ෆෙඩරල් දී රට බෙදන්න පාර කපන හවුල් ආණ්ඩුවේ ද්‍රෝහියෝ…
Posted on January 18th, 2016
සාකච්ඡා කළේ – දයා ලංකාපුර -යුතුකම සංවාද කවය
නව ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා ව්‍යවස්ථාදායක මණ්ඩලයක් පත් කිරීමට යැම ව්‍යවස්ථාව මගින් පාර්ලිමේන්තුවට ලබාදී තිබෙන බලය නැතිකර දැමීමක් බවත් පාර්ලිමේන්තුවක් නොවන ආයතනයකින් ව්‍යවස්ථාවක් සකස් කිරීම ඉතා භයානක බවත් මහජන එක්සත් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.
‘දිවයින ඉරිදා සංග්‍රහය’ සමඟ පැවැති සාකච්ඡාවේදී ඒ මහතා පළ කළ අදහස් මෙසේය.
ප්රශ්නය – මේ ආණ්ඩුව බලයට පත්වෙලා අවුරුද්දක් ගත වුණා. මේ අවුරුද්දේ ආණ්ඩුව විසින් කරන ලද වැඩ පිළිබඳව ඔබට සෑහීමකට පත් විය හැකිද?
පිළිතුර – ඇත්ත වශයෙන් ජනාධිපතිතුමා පත්වී වසරක් ගත වී තිබෙනවා. මහ ඡන්දෙන් පස්සෙ අලුත් ආණ්ඩුවකුත් පත් වුණා. ඒත් කලින් දින 100 ආණ්ඩුවේ හිටියෙත් මේ ආණ්ඩුවේ ඉන්නෙත් එකම පිරිසමයි. ආණ්ඩුව ප්‍රකාශ කරන ලද ජනතාවට බලාපොරොත්තු දෙන ලද යහපාලනය ක්‍රියාත්මක නොවන බව රට පුරා දෙපාර්තමේන්තු කඩාවැටීම, සාධාරණය ඉෂ්ට නොවීම ආදියෙන් ඉතා පැහැදිලිවම පෙනෙනවා මේ කාලපරිච්ඡේදය තුළ ආර්ථිකයත්, සංවර්ධන කටයුතුත් සම්පූර්ණයෙන්ම නැවතිලා. දින 100 තුළදී ක්‍රියාත්මක කරන බවට ජනතාවට දුන් පොරොන්දු ඉටුකිරීමට ආණ්ඩුවට නොහැකි වුණා. ඒ නිසා පාර්ලිමේන්තු මැතිවරණයත් ප්‍රමාද කළා. එය පැවැත්වුවේ දින 120 ක් ගත වූ පසුවයි. දැන් පළාත් පාලන ඡන්දයත් කල් දාලා.
නීතියට මැදිහත් වෙන්නේ නැත කියපු ආණ්ඩුව දැන් විවිධ ආකාරයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමේදී මැදිහත් වෙනවා. මේ නිසා සමස්ත ප්රජාතන්ත්රවාදී සමාජයට දෙන ලද බලාපොරොත්තු බිඳවැටී තිබෙනවා.
ජනාධිපතිතුමා 19 වැනි සංශෝධනය ගෙනැවිත් ඒ තුළින් යම් කිසි බලතල ප්‍රමාණයක් පාර්ලිමේන්තුවට පැවරුවා. නව ඡන්ද ක්‍රමය ගේන්න. ජනාධිපතිතුමාට ආණ්ඩුව ඇතුළෙන්ම ඉඩ දුන්නේ නැහැ.
ප්රශ්නය – 20 වැනි සංශෝධනය ගේන්න ගියේ ඡන්ද ක්‍රමය වෙනස් කරන්න නේද?
පිළිතුර – එයින් බලාපොරොත්තු වුණේ නව මැතිවරණ ක්‍රමයක් ගේන්න. එයට විපක්ෂයේ අපි සම්පූර්ණ සහයෝගය පළ කළා. එහෙත් එක්සත් ජාතික පක්ෂය එයට විරුද්ධව ආණ්ඩුව තුළම කැරලි ගැසීම නිසා එම සංශෝධනය ගේන්න බැරි වුණා.
ආණ්ඩුව දුන් පොරොන්දු ඉටුකරන්න ඉඩ නොදෙන්නේ විපක්ෂය බවට කරන චෝදනාව බොරු බව මෙයින්ම පෙනී යනවා.
ප්රශ්නය – ආණ්ඩුව අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගේන්න යනවා. ඒකාබද්ධ විපක්ෂය එයට විරුද්ධ වන්නේ ඇයි?
පිළිතුර – ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට පාර්ලිමේන්තුවට බලය තියෙනවා. ඒ අනුව තමයි 19 වැනි සංශෝධනය ගෙනාවේ. ජනාධිපතිගේ බලතල අඩු කිරීමට. එතකොට 20 වැනි සංශෝධනය ගෙනාවේ පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමට. මේ දෙක අරගෙන බලන්න. මේ ගේන්න හදන යෝජනාවෙත් තියෙන්නෙ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමයි. මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමයි. අනික් එක ජාතික ප්රශ්නය සහ සංහිඳියාවට විසඳුම් ඇති කිරීම මේ පළමුවැනි දෙක සම්මත කරන්න පාර්ලිමේන්තුවට පුළුවන්නේ. පාර්ලිමේන්තුවට පනත් හැටියට ඒවා ගේන්න පුළුවන්. ඇයි ආණ්ඩුව ඒක කරන්නෙ නැතුව මේ වෙන මාර්ගයකට යන්නේ. තුන්වැනි කාරණය ප්‍රධාන වශයෙන් විස¹ ගැනීමට ආණ්ඩුවේ යෝජනා තිබෙනවා නම් ඒවා ගේන්න පුළුවන්නේ. ජිනීවා යෝජනාවෙන් පස්සෙ ආණ්ඩුව සම්පූර්ණයෙන්ම යටත් වුණා. යටත්වෙලා ඇතිකර ගත්තු ගිවිසුම් අනුව නම් කටයුතු කරන්නේ ආණ්ඩුවට පුළුවන් ඒ පිළිබඳ තමන්ගේ කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න. එතකොට මේ කෙටුම්පත් තුන අනුව ව්‍යවස්ථාව අනුව ගමන් කරන්න පුළුවන්. අද කරන්න හදන්නේ කාලය නාස්ති කරන අර්බුදයක් රටේ ඇති කර ඒ අර්බුදය තුළින් දේශපාලනයේ ජීවත් වීමට රජය උත්සාහ කිරීම තමයි ඉතා පැහැදිලිව පෙනීයන්නේ.
විපක්ෂයේ අපට ඡන්ද ක්‍රමයට පක්ෂව ඡන්දය දීම කිසි ගැටලුවක් නැහැ. අපි දැක්ක 19 වැනි සංශෝධනය. අපි දැක්ක 20 වැනි සංශෝධනය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණ ශ්‍රේෂ්ඨාධිකරණය කිව්වා. 19 සංශෝධනය සමහර වගන්ති ක්‍රියාත්මක කරනවා නම් ඊට ජනමත විචාරණයක් තියල ජනතාවගේ අනුමැතිය ගන්න ඕන කියල. එසේ කියල දැන් අවුරුද්දකුත් ගතවෙන්න එනවා ඇයි ආණ්ඩුව මෙහෙම හැසිරෙන්නේ.
ප්රශ්නය – මේ ගේන්න යන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් උතුරු නැගෙනහිර පළාත් ඒකාබද්ධ කරන්න යනවා. උතුරට ෙµඩරල් පාලන ක්‍රමයක් ඇතිකරන්න යනවා කියල ඔබ කියනවා එහෙම කියන්නේ මොන පදනමෙන්ද?
පිළිතුර – පාර්ලිමේන්තුවට තියෙන බලයක්නේ මෙයින් නැති කරන්න යන්නේ. පාර්ලිමේන්තුවට බලය ලැබිල තියෙන්නේ ව්‍යවස්ථාවෙන්. පාර්ලිමේන්තුව ව්‍යවස්ථාව හා ස්ථාවර නියෝග අනුගමනය කළ යුතුයි. දැන් මේ යෝජනාවෙන් කරන්න හදන්නේ පාර්ලිමේන්තුවක් නොවන ආයතනයක් එළියෙන් හදල, ඒක මගින් ව්‍යවස්ථාවක් තමන්ට ඕන පරිදි සකස් කරගෙන ඒක පාර්ලිමේන්තුවට ගෙනැල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට වත් යන්නෙ නැතුව ජනමත විචාරණයකට ගෙන යනවා කියන මිථ්‍යාව මත රට මාස ගණනාවක් ගෙනියන්න. මම කිව්ව පළමු වැනි කාරණ දෙක හැරෙන්නට තුන් වැනි කාරණාව නිසා තමයි මේ ව්‍යවස්ථාව ගේන්න යන්නෙ. තුන් වැනි කාරණය කියන්නෙ, ද්‍රවිඩ ජාතික සන්ධානය ඉල්ලා සිටින උතුරු නැගෙනහිර ඒකාබද්ධ කළ යුතුයි. තමන්ට වෙනම පාලන තන්ත්රයක්, සම සන්ධීය පාලන තන්ත්රයක් දිය යුතුයි කියන යෝජනාව ගේන්න.
මේ වගේ කරුණු පාර්ලිමේන්තුවෙ සාකච්ඡා කරල විසඳ ගන්න පුළුවන් ක්‍රම පාර්ලිමේන්තුවෙ තියෙනවා. නමුත් පාර්ලිමේන්තුවෙන් බාහිර ව්‍යවස්ථාදායක සභාව කියන නමින් ඇති කරන මේ අලුත් ක්‍රමවේදය ඉතාම භයානකයි.
ප්රශ්නය – ඒ වුණාට මේ පිහිටුවීමට යන ව්‍යවස්ථාදායක මණ්ඩලයට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 දෙනාම ඇතුළත් වන බව ආණ්ඩුව කියනවා.
පිළිතුර – මන්ත්‍රීවරුන් 225 ක් සිටියාට ඔවුන්ට අනුගමනය කිරීමට සිදුවන ප්‍රතිපත්තිය සම්පූර්ණයෙන්ම වෙනස් බව අපි පෙන්වා දුන්නා. ස්ථාවර නියෝග පවා මේකෙන් අත්හිටුවෙනවා.
ප්රශ්නය – අන්තිමේදී මේ ව්‍යවස්ථාව ජනමත විචාරණයකට යොමු කරන බව කියනවානේ. විවිධ යෝජනා හා විවිධ කරුණු ඇතුළත් වන ව්‍යවස්ථාවක් ‘ඔව්ද’ ‘නැද්ද’ කියල විමසන ජනමත විචාරණයකට යොමු කරන්නේ කොහොමද? මේකෙ හොඳ යෝජනා වගේම අහිතකර යෝජනාත් තිබෙන්න පුළුවන්. එතකොට ඒ එක් එක් වගන්තියට ජනමත විචාරණ තියන්න වේවි නේ?
පිළිතුර – අන්න ඒ අර්බුදය තිබෙනවා ජනමත විචාරණයකදි ඔව්ද නැද්ද කියන එකට විතරයි ඡන්දෙ දෙන්න පුළුවන්. ලංකාවෙ මිනිස්සු අවුරුදු 30 කට පමණ පෙර පැවැති ජනමත විචාරණයෙදී ලාම්පුවට හා කළගෙඩියට ඡන්දෙ දුන්නේ ඒ අනුවයි. ඒක අසාධාරණයි. මේ යෝජිත ව්‍යවස්ථාවෙ බරපතළ දේවල් අඩංගු වෙන්න පුළුවන්. දැන් තිබෙන ව්‍යවස්ථාව අනුව විදේශ නඩුකාරවරු පත් කරන්න බෑ. නමුත් එසේ පත් කරන්න පුළුවන් වගන්ති මේ ව්‍යවස්ථාවට ඇතුළු කිරීමට ඉඩ තියෙනවා. එහෙම නැතිනම් විශේෂ යුද අධිකරණ පිහිටුවන්න පුළුවන් වගේ ඕන දෙයක් අපේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට ඇතුල් කරන්න ඉඩ තිබෙනවා. මන්ද ආණ්ඩුව මේ වන විට දැඩි පීඩනයකට අසුවෙලයි ඉන්නෙ. එක එක රටවලින් බලපෑම් එනවා. ඇමරිකාවෙන් මාසෙට කිහිප වරක් එනවා. ඉන්දියාවෙන් එනවා. දැන් නෝර්වෙනුත් නියෝජිතයෙක් ඇවිත් ඉන්නවා. මේ ඔක්කොම ඇවිල්ල ආණ්ඩුවට කියන්නෙ සුබදායක දේවල් නොවෙයි. මෙහෙම කියන කොට අවුල් වැඩි වෙනවා.
ඒ නිසා අපි ඒකාබද්ධ විපක්ෂය වශයෙන් අපි අගමැතිතුමාටයි, ජනාධිපතිතුමාටයි වගකීමෙන් කියන්නෙ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාර සහ මහජන අදහස් හරිහැටි දැනගැනීමට පුළුවන් විධියට ඕන මේ ක්‍රමවේදය ගෙනියන්න.
ප්රශ්නය – පාර්ලිමේන්තුවෙ විපක්ෂයෙ මන්ත්‍රීවරුන් වැඩි පිරිසක් ඉන්නේ ඒකාබද්ධ විපක්ෂයෙ. ඒත් කථානායකතුමා ඒකාබද්ධ විපක්ෂය විපක්ෂයක් ලෙස පිළිගන්නෙ නැත්තෙ ඇයි?
පිළිතුර – මේක ඉතාම කනගාටුදායක තත්ත්වයක්. අපිට අවාසිදායක තත්ත්වයක් තිබෙද්දිත් අපි වගකීමෙන් කටයුතු කරල තියනවා. ඒකාබද්ධ විපක්ෂෙ තමයි බුලත් කොළෙන් දිනල ආපු වැඩිම මන්ත්‍රීන් පිරිස ඉන්නෙ. මේ පිරිස රජයට එකතු වුණේ නැති මන්ත්‍රී පිරිසයි. එජාප රජයේ කොටස්කාරයන් නොවූ පිරිසයි. මේ අය කණ්ඩායමක් ලෙස අත්සන් තබල කථානායකතුමාට ලිපියක් දීල තියෙනවා අපි වෙනම කණ්ඩායමක් හැටියට වැඩ කරනවා කියලා. මීට පෙර තිබූ පාර්ලිමේන්තු 7 දීම මේ වගේ අවස්ථාවලදී ඉඩ දීල තියෙනවා. මේ සැරේ අපට ඉඩ නොදෙන යහපාලනයක් තමයි තියෙන්නෙ.
ප්රශ්නය – ඒකාබද්ධ විපක්ෂය විසින් දැන් මේ අලුත් දේශපාලන පක්ෂයක් පිහිටුවීමට යන බවට රාවයක් පැතිර යනවා මොකක්ද ඒ කෙ තත්ත්වය?
පිළිතුර – එක්සත් ජාතික පක්ෂයට දෙවැනි වූ තවත් පක්ෂයක් ලෙස කටයුතු කරන්න සන්ධානෙ මන්ත්‍රීවරු කැමැති නැහැ. මහජනයා කියන්නෙ අපි සන්ධානෙට ඡන්දෙ දුන්නෙ එක්සත් ජාතික පක්ෂය සමඟ හවුලේ ආණ්ඩුවක් පිහිටුවන්න නොවේ තනිව සන්ධාන ආණ්ඩුවක් පිහිටුවන්න කියල.
ඒ අනුව යමින් මේ මන්ත්‍රී කණ්ඩායම අලුත් දේශපාලන සංවිධානයක් වීමේ අවශ්‍යතාව පිළිඅරගෙන ඒ සඳහා අපි සූදානම් වෙමින් සිටිනවා. පසුගිය කාලෙ අයවැය විවාදය පුරා අපි එකට කටයුතු කළා. ඒ වගේම තවත් කටයුතු වලදීත් සහයෝගයෙන් වැඩ කරල තියෙනවා. සන්ධානය කියන බලවේගය මෙහෙයවපු සියලු ප්‍රධාන අංශ තියෙන්නෙ මේ ඒකාබද්ධ විපක්ෂය තුළයි.
සාකච්ඡා කළේ – දයා ලංකාපුර
-යුතුකම සංවාද කවය