නොරොච්චෝල ගල්අඟුරු බලාගාර ව්‍යාපෘතියේ අවසන් අදියරේ ජනන පරීක්ෂණ කටයුතු ආරම්භ කෙරේ.
Posted on July 16th, 2014

සිසිර විජේසිංහ මාධ්‍ය ලේකම්

නොරොච්චෝල ගල්අඟුරු බලාගාර ව්‍යාපෘතියේ අවසන් අදියරේ ජනන පරීක්ෂණ කටයුතු මේ වනවිට ආරම්භ කර තිබේ. ඒ අනුව, ව්‍යාපෘතියේ අවසන් අදියර කඩිනමින් ජාතික විදුලිබල පද්ධතියට සම්බන්ධ කිරීම සඳහා අවශ්‍ය සියලු විධිවිධාන මේ වනවිට යොදා ඇත.

 බලාගාර ව්‍යාපෘතියේ ජනන යන්ත්‍ර දෙකක් මේ වනවිට ක්‍රියාත්මක කර ඇත. තෙවන ජනන යන්ත්‍රයට අයත් ඉදිකිරීම් දැනට අවසන් වී ඇති අතර එහි මූලික පරීක්ෂණ කටයුතු ආරම්භ කර තිබේ.

Norochal01

විදුලිබල හා බලශක්ති අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මැතිනිය ලබාදුන් උපදෙස් මත නොරොච්චෝල බලාගාරයේ අවසන් අදියර මෙසේ කඩිනමින් ඉදිකර ජාතික විදුලිබල පද්ධතියට සම්බන්ධ කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇත. ඒ අනුව බලාගාර ව්‍යාපෘතියේ තෙවැනි ජනන යන්ත්‍රයෙන් නිපදවන විදුලිය, අනුරාධපුරය දක්වා රැගෙනයාමට අවශ්‍ය රැහැන් එළීමට අදාළ කටයුතු, මේ වනවිට ඉදිකිරීම් මට්ටමේ පවතී. නොරොච්චෝල බලාගාරයේ සිට අනුරාධපුරය දක්වා දිවෙන කි.වො. 220 අධිසැර සම්ප්‍රේෂණ මාර්ගයේ කුළුණු 234 ක් ඉදිකිරීමට නියමිතය. එයින් කුළුණු 197 ක වැඩ මේ වනවිට අවසන්කර තිබේ.

නොරොච්චෝල බලාගාර ව්‍යාපෘතිය අදියර දෙකකින් සමන්විත වේ. එහි පළමු අදියරට එක් ජනන යන්ත්‍රයක්ද, දෙවන අදියරට ජනන යන්ත්‍ර දෙකක්ද අයත් වේ. මේ අනුව බලාගාර ව්‍යාපෘතියේ ජනන යන්ත්‍ර දෙකක් මගින් මේ වනවිට මෙගාවොට් 600 ක විදුලිය ධාරිතාවයක් නිපදවේ. තුන්වන ජනන යන්ත්‍රයද තව නොබෝ දිනකින් ක්‍රියාත්මක තලයට ගෙන ඒමත් සමඟ, නොරොච්චෝල බලාගාර ව්‍යාපෘතියෙන් අපේක්ෂිත සමස්ත ධාරිතාවය වන මෙගාවොට් 900 ජාතික විදුලිබල පද්ධතියට සම්බ්නධ කිරීම සම්පූර්ණ කෙරෙනු ඇත.

චීන ජනරජයේ සහන ණය ආධාර මත 2006 වසරේදී නොරොච්චෝල බලාගාර ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු, අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණු අතර සමස්ත ව්‍යාපෘතිය සඳහා වැය කෙරෙන මුදල ඩොලර් මිලියන 1341 කි.

 නොරොච්චෝල බලාගාර ව්‍යාපෘතිය මගින් මසකට විදුලි ඒකක මිලියන 540 ක් නිපදවීමට අපේක්ෂිතය. ඒ අනුව I වන හා IIවන ජනන යන්ත්‍ර වලින් 2014-05-26 දින වනවිට ජනනය කර ඇති විදුලි ඒකක ප්‍රමාණය ගිගාවොට් පැය 1114 කි.

2005 වසර වන විට ශ්‍රී ලංකාවේ සමස්ත නිවාස සංඛ්‍යාවෙන්  76.7% කට විදුලිය සපයා තිබූ අතර 2014 වනවිට එය 97% ක් බවට පත්වී තිබේ. 2005 වසරේ රටේ මුළු ස්ථාපිත විදුලි ධාරිතාවය මෙගාවොට් 2412 ක් වන අතර මේ වනවිට ඉන් මෙගාවොට් 3,363 ක් ලෙස ඉහළ නංවා තිබේ.

ශ්‍රී ලංකාවේ විදුලිය උත්පාදනය සඳහා යොදාගත හැකි ජල මූලාශ්‍රයන් වැඩි ප්‍රමාණයක් දැනටමත් භාවිතයට ගෙන ඇති බැවින්, විදුලි උත්පාදනය වෙනුවෙන් විකල්ප ප්‍රභවයන් වෙත අවතීර්ණ වීමට සිදුවී තිබේ. ඒ අතරින් වඩාත් ලාභදායි විදුලි ජනන ප්‍රභවය ප්‍රමුඛතා අනුපිළිවෙලින් ගල්අඟුරු බලාගාර සහ ස්වභාවික වායු බලාගාර ලෙස හඳුනාගෙන ඇත. එමෙන්ම මේ වනවිට පුනර්ජනනීය බලාගාර වලින් මෙගාවොට් 367 ක් ජාතික විදුලිබල පද්ධතියට එක්කර ඇති අතර එය රටේ සමස්ත විදුලිබල ඉල්ලුමෙන් 10% ක ප්‍රමාණයකි.

ත්‍රීකුණාමලය, සාම්පූර් ප්‍රදේශයේ දෙවන ගල්අඟුරු බලාගාරය ඉදිකිරීම සඳහා මේ වනවිට සියලු කටයුතු යොදා ඇති අතර, මෙමගින් ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 500 ක ධාරිතාවයක් සම්බන්ධ කිරීමට අපේක්ෂිතය.

අනාගතයේදී ඇතිවිය හැකි බලශක්ති අර්බුද ජයගැනීම සඳහා ස්වභාවික වායු බලාගාර මඟින් විදුලි ජනනය කිරීම උදෙසාද රජය මේ වනවිට මූලික සැළසුම් සකස් කරමින් සිටී.

One Response to “නොරොච්චෝල ගල්අඟුරු බලාගාර ව්‍යාපෘතියේ අවසන් අදියරේ ජනන පරීක්ෂණ කටයුතු ආරම්භ කෙරේ.”

  1. aloy Says:

    Hon. Pawithra,
    We now know that $1.34b has been spent (excluding interest ?) on the generation of 900MW. How long the plant is going to provide useful service and what is the ‘cost of electricity by source’. Could you please compare with that of India’s coal power plants?. If we google this phrase we get some interesting figures for US.
    Ultimately what matters for us is our electricity bill and the reliability of service. When are you going to reduce the electricity tariff?. At the moment it is unbearable.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress