නව වසරේ එළවළු හිඟයක් ගැන තවත් අනතුරු ඇඟවීමක්
Posted on December 24th, 2021

රංජිත් රාජපක්ෂ – හැටන් මව්බිම දැන්

ලබන වසරේ මුල් කාර්තුවේ යළිත් මේ රට තුළ එළවළු හිඟයක් ඇති වන බව සමස්ත ලංකා ඒකාබද්ධ විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා පවසයි.

අද (‍දෙසැ. 24) දින මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව සඳහන් කළේ ය.

ලබන වසරේ මුල් මාසය තුළ ගොවීන්ට අවශ්‍ය රසායනික පොහොර ලබා දුන්න ද අස්වැන්න ලබා ගැනීමට මැයි, ජූනි මාස දක්වා බලා සිටීමට සිදු වනු ඇති බව ඔහු පැවසී ය.

ගොවීන්ට ලබා දෙන පොහොර වැඩි මිලට ලබා දෙනු ලැබුවහොත් යළිත් එළවළු මිල ඉහළ යාමේ අවදානමක් පවතින බව ද අරුණ ශාන්ත මහතා සඳහන් ‌කළේ ය.

ඔහු ප්‍රකාශ කළේ, පොහොර ගැටලුව සම්බන්ධයෙන් මාධ්‍යයෙන් විශාල කාර්ය භාරයක් ඉටු කළ නිසා වගකිය යුතු නිලධාරින්ගේ අවධානය යොමු වී යළිත් මේ රටේ ගොවියාට අවශ්‍ය රසායනික පොහොර, කෘමි නාශක සහ කෘෂි රසායනික ද්‍රව්‍ය ආනයනයට අවසර ලබා දෙන බවට රජය පැවසූ බව ය.

වෙනත් වසරවල නත්තල් කාලයේ නුවරඑළියෙන් එලවළු කිලෝ ග්‍රෑම් ලක්ෂ 2 ½ ක් පමණ ආර්ථික මධ්‍යස්ථාන වෙත යවන බව සභාපතිවරයා පැවසී ය.

ඔහු සඳහන් කළේ, මෙවර නත්තලට දිවයින පුරා ආර්ථික මධ්‍යස්ථාන වෙත යවා ඇත්තේ එළවළු කිලෝ ග්‍රෑම් අසූ දහසක් පමණක් බව ය.

වෙළඳපොළේ ඉල්ලුමට සරිලන එළවළු සැපයුමක් නොමැති වුවත් එළවළු මිල අඩු වීමට හේතුව වී ඇත්තේ පාරිභෝගිකයා එළවළු මිල දී නොගැනීම බව සභාපතිවරයා පැවසී ය.

පාරිභෝගිකයා ආර්ථික වශයෙන් පිඩාවට පත් වී සිටින ‌හෙයින් එළවළු මිල දී නොගන්නා බව ද ඔහු වැඩිදුරට ත් සඳහන් ‌‌කළේ ය.

 රංජිත් රාජපක්ෂ – හැටන්

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress