DCD පරීක්ෂා 100% ක් නිවැරදි බවට ITI තහවුරු කරයි
Posted on October 2nd, 2014

තම අමාත්යාංශය හෝ ආයතන මුදලට ගත නොහැකි බව ඇමති චම්පික පවසයිවෙළෙඳ දැන්වීම් තරඟයකට ගොස් මහජනයා මුලා නොකරන ලෙස ඇමති චම්පිකගෙන් ඉල්ලීමක්.

2013 වර්ෂයේ ජුලි මාසයේ සිට මේ දක්වා කිරිපිටි නියැඳි 1190 ක DCD පරීක්ෂාව සිදුකර ඇති බව කාර්මික තාක්ෂණ ආයතනය පවසයි. මේ වන විටත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉල්ලීමකට අනුව කිරිපිටි නියැඳි 13 ක DCD පරීක්ෂාව සිදු කරන බවද ITI ආයතනය පෙන්වා දෙයි. 2013 වසරේ ජුලි සහ ඔක්තෝබර් අතර කාලයේ කිරිපිටිවල සිදුකළ DCD පරීක්ෂාවෙන් එම නියැඳිවලින් 20 % ක ප්‍රමාණයක DCD පැවති බවට තහවුරු විය.  

අදවන විට කිරිපිටිවල සිදුකළ DCD පරීක්ෂාව පිළිබඳව සමාජයේ විවිධ මත ගොඩනැගීමට ඇතැම් මාධ්‍ය කටයුතු කළත් ITI ආයතනය සිදුකළ අනාවරණය රටේ බහුතර ජනතාව පිළිගෙන ක්‍රියාකරන බව කිරිපිටි අළෙවියේ පහත වැටීමෙන් පෙන්නුම් කරන බව ඇමති චම්පික රණවක අවධාරණය කර සිටියේ අද උදෑසන ITI ශ්‍රවණාගාරයේ පැවති මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමිනි.
 
2013 වර්ෂයේ කිරිපිටි ටොන් 84,000 ක් මෙරටට ආනයනය කළත් 2014 වර්ෂයේ මේ දක්වා ආනයනය කළ කිරිපිටි ප්‍රමාණය ටොන් 6,000 ක් පමණි. කෙසේ වෙතත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියමය පරිදි මෙරටට ගෙන්වන සෑම කිරිපිටි තොගයකම DCD පරීක්ෂාව ITI ආයතනය සිදුකරන බව අමාත්‍යවරයා පවසයි. ඒ සෑම පරීක්ෂණයක්ම නිවැරදි රසායනාගාර ක්‍රමවේද අනුගමනය කරමින් ජාත්‍යන්තරය පිළිගත් රසායනාගාර තත්ත්ව යටතේ සිදුකර ඇත. මේ දක්වා සිදුකළ සියළුම DCD පරීක්ෂාවල වාර්තා නිවැරදි බවට ITI ආයතනය මෙන්ම තමන්ද තහවුරු කරන බව ඇමති චම්පික පවසයි. DCD පරීක්ෂාව සම්බන්ධයෙන් 2013 වසරේ පැවති හැකියාව මේ වනවිට වැඩිකර ගැනීමට ITI ආයතනය සමත් වී ඇත.
 
කිරිපිටි හෝ අයිසික්‍රීම් හෝ වෙනත් ඕනෑම ආහාරයක විෂකාරක ශරීරයට අහිතකර රසායනික සංයෝග අඩංගුවේ නම් එය රටේ මිලියන 20ක ජනතාවගේ ආහාර ක්‍රමවේද සහ ජීවිත පිළිබඳ ප්‍රශ්නයක් බව ඇමති චම්පික පවසයි.  එහෙයින් ආහාර නිෂ්පාදන පිළිබඳ 100 % ක් නොදන්නා කරුණු ඉස්මතු කරමින් වෙළෙඳ දැන්වීම් ප්‍රචාරය සුදුසු නොවන බවත් තම අමාත්‍යාංශය හෝ ඒ යටතේ ඇති ආයතන සල්ලිවලට යට නොවන බවත් අමාත්‍යවරයා අද උදෑසන පැවති මාධ්‍ය හමුවේදී වැඩි දුරටත් සඳහන් කර සිටියේය.

මිනිස් ජන ජීවිතයට සෘජුවම සම්බන්ධ කාරණා වාර්තාකිරීමේදී ඒ පිළිබඳව වන තාක්ෂණික කරුණු පිළිබඳවද නිවැරදි වාර්තාකරණය අත්‍යාවශ්‍යය. ඒ සඳහා තම අමාත්‍යාංශයට සහ අනුබද්ධ ආයතනවලට දායකත්වය ලබාදෙන මෙන් ඇමති චම්පික රණවක සියලූ ජනමාධ්‍යවේදීන්ගෙන් ඉල්ලීමක්ද කළේය. ඒ තත්ත්වයන් සපුරාගැනීමට තමන් සහ තම ආයතන නිලධාරීන් ඕනෑම අවස්ථාවක ඉදිරිපත්වන බවද අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress