ආහාර හිඟ වුණොත්, රටින් ගේනවා ! – මහින්දානන්ද (වීඩියෝ)
Posted on January 5th, 2022

උපුටා ගැන්ම  හිරු පුවත්

ශ්‍රී ලංකාවේ ආහාර හිඟයක් ඇතිවුවහොත් ඊට පිළියම් ලෙස විදෙස් රටවලින් ආහාර ආනයනය කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසනවා.

මේ අතර, රජයේ අනුවණ තීරණ හේතුවෙන් වගා හානි වූ ගොවීන්ට ආණ්ඩුව කොන්දේසි විරහිතව වන්දි ලබා දිය යුතු බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ කැඳවුම්කරු නාමල් කරුණාරත්න පවසනවා.

පොහෙර නොමැතිව වගා හානි වීම හේතුවෙන් ප්‍රදේශ රැසක ගොවි ජනතාව තවදුරටත් පත්ව සිටින්නේ දැඩී පීඩාවකටයි.

රජය කාබනික පොහොර ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමත් සමඟ ගොවීන් මේ වන විට දැඩි අර්බුදයකට මුහුණ දී සිටින්නේ කාබනික හෝ රසායනික පොහොර කිසිවක් සපයාගත නොහැකි වීමෙන්.

මෙම තත්තවයත් සමග ඉදිරියේදී දැඩි ආහාර හිඟයක් ද ඇතිවීමේ අවදානමක් ඇති බවට බොහෝ කෘෂි විශේෂඥයින් අනතුරු අඟවන පසුබිමක මෙරට වැඩි වශයෙන් වී වගාකරන පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවීන් සිය වගාවන් නිසරු වීමෙන් දැඩි අර්බුදයකට මුහුණ දී සිටිනවා.

රජය මගින් ලබා දුන් කාබනික පොහොර යෙදුව ද වී වගාව අසාර්ථක බවටයි පොළොන්නරුව – තඹලවැව ගොවි ජනපද ව්‍යාපාරයේ ගොවීන් චෝදනා කරන්නේ.

මේ අතර වී සඳහා රුපියල් 75ක සහතික මිලක් ලබා දෙන බවට මුදල් අමාත්‍යවරයා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ද ගොවීන් මෙලෙස විරෝධය පළ කළා.

සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ කැඳවුම්කරු නාමල් කරුණාරත්න ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසුවේ වගා හානි වූ සියලු දෙනාට ආණ්ඩුව කොන්දේසි විරහිතව වන්දි ලබා දියයුතු බවයි.

මෙවන් පසුබිමක වෙළෙඳපොලේ යළි සහල් මිලද සිග්‍ර ලෙස ඉහළ ගොස් තිබෙනවා.

නාඩු සහල් කිලෝවක් රුපියල් 170ක් දක්වාත්, සම්බා කිලෝවක් රුපියල් 190ක් දක්වාත්, කීරි සම්බා කිලෝවක් රුපියල් 240ක් දක්වාත් ඉහළ ගොස් ඇති බවයි එක්සත් සහල් නිෂ්පාදකයින්ගේ සංගමය පවසන්නේ.

මීට පෙර සහල් සඳහා පාලන මිලක් පනවා තිබුණේ කීරි සම්බා කිලෝ ග්‍රෑම් 1ක් සඳහා රුපියල් 125ක්, සුදු/ රතු සම්බා කිලෝග්‍රෑම් 1ක් රුපියල් 103ක්, සුදු/රතු නාඩු වාෂ්පයෙන් තැම්බූ කිලෝ ග්‍රෑම් 1ක් රුපියල් 98ක් සහ සුදු/ රතු කැකුළු සහල්<br />කිලෝ ග්‍රෑම් 1ක් රුපියල් 95ක් ලෙසයි.

කෙසේවෙතත් අදාළ පාලන මිල පසුගිය නොවැම්බර් මාසයේදී ඉවත් කිරීමටයි රජය කටයුතු කළේ.

ඒ අනුව මෙලෙස වරින් වර සහල් මිල ගණන් ඉහළයාම සම්බන්ධයෙන් පාරිභෝගිකයින් දැක්වූයේ මෙවන් අදහසක්.

මේ අතර, පහතරට එළවළු වගා කරන ගොවීන් ද පොහොර නොමැතිවීම හේතුවෙන් පත්ව ඇත්තේ දැඩි පීඩාවකටයි.

මේ එම ප්‍රදේශවල පිපිඤ්ඤා, කරවිල සහ වැටකොළු වගාවට අද අත්ව ඇති ඉරණමයි.

එමෙන්ම උඩරට බෝංචි ගොවීන් ද වගාකරුවන් ද සිය වගාවන් සඳහා රසායනික පොහොර නොමැතිව දැඩි අසීරුතාවකට පත්ව සිටිනවා.

මේ අතර තම වගා හානි සඳහා වගකිවයුත්තන්ට දඬුවම් ලබා දෙන්නැයි නියාගම – අමරගම වෙල්යායේදී ඊයේ (04) රාත්‍රී දේව කන්නලව්වක් ද පැවැත්වුණේ මෙලෙසින්.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress