මෙවර දුරුතු පුරපසළොස්වක පොහෝ දින යොවුන් ශීල සමාධි ජාතික වැඩසටහන තිස්සමහාරාම ශ්‍රී දුටුගැමුණු රජ මහා විහාරස්ථානයේදී.
Posted on January 17th, 2022

තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශය, සංවර්ධන සම්බන්ධිකරණ හා අධීක්ෂණ අමාත්‍යාංශය, ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශය.

තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ උදාර සංකල්පයක් අනුව ක්‍රියාත්මක කරන ‘යොවුන් ශීල සමාධි ජාතික වැඩසටහන’ මෙම වසරේ දුරුතු පුර පසළොස්වක පොහොය යෙදුණු අද (17) දින තිස්සමහාරාම බෙරලිහෙළ සාලියපුර ශ්‍රී දුටුගැමුණු රාජමහා විහාර පිරිවෙන් විහාරස්ථානයේ දී පැවැත්විණි.

දැහැමි ගුණගරුක ජන සමාජයක් උදෙසා තරුණ පරපුර සුගතිගාමී කරවීමේ අරමුණ පෙරදැරිව  රට පුරා සියලු විහාරස්ථානවල සෑම පසොළොස්වක පොහොය දිනකදී ම තරුණ තරුණියන් ශීල සමාධියෙහි පිහිටුවීම හා දාන ශීල භාවනා වැඩසටහන්වලට යොමු කිරීම යොවුන් ශීල සමාධි  ජාතික වැඩසටහනේ අභිමතාර්ථයයි.

ඒ අනුව, මෙවර දුරුතු පොහෝ දිනය වෙනුවෙන් තිස්සමහාරාම බෙරලිහෙළ සාලියපුර ශ්‍රී දුටුගැමුණු රාජමහා විහාර පිරිවෙන් විහාරස්ථානයේ පැවති යොවුන් ශීල සමාධි ජාතික වැඩසටහනේ තරුණ පිරිස ශීල සමාධියෙහි පිහිටුවීම, පොහෝ දින  අනුශාසනාව,  උදෑසන සම්බුද්ධ පූජාව පෙ.ව. 06.30 සිට පෙ.ව.07.50 දක්වා තිස්සමහාරාම බෙරලිහෙළ සාලියපුර ශ්‍රී දුටුගැමුණු රාජමහා විහාරාධීපති විද්‍යා ප්‍රදීප  පිරිවෙන් කෘත්‍යාධීකාරි  පූජ්‍යපාද හක්මන නන්දරතන හිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූහ.

අනතුරුව පෙ.ව.08.00 සිට පෙ.ව. 08.55 දක්වා ‘ධානාත්මක තාරුණ්‍යයකට ධර්මානුකූල ප්‍රවේශයක්’ යන මාතෘකාව ඔස්සේ ධර්ම සාකච්ඡාව පැවැත්වීම විද්‍යා සමාධි මූලික පිරිවෙන් පරිවේණාධිපති කොළඹ විශ්ව විද්‍යාලයේ බාහිර කථිකාචාර්ය ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත පූජ්‍යපාද කතරගම සතිමන්ත හිමිපාණන් වහන්සේ විසින් සිදු කළහ.

එම ධර්ම සාකච්ඡාවට බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශයේ හිටපු ලේකම් රාජ්‍ය සේවා බෞද්ධ සංගමයේ සභාපති පුරවර සැරසර ජාතික වැඩසටහනේ උපදේශක එම්.කේ.බී.දිසානායක මහතා ද සහභාගී විය.

මීට සමගාමිව යොවුන් ශිල සමාධි ජාතික වැඩසටහන යටතේ ‘පුදබිම් ආලෝකා වැඩසටහන මගින් මෙම පුණ්‍ය භූමිය උදෙසා විදුලි බුබුළු ලබාදීම අමාත්‍ය චමල් රාජපක්ෂ, අමාත්‍ය නාමල් රාජපක්ෂ යන  මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

පෙ.ව.11.30 ට දහවල් සම්බුද්ධ පූජාව වැඩමවීම අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඇතුළු සම්භාවනීය පිරිස විසින් සිදු කළ අතර, දහවල් සම්බුද්ධ පූජාව තැබීම තිස්සමහාරාම බෙරලිහෙළ සාලියපුර ශ්‍රී දුටුගැමුණු පිරිවෙන් ආචාර්ය ගෞරව ශාස්ත්‍රවේදී විචිත්‍රභානක පූජ්‍යපාද මිහිළුවේ සුනන්ද හිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සිදුවූහ.

ප.ව.01.45 සිට ප.ව. 02.45 දක්වා තිස්සමහාරාම බෙරලිහෙළ සාලියපුර ශ්‍රී දුටුගැමුණු පිරිවෙන් ආචාර්යය පණ්ඩිත ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍යපාද සූරියවැවේ ජිනසාගර හිමිපාණන් වහන්සේගේ මූලිකත්වයෙන් භාවනා වැඩසටහන පැවැත්වූහ.

ප.ව.03.00 සිට ප.ව. 04.00 දක්වා තිස්සමහාරාම බෙරලිහෙළ සාලියපුර ශ්‍රී දුටුගැමුණු පිරිවෙන් පරිවේණාධිපති රාජකීය පණ්ඩිත ශෘස්ත්‍රපති පූජ්‍ය්‍යපාද කීනගොඩ සුගතරන්සී හිමිපාණන් වහන්සේ විසින් ධර්ම දේශනය පැවැත්වූහ.

ප.ව. 05.00 සිට 06.00 දක්වා වූ මල් පහන්, සුවඳ දුම් පූජා හා රටට හා සකල ලක්වැසි ජනතාවට සෙත් පතා බෝධි පුජාව පැවැත්වීම හා සිල් පවාරණය කිරීම තිස්සමහාරාම බෙරලිහෙළ සාලියපුර ශ්‍රී දුටුගැමුණු පිරිවෙන් ප්‍රාරම්භ ශ්‍රේණියේ ඉගෙනුම ලබන පූජ්‍යපාද හුන්ගම මහින්ද හිමිපාණන් වහන්සේ විසින් සිදු කළහ.

මෙම ආශිර්වාද අධිෂ්ඨාන පූජාවෙන් අනතුරුව සියලුම කොවිඩ් – 19 මාර්ගෝපදේශවලට යටත්ව දුරුතු පොහෝ දිනය නිමිත්තෙන් තිස්සමහාරාම බෙරලිහෙළ සාලියපුර ශ්‍රී දුටුගැමුණු පිරිවෙන් රජමහා විහාරස්ථානයේ දැහැමි සමාජයකට මං පෙත් විවර කිරීමේ අදිටනින් පැවති යොවුන් ශීල සමාධි ජාතික වැඩසටහන නිමාවට පත්විය.

මෙම යොවුන් ශීල සමාධි ජාතික වැඩසටහන බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශයේ  උපදේශකත්වය, තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයේ ජාතික තරුණ සේවා සභාවේ මෙහෙයවීමෙන්  රාජ්‍ය සේවා බෞද්ධ සංගමයේ සම්බන්ධීකරණය ඇතිව ජාතික වෙළඳ හා ව්‍යවසායකත්ව සම්මේලනයේ ක්‍රියාකාරී දායකත්වයෙන් සහ පහන්සිත් පදනමේ සහය අනුග්‍රහය ඇතිව යොවුන් ශීල සමාධි පදනමේ සංවිධායකත්වයෙන් සිදු විය.

මාධ්‍ය ඒකකය,

තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශය, සංවර්ධන සම්බන්ධිකරණ හා අධීක්ෂණ අමාත්‍යාංශය, ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress