ආණ්ඩුවේ අගමැති පොරයක්…? බැසිල් ඉදිරියෙන්..?
Posted on January 20th, 2022

උපුටා ගැන්ම ලංකා සී නිව්ස්

ආණ්ඩුවේ අගමැති පොරයක් ඇති වී තිබෙන බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණි කවිරත්න මහත්මිය සඳහන් කළාය.

ඇය මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුවේ දී පැවති විවාදයේදී අදහස් පලකරමිනි.

ඇය එහිදී මෙසේද අදහස් පල කළාය.

රාජාසන කතා කරන ජනාධිපති විතරයක් නෙවෙයි මුදල් ඇමති ගහන ගැසට් එකටවත් දැන් රටේ පිළිගැනීමක් නෑ. ගැසට් ගැහුවට ක්‍රියාත්වක වෙන්නේ නෑ.

මාසයකට වැඩිය වහලා තිබ්බ පාර්ලිමේන්තුව ඇරලා, රාජාසන කතාව කරලා ගෝඨාභය ජනාධිපතිතුමා කිව්වා, ‘‘අපේ රජය පසුගිය වසර දෙක තුලම ගොවි ජනතාවට නොමිලේ පොහොර ලබා දුන්නා‘‘ කියලා. ඇත්තද?

ආණ්ඩුව පොහොර ගෙන්වන එක නැවැත්තුවේ 2021 මැයි නෙවෙයි. 2020 මැයි වෙනකොටත් පොහොර ගෙන්වන එක අඩු කරලා තිබුණේ. 2020 කඳු කන්නයටත් රටේ ගොඩක් තැන්වලට ඩොලර් නැති නිසා පොහොර තිබුණේ නෑ.

ඊලඟට ජනාධිපතිතුමා කිව්වා, ‘‘වී වලට රු. 50 ක සහතික මිලක් නියම කලා. අද තිස්සමහරාමේ කැකුළු වී කිලෝවක් රු. 110 ට මිලදී ගන්නවා. ඊයේ අක්කරේපත්තුවේ දැන් කැපෙන කුඹුරුවල වේළපු නැති වී කිලෝවක් රු. 95 යි.

මේ ආණ්ඩුවේ කෘෂිකර්ම ප්‍රතිපත්තියේ ප්‍රතිඑලය තමයි ඔය. අම්පාර දිස්ත්‍රික්කයේ දැන් ගොයම් කැපෙන්න පටන් අරගෙන. සාමාන්‍ය යෙන් අම්පාරේ පළවෙනි කුඹුර කපනකොට වී මිල අඩුවෙනවා. හැබැයි මේ සැරේ දවසින් දවස වී මිල ඉහළ යනවා.

ජනාධිපතිතුමා මේ කතා දියවන්නාවේ වතුරෙන් වටවෙච්ච මේ සුවිසල් පාර්ලිමේන්තු මාලිගාවේ ඉදන් නෙවෙයි, මේ වා පුළුවන් නම් ගම සමඟ පිළිසඳරක් තියලා කියන්න.

මගේ මාතලේ දිස්ත්‍රික්කේ වටේ තමයි මේ භෝග වගා කරන්නේ. මේ වගාවලට කෘමිනාශක, දිලීර නාශක ඕනි. මුං – උදු විතරක් හැම වගාවක්ම කෘමිහානියෙන් වලක්වා ගන්න කෘෂි රසායන ඕනි. මිනිස්සු වගා කරනවා. හැදෙන ඇටේ – මල් – කොළ – අල ටික සත්තු කනවා. කෘමියෝ කවනවා. ගොවියාට හුළං තමයි.

වස විසෙන් තොර කෘෂිකර්මාන්තය/හරිත කෘෂිකර්මාන්තය දිගටම කොරගෙන යනවා කිව්වා. ඒ කියන්නේ මේ ආණ්ඩුවට තවම මොළය පෑදිලා නෑ කියන එකයි.

දැන් මහ කන්නය ඉවරයි. හැබැයි මේ රටේ කෘෂිකර්මයට අනාගතයක් තියෙන්න ඕනි. යල කන්නය වත් ගොඩදාගන්න නම්, මුලින්ම වල් නාශක ආනයනය කල යුතුයි. රටට වල් නාශක ගේන්න නම් මාස දෙකක් ඕනි.

බදුල්ලේ ගොවිතැන දන්න, අම්පාරේ හිටපු දිසාපති – පළාත් සභාවේ ප්‍රධාන ලේකම් විදිහට වී ගොවිතැන හොඳටම අමාත්‍යාංශ ලේකම් රටට අවශ්‍ය වල් නාශක ටික ගෙන එන නවත්වාගෙන ඉන්නවා.

මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මැතිතුමා දෙසැම්බර් මාසේ ඉන්දියාවට යන්න ඉස්සර කෘෂි රසායන ගැසට් එක රිවස් කළා. හැබැයි කෘෂිකර්ම අමාත්‍යාංශය අද දක්වා එකම වල් නාශකයක්වත් ගෙනල්ලා නෑ. මේ ආණ්ඩුවේ ප්‍රබලම ඇමතිවරයා තමයි බැසිල් රාජපක්ෂ මැතිතුමා.

හැබැයි බැසිල් රාජපක්ෂ මුදල් ඇමතිතුමාව පඹයෙක් බවට පත් කරන්න කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ කටයුතු කර තියෙනවා. කෘෂිකර්ම රාජ්‍ය ඇමති ශශින්ද්‍ර රාජපක්ෂ පුතා, මුදල් ඇමතිතුමාව පඹයෙක්ගේ ගානට දාලා කෘෂි රාසයන ටික ගේන එක නවත්තලා තියෙනවා.

කෘෂිකර්ම ලේකම් බණ්ඩාරනායක තමයි වල් නාශක ටික ගේන්න දෙන්නේ නැතුව ෆයිල්ටික මේසේ උඩ තියාගෙන ඉන්නේ. එයා තමයි, කෘමි නාශක – දිලීර නාශක ටික ගේන්නේ නැතුව ගස්වල ගෙඩි ටික, වී කරල් ටික පණුවොන්ට, කෘමීන්ට කන්න ඉඩ ඇරළා බලාගෙන ඉන්නේ. කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් තමයි, ගොවියෝ අමාරුවෙන් හදාගන්න ගස් වැල් දිලීර රෝගවලට ගොදුරු වෙනකල් කෘෂි රසායන ගෙන්වන්න අවසර දෙන්නේ නැත්තේ.

කෘෂිකර්ම ඇමතිලා දෙන්නා, කෘෂිකර්ම ලේකම් තමයි බැසිල් රාජපක්ෂ පඹයෙක් කරලා තියෙන්නේ. මේක පිටිපස්සේ තියෙන්නේ අගමැති පොරය. බැසිල් රාජපක්ෂ ගොවි ප්‍රශ්ණ විසඳනවාට කැමති නැති පිරිසක් ආණ්ඩුවේ ඉන්නවා. අද ගොවියෝ කාබාසිනියා කරලා, රටේ ආහාර නැති කරලා, රට සාගතයකට යවලා, බැසිල් රාජපක්ෂ පඹයෙක් කරලා තියෙනවා.

ජනාධිපති විතරක් නෙවෙයි දැන් මුදල් ඇමති ගහන ගැසට් එකක්වත් වැඩක් නැති බව එකෙන් කියනවා. ජනාධිපති විතරක් නෙවෙයි, මුදල් ඇමතිත් ජනාධිපතිවගේම පඹයෙක් කියලා කෘෂිකර්ම ප්‍රශ්නයේ දී පෙන්නලා තියෙනවා.

අම්පාරේ හිටපු දිසාපති, නැගෙනහිර හිටපු ප්‍රධාන ලේකම් දන්නේ නැද්ද අම්පාරයි, මඩකලපුවයි කුඹුරු වල් නාශක නැතිව විනාශ වුනාම, කෘමි නාශක නැතුව විනාශ වුනාම රටටම කන්න නැති වෙනවා කියලා. මගේ කුඹුරු අනුරධපුර දිස්ත්‍රික්කයේ තියෙනවා. අනුරාධපුර පෙළාන්නරුවේ එක ඇමතිගෙයක් කතා කරන්නේ නෑ, තමන්ගේ ගොවිජනතාවගේ ප්‍රශ්න ගැන.

රටේ ආර්ථික අර්බුදය විහින් ඇතිකර ගත්ත එකක්. තියෙන ඩොලර් විදයම් කරලා රටට අවශ්‍ය පොහොර – කෘෂි රසායන ටික ගෙනවා නම් අඩුම ගානේ රටේ මිනිස්සු බඩගින්න නිවාගන්නවා. දැන් හාල්ටික දවසින් දවස චීනයෙන්, වියට්නාමයෙන්, පාකිස්තානයෙන් හිඟා කනවා. ගොවියාගේ කුඹුරු ටික විනාශ කරලා දැන් ඉන්දියාවෙන් හාල් ගෙන්වනවා.

අද ලංකාවේ තියෙන්නේ හොරකම් ආර්ථිකයක්. ශ්‍රී ලංකා මහ බැංකුව තමයි හොරකම් කිරීමේ කේන්ද්‍රය. 2010 – 2014 තිබුණ ‘පම්පිං – ඩම්පිං‘ කණ්ඩායම තමයි අද රටේ ආර්ථිකය, ඩොලර් ටික හසුරවන්නේ. මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඩීල් එකක් දාගත්ත ගමන්, ටුවිටර් පණිවිඩයක් ගහනවා. අනේ අපේ ජනමාධ්‍ය ත් ඉතිං කබ්රාල් කියන ටික පත්තරේ දානවා.

කබ්රාල් ට පහුගිය 18 වෙනිදා ඇමරිකානු ඩොලර් මිලියන 500 ක් ණය ගෙවලා මහ ලොකු සංදර්ශනයක් තිබ්බා. මේ ඩොලර් මිලියන 500 න් 170ක්ම තනි පුද්ගලයෙකුට. කබ්රාල් ගේ පම්පිං – ඩම්පිං ටීම් එක තමයි දැන් ඩොලර් ටික හසුරුවන්නේ.

බැඳුම්කර සල්ලි ගෙවන්න බැරි බවට ආපු බිය නිසා බැඳුම්කර ගත්ත අය අර ග්‍රීක් බොන්ඩ් එක වෙලාවේ සිද්ධ වුණා වගේ 50%කට වඩා අඩු මිලට ද්වීතීය වෙළෙදපොලේ බැඳුම්කර ටික විකුණුවා. ඒවා ගත්තේ අර ශ්‍රී ලංකා මහ බැංකු විගණන වාර්තාවල නම් තියෙන කබ්රාල් ගේ ‘පම්පිං – ඩම්පිං‘ යාළුවෝ – ව්‍යාපාරික ගජමිතුරෝ සෙට් එකයි.

– media unit

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress