නොමිලේ පිරිනමන වෛද්‍යාධාර හදිසි අනතුරු රක්ෂණය කලාකරුවන් වෙනුවෙන් අපට දෙන්න පුළුවන් හොඳම තෑග්ගක් – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා
Posted on January 21st, 2022

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

  • ඉතිහාසය වර්ණවත් වුණේ කලාකරුවන්ගේ නිර්මාණ මතින්
  • නාට්‍ය ක්ෂේත්‍රයෙන් අපි පටන්ගත් වෛද්‍යාධාර හදිසි අනතුරු රක්ෂණය අද සියලු කලාකරුවන් වෙනුවෙන් තැබූ යෝධ පියවරක් වෙලා
  • කලාකරුවන්ට දත්ත පද්ධතියක් නිර්මාණය කරන්න ලැබීම ජයග්‍රහණයක්
  • කලා නිර්මාණවලට ජාතික හා ජාත්‍යන්තර වටිනාකම් හොයා දෙන මූලාරම්භයක්

කිසිදු මුදලක් අය නොකර පිරිනමන වෛද්‍යාධාර හදිසි අනතුරු රක්ෂණය කලාකරුවන් වෙනුවෙන් අපට දෙන්න පුළුවන් හොඳම තෑග්ගක් යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

කලාකරු රක්ෂණ ඔප්පු ප්‍රදානය, ජාතික උරුම ප්‍රාසාංගික කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය www.heritage.gov.lk හා ඊට සමඟාමීව කලාකරු දත්ත පද්ධතිය එළිදැක්වීමේ උත්සවය එක්වෙමින් අග්‍රාමාත්‍යතුමා ඊයේ (20) පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී මේ බව සඳහන් කළේය.

මෙහි දී කලාකරුවන් සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රක්ෂණ ඔප්පු ප්‍රදානය කෙරිණි. අග්‍රාමාත්‍යතුමා, රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක, බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහත්වරු සහ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් නිශාන්ති ජයසිංහ මහත්මිය රක්ෂණ ඔප්පු ප්‍රදානයට එක්වූහ.

සොෆ්ට්ලොජික් රක්ෂණ ආයතනය විසින් පිරිනමන රක්ෂණ ඔප්පු 50ක් කලාකරුවන් වෙනුවෙන් ඊයේ දිනයේ දී සංකේතාත්මකව ප්‍රදානය කරන ලදි.

ජාතික උරුම ප්‍රාසාංගික කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය www.heritage.gov.lk  මෙහි දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින් අන්තර්ජාලයට එක් කෙරිණි.

කලාකරු දත්ත පද්ධතිය එළිදක්වමින් ප්‍රවීන රංගධර රවීන්ද්‍ර රන්දෙණිය සහ නර්තන ශිල්පී කොටහේවගේ ග්‍රැන්ටින් සිල්වා මහත්වරුන්ගේ දත්තයන් රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා විසින් අනුමත කර දත්ත පද්ධතියට ඇතුළත් කරන ලදි.

කලාකරුවන් වෙනුවෙන් නොමිලේ රක්ෂණාවරණයක් ලබා දීම සහ සියලුම කලාකරුවන් වෙනුවෙන් දත්ත පද්ධතියක් ආරම්භ කිරීම පිළිබඳව උත්සව සභාව අවසානයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු රජයට කලාකරුවෝ රැසක් ප්‍රශංසා කළහ.

කලාකරු රක්ෂණ ඔප්පු ප්‍රදානයට එක්වෙමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කළ සම්පූර්ණ කතාව මෙසේය.

ආදරණීය කලාකරුවනි,

සංස්කෘතිමය දායද වලින් අලංකාර වූ අපේ රට ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියනවා. මේ ඉතිහාසය වර්ණවත් වූයේ ඔබ වැනි කලා කරුවන්ගේ කලා නිර්මාණ මතින් බව අපි අමතක කළ යුතු නැහැ. අපි රටක් විදියට අදටත් ලෝකය ඉදිරියේ විසල් සංස්කෘතියකට උරුමකම් කියන ජාතියක්.

සාහිත්‍ය, නර්තනය, නාට්‍ය, චිත්‍ර, රූකඩ, මූර්ති, ගීත,සංගීතය, සිනමාව මේ සෑම කලාවකින්ම සමාජ යතාර්ථය නිර්මාණශීලීව ජනතාව අතරට ගෙන යන්න  කලාකරුවන් විශාල උත්සාහයක් දරනවා. එදා වගේම අදටත් ඒ උත්සාහය ජනතාව රසවිඳිනවා.

මිත්‍රවරුනි,

අපේ රටේ කලාකරුවෝ මුළු ජීවිත කාලය පුරාම කැපවෙන්නෙ තම කලාව වෙනුවෙන්. ඒ අය තමන් නියැලෙන ක්ෂේත්‍රයට ගෞරව කරනවා. ඒ වගේම ආදරය කරනවා. ඔවුන්ගෙ ජීවිතයට බද්ධ වෙලා තියෙන්නෙ මේ කලාව. ඔවුන් තමන්ගෙ ආර්ථිකයට වඩා වැඩි වටිනාකමක්  ලබා දුන්නෙ කලාවට.

පසුගිය කාලයේ අපි දන්නවා කොවිඩ් වසංගතය නිසා මේ අය නොයෙක් දුෂ්කරතාවලට මුහුණ දුන්නා. අපි මේ ගැන අවධානය යොමු කළා. අපේ විදුර වික්‍රමනායක රාජ්‍ය අමාත්‍යතුමා පෞද්ගලිකවත් ඒ ඒ කලාකරුවන් මුණ ගැහිලා ඒ අවශ්‍ය කටයුතු ඔවුන්ට ඉටුකර දෙන්න ඉදිරිපත් වුණා.

හැබැයි, මිත්‍රවරුනි,

මොන තරම් දුෂ්කරතා තිබුණත් මේ කලාකරුවෝ, පහුගිය කාලේ ස්වෙච්ඡාවෙන්ම ඉදිරිපත් වෙලා ගෙදරට කොටුවෙච්ච ජනතාවගේ මනස සුවපත් කරන්න විවිධ කලා නිර්මාණවලට දායක වුණා. ඒ විතරක් නෙමෙයි රෝහල් හා ප්‍රතිකාර මධ්‍යස්ථානවල සිටි කොවිඩ් රෝගීන්ගේත් මනස සුවපත් කරන්න සෞඛ්‍ය අංශ සමඟ කළ කැපකිරීම අපට අමතක කරන්න බැහැ. එවැනි කලාකරුවන් ගැන අපට තියෙන්නේ සුවිශේෂී ආඩම්බරයක්.

ඒ නිසා තමයි රජය විසින් රක්ෂණ වියදම් ගෙවන ප්‍රේක්‍ෂා රක්ෂණයක් ඉතිහාසයේ ප්‍රථම වතාවට  හඳුන්වා දෙන්න අපට හැකිවුණේ. එදා නාට්‍ය ක්ෂේත්‍රයට සීමා වුණු වෛද්‍යාධාර හදිසි අනතුරු රක්ෂණය අද වෙනකොට සියලු කලාකරුවන් වෙනුවෙන් මුලපුරන යෝධ පියවරක් බවට පත්ව තිබෙනවා.

අපේ ආදරණීය කලාකරුවන්ගෙන් කිසිඳු මුදලක් අය නොකර ලබා දෙන මේ  රක්ෂණය  කලාකරුවන් වෙනුවෙන් අපට දෙන්න පුළුවන් හොඳම තෑග්ගක් කියලයි අපි විශ්වාස කරන්නෙ.

මිත්‍රවරුනි,

ඒ විතරක් නෙමෙයි මේ රක්ෂණය පිරිනමද්දි අපි එක් කලා ක්ෂේත්‍රයකට සීමා වුණේ නැහැ. ග්‍රාමීය කලා ක්ෂේත්‍රයන් සම්බන්ධයෙන් පවා අපි විශේෂ අවධානයක් යොමු කළා. මේ වැඩපිළිවෙලේ තිබෙන සුවිශේෂී ජයග්‍රහණය එය බවයි මා විශ්වාස කරන්නෙ.

මිත්‍රවරුනි,

ඒ විතරක් නෙමෙයි ස්ථිර ආදායම් මාර්ගයක් නැති  අඩු ආදායම් ලාභී කලාකරුවන්ටත්, කොවිඩ් වසංගතය හමුවේ වෘත්තීය හා රැකියා සුරක්ෂිතභාවය අහිමි වූ කලාකරුවන්ටත් මෙම රක්ෂණයෙන් ප්‍රමුඛතාවය හිමිවෙනවා.

අපි දන්නවා. කොවිඩ් මාරයාට ගොදුරුවීමෙන් අපේ රටේ කලාකරුවන් කිහිප දෙනෙකුට ජීවිත අහිමි වුණා. සෞඛ්‍ය මාර්ගෝපදේශවල විවිධ සීමාවන්ට යටත්වෙන්න සිදු වුනු නිසා ඇතැම් කලාකරුවන්ට අවසන් ගෞරව දක්වන්න තිබුණු අවස්ථාව පවා  අහිමි වුනා. අපි ඔවුන්වත් මෙවැනි අවස්ථාවක ගෞරවයෙන් සිහිපත් කළ යුතුයි.

මිත්‍රවරුනි,

සෑම කලාකරුවෙක්ම රටට සම්පතක්. ඔවුන් දරන මතවාද මුළු මහත් සමාජයක් විනිවිද දකිනවා. කලාකරුවන්ටත් සමාජයේ අනෙකුත් ජනතාවට හිමි අයිතිය හිමියි. ඒ නිසා රටේ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස අත්විඳින්න කලාකරුවන්ට අයිතියක් තියෙන්න ඕන. මේ අයිතියත් කලාකරුවන්ගෙන් උදුරගත්ත අඳුරු අතීතයක් අපේ රටේ තිබුණා. අද එවැනි තත්ත්වයක් නොමැති වුනත් ඒවා මුළුමනින්ම අමතක කරලා අපිට අනාගතයට පියනගන්න පුළුවන් කමක් නැහැ.

මිත්‍රවරුනි,

එදා කලාවට වාරණ පනවලා, අදහස් සීමා කරලා ඔබවත් පාලනය කරන්න කල්පනා කරපු යල් පැන ගිය මතවාද ආපහු කරළියට ගේන්න ඔබට අවශ්‍ය නැති බව අපි දන්නවා.  එදා පටන් අද වන තුරු කවදාවත් අපි කලාවට සහ කලාකරුවන්ට සීමා පනවන්න ගියේ නැහැ. හෙටත් අපි ඒ ස්ථාවරයේමයි ඉන්නෙ. අපි දන්නවා සැබෑ කලාකරුවකුගේ  හද ගැස්ම. මේ ගොඩක් අය මම ඒ කාලයේ ඉඳන් අදුරන අය. ඒ නිසා ඔබේ හද ගැස්ම මම හඳුනනවා.

මිත්‍රවරුනි,

ඔබට මතක ඇති අපේ ටෙලි නාට්‍ය කර්මාන්තයට කණකොකා හඬලපු කාලයක් තිබ්බා. එදා විදේශීය ටෙලි නාට්‍ය ගෙන්නලා හඬ කවල එක දිගට විකාශය කිරීමෙන් අපේ රටේ ටෙලිනාට්‍ය කලාව විශාල අභියෝගයකට මුහුණ දුන්නා. කලාකරුවන්ගෙ ජීවිතවලටත් මේවා බලපෑවා. ඒ වෙලාවේ විදේශීය ටෙලිනාට්‍ය සඳහා බදු මුදලක් පැනවීමට අපි ගත් පියවර නිසා අද වන විට විශිෂ්ට දේශීය නිර්මාණ බිහි වන තැනට පත්ව තිබීම සතුටට කරුණක්.

අපි රන්මිහිතැන්න හැදුවෙත් අපේ රටේ කලාකරුවන් වෙනුවෙන්. එවැනි ටෙලි ගම්මානයක අවශ්‍යතාවය අපි හොඳින් දැන සිටියා. කලාකරුවනුත් අපට විටෙන් විට ටෙලි ගම්මානයක අවශ්‍යතාවය පෙන්වා දුන්නා. එදා අපි ඒ ඉදිකරපු  රන්මිහිතැන්න අපේ රටේ කලාකරුවෝ වගේම අසල්වැසි ඉන්දියාවේ නිර්මාණකරුවනුත් සිය නිර්මාණකරනයට දායක කරගත්තා. අපි මේ පාර බලයට එනකොට මේ තැන් පහුගිය යහපාලන ආණ්ඩුවෙන් විනාශ මුඛයට ඇද දාලා තිබුණා.

මිත්‍රවරුනි,

අපේ රටේ සිනමාව  වසර 75 ක් තිස්සේ පැවතියේ කලාවක් ලෙසයි. දීර්ඝ කාලයක් තිස්සේ සිනමා ක්ෂේත්‍රයේ රැදී සිටි කලාකරුවන්ගේ පොදු ඉල්ලීමක් වුනේ සිනමාව කර්මාන්තයක් ලෙස පිළිගන්න කියලයි. වාණිජ වශයෙන් අපේ රටේ සිනමාව ගොඩ ගන්න සිනමාව කර්මාන්තයක් බවට පත් කරන්න සිනමා කලාකරුවො කරපු ඉල්ලීමත් අපි පිළිගත්තා.

මිත්‍රවරුනි,

කලාකරුවන් වෙනුවෙන් දත්ත පද්ධතියක් නිර්මාණය කරන්න ලැබීමත් රජයක් විදියට අප ලැබූ විශේෂ ජයග්‍රහණයක්. මීට කලින් අපේ රටේ කලාකරුවන්ගෙ තොරතුරු මේ විදියට එකම තැනකින් ලබා ගන්න පුළුවන් කමක් තිබුණෙ නැහැ. ඒ විතරක් නෙමෙයි ඩිජිටල් යෙදුමක් මඟින් ජාතික හා ජාත්‍යන්තර වශයෙන් කලාකරුවන්ගේ නිර්මාණවලට වාණිජ වටිනාකම් හොයා දෙන තැනට ගමන් කරන්න අපි අද මූලාරම්භයක් තබලා තිබෙනවා.

මිත්‍රවරුනි,

කලාකරුවන්ගේ අනාගතය ගැන කල්පනා කරලා ඔවුන් වෙනුවෙන් මේ වගේ හොඳ දෙයක් කරන්න ලැබීම ගැන විෂය භාර අමාත්‍යවරයා විදියට සතුටට පත්වෙනවා වගේම, මේ කාර්ය පිටුපස සිටින අපේ රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මැතිතුමාටත්, අමාත්‍යාංශ ලේකම්තුමා, රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්තුමිය ඇතුළු සියලුම නිලධාරීන්ටත් මාගේ ප්‍රණාමය පුද කරනවා.

ඔබ සැමට කලා නිර්මාණවලට තව තවත් අලුතින් සම්බන්ධ විය හැකි නිරෝගීමත් සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා යැයි අග්‍රාමාත්‍යතුමා පැවසීය.

කලා මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤාණිස්සර ස්වාමීන්වහන්සේ ද මෙහි වැඩම කර සිටියහ.

මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන, ජාතික උරුම ප්‍රාසාංගික කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් නිශාන්ති ජයසිංහ, පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග, ටවර් හෝල් පදනම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඩී.එම්.එස් දිසානායක මහත්ම මහත්මීහු සහ රාජ්‍ය අමාත්‍යාංශයේ සහ සොෆ්ලොජික් රක්ෂණ ආයතනයේ නිලධාරීන් හා කලාකරුවෝ රැසක් එක්ව සිටියහ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress