කළු සුද්දන්ගේ සම්භවය හා ආධිපත්‍යය (8)
Posted on November 17th, 2014

චන්ද්‍රසිරි විජයවික්‍රම

හාමුදුරුවරුන්ට දහතුන්වන සංශොධනය අමතකවීම

  රනිල් වික්‍රමසිංහට හා ජනාධිපති රාජපක්‍ෂට 13-ඒ අමතකවීම පුදුමයට කරුණක් නොවේ. ඊට හේතුව මේ දෙන්නාම දැන් කාර්ඩිනල් ගේ න්‍යාය පත්‍රය අනුව යන බහු ජාතික හා සර්‍වාගමික බට්ටන් දෙන්නෙක් නිසාය. මීට අමතරව පල්ලි හා මුස්ලිම් නිකාය වලට අයත් සුළු පිරිසක්ද සිටී. එහෙත් යමෙතුට අදහා ගත නොහැක්කේ අද වනවිට බොදු බල සේනාව හැරෙන විට අනිත් හාමුදුරුවරුන්ට දහතුන්වන සංශොධනයේ භයානක කම නොවැටහීමය. එක්සත් භික්‍ෂු පෙරමුණ නම් යූ ඇන් පී එකට සම්බන්ධ හාමුදුරුවරු කරු ජයසූරිය පසු පසින් සිටියත් 13-ඒ ගැන කතා කරන්නේ නැත. කරු ජයසූරිය 13-ඒ අහෝසි කිරීමට එකඟවනවා නම් ඔහුට පොදු අපේක්‍ෂකයා වශයෙන් මහින්දව පරදවන්නට පුළුවන් වන්නේ බොදු බල සේනාවද නියත වශයෙන්ම ඔහු පිටුපසින් ඉන්නා නිසාය.

    යූ ඇන් පී හාමුදුරුවරු කොටස හැරුණු විට මෙසේ නිහඬව ඉන්නා හාමුදුරුවරු කොටස් දෙකකි. ජනාධිපතිට පක්‍ෂව විමල් වීරවංශ විසින් කරගෙන යන ජාතික සංවිධාන එකතුමුතුවට සහභාගි වුන හාමුදුරුවරු එක කොටසකි. මීට ගුණදාස අමරසේකර මහතාද අයත් ය. මෙයින් සමහර හාමුදුරුවරු 13-ඒ එකේ භයානකකම දන්නා අය බව නිසැකය. ප්‍රශ්ණය ඒ රැස්වීමේදී 13-ඒ ගැන කවුරුන්වත් කතා නොකිරීමය. ඊට සහභාගීවූ හාමුදුරුවරු දේශපාලන කටයුතුවලට සහභාගි වන අය නොවීය. ලංකාවේ සිංහල බෞද්ධ සමාජයට ද්‍රෝහී වන අය කළුසුද්දන් කියා හැඳින්වේ නම් මේ කොටස ඒ ගොඩට එක පාරටම තල්ලුකර දැමීම අපහසුය.

    දැන් දැන් මහාචාර්ය නලින් සිල්වාද ජනාධිපති වෙනුවෙන් සිංදු ගායනා කරමින් සිටී. 13-ඒ එකට හිතේ කිසිම චකිතයක් නැතිව විරුද්ධවන කිසිකෙනෙකුට හිතට එකඟව මේ ගායනය කල නොහැකිය. 13-ඒ එක ගැන සංවිධාන එකමුතුවේදී විමල් වීරවංශ කිව්වේ යමෙක් 13-ඒ නැතිකරන්නට කතා කරනවා නම් ඔහුද ඊට එකතුවන බවය. ඔහුට කෙලින්ම ඒ ගැන කතා කරන්නට ශක්තියක් හෝ බලයක් මහින්ද රාජපක්‍ෂ රජය යටතේ නැති බව මින් පෙනේ. මේ තුන්‌දෙනා අතරින් නලින් හා අමරසේකර මෙසේ නිහඬවූයේ කෙසේද? සිංහල බෞද්ධ ලේ වලට මෙම 13-ඒ නැතිකිරීම කාවැද්දිය යුතුය.

     අනිත් හාමුදුරුවරු කොටසේ, පිවිතුරු හෙටක් හා සාධාරණ සමාජයක් යන කණ්ඩායම් දෙකේ, පසුබිම මීට වෙනස් ය. රතන හා සෝභිත හාමුදුරුවරුන් දෙනම මේ කොටසේ එන්ජින් දෙකය. මේ හාමුදුරුවරුන් දෙන්නාගෙන් සෝභිත හාමුදුරුවන් කාලයක සිටම 13-ඒ වෙනුවට විධායක ජනාධිපති ධූරය (එය දරණ පුද්ගලයා වෙනුවට)අහෝසිකිරීම අල්ලාගෙන ඉන්නා කෙනෙකි. රටට අත්‍යාවශ්‍ය ශල්‍යකර්‍මය වශයෙන් 13-ඒ වෙනුවට ජනාධ්පති ධූරය පස්සේ යාම කළුසුද්දන් දුන් ලණුවක් ගිල ගැනීමක් ය. උන්වහන්සේ පිටුපස ඉන්නේ ක්‍රිස්තියානි, මාක්ස්වාදී, රටකඩනවාදී එන් ජී ඕ නඩ(ජයම්පති වික්‍රමරත්න, නිර්‍මල්දේවසිරි) හා රවි කරුණානායක ප්‍රධාන යූ එන් පී පෙඩරල් කාරයින් ය. ඇමරිකන් තානාපතිනිය පිරිකර රැගෙන නාග විහාරයට එන්නේ පින් ලබා ගන්නා පිණිස නොවේ. රටක් ඇතුලත පිරිසම එකිනෙකාට විරුද්ධව බෙදීම ඇමෙරිකන් උපක්‍රමය බව ඉරාකයෙන්, ලිබියාවෙන් පෙනී ගියේ නැද්ද? සදාම්ට විරුද්ධව අරාබීන් යොදවා ගත්තේ ඔහුට කුවේට් ආක්‍රමණය කිරීමට අනුබල දීම මඟිනි. දැන් ලංකාවේ හාමුදුරුවරුන්වද දෙකට තුනට බෙදා ඇත. මෙය සෝම හාමුදුරුවන් ගේ කාලයේ සිදු නොවීය. ඒ වෙනුවට උන්වහන්සේව පරලොව යැව්වේය.

    මෙම ව්‍යාපාරයට අන්තිම මොහොතේ රතන හාමුදුරුවන්ව බිලිබා ගැනීමට හැකිවීම ලංකාවේ සිංහල බෞද්ධ බලවේගය බෙදා වෙන් කර වලලා දැමීමේ උපක්‍රමය ජය ගැනීමකි. උන්වහන්සේ ද 13-ඒ ගැන කතා කරන්නේ දයාන් ජයතිලක, රජීව විජේසිංහ වගේ අය කතා කරණ ආකාරයට මය. සෝම හාමුදුරුවන් ඝාතනයෙන් යට ගිය බෞද්ධ බලයට හෙල ජාතික උරුමය මඟින් බලාපොරොත්තුවූ ආකාරයේ පණ ගැන්වීමක් නොලැබුණි. බොදු බල සේනාව විසින් ඝොෂාකරන තෙක් එය අතරමංව, යටපත්‌ව තිබුණේය.

    ගලගොඩ අත්තේ ඥානසාර හාමුදුරුවන්ගේ ගර්‍ජනාවලින් මේ රටේ දේශපාලක පවුල් 1948 ගේ සිටම සිංහල බෞද්ධයාට හිත හොඳ ගෑණුන්ට මෙන් සලකන බව මහජනයාට ඒත්තු ගියේය. මේ නිසා අවදිවූ සිංහල බෞද්ධයා ඉදිරියේ භයවූ රාජපක්‍ෂ ජනාධිපතිද ඇතුළු නා නා මාදිලියේ ඒකක, ඥානසාර හාමුදුරුවන්ගේ හිස ගසා දැමීමට පුළුවන් හැමදෙයක්ම කලේය. අයිලන්ඩ් පත්තරේ චන්ද්‍රප්‍රේම වැනි අය බොදු බල සේනා රැස්වීම්වලට ගොස් හූ කියන ලෙස, ගල් ගසන ලෙස, පවා යෝජනා කලේය. සෝභිත හා රතන හාමුදුරුවරු දෙන්නා පාවිච්චි කරගෙන මේ දැන් යන ප්‍රෝඩාව බොදු බල සේනාවේ තර්‍ජනය මොට කිරීමට ගත් ශූක්‍ෂම උපායකි. බොදු බල සේනාව ගොඩ නැඟූ බෞද්ධ ප්‍රභොධය දැන් රතන හා සෝභිත හමුදුරුවරු දෙන්නා විසින් කැලේ පාරකට හරවා ඇත. කාර්ඩිනල්ලා මොනවා හිතනවා ඇද්ද? සිංහල බෞද්ධයාට අබ සරංණයි!

    හාමුදුරුවරුන් දෙන්නෙක් (සෝභිත හා රතන හාමුදුරුවරු) විධායක ජනාධිපති තනතුර අහෝසි කිරීමක් හෝ එහි තටු කැපීමක් හෝ බදාගෙන, යූ එන් පී එකට මුක්කු ගසමින් මේ කරන්නේ 2010 දී සරත් ෆොන්සේකා රටට කල කොඩිවිනයම නොවේද? 2010 දී සරත් ෆොන්සේකා 13-ඒ නැතිකරන තුන්වන අපේක්‍ෂකයෙක් වශයෙන් ආවා නම් අද වන විට ඔහු රජෙක් වගේ බැබලෙනු නිසැකය. ඔහු රනිල්ගේ හා රොබට් බ්ලේක්ගේ ලණු කෑවේය. ලංකාවේ මහජනයාට විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම හෝ නොකිරීම වැදගත් නැත. 13-ඒ හරහා රට කැඩීයාමේ මඟක් දෙමල බෙදුම්වාදයට සදා දීම මහින්ද රාජපක්‍ෂට විරුද්ධව මහජනයා ඉදිරියේ තැබිය යුතු මූලිකම චෝදනාවය. ඊට අමතරව ඔහු විසින් කර ඇති වැරදි සම්භාරය අති මහත් ය. සිංහල බෞද්ධ චන්දයෙන් බලයට ඇවිත් බහු ජාතික සර්‍වාගමික යෙක්ව බෞද්ධයින්ට හානිකර වන ලෙස කරගෙන යන හා නොයන ක්‍රියා පෙන්නා දුන් විට ඔහුට සිංහල බෞද්ධ චන්ද අහිමි වේ.
   
    ඔහු 13-ඒ අහෝසි නොකලා පමණක් නොව මේ රටේ ජාතික බලවේගය හා හසළක වීරයින් විසින් පණ දුන් යුද්ධ ජයග්‍රහණය විනාශ වන ආකාරයට ටී එන් ඒ හොරුන්ට රට කඩා ගැනීමට අවශ්‍ය වේදිකාවද සදා දී ඇත. 2015 ජනවාරි සිට සත්‍යග්‍රහ අරඹණ බවට ටී එන් ඒ එක දැන් නෝටිස් දී ඇත. මෙසේ වන විට යුද්ධය දිනා ගත්තාය යන කීර්තිනාමය පළුදුවී ඇතිබව මහජනයාට දැනෙන්නට පටන් ගනී. දෙමල සත්‍යග්‍රහ, දකුණේ සිංහල පෙළපාලි, ස්ට්‍රයික් වලට වඩා වෙනස් ය. සමහර විට සාස්තර කාරයින් කියා ඇත්තේ ද මේ අර්බුදය විය හැකිය. මේ නිසා තුන්වන පාරට ඉක්මණින්ම ඒමට මහින්ද තතනන්නේ ටී එන් ඒ එක සත්‍යග්‍රහ කලබල කරන විට හදිසි නීතිය දමා එය අළුත් හිඟන්නාගේ තුවාලයක් කර ගැනීමටය. ලංකාවේ දුප්පත් කතෝලික ජනයාට හෝ සිංහල බෞද්ධයාට මින් වන සෙතක් නැත. ඇමෙරිකාව, බැන්කි මූන් හෝ යුරෝපා හවුල මැදිහත් වුනත් නැතත් ටී එන් ඒ එක හදන්නේ දිගෙන් දිගටම කචල් ඇති කිරීමටය.

    විධායක ජනාධිපති ධූරයේ තටු කැපිය යුතු බව, මේ බහුභූත ව්‍යවස්ථාව හා චන්ද ක්‍රමය කුණු කූඩයට දැමිය යුතුබව හැමෝම දන්නා කරුණකි. සිංහල බෞද්ධ බලවේගය, සෝම හාමුදුරුවන්ගෙන් පාඩමක් ඉගෙන ගත්තා නම් ඒ පාඩම රතන හා සෝභිත හාමුදුරුවරු දෙන්නා විසින්ම අමතක කර හෝ පාවා දී ඇත. මහින්ද හා රනිල් දෙන්නාට ඕනෑ මඟුලක් කරගන්නට ඉඩ හැර මේ හාමුදුරුවරුන් කල යුතුව තිබුණේ තුන්වන බලවේගයක් වශයෙන් සෝම හාමුදුරුවන් කරන්නට ගියා වගේ වෙනම චන්දයට ඉදිරිපත්වීමය. එසේ කලා නම් බොදු බල සේනා ජන බල ගංඟාව ඔවුන් පිටුපසින් ය. එසේ කලා නම් මහින්ද හා රනිල් දෙන්නාම කොට උඩ යෑමට ඉඩ තිබුණි. යම් විධියකින් ඉන් එක්කෙනෙක් දිනුවත් බලවත් තුන්වන සිංහල බෞද්ධ බලවේගයක් ඉදිරියේ තමන්ට ඕනෑ නැටුම් නටන්නට ඒ තැනැත්තාට ඉඩක් නොලැබේ. එවැනි තුන්වන බලවේගයක් ඉදිරියේ යුදහමුදා භටයින් ගන්නේ ජනයාගේ පැත්තය.

    ලංකාව බෙදීමේ ව්‍යාපාරය වෙස්සන්තර ක්‍රමයෙන් නතර කල නොහැකිය. එසේ කරන්නට ගිය ප්‍රේමදාස හා චන්ද්‍රිකා යන දෙන්නා පිළිවෙලින්, ජීවිතය හා ඇහැක් නැතිව සිරි සංඝබෝ ලා වශයෙන් අවසාන විය. රුද්‍රකුමාරන් ලාගේ මරණයත් සමඟ ඩයස්පොරා කෑගැහිල්ල වැඩි දුරටත් පවතින්නේ නැත. ඊට හේතුව නිව් යෝර්ක්, ටොරොන්ටෝ හෝ පැරිසියේ අළුත් පරම්පරාව ලංකාවේ රටක් ගැන කතාව අමතක කර දමන නිසාය. යුදෙව් ජාතිකයින් මෙන් ඩයස්පොරා සංකල්පයක් ලංකාවෙන් කැනඩාවට හා නෝර්වේට පැනගත් දෙමල ජනයාට නැත. ඔවුන් පැන ගත්තේ ලංකාවේ සිංහල ජනයා හෝ ආණ්ඩුව හිට්ලර් කලා මෙන් දෙමල ජන සංහාරයක් (ජෙනෝසයිඩ්) ආරම්භ කල නිසා නොව රටින් පිටව යහපත් දුගීභාවයෙන් තොරව ජීවිතය ගෙවිය හැකි නිසාය.   

    යුරෝපයේ, කැනඩාවේ හා ඇමෙරිකාවේ කම්කරු රක්‍ෂාවල් කර දරුවන්ට හොඳ අනාගතයක් උදාකරදීම ඔවුන්ගේ අභිලාශය ය. 1983 ජූලි සිද්ධිය ඔවුන්ට ලැබුණ වෙස්වලාගත් භාග්‍යයක් විය. 2014 වුනත් මේ 1983 හරහා රටින් පැන ගන්නට බලන අය නැද්ද? එසේ පැන ගෙන අළුත් රටෙන් පාස් පෝට් ගත්ත හැටියේම ඔවුන් කරන පලවෙනිම දේ ලංකාවට සංචාරයකට ඒම නොවේද? සිංහල ජනයාද මේ සෙල්ලම කරන්න පුළුවන් නම් නොකරාවිද? කොරියාවට, ඩුබායි යන්නට කොච්චර පෝලිම් තිබෙනවාද? අවුරුදු පතා කී දාහක් ඇමෙරිකන් විසා ලොතරැයියට ඉල්ලනවාද? මෙතරම් දුෂ්කරතා ගැන ආරංචි තිබියදී තාමත් අරාබි රටවලට යන්න පෝලිම් නැද්ද?

    පිට රටවලින් හෝ ලංකාව ඇතුලින් හෝ රට බෙදීමට එන බලවේග නතර කල හැක්කේ පාරවල් හා පාලම් හරහා ද නොවේ. යාල් දේවි දිව්වාට චෙල්වනායගම්ලා කොළඹ සිට රට බෙදාගන්නට ක්‍රියාකලේ නැද්ද? පාරවල් හා පාලම් ගැන විග්නේෂ්වරන් කිව්වේ යුද හමුදා වාහන වලට ඒමට හා යටත් කරගත් යාපනය බැලීමට එන දකුණේ ජනයාට ඒමට එසේ පාරවල් දැම්මා කියාය. ලොක්කා මෙසේ කියන විට දෙමල ජනයාද එසේ සිතන්නට පෙළඹේ. එවැනි දුෂ්ට කතා ජය ගන්නට නම් ලංකාවේ අගනුවර රජ රටට ගෙනයාම වැනි භෞතික වෙනස්කම් සැලසුම් සහගතව රට ගැන සිතා කල යුතුය. අවුරුදු දහයක ප්ලෑනකට අළුත් පාර්ලිමේන්තුවක් වව්නියා-මැදවච්චි ප්‍රදේශයේ සදනවා නම් එයින් වන ජාතික මට්ටමේ බලපෑම හම්බන්තොට වරාය හෝ මත්තල ගුවන් තොටුපොල කලබලේට හැදුවා වගේ නොවේ. රට වැසියා ඒ ගැන දක්වන ප්‍රතිචාරය බෙහෙවින් වෙනස් හා හිතකර වනු නිසැකය.

    රට කැඩීමේ යුද්ධයක් ජයගත් විට හමුදාව ඉන් ඉවත් වන්නේ සියළුම පිළිකා මුල් ඉවත් කලාට පසුවය. එම තීරණය බාහිර බලපෑම් උඩ ගත්තොත් රට අමාරුවේ වැටේ. ගිව් වෝර් අ චාන්ස් කියා කියන්නේ මේ නිසාය. ලංකාව දිහා බැළුවොත් යාපනේ මිනිසුන්ගේ හිත් දිනා ගැනීම යුද සෙබළුන් ඉතාමත් හොඳින් කරගෙන ගියේය. එය ප්‍රශ්ණ කිරීමකට ලක්වූයේ ටී එන් ඒ දේශපාලකයින්ට යාපනයේ සැරි සරන්නට ඉඩ දීම නිසාය. හිතුවක්කාර ලෙස උතුරේ චන්දයක් තැබීමෙන් මේ ජනාධිපති රට බෙදීමේ ව්‍යාපාරයට වේදිකාවක්, ඉණිමඟක් සදා දුන්නේය. යුද්ධය කලේ බෝම්බ නැතිකිරීමට නොව රට බෙදීම වැලැක්වීමට නම් දැන් රට යුද්ධයෙන් පරාජය වී ඇත. පරාජය නියම වශයෙන්ම දකින්නට ලැබෙන්නේ විග්නේශ්වරන් සත්‍යග්‍රහ ආරම්භකල විටය.

    13-ඒ අහෝසිකර රට බේරා ගැනීමට සුදානම් ජනාධිපති කෙනෙක් රටට අවශ්‍යය. ඒ තැනැත්තා රනිල් හෝ මහින්ද තුලින් හෝ නිල් හෝ කොල පක්‍ෂ දෙකෙන් හෝ නොලැබේ. ඒ තැනැත්තා තුන්වන බලවේගයකින් පැමිණිය යුතුය. 1921 දී පමණ සිටම ලංකාවේ මතුවුන ප්‍රශ්ණය වූයේ උගත් දෙමල නායකයින්ට අනාගත ලංකාවේ නායක කම නැතිවී යන නිසා ඊට ගත හැකි ප්‍රතිකර්‍මය කුමක් විය යුතුද යන්නය. ජාතිවාදී නියෝජනය තබා ගැනීමටත්, භූමි ප්‍රදේශය අනුව නියෝජිතයින් තෝරා ගැනීමට ව්‍ර‌ැද්ධවීමටත් දෙමල නායකයින් හැමවිටම ක්‍රියාකලේ මේ නිසාය. සිංහල යයි කියාගත් ක්‍රිස්තියානිවූ කළුසුද්දන්ගේ කල්ලියේ අරමුණ වූයේ සිංහල බෞද්ධ ජනයාට ලැබෙන චන්ද බලය හෝ නිදහස් අධ්‍යාපනය හෝ අඩපණ කිරීමය. ඩොනමෝර් සුද්දා එසේ සිතුවේ නැත. ඔහුට ඕනෑවුනේ දුප්පත් ජනයාට සර්‍ව ජන චන්ද බලය දී ඔවුන්ට ශක්තියක් ලබා දීමය.

    පසුව බෙහෙවින්ම ක්‍රිස්තියානිවූ දෙමල නායකයින්ටවත්, මුල සිටම ක්‍රිස්තියානි වූ  සිංහල කළුසුද්දන්ට වත් මෙම 1921-24 කාලයේ මතුවු අර්බුදයෙන් ගැලවීමට මඟක් සොයා ගත නොහැකිවූයේ ක්‍රිස්තියානි පල්ලි සංවිධානයේ අනියම් බලය නිසා බව මගේ වැටහීමය. දැන් 2014 දීත් මේ අර්බුදය එසේම පවතී. සිංහල බෞද්ධ තුන්වන  බලවේගයකින් මිස මෙයින් ගැලවීමට නොහැකි යයි මා කියන්නේ මෙම ක්‍රිස්තියානි හස්තය නිසාය. අද පොදු අපේක්‍ෂක ඉල්ලිමේ පිටිපසින් තිබෙන්නේද මේ ක්‍රිස්තියානි හා ක්‍රිස්තියානි මාක්ස්වාදී, ක්‍රිස්තියානි දෙමල මාක්ස්වාදී හස්තමය. පොදු අපේක්‍ෂකයාගේ චන්ද වාක්‍යය විය යුත්තේ 13-ඒ නැති කිරීම නොවන්නේ ඒ නිසා නොවේද?

    13-ඒ නැති කරනවා කියන්නේ දෙමල ජනයා හෝ මුස්ලිම් ජනයා අතරමං කිරීමට නොවේ. ජනතාවට ගම් මට්ටමෙන් නියම (මීනින්ෆුල්) හෝ තිරසර බලය බෙදීමක් ලබා දෙනවා යන සහතිකයක් සහිතවය. 13-ඒ නැති කලයුත්තේ එය සිංහල මිනිසුන්ට කල විනාශයක් නිසාය. මහ ඇමතිලා හා පලාත් සභා මන්ත්‍රී නමැති වසංගතය නිසාය. උදාහරණයක් වශයෙන් ලංකාවේ අධ්‍යාපනය සඳහා අධ්‍යාපන ඇමතිවරු නමයක් පලාත් නමයකටත්, මධ්‍යම ආණ්ඩුවේ ඇමතිලා හතරක් පහකුත් සිටියත් වැසිකිළියක් නැති පාසැල් බීමට වතුර නැති පාසැල් කෙතරම්ද? අධ්‍යාපනයේ ගුණාත්මක භාවය කුමක්ද? දේශපාලකයින් 13-ඒ ට කැමති ඒවා ඔවුන්ගේ ඥාතීන්ට දේශපාලන මොන්ටිසෝරි නිසාත්, පලාතේ දේශපාලන හොරුන්ට රන් ආකර නිසාත් ය. ජනාධිපතිවරයා පලාත් සභා පුදුම අන්‌දමට ඔහුගේ වාසියට හරවා ගත්තේය. ඔහු යූ ඇන් පී කාරයින්ට ඉන් පුදුම විධියට දුක දෙන්නේ චන්ද පිහියෙන් අනිමින් ය. ලංකාවේ යහපත ගැන අවංකව සිතනා කෙනෙකුට මේ පලාත් සභා ක්‍රමය මර උඟුලක් බව ප්‍රත්‍යක්‍ෂ වේ. එසේ නම් එය මෙතරම් කාලයක් පැවතියේ දුෂ්ට දේශපාලක පවුල් නිසා නොවේද?

    පලාත් සභා වෙනුවට සිදුවිය යුත්තේ ජනසභා මට්ටමින් මහජනයාට බලය (සෑහෙන කොටසක්) පවරා දීමය. එදිනෙදා ජීවිතයට බලපාන සෑහෙන බලතල කොටසක් දේශපාලකයාගේ ඇඟිලි ගැසීමෙන් තොරව කරගෙන යාමට දීමෙන් පලාත් වල බලය අල්ලාගෙන, පලාත් වල රජවරුන් මෙන් වැජඹෙන කට්ටියක ග්‍රහණයෙන් මහජනයා මිදේ. රටේ ඉහ වහා ගොස් ඇති දූෂණය, වංචාව, අපරාධ අඩු කර ගැනීමට මෙසේ ජන සභා පාලන ක්‍රමය යොදාගත හැකිය. නූතන තාක්‍ෂණය ඉදිරියේ මුළු රටේම ජන සභා රටේ සම්පත් සංවර්‍ධනයට යොමු කල හැකිය. දිවි නැඟුම යටතේ නිලධාරී පලනය මෙන් නොව ජන සභා හරහා සිදුවන්නේ එහි සාමාජිකයින් එක් රැස් වී සාමූහික තිරණ ගැනීමය. උදාහරණයක් වශයෙන්, හැමෝටම මිරිස් පැල බෙදීම වෙනුවට, ඊට කැමැත්තක් ඇති අයට පමණක් මිරිස් පැල දීමය. ගමෙන් ගමට හා ගම තුල ඇති විවිධත්වය රැක ගැනීම මිස එය බුල්ඩෝසර් කිරීම නොවේ.

    13-ඒ වෙනුවට ජන සභා සංකල්පය ආදේශ කිරීමේදී වැදගත් වන කරුණක් නම් අද රටේ සිදුවන ගංවතුර, නාය යාම්, නියඟ ආදියට දිගු කාලීන හා තිරසර විසඳුම් වශයෙන් පරිපාලන භූමි ඒකක ස්වභාව ධර්‍මය හා එකඟවන පරිදි ඉකොලොජිකල් ඒකක වශයෙන් මායිම් කිරීමය. මෙහිදී නිව සීලන්තය යොදා ගත්තේ මතුපිට ජලය නොහොත් ගංඟා නිම්නය. ලංකාවේ අප කල යුත්තේ, අතීතයේ තිබුණා වගේ ජලය ආශ්‍රිත ජනාවාස බිහි කිරීමය. ගම-වැව-දාගැබ යනු අතීත සිංහලේ රටේ ආර්ථික, සමාජික හා දේශපාලන ත්‍රිමුර්තිය විය. මෙවැනි සංකල්පයක් ක්‍රියාවට නැඟීමෙන් 4,000 ක් ව තිබී 14,000 දක්වා ප්‍රේමදාස විසින් වැඩිකල ග්‍රාම සේවා වසම් සංඛ්‍යාව නැවත රටේ පරසර විද්‍යාවට අනුකූල වන වසම් බවට පෙරලිය හැකිවේ.

    1948 නිදහස ලබා ගත්තේ කළුසුද්දන් නොවේ නම් ලෝකයේ අනිත් රටවලින් ආදර්‍ශ ලබා ගෙන රට දියුණු කර ගැනීමට ඉඩ තිබුණි. ශ්‍රී පාද අඩවිය නිසා නොවේ නම් මහවැලි, කළණි, වලවේ හා කළු ගංඟා හිඳී ගොස් ලංකාව හේති මෙන් ගස්වලින් තොර කාන්තාරයක් වන්නට ඉඩ තිබුණි. ආගමික හේතුවක් නිසා සමනල අඩ්විය තේ වතු වලට එලි කිරීමෙන් වැළකුණි. මේ මිසක් හිතාමතාම පරිසරය රැක ගැනීම, පාංශු ඛාදනය වැලැක්වීම, වනාන්තර රැක ගැනීම නීති පොතට පමණක් සීමා වුවා වැනිය.

    ලංකාවේ සිතියමක් දෙස බලන විට මධ්‍යම කඳුකරයේ සිට වටේට ගලනා ගංඟා දක්නට ලැබේ. ලංකාවේ පලාත් නමයේ මායිම් මේ ගංඟා කපා ගෙන යයි. අඩු තරමින් දැන් ලෝකයේ සිදුවන ගෝලය රත්වීම, පරිසර දූෂණය, ජල හිඟය යනාදිය ඉදිරියේදීවත් මෙම පලාත් නමයේ මායිම් 21 වන සියවසට ගැලපෙන ආකාරයට වෙනස් කිරීමට අළුත් තුන්වන බලවේගයක් ක්‍රියාත්මක විය යුතුය. 1832 දී කෝල්බ්‍ර‌ැක් කොම්සම ලංකාව පහකට බෙදුවේ සුද්දන්ගේ න්‍යාය පත්‍රයකට අනුවය. ඉන්පසු එය නවයක් වූයේද එසේමය. මේ නිසා ග්‍රාම් සේවක වසම් මට්ටමෙන් සිදු විය යුතු පරිසරය හා එකඟවන සිවිල් පරිපාලන ඒකක බෙදීම ක්‍රමයෙන් ඉහලට ගොස් විශාල ගංඟා නිම්න හතකින් අවසාන වන 13-ඒ බෙදීමක් විය හැකිය. ජන සභා වලට පවරන බලතල අනුව, සිංහල, දෙමල හා මුස්ලිම් ජන සභා වලට එක්තරා ආකාරයක ස්වෛරීභාවයක් ලැබෙන අතර, දැන් උතුරු පලාත, යාල් පානම් නම් එක් ගංඟා නිම්නයක් වේ. එහෙත් රට දෙකට කැඩීමේ ව්‍යාපාරයකට භූමීය වශයෙන් සිතීමට දිරි ගැන්වීමක් ඉන් නොලැබේ. රටේ ජන සභා භාෂාව හෝ ආගම අනුව බෙදා නැති නිසා මිනිසුන් තුල ජාතිවාදීව නොව ජාතිකවාදීව සිතීම ආරම්භ වේ. සෑම පාසැලකම සිංහල හා දෙමල අනිවාර්යයෙන් ඉගැන්වීමෙන් දෙමල බෙදුම්වාදීන් දැන් ගෙන යන ජාවාරමට ඇති ඉඩකඩ ඇහිරී යනු ඇත.

    ඉදිරි මැතිවරණයේදී මෙම 13-ඒ අහෝසි කිරීම මුල් කරගෙන (හා ඊට අනුබද්ධ පක්‍ෂ දේශපාල්නයෙන් තොර, ඉකොලොජිකල් ඒකක වන ජන සභා පිහිටුවීම)  අපේක්‍ෂකයෙකු ඉදිරිපත් කිරීම මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිව දමනය කල හැකි හොඳම ක්‍රමවේදයය. මෙම සැලැස්ම හමුවේ රතන හා සෝභිත හාමුදුරුවරු දෙන්නාත්, යූ ඇන් පී හාමුදුරුවරුත් අතරමං වනු ඇත. මෙය බොදු බල සේනාවේ ඓතිහාසික වගකීම කියා මම සිතමි.

One Response to “කළු සුද්දන්ගේ සම්භවය හා ආධිපත්‍යය (8)”

  1. mario_perera Says:

    It is wonderful to see the Sinhala language acquire an international dimension through the patriotic services of Lankaweb.

    It would help readers if the Sinhala characters are made more legible with a better clearer print.

    Thank you

    Mario Perera
    Kadawata

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress