ප්‍රංශජාතික මොන්ටෙස්කිව නොදැක්ක සිංහල අපේ ශක්‍ර දෙවියෝ
Posted on November 14th, 2014

චන්ද්‍රසිරි විජයවික්‍රම

එම්පරර් යට ඇඳුමෙන්

    චන්ද්‍රසේන පණ්ඩිතගේ ජනාධිපති රාජපක්‍ෂව බේරා ගැනීම සඳහා ශක්‍ර දෙවියන් මුණ ගැසි ලබා ගත් උපදෙස අපගේ දැන ගැනීම සඳහා ලංකා වෙබ් අඩවියට වාර්තා කලේය. දැන් කාලයේ සිදුවන දේවල් ගැන හිතන විට ශක්‍ර දෙවියන් පවා හරියට ඔහුගේ හෝම් වර්ක් කරන්නේ නැති සේ ය. අනුර බණ්ඩාරනායක විසින් “මහින්ද සුදුසු හොඳ ඩෙපුයුටි කෙනෙක් ලෙස සිටීමට යයි” කියා සිටි කාලයේ සිටම කවදා හෝ රට බේරා ගැනීමට පුළුවන් පුද්ගලයා මහින්ද යයි ප්‍රසිද්ධියේ වෙබ් අඩවි වල හා ඊමේල් වල ලියූ පුද්ගලයෙකු වශයෙන් මට, අද චන්ද්‍රසේන වැටී ඉන්නා දුක, අසීරුතාවය හොඳින්ම වැටහේ. නමුත් අප හැමට මේ දුකෙන් ගොඩ ආ හැක්කේ අපේම විචක්‍ෂණ බුද්ධියෙන් මිස ශක්‍ර දෙවියන් මඟින් නොවේ. කෞරව-පාණ්ඩව යුද්ධයේදී ක්‍රිෂ්ණා විසින් අර්ජුනට කිව් පරිදි යුක්තිය හා සත්‍යය උදෙසා වැරදි කරණ නෑයන් විනාශ කිරීමට සිදුවුනොත් එය ඉටුකල යුතුමය. ශක්‍ර දෙවියන් නාවත් ක්‍රිෂ්ණා ඊට අවශ්‍ය බලය, ශක්තිය ලබා දේ. වෙනත් වචන වලින් කියනවා නම් එම්පරර් හෙළුවෙන් බව පෙන්නාදීම අපේ යුතුකමය.

බාගෙන කෑම-ඉහගෙන කෑම අතර වෙනස

    බුද්ධාගමේ කියන මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය නොකිරීමේ පාපය පිරිත් කියවා ගැනීමෙන් හෝ බණ ඇසීමෙන් හෝ පන්සල්-විහාර විවෘත කිරීමෙන් හෝ යටපත් කරගත නොහැකිය. ඉහගෙන කෑම හා බා ගෙන කෑම කියන්නේ මේ මධ්‍යම ප්‍රතිපදාව ක්‍රියාවට යෙදීමේ උදාහරණයක් නොවේද? මහින්ද විසින් කරන ලද මූලිකම වරද එයය. මා මෙසේ කියන්නේ ඇයි? ලෝකයේ ස්වභාව ධර්‍මයට (හැමදාම ඉර පායන්නේ නැඟෙනහිරින් ය), සනාතන ධර්‍ම වලට (ඉපදුනොත් මැරෙනවාමය), මනුෂ්‍ය ස්වභාවයට (තන්හාව දුකට මුලය) හා මිනිස් සමාජ සාර ධර්‍ම වලට (බොරුව හා වංචාවට ජය ගත නොහැක) පටහැනි ලෙස මහින්ද ජනාධිපතිවරයා විසින් දිගින් දිගටම ක්‍රියාකරමින් සිටිනා බව වාසියට ඔහු වටා සිටිනා එහෙයියන්ට මිස මහත්මා ගතිගුණ ඇති කෙනෙකුට නොපෙනේද?

ඇමතිධූර පගා ලෙස පාවිචිචි කිරීම

    විධායක ජනාධිපති ධුරය කොට උඩ යැවීමේ බලය, දැන හෝ නොදැන, ජේ ආර් ගේ බහුභූතය හරහා පාර්ලිමේන්තුවට ලැබී ඇත (බජට් එක එක චන්දයකින් පැරැද්දුවොත් ජනාධිපති බඩගින්නේය. මේ නිසාය ජේ ආර් මන්ත්‍රීලාගෙන් දිනය නැති ඉල්ලා අස්වීමේ ලියුම් ලබා ගත්තේ). මෙය රටට බලවත් විනාශයක් වූයේ ජේ ආර්, ප්‍රේමදාස සමඟ එක්වී චන්ද ක්‍රමය වෙනස් කිරීමත් සමඟය. මහජනයාට චන්ද කොට්‌ඨාශ අනුව මන්ත්‍රී තෝරා ගැනීමේ අයිතිය, කොළඹ පක්‍ෂ ලැයිස්තුවකට හා දිස්ත්‍රික් හා මනාප ක්‍රමයකට යට කිරීමෙන්, නූගතුන්, හොරුන්, තක්කඩින්, අපරාධකාරයින් මන්ත්‍රීන් වන ක්‍රමයක් බිහිවිය. අද පාර්ලිමේන්තුව කියන්නේ ගංජා සුරුට්ටු කඩයක් වගේ තැනක් නොවේද?

    මෙවැනි පසුබිමක් යටතේ නම්බුකාර පාර්ලිමේන්තුවක් බලාපොරොත්තු විය නොහැකිය. ගමෙන් ආ සරොන් කාරයෙක් වශයෙන් මෙම කොට උඩ යැවීමේ බලය වැලැක්වීමට මහින්දට පියවර ගතයුතුව තිබුණි. මේ නිසා “බලාපොරොත්තු වන අවසාන ප්‍රතිඵලය ඒ සඳහා යොදා ගන්නා ක්‍රම සාධාරණ කරවයි” යන රීතිය උඩ යමින් ඇමතිධූර පගා වශයෙන් දී මන්ත්‍රීන් බිලිබා ගන්නට ඔහු ක්‍රියා කලේය. මෙය මැකියාවේලි උපායකි. ජේ ආර් බහුභූතය ඇලඩින්ගේ පහණක් කරගන්නට ඔහුට හැකි විය. 2007 දී විමල් වීරචංශ නිසා නොවේ නම් මහින්දට පාර්ලිමේන්තුවේදී අයවැය සම්මත කර ගන්නට ඉඩ නොලැබීමටත්, ඒ නිසා යුද්ධය බකල් වී රට දෙකට කැඩී යාමටත් ඉඩ තිබුණි. මේ නිසා මෙය ඥානවන්ත දේශපාලන ක්‍රියාවක් ලෙස මා ලියූ ලිපි ඒ කාලයේ අයිලන්ඩ් පත්තරයේ පවා පළවිය. චේතනාව යහපත් යයි මම සිතුවෙමි. මෙය යහපත් (ධර්මිෂ්ට) ඒකාධිපතියා සංකල්පය වගේය. සිංගප්පූරුව හෝ මැලේසියාව හෝ දකුණු කොරියාව ගොඩගත්තේ ප්‍රජාතන්ත්‍රවාදයෙන් නොවේ. අද බොරුකරණ පාසැල් ගුරුවරු, රජයේ නිලධාරීන්, දොස්තරලා යන අයව ප්‍රජාතන්ත්‍රවාදය යටතේ ගොඩ ගත නොහැක.

    පාර්ලිමේන්තුවේ බහුතරය ලබා ගැනීමට පවතින කුපාඩි ක්‍රමයක් යටතේ මෙසේ ක්‍රියා කිරීමට වීම බුද්ධාගමට පටහැනි නැත්තේ එසේ නැත්නම් ඔහු දේශපාලනය අතහැර අසපුවකට ගොස් භාවනා කර සෝවාන් වීමට බැලිය යුතු නිසාය. නමුත් මෙහිදී ප්‍රශ්ණය වන්නේ ඇමතිධූර හා උප ඇමතිධූර 150 කට කිට්ටුවෙන්නටම පගා දීමට ගියේ කුමක් නිසාද යන්න ය. මධ්‍යම ප්‍රතිපදාවෙන් පිට පැන්නේ මෙසේය. සීනි ඇමති කෙනෙක් පවා ඉන්නා එකම රට ලංකාවය! දැන් පෙනීයන හැටියට මෙය අන්තවාදී ලෙස කර තිබෙන්නේ තුනෙන් දෙක ලබා ගෙන තුන්වන වරටත් ජනාධිපතිවීමට මඟක් පාදා ගැනීමට ය. රටට සේවය කරන්නට අවුරුදු 12 ක් හොඳටම සෑහේ.  තුනෙන් දෙකෙන් කල යුතුව තිබෙන්නේ 13-ඒ ඉවත් කිරීම නොවේද? එය ඉවත්කර ජන සභා හරහා ගම්මට්ටමින් ජනයාට යම් පරිපාලන, සමාජීය හා සංවර්‍ධන බලතල පවරාදීම නොවේද?

සීනි ඇමතිලා වැඩේ කන හැටි

    මේ අන්දමට ඇමතිකම් ඇති කිරීමෙන් සුප් එකට කුක්ලා වැඩිවුනා වගේ දෙයක් සිදුව ඇත. මෙසේ නා නා ප්‍රකාර ඇමතිකම් ඇති කිරීම නිසා කිසි ඇමතියෙක් නිසි වැඩක් කරන්නේ නැත. ලෝකයේ කාරණා සිද්ධවෙන ආකාරයට අනුව දැන් ලංකාවේ කර ඇති අන්දමට විෂයයන් වෙන් කරaැති විධියට යම් ප්‍රතිපත්තියක් යටතේ යම් සැලැස්මක් ක්‍රියාවට නැඟීම දුෂ්කරය. එක ඇමතියෙක් අනිකාගේ විෂයට ඇඟිලි ගැසුවා වේ. උදාහරණයක් වශයෙන් සීනි ඇමති කරන වැඩ කෘෂිකර්‍ම නම් ඇමති කෙනෙක් යටතේ උප ඒකකයක් වශයෙන් සිදුවිය යුතු දේ නොවේද? ගස් වර්‍ග හා සතුන් හදා වඩා ගැනීම භාරව (කෘෂිකර්‍මය කියන්නේ මේ දෙකට නොවේද?) එක ඇමතියෙක් යටතේ සීනි (උක් ගස්) සඳහා මේසයක් තැබීම හොඳටම සෑහේ. අධ්‍යාපන අංශය ගත්තොත් බූරුවන කී දෙනෙක් ඉන්නවාද? විශ්ව විද්‍යාල විකාර වී නැද්ද? ශිෂ්‍යයින් ඉදිරියට ගොස් අවංකව කතාවක් දීමට ශකතිය ඇති උපකුලපතිලා ඉන්නවාද? මොවුන් සුදුසුකමට නොව දේශපාලකයින්ගේ ඉත්තන් බව සිසුන් දන්නා නිසා සිසුන්ගෙන් ඔවුන්ට කිසිම ගරු කිරීමක් නැත.

    මේ ඇමති කතාවේ අනිත් පැත්ත නම් පුද්ගලයින් තුන් දෙනෙක් විසින් වැදගත් අමාත්‍යංශ අල්ලා ගෙන සිටීමය . ආරක්‍ෂක, මුදල් හා ආර්ථික සංවර්‍ධන යන මේ තුනත්, ලලිත් වීරතුංග, අජිත් කබ්‍රාල් හා පී බී ජයසුන්දර යන තුන් දෙනාත් 150 ක් පමණ වන සෙසු ඇමති කුරුට්ටන් විධායක බලය රහිත රොඩු බවට පෙරලා දමා ඇත. මෙවිට සිදුවන්නේ කුමක්ද? රොඩ්ඩෝ කිසි වැඩක් නොකර අමාත්‍යංශ ලේකම්ලාට වැඩේ පවරා පුළුවන් හැම ආකාරයකින්ම තම හොද්ද බොර කර ගැනීමය. ඇමති ලේකම් වන්නේ දක්‍ෂයෙක් නොව එහෙයියෙක් වීමට සුදානම් බව පෙන්වූ ඉත්තන් ය. රොඩු ඇමතිලා මේ ලේකම් ලා ගැන සිතන්නේ ජනාධිපතිගේ ඔත්තු කාරයින් කියාය.  මීට එක් කල තවත් ගුණ්ඩුවක් නම් අධීක්‍ෂණ මන්ත්‍රී කමය. රෝඩ්ස් ස්කොලර් ජී එල් පීරිස් ව අධීක්‍ෂණය කරන්නේ උසස් පෙල වත් පාස් නැති වාස් ගුනවර්‍ධන නම් වස්සෙකි. ගොඨාභයව අධීක්‍ෂණය කලේ දුමින්ද සිල්වාය. දැන් අළුතින්ම පබාව ඩිලාන් ගේ වැඩ අධීක්‍ෂණය කරන්නට පත් කර ඇත.

බොරු ප්ලෑන්

    ලංකාවේ දේශපාලකයාට ඕනෑ දිගු කාලීන ජාතික සැලැස්මක් නැත. එවැනි දේ කතා කරන නිලධාරීන්ට තැනක් නැත. ඉතාමත් සාර්‍ථක වූ ගැමි දිරිය වැඩ සටහන නිර්‍මානය කල අවංක නිලධාරියා මට කිව් ආකාරයට දේශපාලකයාට දිගු කාලින සැලැස්ම වල් රුස්සන්නේ නැත. ඔහුට අවශ්‍ය ලොක්කා වශයෙන් සිට මල්ල තර කර ගැනීමත්, ඒ අතරතුර එදිනෙදා පැන නඟින ප්‍රශ්න වලට ඒ ඒ වේලාවට ජනප්‍රිය වීම සඳහා විසඳුමක් දීමත් ය. විසඳුමෙන් හෙට ඇතිවිය හැකි හානිය ඔහුට වැදගත් නැත. මේ නිසා කිසිම අවංක නිලධාරියෙක් රටට ඉතුරු නොවේ. ඉහළට එන්නේ හොර නිලධාරියා ය. ඔවුන් දේශපාලකයා රවටා තමන්ගේ හොද්ද බොර කර ගනී. රට මකබෑ වීම පුදුමයක්ද?

අවවාදය හා ආදර්‍ශය

    අද රට පගා ගුලක් වී තිබෙන්නේ මෙසේ පගාව දී ඇමති කම් ඇති කිරීමේ ඉහළින්ම එන ආදර්‍ශය නිසාය. එය එසේ වන්නේ සීමාව ඉක්මවා හුදෙක් ආත්මර්‍ථකාමී අරමුණු සඳහා එසේ ඇමතිකම් දීම නිසාය. මේ වැඩේ දැන් කෙතරම් භයානක වී ඇත්දැයි කියනවා නම් ජනධීපති අද හිරකාරයෙක් වී සිටී. ඔහු වටා ඉන්නේ පරණ ශ්‍රී ලංකා කාරයින් නොව වෙස්වලා ගත් රට කඩන්නට උල් පන්දම් දුන් යූ එන් පී කාරයින් ය. රනිල් වික්‍රමසිංහට ද වැඩියෙන්ම බනින්නේ මේ ආණ්ඩුවේ හැංගී ඉන්නා යූ එන් පී කාරයින් ය. මර්වින් සිල්වාගේ දඩබ්බර ක්‍රියා, මහින්දානන්ද අළුත්ගමගේ ගේ දේපල යනාදිය ගැන විමර්‍ශන නොකරන්නේ ඇයි කියා ප්‍රශ්ණ මතුවන්නේ රටේ අපරධ, දූෂණ ආදිය වැඩිවන්නේ, මෙසේ ඉහළින් නීතිය ක්‍රියාවේ නොයෙදීම නිසාවෙන් ය.

බල්ලට ගිය රට

    මේ තත්වයට ලංකාව වැටුනේ 1948 න් පසුව සිටම හා විශේෂයෙන් 1978 න් පසුව ජේ ආර් ලා කල මගඩි නිසාය. නමුත් දැන් එය වසංගතයක් වී ඇත. මේවා ගැන පොතක් වුනත් ලියන්නට කරුණු ඇත. මෙහිදී උදාහරණ කීපයක් පමණක් ලියමි. එකක් නම් ශිරානි බණ්ඩාරනායක සිද්ධිය ය. ශිරානිව, චන්ද්‍රිකා නඩුකාර තනතුරට පත් කලේ සුදුසුකමක් නැතිවය. ඇය පෙඩරල් වාදී නිසා සමහර විට ජී එල් පීරිස් එය කරන්නට ඇත. කෙසේ වෙතත් 13-ඒ සම්බන්ධ නඩු වලට සහභාගි නොවන ලෙසට උසාවියෙන් ඇයට අවවාද කර තිබුණි. නඩුකාර කමට සුදුසු නොවූ ඇයව මහින්ද විසින් අග්‍ර විනිශ්චයකරු කරණ ලදී. ඇගේ සැමියාට සුදුසුමක් නැතිව බැංකු තනතුරක් දුන් විට එය භාර නොගන්නා ලෙස ඇය විසින් ඔහුට දැන්වීමට තිබුණි. ඔහුට එවැනි තනතුරක් දීම වැරදි බව මහින්ද දැන සිටියේය. පසුව සැමියා හොරෙක් බවට තීරණය විය. අන්තිමේ ඉතාමත් අයුතු ආකාරයට ඇයවද ජොබ් එකෙන් පහ කරන ලදී. මෙහිදී පෙනී ගියේ මේ තුන් දෙනාම වංක පුද්ගලයින්වූ බවය. රටේ ඕනෑ තරම් හොර හිත් ඇති වංක පුද්ගලයින් ඉන්නා නිසා ජනාධිපති ඉබේම ඒ පැත්තට තල්ලු වෙන්නේය.

මහසෙන් රජතුමා

    මහින්ද ජනාධිපතිව මහසෙන් රජු කරන්නට හදන අය මිරිඟුවක් පසු පස යන අය ය. මේ අය කරන්නේ මහජනයා රැවටීමය. ලංකාව බහු ජාතික රටක් බවත්, සර්‍වාගමික රටක් බවත් ජනාධිපති විසින් හා ඔහුගේ අගමැති පඹයා විසින් ද ක්‍රියාවෙන් ඔප්පු කර ඇත.  පෝප් ගේ දේව වරම නම් ලංකාව වගේ රටවල්, ආසියාව, ක්‍රිස්තියානි කිරීමය. එසේ නම් බෞද්ධ ජනාධිපති කෙනෙක් ඔහුට ලංකාවට එන ලෙස ඔහුගේ දෙපා ලඟට ගොස් ආයාචනා කරන්නේ කෙසේද? ඊට අමතරව දුප්පත් මුස්ලිමුන්ට මක්කමට යාමටද උදව් කිරීමට ඔහු සූදානම් ය. දඹදිව නොව අටමස්ථාන බැලීමටවත් යන්නට නොහැකි දිළිඳු මිනිසුන් කෙතරම් ලංකාවේ සිටින වාද? ඔවුන්ට නොමිලේ රේල් ටිකට් එකක් දීමට වත් මේ ජනාධිපතිට නොසිතුනේ ඇයි? නැඟෙනහිර පලාතේ හදන එක මුස්ලිම් පල්ලියකට (බලකොටු) ලැබෙන අරාබි මුදලින් මුස්ලිම් මිනිසුන් 10,000 ක් මක්කමට ගෙන ගිය හැකි නොවේද? මේවා දෙවන රාජසිංහ රජු හා මලයාලම් ගුරන් සිහි නොකරන්නේද? ආර් ප්‍රේමදාසට මලයාලම් ගුරන් සිටියත් ඔහු මෙතරම් අන්තවාදී වූයේ නැත.

යුද්ධ ජය පරාජයක් වීම

    13-ඒ අනුව ලංකාවේ දෙමල නිජ භූමියක් තිබේය යන අදහස ව්‍යවස්ථාවේම පිළිගෙන ඇත. මෙය අමතක කරන්නේ දයාන් ජයතිලක, රජිව් විජේසිංහ වැනි ක්‍රිස්තියානි කළු සුද්දන් පමණ ය. මේ ලඟදී, නොවැම්බර් 6-7, කල්කටාවේදී රජිව් විජේසිංහ කල කතාවක්, ඩී බී එස් ජෙයරාජ්ගේ වෙබ් අඩවියේ නොවැම්බර් 12 දා පළවිය. ඒ අනුව 13-ඒ දැන් නම් කිසිසේත් ඉවත් කල නොහැකි බවත් එය 13-ඒ ප්ලස් කල යුතු බවත් රජීව් කියයි. මේක හරියට මේ යුද්ධය නම් කවදාවත් දිනන්න බෑ කිව්වා වගේම සිංදුවකි. 2005 දී ඔහුට විරුද්ධවූ සියළු දෙනාම අද මේ ජනාධිපතිගේ උපදේශකයෝ ය.

    හිතුවක්කාර ලෙස උතුරු පලාත ටී එන් ඒ එකට භාරදී (විග්නේශ්වරන් කියන්නේ ඉන්දියාවේ බල කිරීම නිසා මහින්ද එය කල බවය), ඉතා නුදුරු කාලයක්දීම පෑනෙන් දෙමල රටක් හදා දීමේ විෂබීජය දැන් මහින්ද රාජපක්‍ෂ රජයෙන් ස්ථාපිත කොට ඇත. ඔහු වටා ඉනේ මාක්ස්වාදී හා යූ එන් පී එකෙන් පැනගත් පෙඩරල් රැලය. මේ නිසා යුද්ධ ජය සිහිනයක් වීම නිසැකය. හසලක වීරයින් දිවි දුන්නේ මේකටද? 13-ඒ නැතිකිරීම ගැන මාදුළුවාවේ සෝභිත හෝ අතුරැලියේ රතන හාමුදුරුවරු කතා නොකරන්නේ නොදන්නා කමටද නැත්නම් සරත් ෆොන්සේකාට 2010 දී වූවා මෙන් ඇමෙරිකන් ඇමක් ගිලීම නිසාද කියා සැකය.

අධිකරණ ක්‍රමය ගැන විශ්වාශය නැතිවීම

    යම් රටකට සිදුවිය හැකි ලොකුම විනාශය ඒ රටේ අධ්‍යාපන ක්‍රමය කඩා කප්පල් වීමය. ඒ වගේම බරපතල හානියක් නම් මහජනයා තුල රටේ ඉහලම උසාවිය ගැන විශ්වාශය නැති වීමය. යුක්තිය ඉටුවනවා පමණක් නොව එසේ ඉටුවනවා ය යන විශ්වාශයක් මහජනයා තුල තිබිය යුතුය. නඩුකාරයින් පත් කල යුතු සීනියෝරිටි අනුව ය. එසේ නැතිව ජනාධිපති එය කිරීමෙන් දූෂණයට මඟ පෑදේ. අද සිදුවී ඇත්තේ එය ය. යම් නඩු කාරයෙක් අවංක වුනත් ඔහු ජනාධිපතිට පක්‍ෂපාතී ය යන සැකය ඉතාමත් භයානක කාරණයකි. හිට්ලර් බලයට ආවේ පවතින නීතිය යටතේම නොවේද?

මෙත්තානන්ද ලියුම

    1956 අප්‍රියෙල් මස බණ්ඩාරනායක අගමැති කරවීමට බලයක් වූ එල් එච් මෙත්තානන්ද විසින් ඊට මාස තුනකට පසු අගමැතිට යැවූ ලිපියක් මෙත්තානන්ද වෙබ් අඩවියේ ඇත. එම ලිපිය කියවූ විට ක්‍රිස්තියානි නෑයින් සිටි අගමැති කෙතරම් දුරට ක්‍රිස්තියානි බලවේගයට යටවී සිට ඇත් දැයි දැන් අපට පෙනේ. එය අපේ ආණ්ඩුව වී ඇත්තේ මතු පිටින් පමණය. ගමේ මිනිසුන් පාර්ලිමේන්තුවට රොක්වී සමහරු කථානායක පුටුවේ පවා ඉඳගත්තාට නියම බලය තිබී ඇත්තේ ක්‍රස්තියානී ව්‍යාපාරයට මය. සර් ජෝන් විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවූ එම් එස් තේමිස් ට හතරගාතෙන් වැටෙන්න පයින් ගැසූ මානසික බලය ක්‍රිස්තියානි කළුසුද්දන්ගේ බලය ය. මේ බලය අද කාර්ඩිනල් විසින් එලිපිටම පාවිචිචි කරනවා නොවේද? මහාණායක හිමිවරු අතරමංවෙලා නොවේද?

මොන්ටෙස්කි මුණ නොගැසුණ ශක්‍ර දෙවියා

    මොන්ටෙස්කි විසින් රාජ්‍ය පාලන බලය තුන් ආකාරයකට බෙදුවා කියා අපි ඉගෙන ගෙන තිබේ. ඒ විධායක, ව්‍යවස්ථාදායක හා අධිකරණ අංශ වශයෙනි. මෙය දැඩි ලෙසටම ඇත්තේ ඇමෙරිකාවේය. දැන් එය ඇමෙරිකන් ආණ්ඩු ක්‍රමය කොට උඩ යවන තරමටම ලෙඩක් වී ඇත්තේ දැන් දැන් ඒ රටේ දේශපාලනය කරන්නට එන අය ලංකාවේ වගේම කසි කබල් මිනිසුන් වීම නිසාය. ඇත්තවශයෙන් බලතොත් ඒ රටේද සියල්ල පාලනය කරන්නේ සුළු පන්තියක් විසින් ය.   

    ලංකාවේ වගේම ඒ රටේත් නොයෙක් ආකාරයේ විධායක ඇඟිලි ගැසීම් අධිකරණයට කර ඇත. ඒවා කරන්නේ ව්‍යවස්ථාවට හොරෙන් ය. උදාහරණයක් වශයෙන් ජනාධිපති ලින්ඩන් ජොන්සන් ට කළු ජාතිකයෙක් මහ උසාවියට පත් කරන්නට ඕනෑ විය. ඔහු කලේ එක් නඩුකාරයෙකුගේ පුතාට නීතිපති තනතුර දෙනවාය කියා ඒ නඩුකාරයාට විශ්‍රාම යන්නට රුකුල් දීමය. එසේ කර කළු නඩුකාරයෙක් පත් කලේය. ලංකාවේ උසාවි නඩුකාර කම් එක්තරා පන්තියකට සීමාවූ කාලයක් විය. එහෙත් නීතිය අනුව සීනියෝරිටි අනුව අගමැතිලාට කල හැකි බලපෑමේ එක්තරා සීමාවක් තිබුණි. ප්‍රථම වරට එය වෙනස් වූයේ ෆිලික්ස් ඩයස් කුරුණෑගල නීතීඥ ශ්‍රී ලංකා නිදහස් පාක්‍ෂික ජයා පතිරණව නඩු කාරයෙක් කිරීමෙනි. ජේ ආර් ද නොයෙක් දේ කලේය. එහෙත් අද තත්වය අනුව ජනාධිපති ගේ ගෝල බාලයින් උසාවියට පත් කරනු ලැබේ.

    බලය නිසා මිනිසුන් දූෂණ කරන්නට පෙළඹේ. අති විශාල අසීමිත බලය නිසා පුදුම ආකාරයේ විශ්මය ජනක දූෂණ කිරීමට මිනිසුන් පෙළඹේ. මෙවැනි මඟක් 18 වන සංශොධනය මඟින් මේ ජනාධිපති ඔහුට ලබා ගෙන ඇත. වෙන මොනවා නැතත් අධිකරණයට එසේ කල හැකිවීම කිසිම අවංක පුද්ගලයෙකුට අනුමත කල නොහැකිය. ශක්‍ර දෙවියාට මෙය නොපෙනීම රටේ අභාග්‍යයකි.

    දැන් සොයා ගෙන ඇත්තේ මොන්ටෙස්කි මෙසේ දැඩි ලෙස බලය බෙදීමක් කියා නැති බවය. ඔහු කියා ඇත්තේ සමස්ත බලය හැකිතාක් උපරිම ආකාරයට ඒකක අතර බෙදා හැරිය යුතු බවය. මීට හේතුව ව්‍යවස්ථාදායක හා විධායක බලතල මුළුමනින්ම එකිනෙකින් වෙන් කල නොහැකි නිසාත්, යම් අර්‍ධ අධිකරණ ස්වභාවයේ ක්‍රියා විධායකය විසින් කල යුතුවන නිසාත් ය. විශාල සංඛ්‍යාවක් සමස්ත රාජ්‍ය පරිපාලන බලය පාවිචිචි කරණවා නම් තනි ඒකාධිපති ක්‍රමයක් බිහිවීම ඉන් වලකී. හොඳම නිදසුන ලංකාවේ පන්සල් ආයතනය ය. හැම විහාරාධිපති නමක් ම ස්වෛරී ඒකකයකි. මෙය කතෝලික පල්ලියේ ක්‍රමයට වෙනස් ය. එය රෝමයේ වටිකන් නියෝග උඩ දුවන ක්‍රමයකි.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ ඉතිහාසයට එක් වීම

    මම ශක්‍ර දෙවියා නම් මම මේ ජනාධිපතිතුමාට දෙන උපදෙස මෙසේය. අනිත් හැම දෙනා මෙන් ඔබද මෙලොව ජීවත් වන්නේ තාවකාලිකවය. මේ නිසා ඔබට ඇති ඉතිරි අවුරුදු දෙක තුල ඔබට කල හැකි දේ බොහෝය. ඉන් සමහරක් මෙසේය.

1. 13-ඒ අහෝසිකර, ජන සභා සංකල්පය ක්‍රියාත්මක කර ජනතාවට ගම් මට්ටමින් (ග්‍රාම සේවක නිලධාරී ඒකක) බලය පවරා දීමට ක්‍රියා කරන්න.
2. චන්ද ක්‍රමය වෙනස් කරන්න.
3. ක්‍රිස්තියානී බලවේගයෙන් හා ෂාරියා ව්‍යාපාරයෙන් සිංහල බෞද්ධයින් ආරක්‍ෂා කරන්න
4. පාසැල්වල සිංහල හා දෙමළ ඉගැන්වීම අනිවාර්ය කරන්න.
5. ග්‍රාම සේවා ඒකක ඉකොලොජිකල් යුනිට් වශයෙන් නැවත මායිම් කරන්න.
6. ඒ අනුව මුළු රටම විශාල ගංඟා නිම්න හතකට බෙදන්න. 1832 සිට එන කෘතිම පලාත් නවයේ බෙදීම මකා දමන්න.

දැනට මේ ටික කලොත් ඔබ මහාවංශයට එකතු වන්නේ ජේ ආර්, ප්‍රේමදාස, රනිල් හෝ චන්ද්‍රිකා මෙන් සවුත්තු රෙකෝඩ් එකකින් නොවේ. 2009 මැයි මාසයේදී දෙමල කාන්තාවක් අඬ අඬා ඔබ ආමන්ත්‍රණය කල මහ රජ්ජුරුවන් කියා ය. තුන්වන වරට ඔබ දිනුවත් ඔබ විශාල දුකකට පත් වෙන්නට බොහෝ ඉඩ තිබේ. ඔබ රට ගැන නොව ඔබ ගැන සලකා ක්‍රියාකරනවා යයි යන මතයක් දැන් ඇත.

    යූ එන් පී එකේ කෙරුවාව ද මෙහිදී සිහිපත් වේ. ඩී එස් ඔහුගේ පුතාට අගමැති කම දීම නිසා සර් ජෝන් ඩඩ්ලිගේ හතුරෙක් විය. ඉන් පසුව ඩඩ්ලි හා ජේ ආර් හතුරන් විය. මේ අතර ප්‍රේමදාස ඩඩ්ලිට හෘදයාබාධයක් එන තරමට පහර දුන්නේය. පසුව ජේ ආර් තුන්වන පාරක් ගැන සිතන විට ප්‍රේමදාස බලය පෙන්වා ඔහුව යටත් කර ගත්තේය. යූ එන් පී මාධ්‍ය සාකච්චා වලදී පිටුපස බිත්තියේ එල්ලා ඇති නායක පින්තූර දකින විට මට මතක් වන්නේ මේ ඉතිහාසය කතාවය. දැන් කාලයේ මේ කතාව දන්නා අය කී දෙනෙක් සිටිනවාද? 2005 දී චන්ද්‍රිකා ඔබට චන්දය නොදුන්නා පමණක් නොව ඔබට විරුද්ධව ඇගේ මල්ලී සමඟ ක්‍රියා කලේය. ඔබව බේරා ගත්තේ සිංහල බෞද්ධ චන්ද දායකයා ය. ඔබට යුද්ධ කරන්නට ශක්තිය පෙව්වේ හාමුදුරුවරුන් ය.  ඔබ තුන්වන වරක් ආවත් සිංහල බෞද්ධ යාට යන කල දසාව දැනට වඩා වෙනස් වේවිද? දැන් සිදුවන්නේ කාර්ඩිනල් සංහිඳියා කොමිසමට ඉදිරිපත් කල න්‍යාය පත්‍රය ක්‍රියාවේ යෙදවීමය. ඔබගේ ගැලවීම ඇත්තේ බොදු බල සේනාවට කන් දීම හරහා ය.

One Response to “ප්‍රංශජාතික මොන්ටෙස්කිව නොදැක්ක සිංහල අපේ ශක්‍ර දෙවියෝ”

  1. Senevirath Says:

    පොදු බලය නම් බොදු බලයය් පොදු අපේක්ෂකයා නම් බොදු බලය තුලි න් ඉදිරි පත් විය යුතුය් බොදු බල සේනාව බොදු බලයේ එක ක්‍රියාකාරී සාජිකයෙක් පමනය් සියලු බොදු බල කා යන් එක බලකායකට එක රාශී විය යුතුය්

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress