුවාම කරගන්න බෑ.වැඩකරපුවාහම පොහොර ටිකක් ගහගන්න විදිහක් නෑ,තෙල් ටිකක් ගහගන්න විදිහක් නෑ, බිත්තර වී ඇටයක් ගන්න බෑ රුපියල් 2500-3000 කිලෝ 20 ක්, ඒ නිසා බැගෑපත්ව, කාරුණිකව ඉල්ලා සිටින්නේ මේ රසායනික පොහොර ටික ඉක්මනට මේ කඩ වලට හරි, දාන මිලකට දාලා අපිට ලබා දෙන්න.අපිට මේ දරු පැටව් ටිකත් ජීවත් කර ගෙන ජීවත් වෙන්න යැයි පැවසීය.

අනතුරුව අදහස් දැක්වූ රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා,

කාබනික වගාවට ගොවිමහත්වරුත් විරුද්ධ ඔබතුමාලාගේ මුලු අනාගතයම තියෙන්නේ තමන් කරන වගාවත් එක්කනේ, ඒ වගාවෙන් ආදායමක් නැති වුණොත්, දැන් අපි හැමෝටම තියෙන ප්‍රශ්නය අවුරුදු කන්නේ කොහොමද කියන එකනේ,හැමෝම බලාපොරොත්තු වෙනවා තමන් කරන වගාවෙන් හොඳ අස්වැන්නක්,ඒ අස්වැන්න ලබා ගන්න පුලුවන් රසායනික පොහොර වේවා, කාබනික පොහොර වේවා, මොකක් හරි දෙන එකක් අපිට තියෙන්න එපැයි ගන්න.රසායනික හොඳ නෑ කියනවා නම් , කාබනික තියෙන්න ඕන,හැබැයි කාබනික එකෙන් අපි බලාපොරොත්තු වෙන අස්වැන්නත් ලැබෙන්න ඕන, ඕකනේ ගොවිමහත්වරු ඉල්ලන්නේ,ඒ නිසා ආණ්ඩුව අර කලින් ගත්ත තීන්දුව වෙනස් කළා,ආණ්ඩුවේ ප්‍රථිපත්තිය කාබනික පොහොර ප්‍රචලිත කිරීම, හැබැයි පුද්ගලික අංශයට ඕන තරම් රසායනික පොහොර ගේන්න පුලුවන්,හැබැයි දැන් ප්‍රශ්නය තියෙන්නේ පුද්ගලික අංශයටත් රසායනික පොහොර ගේන්න සල්ලි නෑ, ඒ ගොල්ලන්ට අවසර දීලා තිබුණට ගේන්න පුලුවන්කමක් නෑනේ.ආණ්ඩුවක් විදිහට අපිට  නෑ මේක පුද්ගලික අංශයට දුන්නා කියලා නිකං ඉන්නත් බෑ, අපිට වගකීමක් තියෙනවානේ ගොවිමහත්වරුන්ගේ ගොවිතැනට අපි කොහොමද දායක වෙන්නේ කියන එක පිළිබඳව.

යූරියා ටොන් එකක් ඉස්සර වුණේ ඩොලර් 300 ක් විතර, හැබැයි දැන් මේ වෙන කොට ඩොලර් 1250 යි,ඒ කියන්නේ කී ගුණයක් වැඩි වෙලාද, රුපියල් 12000 ක් වත් වෙයි යූරියා මිටියක්. 12 000 ට යූරියා දාලා වගාවක් කරලා වී කිලෝ එක කීයට දෙන්නද?

එතකොට හාල් කීය වෙනවාද? ඇත්තම කථාව අපි ලොකු අර්බුධයක ඉන්නේ.ආණ්ඩුව ඔබතුමන්ලාව අර්බුධයක දැම්මා කියලා තමයි පේන්නේ, හැබැයි ඇත්ත කථාව යූරියා මිල වැඩි වුණේ ආණ්ඩුව ගත්ත තීරණත් එක්ක නෙමෙයිනේ,ඒක ලෝක ආර්ථික ආර්බුදයත් එක්ක, නිෂ්පාදනය අඩු වීමත් එක්ක, කොරෝනාත් එක්ක ආව ප්‍රශ්නයක්,හැබැයි අපි ඉල්ලගෙන ලෙඩේ දාගත්තා ආණ්ඩුව මේකට කලින් පැන්න නිසා දැන් හැමෝම හිතන්නේ ආණ්ඩුව තමයි වැරදි කාරයා කියලා.හැබැයි ඇත්ත කථාව ආණ්ඩුව නෙමෙයි වැරදිකාරයා.ආණ්ඩුවත් එක වැරදිකාරයෙක්, දැන් සම්පූර්ණ එකේ වගකීම ගන්න වෙලා තියෙනවානේ.යූරියා ගණන් වැඩි වුණේ, පොහොර ටික ගණන් වැඩි වුණේ ආණ්ඩුව ගත්ත තීන්දුවත් එක්ක නෙමෙයි.දැන් මේක මැදට පැන්න නිසා, හැමෝම දොස් කියන්නේ ආණ්ඩුවට.ආණ්ඩුව දොසෙන් බේරෙන්න රසායනික පොහොර ගේන්න කියලා කිව්වත් කොහොමද ගේන්නේ? කවුද ගේන්නේ?  ගේන්න සල්ලි ටික කෝ,දැන් අපි කාට බැන්නත් වැඩක් තියෙනවාද අපිට අතට ගානක් එන්නේ නැත්නම්, ඒ නිසයි මම යන යන හැම තැනම කියන්නේ දැන් අපි කොච්චර බැන්නත් තේරුමක් නෑ, අපිට රසායනික පොහොර හම්බෙන්නෙත් නෑ, කාබනික පොහොර හම්බෙන්නෙත් නෑ, පැලේට හයියක් එන්නෙත් නෑනේ ඒ නිසා අපි කොහොම හරි මේ තියෙන එකෙන් පොඩ්ඩක් හරි වගා කරලා ඉවර වෙලා, මේ වෙලාවේ වැටෙන එකෙන් බේරෙන්න, දැන් වැටිලා නම් ඉවරයි,මෙතනින් තව පල්ලෙහාට වැටෙන්නේ නැතිව ඉන්න එපැය යැයි පැවසීය.

එහිදී ගොවීන් කියා සිටියේ,

අපිට මුකුත්ම නෑ දැන්, බඩගින්නේ හරි ගිහින් කුඹුර කොටන්න හිතක් නෑ,රුපියල් ලක්ෂයකට වැඩිය යනවා අක්කර 03 ක් කරන්න,බැංකුවකින් ණය දෙන්නේ නෑ, රුපියල් 50 000 ක් ඉල්ලුවොත් 25000 යි දෙන්නේ. ලංකා බැංකුවෙන් මම ණය ගන්න ගිහින් අහනවා පොහොර තියෙනවාද? පොහොර නැත්නම් ණය ගන්න එපා ඈ කියනවා.කාටද මේවා කියන්නේ, අපි අක්කර 05 ක් විතර හිටවන මිනිස්සු වදින්න ඕනද රුපියල් ලක්ෂයක්, පනස්දාහක් ගන්න. 90 000 ක් ඉල්ලුවාම දෙන්නේ 40 000 යි, ඇයි මේ අපිට මෙහෙම කරන්නේ.මම මේ ඔබතුමාට කියන්නේ මේ විලච්චියේ ජනතාව පුදුමාකාර දුකක් විදින්නේ, හැබැයි අපි කෑ ගහලා, ස්ට්‍රයික් කරලා, රජය පෙරලන්න කුමන්ත්‍රණ කරන්න යන්නේ නෑ.මොනවා හරි කරලා මේ මිනිස්සුන්ට ජීවත් වෙන්න මාර්ගයක් හදලා දෙන්න.මේ කන්නයේ ලක්ෂ ගණන් ණය වෙලා පොහොර ටිකයි, තෙලුයි නැති වුණාම ඉවරයි.අඩුම ගානේ වල් තෙල් ටිකවත් නෑ,රුපියල් 2500 ට තිබ්බ ඒවා අද 5000 යි. 5000 ටවත් ගන්න නෑ, කඩේට ගියාම කඩේ අයිතිකාරයා කියන්නේ ඔයාට විතරක්  තියෙනවා,මේ ගානට දෙන්නම් කාටවත් කියන්න එපා කියනවා.හැබැයි අනෙක් එක්කෙනාටත් ඒක කියලා 2500 යේ එක 5000 ට දෙනවා.එහෙම දෙයක් මේ රටට වෙලා තියෙන්නේ, අපිට කියන්න කෙනෙක් නෑ,අපේ දුක් ගැනවිලි අහන්න කෙනෙක් නෑ,ඒ නිසා මොකක් හරි කරලා ගොවියට මේ කන්නවත් බේරගන්න අවස්ථාව දෙන්න.

ජේ.ආර් ජයවර්ධන මහත්තයා කිව්ව දෙයක් තමයි විධායක ජනාධිපති ක්‍රමයට යටතේ ගෑණියෙක්- මිනිහෙක් කරන්නයි, මිනිහෙක් – ගෑණියෙක් කරන්නයි විතරයි බැරි කියලා.එහෙම විධායක ජනාධිපතිවරයෙක් තමයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා.ආණ්ඩුවකට කරන්න බැරි දෙයක් නෑ,අපි දුප්පත් මිනිස්සු වශයෙන් ඔබතුමන්ලාගෙන් ඉල්ලන්නේ අපිට යූරියා පොහොර ටිකයි, වල්නාශක ටිකයි ගෙනත් දෙන්න.ඒක නැතිව ගොවිතැන් කරන්න බෑ,අඩුම තරමේ දෙකෙන් පංගුවකටවත්, දෙකෙන් පංගුවකට දාන්න කියන්න කාබනික.එතකොට අර දෙකෙන් පංගුවෙන් හරි අපිට මේක කරගන්න පුලුවන් වෙනවා.කාබනික පොහොර එකපාර ගෙන්ල්ලා මේ වැඩේ කරන්න බෑ,හරියන්නේ නෑ, ඒ නිසා මේකට එක පාරටම නෙමෙයි.කෙලින් වචන තියෙන්න ඕන, අපි මෙහෙම කරමු, අරෙහෙම කරමු.මේ වතාවවත් කරලා බලමු.මේක බැලුවොත් බැලුවම තමා.ඒ නිසා ගොවිතැනට රසායනික පොහොර හා රසායනික වල්නාශක,කෘමිනාශක ගෙනත් දෙන්න යැයිද ඔවුන් ඉල්ලා සිටියහ.

මෙම අවස්ථාවට මහා සංඝරත්නය හා ගොවි සංවිධාන නියෝජිතයන් සහභාගී වූහ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress