මහින්ද – මෛත්‍රී ගල උඩ සටනකට දෙපැත්තම සූදානම්
Posted on November 30th, 2014

බුලිත ප්‍රදීප් කුමාර Courtesy Divaina

මේ දිනවල අපේ දේශපාලන කරළියේ හැම තැනකම තිබෙන්නේ “යන්නෙ කොහෙද – මල්ලෙ පොල්” මාදිලියේ කතා යෑයි කිවහොත් නිවැරැදිය.

යන්නෙ කොහෙද – මල්ලෙ පොල් යෑයි කියන්නේ සාමාන්‍ය හැසිරීම් රටාව ඉක්‌මවූ ඔල්මොරොන්දන් ගණයේ හැසිරීම් වලටය. අපේ රටේ දේශපාලනයේ ක්‍රියාකාරීව සිටින බොහෝ දේශපාලනඥයෝ අද ඒ වාගේය. ඒ ඔවුන්ට කිසිවක්‌ නොවැටහුනා සේ සිටීම වත්මන් දේශපාලන කරළිය තුළ වඩාත් ආරක්‍ෂාකාරී නිසාය.

කරන රහසිගත සාකච්ඡා, මුහුණ දෙන රහසිගත හමුවීම්, ගනු ලබන අසීරු හා අවදානම් සහගත තීන්දු හමුවේ ආණ්‌ඩු පක්‍ෂයේත් විපක්‍ෂයේත් බොහෝ දේශපාලනඥයෝ පිටට පෙන්වන හැසිරීම් රටාව යන්නේ කොහෙද මල්ලෙ පොල් වාගේය. එහෙත් ඒ සියල්ල කළේත් කරන්නේත් නොවැටහීම හෝ අනවබෝධය නිසා නොව, කාලාන්තරයක්‌ තිස්‌සේ එක දිගට කරන ලද සැලසුම්වල ප්‍රතිඵල අනුව බව පසුගිය සතියේ අහන්නට දකින්නට ලැබුණ සිදුවීම් රැසකින්ම ජනතාවට පැහැදිලි වූහ.

චන්ද්‍රිකා – රනිල් – මලික්‌
වෑයම මල්පල දරයි

ජනාධිපතිවරණය සඳහා විපක්‍ෂයෙන් පොදු අපේක්‍ෂකයෙක්‌ තෝරාගැනීමට අපොහොසත් වූ විපක්‍ෂයේ ප්‍රධාන පක්‍ෂ ඒ සඳහා සුදුසුම කෙනෙක්‌ සොයමින් ආණ්‌ඩු පක්‍ෂය ඇතුළේ කරන ලද සති ගණනක මෙහෙයුම සාර්ථක වූයේ ඊට සුදුසුම පුද්ගලයා සොයාගැනීමෙන් අනතුරුවය. ඒ සඳහා මූලික සාකච්ඡා වට ගණනාවක්‌ අවසන් කළ චන්ද්‍රිකා – රනිල් – මලික්‌ ඇතුළු විපක්‍ෂයේ එකමුතුව ආණ්‌ඩු පක්‍ෂයේ නියෝජිතයන් සමඟ සති කිහිපයක්‌ම ඉතා රහසිගතව සාකච්ඡා පවත්වනු ලැබූහ.

ඒ සඳහා කිසිවකුගේ අවධානය හා සැකය නොවෙන පරිදි සියලු රහසිගත සාකච්ඡා පැවැත්වීමට තැන් කිහිපයක්‌ම භාවිත කරනු ලැබූහ.

මෙහිදී චන්ද්‍රිකා හෝ චන්ද්‍රිකා විසින් නම් කරනු ලබන රජයේ විශේෂ නියෝජිතයන් කිසිවෙකුත් එක්‌සත් ජාතික පක්‍ෂයේ නායකයකුගේ හෝ වෙන කිසියම් විපක්‍ෂයේ ප්‍රබලයකුගේ නිවසකට මෙන්ම පක්‍ෂයේ පොදු සන්ධානයකට කැඳවීම අනතුරුදායක බව සංවිධායකයෝ මැනැවින් තේරුම් ගෙන සිටියහ. මේ නිසා කිසිවෙකුටත් සැක නොසිතෙන පරිදි රැයක්‌ දවාලක්‌ නොමැතිව මේ පිරිස්‌ සාකච්ඡා කළේ හා හමුවීම් කළේ කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයට යාබද “මොනෑක්‌” නමින් හඳුන්වනු ලැබූ සංචාරක නිකේතනයේ තුන්වැනි මහලේ වූ සංචාරක නිවාසයකය.

එහිදී ආණ්‌ඩුවේ ප්‍රබලයන් හමු වූ විපක්‍ෂයේ නියෝජිතයෝ ඊට අමතරව කෙරෙන රහසිගත සාකච්ඡා සඳහා කොළඹ නිදහස්‌ මාවතේ පිහිටි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා මැතිනියගේ නිල නිවස ද භාවිත කළේ කිසිවකුගේ විශේෂ අවධානයක්‌ යොමු නොවන පරිදිය. චන්ද්‍රිකාගේ නිල නිවසට වෙනත් පිටස්‌තර වාහන කිසිවක්‌ ඇතුල් නොකරන්නටත් ඇතුළට එන යන විශේෂ නියෝජිතයන් චන්ද්‍රිකාගේ වාහනවලම ගමනාගමනය කරවන්නටත් තරම් මේ සියල්ලෙහි සංවිධායකයෝ පරිස්‌සම් වී තිබීම විශේෂත්වයකි.

මෛත්‍රී යන බව
මහින්ද කලින් දැනගෙන

කොතරම් රහසිගතව හමුවීම් කළත් කොතරම් රහසිගතව කතාබහ කළත් ජනාධිපති මහින්ද රාජපක්‍ෂට හා ඔහුගේ ළඟම දේශපාලන මෙහෙයුම්කරුවන්ට මෛත්‍රීපාල සිරිසේන යන බව දැනගන්නට ලැබුණේ සිද්ධිය වන්නට සති කිහිපයකට පෙර සිටය. සියලු කලකිරීම් හා අවශ්‍යතා මත මෛත්‍රිපාල චන්ද්‍රිකා බණ්‌ඩාරනායක සමඟ ආණ්‌ඩුවෙන් ඉවත් වන්නට ලොකු සාකච්ඡාවක්‌ යන බවට ජනාධිපතිට තොරතුරු හෙළිදරව් වී තිබිණි. එහෙත්, ඒ ඉවත්ව යන්නේ විපක්‍ෂයේ පොදු අපේක්‍ෂකයා ලෙස බව ජනාධිපති මහින්ද දැනසිටියේ නැත. ඔහුට තොරතුරු ලැබී තිබුණේ චන්ද්‍රිකාට හෝ වෙනත් අයකුට උදව් කිරීම සඳහා මෛත්‍රී ඉවත්ව යන බවකි. මහින්ද බුලත් කොළයෙන් එන විට චන්ද්‍රිකා අත ලකුණෙන් ගෙන ඒමට සැලසුමක්‌ ඇතැයි මහින්දට ආරංචි වී තිබිණි. එනිසා ඔහු සිතුවේ මෛත්‍රී එළියට යන්නේ කාට හෝ උදව් කිරීමටය කියා පමණි.

මේ ආරංචිය නිසා ජනාධිපති මහින්ද බලවත් විමතියටත් පුදුමයටත් පත්වුවත් ඒ පිළිබඳව කිසිවෙකුත් මෛත්‍රිපාල සමඟ සාකච්ඡා නොකරන්නට තරම් ජනාධිපතිවරයාගේ පාර්ශ්වය පරිස්‌සම් වූහ. ජනාධිපතිවරයා කළේ ඉතාමත්ම ඉවසිලිවන්තව සියුම්ව වෙනසක්‌ නොපෙන්වා මෛත්‍රිපාල ඇමැතිවරයාගේ අවසන් දින කිහිපයේ ඇවතුම් පැවතුම් හා හැසිරීම් නිරීක්‍ෂණය කිරීමය. ඔහුට අබමල් රේණුවකවත් සැකයක්‌ පහළ නොවන පරිදි ඉවසිලිවන්තව මේ නිරීක්‍ෂණ කරන්නට ජනාධිපති මහින්ද වගබලා ගත්තේය.

අයවැය පැරදවීම
අසාර්ථක කළ මෙහෙයුම

සඳුදා දිනයේ පාර්ලිමේන්තුව තුළ තිබූ ලොකුම උණුසුම් සංවාදය වූයේ අයවැය පරාජය කිරීම හා ඒ මොහොතේ කෙරෙන පිල් මාරුව පිළිබඳවයි. ඒ සංවාදය කොතරම් උණුසුම්ද යත් සභා ගැබ තුළ කෙරුණු අයවැය තුන්වැනි වර කියවීමේ විවාදයටත් වඩා උණුසුම්ව තිබිණි.

ඊට හේතුවක්‌ තිබිණි. හේතුව වූයේ අයවැය දිනයේ ලොකු පිරිසක්‌ විපක්‍ෂයට ගෙන අයවැය පැරදවීමට විපක්‍ෂය තුළ සූදානමක්‌ තිබෙන බවට කටකතා ප්‍රචාරය කර තිබීමයි.

එහෙත් රජයේ වගකිවයුතු මැති ඇමැතිවරු ඒ කතාවේ තාර්තික බව ගැන කලබල නොවූහ. ඊට හේතුව ගණන් මිණුම් හදා බලද්දීත් සාමාන්‍ය දේශපාලන විචල්‍යයන් ගැන සලකා බලද්දීත් එබඳු වික්‍රමයක්‌ කිරීමට විපක්‍ෂයට මේ මොහොතේ හැකි බවට කිසිදු සාධකයක්‌ පෙන්වන්නට විපක්‍ෂය අසමත් වීමයි.

ඒ නිසා ජනාධිපතිවරයාගේ ඉල්ලීම පරිදි ආණ්‌ඩු පක්‍ෂයේ මැති ඇමැතිවරු විශාල පිරිසක්‌ පාර්ලිමේන්තුවට පැමිණ සිටියහ. ඊට පෙර ජනාධිපතිවරයා සමඟ මන්ත්‍රීවරු ඇමැතිවරු අයවැය ගැන කතාබහ කරද්දී ජනාධිපති මහින්ද පැහැදිලිව ප්‍රකාශ කළ එක්‌ කාරණයක්‌ තිබිණි.

“කවුද චන්ද්‍රිකාද කියල තියෙන්නේ අයවැය පරාජය කරනවා කියලා. හොඳයි පරද්දන්න කියන්නකෝ. මෙච්චර හොඳ ජනතාවාදී අයවැයක්‌ ජනතාවට දීල සම්මත කරන්න හදද්දී විපක්‍ෂය ඒක පරාජය කරන්න කතා කරන්නයි කියන්නේත් රටේ ජනතාවට එරෙහි කුමන්ත්‍රණයක්‌ කරන එක. ඒක ඔයාලට කරන්න බැහැ. ඔයාලා හැමෝම පාර්ලිමේන්තුවට යන්න. ගිහින් ඡන්දය දීල 2/3 කින් සම්මත කරන්න”

ජනාධිපති කීවේ එයයි. මේ නිසා පාර්ලිමේන්තුවට ගිය රජයේ මැති ඇමැතිවරු සූදානමින් බලා සිටියේ අයවැයට පළමුව කීදෙනෙක්‌ එහාට යයි ද කියාය.

මෛත්‍රීත් එක්‌ක ගිය අය අද පාර්ලිමේන්තු එන්නේත් නෑ. මොකද එයාලට ගන්න බලාගෙන හිටපු අය සම්පූර්ණයෙන්ම ගන්න බැරි වුණා නේ. දැන් ඉතින් අපේ එක්‌කෙනාට කියන්න තියෙන්නේ අයියෝ සිරිසේන කියල තමයි. අමාත්‍ය ඩිලාන් පෙරේරා කුමාරසිරි හෙට්‌ටිගේට කීවේ මැති ඇමැතිවරු පිරිසක්‌ ජනාධිපති කාර්යාලයේ හෙට්‌ටිගේ සමඟ කතාබහ කරමින් සිටියදීය. එස්‌. බී. නාවින්න, මහින්ද යාපා, ගාමිණී ලොකුගේ, පියසේන ගමගේ, විජිතමුණි සොයිසා, ලොහාන් රත්වත්ත, මාලනී ෙµdන්සේකා ඇතුළු පිරිසක්‌ එතන සිටියහ.

මට පේන විදියට මෛත්‍රි ලොකු අමාරුවක වැටුණා. මොකද එයාගේ වටේම ඉන්නේ ලොකුම ලොකු කුමන්ත්‍රණකාරයෝ. ගාමිණී ලොකුගේ කීවේය.

චන්ද්‍රිකා නෝනා එකතු වුණ එකෙන් තමයි නියම කුමන්ත්‍රණය එළිදරව් වෙන්නේ. ඇමැති මහින්ද යාපා කියද්දී අපිවත් අල්ලන්නයි මෙයාලා හැදුවේ… අපි පක්‍ෂය දාලා යන්නේ නෑ.. යනුවෙන් එස්‌. බී. නාවින්න හා පියසේන ගමගේ කීහ. ඔවුහු විපක්‍ෂයෙන් තමන්ට කතා කළ ආකාරය ගැන තොරතුරු හෙළිකරමින් කීහ.

බල්ලවත් යන්නෑ කියපු අය බල්ල තියල ගියා

ඊළඟ මැතිවරණයේදී තමන්ට දිනන්න චාන්ස්‌ එකක්‌ නෑ කියලා හිතන අය ඔය තාවකාලික වාසි බලාගෙන එයාලත් එක්‌ක යන්න පුළුවන්. ඒ සමහර අයත් අපි දන්නවා. එහෙම අය කිය කිය යනවා මගේ බල්ලවත් යන්නේ නෑ කිsයලා. නමුත් මට මතකයි සරත් මුණසිංහත් ඔය බල්ලගේ කතාව කිව්වා. හැබැයි බල්ල තියල එයාත් ගියා. ඔයවගේ අය තවත් අපි අතර ඉන්නවා. හෙට්‌ටිගේ කී ඒ කතාව සමහරුන්ට නම් දෙපිට කැපෙන සරදමකි. එහෙත් වෙනසක්‌ නොපෙන්නා මහ හඬින් ඊට සිනාසෙන්නට සියල්ලෝම වගබලා ගත්හ.

ඔය අතරතුර ශ්‍රීලනිපයේ නව මහ ලේකම් ලෙස වැඩ බාරගත් අනුර යාපා ඇමැතිවරයාත් එතනට ආවේය. සන්ධානයේ මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත ද පැමිණියේය.

ඔන්න අපේ මහ ලේකම්තුමා එනවා. අලුත් මහ ලේකම්තුමාට ජයවේවා කියමින් කවුරුත් අනුර යාපාට සුබ පැතූහ.

ශ්‍රී ලංකා එකේ මහලේකම්ලාට අතීතයේ ඉඳලාම අනිත් පැත්තට යන ලෙඩක්‌ තියෙනවාලු නේද? ඒත් අපේ මහලේකම්තුමාට එහෙම නොවේවා. ලොහාන් කීවේය.

හොඳට මතක තියාගන්න මේ අනුර යාපා ඒ වගේ කෙනෙක්‌ නොවෙයි. මට හොඳ ප්‍රතිපත්තියක්‌ වගේම විනයක්‌ තියෙනවා. මං ගැන ජනාධිපතිතුමාටත් පක්‍ෂයටත් ලොකු විශ්වාසයක්‌ තියෙනවා. ඒක මං කිසි දවසක පලුදු කරන්නේ නැහැ. අනුර යාපා හැඟුම්බරව කීවේය.

ඇත්තටම මනසින් දුර්වල කෙනෙක්‌ ලොකු තනතුරකට පත්වුණාම අනිත් අය එයාව සතුටු කරන්න තවත් ලොකු තනතුරු ඔලුවට දානවා. කාලයක්‌ යනකොට ඕක මෝදුවෙලා පිපිරෙන්න ගන්නවා. අපේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයටත් වුණේ ඔන්න ඕකයි. අගමැතිකමේ ප්‍රශ්නය නේ මේ තරම් දුරදිග ගියේ. හෙට්‌ටිගේ කියද්දී සෙසු පිරිස ඊට ඇහුන්කන් දුන්නා හැර කිසිවක්‌ කීවේ නැත.

මේකනේ සමහර අයට ඉවසීමක්‌ නෑ. ප්‍රශ්න තියෙනවා කියල තීරණ ගන්නකොට හිතන්න ඕන. අපේ වටේ ඉන්න අය කේලාම් කියනවා කියලත්. තමන්ගේ වැඩේ කරගන්න විතරයි බලන්නේ. දේශපාලනය කරනකොට ඔය කොයි දේ ගැනත් හිතුවේ නැත්නම් පරාදයි. විජිතමුණි දැනමුත්තකු ලෙස කියාගෙන කියාගෙන ගියේය.

පරණ යූ ඇන් පී ගේම් එක ගැන
මෛත්‍රි සජිත්ට කියයි

බදාදා උදේ විපක්‍ෂයේ පොදු අපේක්‍ෂක මෛත්‍රිපාල සිරිසේන ඇතුළු පිරිස සිරිකොතට පැමිණියහ. ඒ එක්‌සත් ජාතික පක්‍ෂයේ සියලුම ආසන සංවිධායකයන් හා ක්‍රියාකාරීහු මුණගැසීමටය. මෙම අවස්‌ථාවට සහභාගි වන්නට අතිවිශාල පිරිසක්‌ එදා සිරිකොතට පැමිණ සිටියහ.

මේ අවස්‌ථාවේ පොදු අපේක්‍ෂකයා ලෙස එන ප්‍රධාන අමුත්තාව උත්සව සභාවට පිළිගෙන රැගෙන ඒම බාරකර තිබුණේ සජිත් ප්‍රේමදාසටය. සජිත් මෛත්‍රිව හා අනෙක්‌ අමුත්තන්ව පිළිගෙන ඉතා ඕනෑකමෙන් උඩුමහලට කැඳවාගෙන ආවේය.

ශාලාවේ මෛත්‍රි ප්‍රධාන අසුනේ විය. ඔහු දෙපස අසුන් පනවා තිබුණේ නායක රනිල්ටත් සජිත්ටත්ය. කරු, තිස්‌ස ඇතුළු සෙසු නායකයෝ ද ඒ පෙළෙහි සෙසු අසුන්වල වාඩි වී සිටියහ. මෛත්‍රිට පිටුපස අසුනේ සිටියේ ගාමිණී ජයවික්‍රම පෙරේරාය. ඔහු පසුපස බලා ගාමිණීව දැක සිනාසෙමින් අතීත සිද්ධියක්‌ මතක්‌ කරමින් සජිත්ට කීවේය.

මුල්කිරිගල අතුරු මැතිවරණය දවස්‌වල මම පොඩි කොල්ලා. ඒ වෙලාවේ මෙන්න මෙයයි ගාමිණී ජයවික්‍රමයි මට මාර ගේම් එකක්‌ දුන්නා. අන්තිමට මම ගිහින් නැවතුණේ ඇඹිලිපිටියේ. ඒවා හරි රසවත් කතා. ඔහොම කලක්‌ ගිහින් ගාමිණී අතුකෝරල 1989 දී මහාමාර්ග හා වාරිමාර්ග ඇමැති වෙලා ආවෙ පොලොන්නරුවට. හැබැයි එයා පක්‍ෂ භේදයක්‌ නැතුව නියම මහත්මයෙක්‌ විදියට පොලොන්නරුවේ ජනතාවට සේවය කළ හැටි මට මතකයි. මෛත්‍රි රසවත් සිදුවීම් විස්‌තර කළේය.

මෙම අවස්‌ථාවේ මුලින්ම කතා කළේ තිස්‌ස අත්තනායකය. ඔහු තරමක්‌ විවාදාත්මක කතාවක්‌ කළේය. ඔහු කීවේ පක්‍ෂය මෛත්‍රිපාල සිරිසේනට පොදු අපේක්‍ෂකත්වය ලබාදීමට කරන ලද කැපකිරීම ගැනය. එම තීන්දුවට පක්‍ෂයේ බොහෝ දෙනෙක්‌ එකඟ වූයේ වේදනාවෙන් බව හේ ප්‍රකාශ කළේය. පක්‍ෂයේ පාට, අලියා ලකුණ, පක්‍ෂයේ නම යන වටිනා සාධක තුනම ඉවතට දමා වෙනත් පක්‍ෂයකට වෙනත් පාටකට වෙනත් ලකුණකට එකඟව පක්‍ෂයේ නොවන කෙනෙක්‌ පොදු අපේක්‍ෂක කර සටනකට යන්නේ තමන් ඇතුළු පාක්‍ෂිකයන් විශාල කැපකිරීමක්‌ කර බව තිස්‌ස පෙන්වා දුන්නේය.

ඒත් සමඟම සජිත් ද ඊටම ඈඳෙන කතාවක්‌ කළේය. පොදු අපේක්‍ෂකයා පක්‍ෂයෙන් පිටට දුන්නේ පාක්‍ෂිකයන් ලෙස වේදනාවකින් බව ඔහු තිස්‌සගේ කතාව උදාහරණයට ගනිමින් ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් එක්‌සත් ජාතික පක්‍ෂයේ නායකයන් අතර පසුගිය දිනවල සජිත්ගේ හා තිස්‌සගේ කතා කැපී පෙනිණි. තිස්‌ස නිතරම මෛත්‍රිපාලට අභියෝග ලෙස ඉදිරිපත් කළේ මෛත්‍රිට කිසි විටෙකත් කළ නොහැකි කොන්දේසිය. පැය 24 න් විධායක බලතල රනිල්ට ලබාදිය යුතු බව හේ යෝජනා කළේය. ඒත් සමඟම මතභේදාත්මක කරුණු රැසක්‌ම ඔහු ඉදිරිපත් කර තිබිණි.

සජිත් ද නිතර කතා කළේ ඒ අනුව යමින් වුවත් අකමැත්තෙන් වුවත් මේ පැමිණ ඇති එකඟතාව ඔහු අගය කළේය.

මේ සියල්ල එසේ තිබියදී මෛත්‍රි පැමිණ පොදු අපේක්‍ෂකත්වය බාරඅරගෙන පක්‍ෂය තුළ ඇති කළ ජාතික ප්‍රබෝධයට මුව නොසෑහෙන සේ ප්‍රශංසා කරමින් කතා කළේ කරු ජයසූරියය. ඔහු හදවතින්ම ඒ සිදු වූ වෙනස අගය කරමින් තම සියලු කැපකිරීම් ඒ සඳහා ලබාදී මෛත්‍රිපාල දිනවීම වෙනුවෙන් වෙහෙසෙන බව එකහෙළාම ප්‍රකාශ කිරීම විශේෂත්වයකි.

මහින්දගේ නාම යෝජනාව
මෛත්‍රීගෙන්ම ගනිමු

ජනාධිපතිවරණය ප්‍රකාශ කළ දිනට පසුවදා මෛත්‍රිපාල සිරිසේන මහතා ඉවත්වන බව දින කිහිපයකට පෙර දැනගත් ජනාධිපතිවරයා ඒ ගැන තම සමීපතම හිතෛෂවන්තයන් සමඟ සාකච්ඡා කළේය. එහිදී එක්‌ උපායක්‌ සාකච්ඡා කෙරිණි.

ඒ අනුව ක්‍රියාත්මක වූ ජනපති මහින්ද ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ විධායක සභාව රැස්‌කර තමන්ගේ නම යෝජනා කරන්නට අවස්‌ථාව ලබාදුන්නේය.

ඒ අනුව මෛත්‍රිපාල සිරිසේන මහතාම ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ නම ඊළඟ ජනාධිපතිවරණ අපේක්‍ෂකයා ලෙස යෝජනා කළේය. ඒ යෝජනාව ලිතව එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත වෙත දන්වනු ලැබුවේ ද මෛත්‍රීගේ අත්සනිනි. ඇත්ත වශයෙන්ම ජනාධිපතිවරයා ඇතුළු පිරිසට අවශ්‍යව තිබුණේ මෛත්‍රීගේම අත්සනින්ම එම ලිපි යෝජනා සියල්ල සන්ධානයටත් එතැන් සිට මැතිවරණ කොමසාරිස්‌ටත් යැමට සැලැස්‌වීමය.

සැබැවින්ම එය අපූරු කාරණාවකි. තම අත්සනින් යුතුව තම ප්‍රබලම ප්‍රතිවාදියාගේ නම යෝජනා කර මැතිවරණ කොමසාරිස්‌ වෙත යවන්නට අවස්‌ථාව ලැබෙන්නේ කුමන ජනාධිපති අපේක්‍ෂකයකුටද… ඒ අවස්‌ථාව ලද ප්‍රථමයා මෛත්‍රිපාල සිරිසේනම වූවාට සැකයක්‌ නැත.

ඒ මෙහෙයුම එසේ සිදුවන අතරතුර අනිත් අතින් සන්ධානයෙන් විපක්‍ෂයට යන ගොඩ පුළුල් කර ගැනීමට ද මෙහෙයුම් රැසක්‌ ක්‍රියාත්මක වෙමින් තිබිණි. චන්ද්‍රිකා, රනිල්, මලික්‌ තුන් කට්‌ටුව ඒ සැලසුම් අකුරටම ක්‍රියාත්මක කරමින් මෙහෙයුම් අපූරුවට ක්‍රියාවේ යොදවමින් සිටියහ. රෑ දවල් වෙනසක්‌ නැති හමුවීම්වලින් දවසින් දවස වැඩපිළිවෙළ තහවුරු වෙමින් තිබිණ. ආණ්‌ඩුවේම මැති ඇමැතිවරු බිලි බා ගැනීමට නොයෙකුත් ඇම වර්ග යොදමින් දැල එලුම නිසි ලෙස ක්‍රියාත්මකව තිබිණි. එහෙත් සියල්ල දෙස මහින්ද රාජපක්‍ෂ පාර්ශ්වය බලා සිටියේ උපේක්‍ෂාවෙනි. කලබලයක්‌ නැතුවය.

ඉන් අනතුරුව ජනාධිපතිවරණය පිළිබඳ සූදානම ප්‍රකාශයට පත්කෙරිණි. ජනාධිපතිවරණය පිළිබඳ නිල නිවේදන මැතිවරණ කොමසාරිස්‌වරයාට දැනුම් දීමත් සමඟම කුමන්ත්‍රණ වේගවත් වන බව මහින්ද දැන සිටියේය. එහෙත් ඒ පිළිබඳ හාංකවසියක්‌වත් පිටට නොපෙන්වන්නට තරම් ඔහු කල්පනාකාරීව සිටියේය.

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කළ දිනට පසුවදා රාත්‍රියේ (20 දා) සන්ධානයේත් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේත් මධ්‍යම කාරක සභාවේ හා විධායක සභාවේ රැස්‌වීම් දෙකක්‌ තිබිණි.

යන මෛත්‍රීට ජනපතිගෙන්
ආප්ප සමඟ ලුණු මිරිස්‌

මෛත්‍රිපාල ද ඒ සඳහා පැමිණ සිටියේ තරමක්‌ වේලාසනිනි. ඔහු උත්සාහ කළේ ජනාධිපති මහින්ද හමුවීමටය.

එහෙත් ජනාධිපතිවරයා ඒ අවස්‌ථාවේ ඇතුළේ නොසිටි බැවින් ජනාධිපති කාර්ය මණ්‌ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් ළඟ නතර වී කතා කරමින් සිටියේය.

ගාමිණී… ජනාධිපතිතුමා එන්න වෙලා යයි නේද?…

ඔව් සර් පැය භාගයක්‌ විතර යාවි ඇයි….

හරිම බඩගිනියි. මොනවත් නැද්ද මේ වෙලාවේ කන්න…

ඉන්න සර්… ඉක්‌මනට මම ලෑස්‌ති කරන්නම් කී ගාමිණී සෙනරත් ඒ මොහොතේම පිටට පණිවුඩයක්‌ යවා උණු ආප්ප ගෙන්වා ගත්තේය. ගාමිණී ආප්පවලින් මෛත්‍රිට සංග්‍රහ කළේය. අනතුරුව ජනාධිපතිවරයා පැමිණ මෛත්‍රි සමඟ කතාබහ කරන්නට පටන් ගත්තේය. ඔහුගේ සුහද කතාබහට එක්‌ වූ මෛත්‍රිද නොයෙකුත් විස්‌තර ජනාධිපතිවරයාට කීවේය. කවුරු මොනවා කිව්වත් කටකතාවල මොනවා කියවුනත් ජනාධිපතිවරයා මෛත්‍රි තම ප්‍රතිවාදියා වේය කියා විශ්වාස කළේම නැත. ඔහු සිතුවේ මෛත්‍රී නිසැකවම පසුදා ඉවත්ව යන බවත් ඒ ඉවත්ව යන්නේ වෙනත් පොදු අපේක්‍ෂකයකුට සහාය දීමට බව පමණි. මෛත්‍රි සැබෑවටම ඉවත්ව යන්නේ වෙන කෙනෙකුට සහාය වීමට නොව, තම ප්‍රතිමල්ලවයා වීමට බව ජනාධිපති විශ්වාසයට ගත්තේ මේ සියල්ල වූවාට පසු අවසාන මොහොතේ ලැබුණු විශ්වාසදායක තොරතුරුත් සමඟය.

ඊට පෙර එදා රාත්‍රියේ නව සංවිධායකවරු පත්කිරීමක්‌ ද අරලියගහ මන්දිරයේ තිබිණි. පොල්ගහවෙලට හා කොලොන්නට නව සංවිධායකවරු පත්කෙරිණි. මෛත්‍රිපාල, නිමල් සිරිපාල, ජෝන් සෙනෙවිරත්න මේ පත්වීම් ලබාදීමේ අවස්‌ථාවට එක්‌වූහ.

ඉන්පසුව විධායක සභාව තිබිණි. විධායක සභාවේදී ජනාධිපතිවරයාගේ නාම යෝජනාව එක හඬින් අනුමත කෙරිණි. ජනාධිපතිවරණය සඳහා මූලික සැලසුම් සකස්‌ කරන අයුරුත් සාකච්ඡා වෙද්දී මෛත්‍රිපාල සියල්ල අසා සිටියේ නාමයෝජනා ද ඊට එක්‌ කරනා අතරතුරය. මේ සියල්ල ඉවර වන විට මධ්‍යම රාත්‍රියට ද ආසන්නව තිබිණි.

මෛත්‍රී ගැනීම ගැන රනිල්ටත් අභියෝග

මෛත්‍රිපාලට විපක්‍ෂ සන්ධානයේ පොදු අපේක්‍ෂකත්වය දී එය ප්‍රසිද්ධියට පත්කළේ පසුගිය 21 වැනි සිකුරාදාය. එතැන් සිටම රනිල්ට පක්‍ෂයේ ඇතුළතින් හා පිටතින් නානාප්‍රකාර අන්දමේ ප්‍රශ්න හා අභියෝගවලට මුහුණදෙන්නට සිදුවිය. වඩාත්ම දැඩි වූයේ ඇතුළතින් එල්ල වූ අභියෝගයන් ය.

එහෙත් රනිල් ඒ කිසිවකින් සැළුණේ නැත. ඔහු නිතරම තත්ත්වය අවබෝධ කර දී ඇතුළත ගැටුම අස්‌වසාලන්නට කටයුතු කළේය. ඒ සමඟම ඔහු පිට පළාත්වල දිස්‌ත්‍රික්‌ සංවර්ධන රැස්‌වීම්වලට ගොස්‌ පාක්‍ෂිකයෝ දැනුවත් කර ඔවුන්ගේ වේදනාව සමනය කරන්නට ක්‍රියා කළේය. ඔහුට මේ සඳහා අනගි සහායක්‌ කරු ජයසූරිය, රවී කරුණානායක, කබීර් හෂීම් ඇතුළු තරුණ පෙළේ නායකයන් පිsරිසකගෙන් ද ලැබිණි. මේ අයුරින් පසුගිය 22 වැනි සෙනසුරාදා රනිල් කෑගල්ල එජාප දිස්‌ත්‍රික්‌ සමුළුව ඇමතුවේය.

ඊට පසුව එදා රාත්‍රියේ කෙළින්ම මහනුවර වැඩමුළුවට ගිය රනිල් මලික්‌ගේ ගෙදර රැය ගත කරමින් සටන් පෙරමුණේ වත්මන් ප්‍රගතිය ගැන කතා කළේය.

පසුදා පාන්දර රනිල් මහනුවර සිට කුරුණෑගලට පැමිණ කුරුණෑගල දිස්‌ත්‍රික්‌ සමුළුව ඇමතුවේය. එහිදී ද ඔහුට මෛත්‍රීට පොදු අපේක්‍ෂකත්වය දීම ගැන ප්‍රශ්නවලට මුහුණපාන්නට සිදුවිය. එහෙත් අවසානයේ තමා නිවැරැදි බව ඒත්තු ගන්වන්නට ඔහුට හැකිවිය.

මෛත්‍රීගේ හිස්‌ වූ තනතුරට අනුර යාපාද පවිත්‍රා ද

මෛත්‍රීපාල පොදු අපේක්‍ෂකයා ලෙස හෙළිදරව් කර රටේ ලොකු දේශපාලනාත්මක ආන්දොaලනයක්‌ ඇති වූ පසු ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ ලොකු කසුකුසුවක්‌ ද හටගෙන තිබිණි. කාටත් අවශ්‍ය වූයේ මේ එළියට යන පෝලිමේ ඊළඟට ඉන්නේ කවුද කියා පැහැදිලිවම දැනගැනීමටය.

පොදුජන එක්‌සත් සංධානයේ ආණ්‌ඩු පක්‍ෂ කණ්‌ඩායමේ මුළු ගණන 162 ක්‌ව තිබිණි. ඉන් මෛත්‍රිපාල, රාජිත, එම්. කේ. ඩී. එස්‌., චම්පික, රතන හිමි, වසන්ත සේනානායක, රජීව් විඡේසිංහ, දුමින්ද යන අටදෙනා ඉවත්ව ගිය පසු ඉතිරි වූ ගණන 154 ක්‌ව තිබිණි.

ජනාධිපතිවරයාට මේ වන විට විවිධ ආරංචි ලැබෙමින් තිබිණි. ආණ්‌ඩුවේ සිටින ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් 10 දෙනෙක්‌ ඇතුළු මන්ත්‍රීවරු විශාල පිරිසක්‌ යැමට නියමිත බව විපක්‍ෂයෙන් කිව්වත් එතරම් ගණනක්‌ නොයන බව ජනාධිපති දැන සිටියේය. එහෙත් සැලකිය යුතු පිරිසක්‌ යා හැකි බවට ආරංචි පැමිණෙමින් තිබිණි.

ජනාධිපතිවරයා වහාම සිකුරාදා රාත්‍රියේ ආණ්‌ඩු පක්‍ෂ කණ්‌ඩායම් රැස්‌වීමක්‌ කැඳවූයේය. සෑම කෙනෙකුටම පණිවිඩ හැර කෙසේ හෝ ගෙන්වා ගැනීමට ජනාධිපතිවරයාට අවශ්‍ය විය. කෙසේ වෙතත් එදා කණ්‌ඩායම් රැස්‌වීමට මන්ත්‍රීවරු 137 දෙනෙක්‌ පැමිණ සිටියහ. පණිවිඩ ලැබුණත් නොපැමිණ සිටි සමහර මන්ත්‍රීවරු ගැන ජනාධිපතිවරයාට බලවත් කුකුසක්‌ ඇති විය. ඒ පිරිස ඊළඟට යන ලැයිස්‌තුවේ පෝලිමේ සිටින අය යෑයි සැකයක්‌ ද ඇතිවිය.

කෙසේ වෙතත් කණ්‌ඩායම් රැස්‌වීමේදී කතා කරන්නට කාටත් ඉඩකඩ විවෘතව තිබිණි. නිමල් සිරිපාල ද සිල්වා උද්ගතව ඇති තත්ත්වය විශ්ලේෂණය කිරීමෙන් පසුව අදහස්‌ දැක්‌වීම ඇරඹිණි.

මීට පෙර පක්‍ෂය හැර ගිය අය ගැන විස්‌තර කියමින් අගමැති දි. මු. ජයරත්න වේගවත් කතාවක්‌ කළේය.

ඔය යෝජනාව ඔය ඔක්‌කොටම කලින් ආවේ මට. මම කැමැති නෑ. කියමින් දි. මු. අදහස්‌ දැක්‌වූයේය.

අගමැතිගෙන් පසුව පොලොන්නරුව දිස්‌ත්‍රික්‌කයේ මන්ත්‍රීවරු කතා කළහ. විමලසිරි ගම්ලත්, රොෂාන් රණවක, චන්ද්‍රසිරි සූරියආරච්චි ආදීහු කතා කරමින් තමන් කිසි විටෙකත් පක්‍ෂය හැර නොයන බව කීහ. ඉන් අනතුරුව අනුර යාපා, පවිත්‍රා, මහින්දානන්ද, අතාවුද, චන්ද්‍රසේන, රෝහිත ආදීහු ද අදහස්‌ දැක්‌වූහ.

මේ සියල්ලට පසුව ශ්‍රීලනිපයේ මධ්‍යම කාරක සභාව හා විධායක සභාව යන දෙකම එකවර රැස්‌වූහ. ජනාධිපතිවරයාට හා පක්‍ෂයේ සභාපතිට තිබෙන බලය ප්‍රකාරව පක්‍ෂය හැර ගිය මහලේකම්වරයාව ධුරයෙන් පහ කළේ එහිදී ය. ඉන්පසුව ජනාධිපතිවරයා කීවේ දැන් ඉතින් වැඩබලන මහ ලේකම් කෙනෙක්‌ පත්කර ගනිමු කියාය.

මේ වෙලාවේ සරත් අමුණුගම යෝජනා කළේ අනුර යාපා පක්‍ෂයේ මහ ලේකම් ධුරයේ වැඩ බලන්නට සුදුසු බවකි.

ඊට හැමෝම එකඟ වූයේ නැත. සමහරු කීවේ දැනට පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ලෙස සේවය කරන අනුර යාපාට තවත් ධුරයක්‌ දැරිය නොහැකි බවය.

හරි මම උප සභාපති ධුරයෙන් ඉල්ලා අස්‌වෙනවා. අනුර යාපා කීවේය.

මෙන්න මේ පවිත්‍රා වගේ කෙනෙක්‌ව දාගන්නකෝ. කාන්තාවන්ටත් තැනක්‌ දෙමු. ජනාධිපති කීවේය.

ඒකට ලෝයර් කෙනෙක්‌ ඉන්න එක හොඳයි. අනුර හොඳ ලෝයර් කෙනෙක්‌ සරත් අමුණුගම කීවේය.

පවිත්‍රාත් ලෝයර් කෙනෙක්‌ තමයි. ජනාධිපති කීවේය.

කෙසේ වෙතත් එවෙලේ ඉස්‌මතු වූයේ අනුර යාපාගේ නමය. ඒත් සමඟම අනුර යාපා වැඩ බලන්නට නොව, ස්‌ථිර මහලේකම් ලෙස පත්කරන්නට ද යෝජනාවක්‌ පැමිණියේය. ඒ අවස්‌ථාවේ කාගේත් එකඟත්වයෙන් එයම ස්‌ථිර කෙරිණි.

මෛත්‍රීගෙන් හිස්‌වුණු තනතුරු සියල්ල පිරවිණි. සිරිපාල ගම්ලත්ට දිස්‌ත්‍රික්‌ නායකකම ලැබිණි. ඔහුගේ පොලොන්නරුව ආසනය ලැබිණි. මැදිරිගිරිය රොෂාන්ට ලැබිණි. සියල්ල විසඳනු ලැබුවේ ඒ අනුවය.

සටන රටට පෙන්වන්න
නාමල් මැදිහත් වෙලා

රටේ මහත් ආන්දොaලනයක්‌ ඇති කරමින් ආණ්‌ඩු පක්‍ෂයෙන් විපක්‍ෂයට ආ කණ්‌ඩායම වෙනුවෙන් මාධ්‍ය මෙහෙයුම් රැසක්‌ ඇතිවෙමින් තිබිණි. රජයේ මාධ්‍ය පැල් බැඳගෙන ඔවුන්ට පහර දුන්නේ ඔවුන් මෙතෙක්‌ කළ කී සියල්ල මේ රටේ දූෂිත ගනුදෙනු හා වැරදි අන්දමේ තීන්දු තීරණ හා වැඩ බවට හුවා දක්‌වමිනි. අන්තිමේ රටේ හාල් මිල ඉහළ නංවන්නේත් මෛත්‍රීපාලය කියන මට්‌ටමට රටේ සමහර රාජ්‍ය නාලිකා පිරිහී තිබිණි. සමහර නාලිකා මෛත්‍රීපාල, රතන හිමි, රාජිත ඇතුළු පිරිස පතුරු අරින්නට වූහ.

මේ අතර විපක්‍ෂයේ පොදු එකඟතාව හා හෙළ උරුමය, ජවිපෙය වැනි විපක්‍ෂයේ පක්‍ෂ වෙනුවෙන් යම් වේදිකාවක්‌ සාදාගෙන මාධ්‍යයක්‌ ලෙස ඉස්‌මතු වූයේ සිරස නාලිකාවය. ඔවුන් මෛත්‍රිපාල ඇතුළු පිරිස සිය “සටන” දේශපාලන වැඩසටහනට ගෙන්වා ගත්තේය. එම වැඩසටහන පසුගිය සති අන්තයේ සිරස ඔස්‌සේ සජීවීව රට පුරා විකාශය කෙරිණි. එහෙත් හිටි හැටියේම මොකක්‌දොa දොaෂයක්‌ නිසා සටන වැඩසටහන පෙන්වීම අත්හිටුවමින් සිරස නාලිකාවම අකර්මන්‍ය විය. ඩයලොග් ටී වී හා පියෝ ටී වී ඔස්‌සේ සිරස බලන සියලුම දෙනාට දර්ශන නොලැබිණි. වැඩසටහන බැලිය නොහැකි විය.

මේ වන විට නාමල් මන්ත්‍රීවරයා සිටියේ තම මිතුරන් පිරිසක්‌ නිල් බළකායේ පිරිසක්‌ සමඟ සිය ඉදිරි මාධ්‍ය කටයුතු ගැන සාකච්ඡා කරමිනි. ඊට හේතුව හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයේ ජනාධිපතිවරණ මෙහෙයුම් කටයුතු සියල්ල ඔහුට පවරා දී තිබීමයි. ඒ අතර හිටි හැටියේම නාමල්ගේ දුරකථනයට “සටන” ගැන කියමින් කෙටි පණිවිඩයක්‌ ආවේය.

අයියෝ…. අර ගියපු කට්‌ටිය ඉන්න වැඩසටහනක්‌ සිරසේ යද්දී පියෝ ටී වී එකෙනුයි ඩයලොග් ටී වී එකෙනුයි නතර කරලලු මොන කැත වැඩක්‌ද ඒ මේවා කළාම වෙන්නේ අපේ තාත්තිට ලේසියෙන්ම දිනන්න පුළුවන් මැතිවරණයක්‌ නිරපරාදේ කැත නාම ගාගන්න එක. අපි මේක නිවැරැදි කරමු.

කියමින් විදුලි සංදේශ නියාමන කොමිසමේ සභාපති නීතිඥ අනුෂ පැල්පිටට කතා කළ නාමල් කීවේ කොතන හෝ වරදක්‌ සිදු වී ඇත්නම් එය නිවැරදි කරවන ලෙසය.

අය වැයෙන් පටන් ගත් සටන
පළාත් සභාවලටත්

පසුගිය සතියේ ලොකු ගාලගෝට්‌ටි රාශියක්‌ සහිතව පාර්ලිමේන්තු රැස්‌වීම් කිසිත් හානියක්‌ නැතිව පැවැත්විණි. ආණ්‌ඩු පක්‍ෂයෙන් වැල නොකැඩී යනවාය කියා කටකතාවලිනුත් යම් යම් වෙබ් අඩවිවලිනුත් නම් හෙළිකළ මන්ත්‍රීවරු ඇමැතිවරු කිසිදා පක්‍ෂය අතහැර නොයන බවට දිවුරුම් දුන්හ.

මෛත්‍රීපාල ඇතුළු පොදු විපක්‍ෂයේ සටන ද එහි සද්දය ද පසුගිය සතියේ මැද වන විට බාල වී ගියේ ඉන්පසුව වැල නොකැඩී එන්නට කිසිවකු නොසිටි නිසාය. එහෙත් කඳුරට දෙමළ මන්ත්‍රීවරයකුත්, වවුනියාවේ දෙමළ මන්ත්‍රීවරයකුත් පළාත් සභාවල මුස්‌ලිම් මන්ත්‍රීවරු කිහිපදෙනෙක්‌ ආණ්‌ඩු පක්‍ෂයෙන් විපක්‍ෂයට එක්‌වීම තුළ කුකුස හා කුතුහලය නිමා නොවිණි.

මේ අතරතුර පළාත් සභාවල ද යම් යම් ගාලගෝට්‌ටි හටගන්නට පටන් ගත්හ. පළාත් සභාවල විශේෂයෙන් ලොකු පෙරළියක්‌ ඇති කරනවාය කියා විපක්‍ෂය ගෝරනාඩුවක්‌ කළේ ඌව පළාත් සභාව සම්බන්ධයෙනි.

ඌව පළාත් සභාවේ ආණ්‌ඩු පක්‍ෂයට මන්ත්‍රීවරු 19 කි. විපක්‍ෂයට මන්ත්‍රීවරු 15 කි. මන්ත්‍රීවරු තුන්දෙනෙක්‌ එහා මෙහා කළේ නම් පළාත් සභාව බිඳවැටෙයි. එම නිසා පසුගිය සතියේ විපක්‍ෂයේ මන්ත්‍රීවරු පෙරළි කරමින් සිටියේ ඊළඟ සභා වාරයේදී ඌවේ බලය අල්ලනවා කියාය.

ඌව පළාත් සභාවේ සාලිය සුමේධ, බුද්ධදාස, බිබිලේ බණ්‌ඩාර, හේමා රත්නායක වැනි මන්ත්‍රීවරු ගැන කටකතා ද පැතිර යමින් තිබිණි. ඌව මහ ඇමැති ශෂින්ද්‍ර රාජපක්‍ෂ වහාම ක්‍රියාත්මක වූයේය. කලකිරීමට පත්ව සිටිනවා යෑයි කියන මන්ත්‍රීවරු සමඟ ඔහු පුද්ගලිකවම කතා කළේය. සියලුම දෙනා සමඟ කතා කළේය. එහෙත් ඔහුට ගැටලුවක්‌ සොයාගත නොහැකි විය.

අන්තිමේ බදාදා පළාත් සභාව පැවැත්විණි. කිසිවකු පෙරළියකට ඉදිරිපත් වූයේ නැත. අන්තිමේ විපක්‍ෂ නායක හරීන් ප්‍රනාන්දු පැමිණ සිටියේ ද නැත. කිසිදු ගාලගෝට්‌ටියක්‌ නැතිව පළාත් සභා රැස්‌වීම පැවැත්වී සිරිත් පරිදි අවසන් කෙරිණි. පළාත් සභාව යළි රැස්‌වීම ද මසකට කල් තබමින් මහ අමාත්‍යවරයාට පළාත් සභාව අවසන් කරන්නට හැකි විය.

ජනපති මහින්දගෙන්
ගම්මන්පිලට ඇමතුමක්‌

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ පසුගිය දින කිහිපය පුරා කල්ගත කළ ඉවසිලිවන්ත භාවය මහ පුදුම සහගතය. එසේම ඔහු කිසිවකින් සසල නොවන ප්‍රතාපවත් නායකයකු බව ලොවටම හෙළිදරව් කරන්නටද සමත් විය. තම පක්‍ෂ ලේකම්වරයා පිටව ගොස්‌ තමන්ට එරෙහිව අවි අමෝරා ගනිද්දීත් ජනාධිපතිවරයා සිටියේ කිසිවක්‌ නොවූ ගාණටය.

මේ අතරතුර ඔහු ඉකුත් අඟහරුවාදා ලංකාවෙන් පිටත්ව නේපාලයේ කත්මන්දු නුවර බලා ගියේ 18 වන සාක්‌ රටවල රාජ්‍ය නායක සමුළුවට සහභාගිවීම පිණිසය. නේපාලය බෞද්ධ රටකි. එහි තිබූ බෞද්ධ පරිසරය ජනාධිපතිවරයාට ලංකාවේදී කැළඹී තිබූ මනසේ ඇතුලාන්තය සන්සුන්කර නිවා සනසා ගන්නට ඉවහල් වූවා නිසැකය.

කත්මන්දු නුවරදී රාජ්‍ය නායකයන් හමුවී සහභාගි වනවාට වඩා වැදගත්වන හමුවීම් රැසකටද ජනාධිපතිවරයාට ඉඩ කඩ විවරවී තිබිණි. විශේෂයෙන්ම ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි හමුව, පකිස්‌තාන් රාජ්‍ය නායකයා හමුවීම, ඇµaගනිස්‌ථාන රාජ්‍ය නායකයා හමුවීම ජනාධිපතිවරයාට ලොකු ආශිර්වාදයක්‌ම විය.

මේ සියලු රාජ්‍ය නායක හමුවීම්වලට යන සැසිවලට කිසිත් වෙනසක්‌ නැතිව සහභාගි වී ජනාධිපති මහින්ද ඇතුළු දූත පිරිස යළිත් ලංකාවට ආවේ 27 වන බ්‍රහස්‌පතින්දා රාත්‍රියේය. ඔහු පසුදා සුපුරුදු පරිදි ලංකාවේ වැඩ රාජකාරී ඉතා උද්යෝගයෙන් අරඹනු ලැබීය.

සිකුරාදා දහවල් ජනාධිපති මහින්ද එක්‌තරා උත්සවයකට සහභාගිවන්නට කොළඹ ඩී. එස්‌. සේනානායක විද්‍යාලයට ද ගියේය. උත්සවය ඩී. එන්. සිsරිමාන, ආර්. අයි. ටී. අලස්‌ අනුස්‌මරණ දිනය වෙනුවෙන් පවත්වනු ලැබූවකි. සජිත් ප්‍රේමදාස හා උදය ගම්මන්පිල ද මේ උත්සවයට ආරාධිතයන් ලෙස පැමිණ සිටීම විශේෂත්වයකි. සජිත් සමඟ ජනාධිපතිවරයා කතා කරමින් සිටියේය. ඔහු ඇසුවේ අලස්‌ මහත්මාව ඡේ. ආර්. ජයවර්ධන ගෙදර යවනු ලැබූ විස්‌තරයක්‌ ගැනය.

මට මතකයි ඔයාලගෙ නායකයා තමයි එතුමාව යළිත් සේවයට අරන් මේ විදුහලට යළි ගෙනල්ලා තිබුණේ.

මේ අතර විරසකව සිටි උදය ගම්මන්පිලට ජනාධිපතිවරයා ළඟට ගෙන්වා ගත්තේ සුහදත්වයෙනි. උදය ආවේ තරමක්‌ කුතුහලයෙනි. එහෙත් ජනාධිපති උදය කැඳවා කතා කළේ දේශපාලනය ගැන නම් නොව, අලස්‌ මහතා කළ සේවය හා ඩී. එස්‌. පාසල ගැනය.

කෙසේ වෙතත් උදය ගම්මන්පිල ගැන පසුගිය සතියේ රටේ පැතිර තිබූ කයි කතන්දර විවිධය. සමහර කතාන්දරවලින් කියවුණේ උදය, චම්පික හා රතන හිමි සමඟ ආරවුලක්‌ ඇතිකරගෙන යළිත් රජයට ඒමට සූදානමක්‌ ඇති බවකි. එ. ජා. ප.ය හා දෙමළ ජාතික සන්ධානය සමඟ එකට වැඩ කිරීමේ හිරිකිතයක්‌ තමන්ට ඇතැයි කියමින් උදය හෙළ උරුමයෙන් බෙදී ඇති බව මේ කටකතාවලින් කියෑවිණි.

කෙසේ වෙතත් පසුගිය සතිය ලංකාවට දේශපාලන සුනාමියක්‌ හැමූ සතියක්‌ ලෙස හැඳින්වූවාට වරදක්‌ නැත. එහෙත් ඒ තුළ වූයේ විනාශයක්‌ නොව වෙන්නට තිබූ දේශපාලන වෙනස්‌වීම් කිහිපයක්‌ පමණි. ඒ වෙනස්‌කම් හෙට දවසේ රටේ දේශපාලනය කෙරෙහි කෙබඳු බලපෑමක්‌ එල්ල කරනු ඇද්ද යනු අද අපට ඉතිරිව ඇති දේශපාලන ප්‍රශ්නයකි.

බුලිත ප්‍රදීප් කුමාර

One Response to “මහින්ද – මෛත්‍රී ගල උඩ සටනකට දෙපැත්තම සූදානම්”

  1. Independent Says:

    සටන රටට පෙන්වන්න නාමල් මැදිහත් වෙලා

    අයියෝ…. අර ගියපු කට්‌ටිය ඉන්න වැඩසටහනක්‌ සිරසේ යද්දී පියෝ ටී වී එකෙනුයි ඩයලොග් ටී වී එකෙනුයි නතර කරලලු මොන කැත වැඩක්‌ද ඒ මේවාකළාම වෙන්නේ අපේ තාත්තිට ලේසියෙන්ම දිනන්න පුළුවන් මැතිවරණයක්‌ නිරපරාදේ කැත නාම ගාගන්න එක. අපි මේක නිවැරැදි කරමු.
    කියමින් විදුලි සංදේශ නියාමන කොමිසමේ සභාපති නීතිඥ අනුෂ පැල්පිටට කතා කළ නාමල් කීවේ කොතන හෝ වරදක්‌ සිදු වී ඇත්නම් එය නිවැරදි කරවන ලෙසය.

    -Very good action. But it proves a kid can have powers which even a Senior Minister does not posses. What does that prove ?

    This is the very problem that the opposition is talking about. actually President is OK but the people surrounding him and his friends have more power than the Cabinet and they do stupid things. They are not scared as they know the President will come to rescue them.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress