බර්ලින් තාප්පය හරහා
Posted on January 17th, 2016
වෛද්‍ය රුවන් එම් ජයතුංග
1988 දී මම ජර්මනියට යන විට ජර්මනිය නැගෙනහිර සහ බටහිර ලෙසට දෙකට බෙදී තිබුණි. ඒ කාලයේ නැගෙනෙහිර ජර්මනියේ තිබුනේ කොමියුනිස්ට් පාලනයකි. මිනිසුන් ස්ටාසි රහස් ඔත්තු සේවයට තිබූ බිය නිසා විදේශික අප සමග නිදහසේ සංවාදයට ආවේ නැත. එහෙත් ටැක්සිකරුවන් කිහිප දෙනෙක් අප වෙත පැමින ඩොලර් හෝ ඩොයිෂ් මාර්ක් තිබේද කියා අැසුවෝය. එක් ටැක්සිකරුවෙක් මා අත බැඳි ජපන් සිටිසන් වර්ගයේ අත් ඔරලෝසුව මිලට ගැනීමට තැත් කලේය.
ටැක්සිකරුවන් ගේ කන්දොස්කිරියාවෙන් මිදුනු අප නැගෙනහිර ජර්මනියේ අවන්හලකට වැද දිවා ආහාරය ගතිමු. නැගෙනහිර ජර්මනියේ ආහාර මිල බටහිර තරම් අධික නොවේ. බටහිර ජර්මනියේ ඩොයිෂ් මාර්ක් 40 පමණ මිල වන දිවා ආහාරය සඳහා අප විසින් ගෙවන ලද්දේ ඩොයිෂ් මාර්ක් 10 පමණ මුදලකි. දිවා ආහාරයෙන් පසු අප බටහිර බර්ලිනය වෙත යාම පිණිස බර්ලින් තාප්පය කරා ගියෙමු.
බර්ලින් නගරය බෙදා පැතිර තිබෙන බර්ලින් තාප්පයෙන් පැන බටහිරට යාම නැගෙනහිර ජර්මනියේ බොහේ දෙනෙකුගේ සිහිනය විය. නමුත් එය භයානක සිහිනයකි. අවි ගත් රැකවළුන්,කටුකම්බි බාධක, බල්ලන් , බිම් බෝම්බ අතුරා තිබෙන භූමිය හරහා බටහිරට යාම මරණයට අත වැනීමක් විය. බර්ලින් තාප්පයෙන් පැන බටහිරට යාමට තැත් කොට වෙඩිකෑ හෝ බිම් බෝම්බ වලට ගොදුරුව මිය ගිය අවාසනාවන්තයන් සිහි ගැන්වීමට තාප්පය අසල සාදා තිබෙන ලී කුරුස අප දුටුවෙමු.
බර්ලින් තාප්පය හරහා බටහිරට යන්නන් දැඩි ලෙස පරික්‍ෂා කරනු ලැබේ. එහෙත් අප දුඹුරු පැහැති ආසියාතිකයන් නිසා වැඩි පරික්‍ෂාවකින් තොරව යාමට ඉඩ දෙන ලදි. හමේ වර්ණය නිසා වරප්‍රසාදයක් ලැබූ එකම අවස්ථාව එය විය. අප සමග සිටි ලතීශ් ජාතිකයා නැගෙනහිර ජර්මානුවෙකු යැයි සැක කිරීම නිසා ඔහුව රඳවාගෙන පරික්‍ෂා කරන ලදි.
නැගෙනහිර ජර්මනියට සාපේක්‍ෂව බටහිර ජර්මනිය ආලක මන්දාවක් මෙන් දිස් විය. නවීන වාහන අලංකාර ලෙස ඇඳ පැලඳි ජනයා , දිලිසෙන ගොඩනැගිලි නිසා බටහිර වඩාත් චමත්කාර ලෙස දිස් වූයේය. නැගෙනහිර ජර්මනියේ මිනිසුන් ඇඳ පැලඳි සිටියේ ඒකාකාරී ලෙසටය. ඔවුන් ගේ ඇඳුම් රළු රෙද්දෙන් විලාසිතාවලින් තොරව මසා තිබුනාක් මෙන් පෙනුනි. නැගෙනහිර ජර්මනියේ වාහන බොහොමයක් ද සෝවියට් දේශයේ නිශ්පාදිත කමාස් , තවුරියා , වොල්ගා වූහ. බටහිර බර්ලිනයේ සවස් වන තෙක් කාලය ගත කල අප සවස් වරුවේ හැම්බර්ග් බලා යන දුම්රියකට ගොඩ වූයෙමු.
වෛද්‍ය රුවන් එම් ජයතුංග