සිංහල බෞද්ධ සංස්කෘතියේ, සභ්‍යත්වයේ සහ රටේ දිගටම සිදුවන බිඳ වැටීම
Posted on January 4th, 2022

චානක බණ්ඩාරගේ

නිදහස ලැබීමෙන් අනතුරුව සිංහල බෞද්ධ සංස්කෘතියේ සහ සභ්‍යත්වයේ නැඟීමක් වෙනුවට වුයේ තව දුරටත් බිඳ වැටීමකි.  ධර්මපාල තුමන් සඳහන් කල පරිදිම සුද්දන් ගිය පසු කළු සුද්දන් සිංහලත්වය පාගා දැමීමට, ගැරහීමට ලක් කළහ.

බෞද්ධයන් දිගින් දිගටම ක්‍රිස්තියානිකරණය වුහ. මෙය අද ඉතා සීග්‍ර ලෙස නගරවල පමණක් නොව ගම් වලද පැතිර යයි. 1994ට පමණ  පසුවයි මේ තත්ත්වය බොහෝ සෙයින් වැඩි වුයේ. 

රහසින් ක්‍රිස්තියානු ධර්මය අදහන බෞද්ධයෝ බොහෝය – ඒ අතර දේශපාලකයෝද ඇත. බෞද්ධයෙක් ක්‍රිස්තියානුවෙකු හා විවාහ වූ පසු බොහෝ විට එම තැනැත්තා සහ ලැබෙන ළමුන් ක්‍රිස්තියානි භක්තිකයෝ වෙත්.

අද රටේ සිංහලයන් සිටින්නේ 65%ක් නම් (රටේ මුළු ජනගහනය කෝටි 2.2) අඩු තරමින්  ඔවුන්ගෙන් 12% -15% තරම වත් ක්‍රිස්තියානුවන් විය යුතුය. මේ සම්බන්ධව මෑතක ලබා ගත් සංඛ්‍යා ලේඛන නොමැත.

අන්‍යාගමිකරණය පමණක් නොව ස්ව කැමැත්තෙන් ද බොහෝ බෞද්ධයන් ක්‍රිස්තියානි පල්ලි, දෙවියන් වහන්සේ කෙරෙහි යොමු වෙත්. මේ පිළිබඳව ක්‍රිස්තියානි පුජකයින්ට හෝ ක්‍රිස්තු භක්තිකයනට දොස් කීමෙන් පලක් නැත. ඔවුන් වරදක් කර නැත (බලෙන්/මුදලට ක්‍රිස්තියානුකරණය කරන්නේ නම් එය බලවත් වරදකි).

මේ තත්ත්වය බෞද්ධ නායකයන් සැලකිලිමත් විය යුතු කරුණකි. අප බෞද්ධයන් ක්‍රිස්තියානිකරණය වන තත්ත්වය නැති/අඩු කිරීමට වැඩ පිළිවෙල් පන්සල් ආශ්‍රයෙන් සකස් කල යුතුයි.  බෞද්ධ කටයුතු අමාත්‍යංශය විශේෂයෙන්ම තිබෙන්නේ එවැනි දේටය.

1994න් පමණ පසු කිසිම ශීලාචාර කමක් නැති තක්කඩි, මදාවීන් මධ්‍යම රජයේ සහ පළාත් සභා පාර්ලිමේන්තුවලට ඇතුල් වුහ. ප්‍රාදේශීය සභා, පළාත් පාලන ආයතන වල තත්ත්වයද එසේම  විය. රටේ මත්පැන්, මත් ද්‍රව්‍ය භාවිතය පුදුමාකාර ලෙස ස්ත්‍රී පුරුෂ දෙපක්ෂය තුලම වැඩි වුණි. අප බලාසිටියදීම රට තුල හැදියාව, ගුණ ගරුක බව, සාර ධර්ම අතුරුදහන් වී යාම මේ සියල්ලට හේතුවයි.

පසුගියදා තරුණ විශ්ව විද්‍යාල සිසුන් වයෝවෘද්ධ සංඝයාවහන්සේ නමකට උපාධි ප්‍රධානෝත්සවය අවස්ථාවේ සැලකු ආකාරය වැරදිය. අප සිංහල බෞද්ධ රටකි; මෙහි සැමදාම සංඝයාවහන්සේලාට ගෞරවාන්විතව සලකණු ලැබීය. ඔවුනට සුදු රෙද්දක් දමායි අප සැමවිටම අසුන් පනවන්නේ.  ඒ සිවුරට කරන ගරු කිරීමක් නිසායි (බුද්ධ පුත්‍රයන් වහන්සේ නමකට). ආණ්ඩුව සමඟ යමෙකුගේ තරහක් තිබුනත් එවැනි ඉතා වැදගත් ආයතනයක/උත්සවයක තිබෙන්නාවූ සම්ප්‍රදායට, විනය ගරුක බවට අප සැම දෙනාම ගරු කල යුතුයි.

අපගේ දෙමව්පියන් යම් වරදක් කල විට අප ප්‍රසිද්ධියේ අසංවර ලෙස ඔවුනට විරුද්ධව හැසිරෙන්න නොයන්නෙමු.

සම්ප්‍රදායන්, ශිෂ්ට සම්පන්න බව කඩා බිඳ දමා පුජකත්වයට, වැඩිහිටි කමට නොසලකන සමාජයකට වැඩි දුරක් යා නොහැක.

 ‘ජංගි හොරා’ නමින් විශාල කට් අවුට්, බිල් බෝර්ඩ් ගසා මේ දිනවල එක් චිත්‍රපටියක් ප්‍රවර්ධනය කෙරේ. මේ ‘ජංගි’ බැලීමට වැඩිපුරම පිරිමි සිනමා ශාලා වෙත වැල නොකැඩි දුවති. නිෂ්පාදකයන් කෝටි ගණන් හම්බ කරනු ඇත. නමුත් මුදල් හම්බකිරීමේ වානිජකරණය යටතේ අපේ සංස්කෘතිය, සභ්‍යත්වය වැනසෙන්න ඉඩ දිය නොහැක. අප රටේ සිටින්නේ  වැදගත්, ශිෂ්ට සම්පන්න කාන්තාවන්ය. මෙවැනි නම් දමා චිත්‍රපට ගැසීමෙන්, දැවැන්ත බිල් බෝර්ඩ් මඟින් ඒ නම් ප්‍රවර්ධනය කිරීමෙන් අප කාන්තාවෝ අපහසුවට පත් වෙති. දරුවනට මුහුණ දිය නොහැකි තත්ත්වයන් නිවෙස්වල මතුවේ. කාර්යාලවල/කම්හල්වල කාන්තා හිංසනය ඇතිවේ. 

මේ ශ්‍රී ලංකාවය, ඇමරිකාව හෝ ඕස්ත්‍රේලියාව නොවේ. කාන්තා පෞද්ගලිකත්වය බටහිර රටවලට වඩා ශ්‍රී ලංකාවේ වැඩිය/පුජනීයය. අපේ සම්ප්‍රදායන්, හැදිච්ච කම පිළිබඳව වන අගය කිරීම් ඒ රටවලට වඩා වැඩිය.

මේ චිත්‍රපටයට ඒ නම ලැබුනේ ඔවුන් දුන් ඉංග්‍රීසි නම  සිංහලට පරිවර්තනය කිරීම නිසා බව නිෂ්පාදකවරු  පවසත්. නමුත්,  ‘ජංගි හොරාට’ (මෙය සිංහල චිත්‍රපටියකි) ඔවුන් ලබාදුන් ඉංග්‍රීසි නම Panty Thief නොවේ, Underpants Thief ය. එසේ නම් නම ‘ජංගි හොරා’ වුයේ හුදු වානිජමය අරමුණක් නිසා නොවේද? ඒ වෙනුවෙන් අපේ සංස්කෘතිය, සභ්‍යත්වය පවා දීම වැරදි නොවන්නේද?

‘අඩෝ’ කියා එක් ප්‍රසිද්ධ නාලිකාවකින් ටෙලි නාට්‍යක් මෑතකදී විකාශණය කරන ලදී. පෝස්ටර් පවා ගසා ඒ නමට ඒ නාලිකාව විසින් දැඩි ප්‍රසිද්ධියක් ලබා දෙන ලදී. මේවා හිතා මතා අපේ සමාජයේ වැදගත්කම, සාරධර්ම දුර්වල කිරීමට දරන උත්සාහයන්ය.

ජාත්‍යාන්තර සම්මාන පවා දිනු ලෙස්ටර් මහතා චිත්‍රපට හැදුවේ ලිංගිකත්වය විකුණා නොවෙයි. අද සෑම චිත්‍රපටයකම වගේ දෙතොල් සිප ගන්නා දර්ශනය (‘ජංගි හොරා’ ගැන නොවේය මේ කියන්නේ).

ජාත්‍යාන්තරය කෙසේ වෙතත් දේශය තුලද ඉහලම සම්මානද ලැබෙන්නේ රණ විරුවන්, සිංහල බෞද්ධයන් පවා දෙන/පහත් කර පෙන්වන චිත්‍රපටවලටය.

අද හොඳම සංඛ්‍යාත (frequencies) ලබාදී ඇත්තේ ද්‍රවිඩ බසින් වන රූපවාහිනී/FM ගුවන් විදුලි නාලිකා වලටය. මේවායේ ප්‍රමාණය සමහරවිට සිංහල නාලිකා ප්‍රමාණයට වඩා වැඩි විය හැක. සිංහල FM ගුවන් විදුලි වැඩසටහන් අපැහැදිලිය. ශබ්ධ, ඝෝෂා වලින් බහුලය. දෙමළ FM විකාශනයන් මෙන් නොව සිංහල FM විකාශනයන් හරිහැටි ‘ටියුන්’ කර ගත නොහැක. මේ තත්ත්වය නිවැරදි කිරීමට රජය කටයුතු කල යුතුය.

මහා බැංකු මංකොල්ල, සීනි වංචාව, පොල්තෙල් වංචාව, පැනමා පේපර්ස්, පැන්ඩෝරා පේපර්ස් අද අපට අමතක වී ඇත්තා සේය.

ආණ්ඩුවල හොර දේශපාලනඥයනට විරුද්ධව විරුද්ධ පක්ෂ සටන් ගෙන යා යුත්තේ  පාර්ලිමේන්තුව තුලය. වෙනත් තැනක් නැත. විපක්ෂයේ සියළු පක්ෂ ටික කලක් පාර්ලිමේන්තුව තුල (සහ ඉන් පිටත) බොරුවට මහ හඬින් කෑ ගසා නිහඬ වෙත්.  ඒ නිසා, ජනතාවගෙන් ඔවුහු ‘එක’ දා ගනිත්.  නමුත්, ඔවුන් ඇත්තටම කරන්නේ – පාර්ලිමේන්තුවේ 225ම, එකිනෙකාගේ පිට කසා ගැනීමයි. මොවුන් රටට ආදරය නොමැති අයය.

අවසානය දක්වා සටනක් රැගෙන ගොස් හොර දේශපාලනඥයන් ඔවුන්ගේ  තනතුරු වලින් අස් කිරීමට, පාර්ලිමේන්තුවෙන් පහ කිරීමට, ඔවුන්ව නඩු අසා හිරේ යැවීමට කිසිම දේශපාලන පක්ෂයකට නුවුවමනාය.  ‘මුං  ඔක්කොම හොරු මල්ලි’ කියා රංජන් කීවේ ඒ නිසාය.

සාමාන්‍ය ජනතාවට මේ පිළිබඳව තිබෙන අවබෝධය අඩුය.  විපක්ෂයේ පක්ෂ බොරු කරන නිසා නිර්භීත මාධ්‍යය වලටද ඒ සටන් පාර්ලිමේන්තුවෙන් පිටත සිට ගෙන යාමට තරම් ගැම්මක්/ශක්තියක් නොමැත.

ආණ්ඩුවල දුෂණ, වංචා වලට එරෙහිව විපක්ෂයේ පක්ෂ, සියළු මාධ්‍යය එකාවන්ව වැඩ කර හොර දේශපාලනඥයනට ක්ෂණිකව දඬුවම් ලබා දීමට වැඩ කල යුතුය.  නමුත්, අද ශ්‍රී ලංකාව තවමත් එවැනි තත්ත්වයකට පැමිණ නැත. ඉදිරියේදී පැමිණීමේ අවකාශ දැන් දක්නට ලැබේ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress