මෙන්න කර්මය!
Posted on May 14th, 2016

ධර්මන් වික්‍රමරත්න

කාලය සහ කර්මය පුදුමාකාරය. කුරුල්ලෙකු ජීවත්ව සිටින විට ඌ කුහුඹුවන් අනුභව කරයි. කුරුල්ලෙකු මියගිය විට කුහුඹුවන් කුරුල්ලාව අනුභව කරයි. එක් ගසකින් ගිනිකූරු මිලියන ගණනක් සෑදිය හැක. නමුත් එක් ගිනිකූරකින් ගස් මිලියන ගණනක් විනාශකල හැකිය. යමෙකු අද ප්‍රබල විය හැකිය. එහෙත් කාලය ඔහුට වඩා ප්‍රබලය. එක් මොහොතකින් ජීවිතයේ සියල්ල වෙනස් වී යා හැකිය.

Dharman Wickremaratne
ධර්මන් වික්‍රමරත්න විසිනි.

ලබන සෙනසුරාදා එනම් මැයි 21දා වෙසක් පුන් පොහෝ දිනයයි. බුදුන් වහන්සේ ලෝක සත්වයාට බලපාන නියාම ධර්ම 5ක් දේශනා කර ඇත.  කර්ම නියාම මින් එකකි. මෙය සංකීර්ණ, අචින්තනය වූ ධර්මයකි. කර්මය කරන්නා වෙත එහි ප්‍රතිඵල ලැබෙන්නේ කරන ලද කර්මයට වඩා විශාල ප්‍රමාණයෙනි. ඇතැම් කර්ම දිට්ඨ ධම්මවේදනීය ලෙස මේ භවයේදීම පලදෙන බව දේශනාකර ඇති අතර ඊට නිදසුන්ද මේ සමාජයෙන්ම දක්නට හැකිය. තරුණ තරුණියන් ප්‍රධාන 60,000කට ආසන්න පිරිසක් චිරස්චින ලෙස ඝාතනය වූ 1986 සිට 1990 දක්වා පැවති ජවිපෙ 2වැනි කැරැල්ලෙන්ද නිදසුන් එමටය. බොහෝ දෙනෙකු ඝාතනය කළේ වධබන්ධන වලට මුහුණදීමෙන් පසුවය. ගෞරවනීය මරණයක් වෙනුවට මහමඟ ටයර් සෑයවල් උරුම විය.  කර්මය පලදීමේදී සමාජ තරාතිරම් කිසිවක් වැදගත් නැත. රජකම් කලත් කලකම් පලදේ යනුවෙන් කියමනක් ඇත.

dharman140516A02ජවිපෙ 2වැනි කැරැල්ල මුළුමනින් පරාජය කිරීමට දේශපාලන නායකත්වය ලබාදුන් ජනාධිපති රණසිංහ ප්‍රේමදාස දෙමළ බෙදුම්වාදී කොටි සංවිධානයේ මරාගෙන මැරෙන බෝම්බයකින් ආමර්වීදියේදී හංදියේදී 1993 මැයි 1දා ඝාතනයට ලක්වූ අවස්ථාවේ එම ස්ථානය දිස්වූයේ මෙසේය. එහිදී ජනාධිපතිගේ ආරක්ෂකයින් ඇතුළු 16 දෙනෙක්ද මරු වැළඳ ගත්හ.(ඉහළ) සහ ජනාධිපති ප්‍රේමදාස ඝාතනයෙන් පසු පවුලේ ඥාතීන් මතක වස්ත්‍ර පූජාව සිදුකල අයුරු(පහළ).

ජවිපෙ 2වැනි කැරැල්ලේදී දෙපිරිසටම කර්ම විපාක එකසේ බලපෑවේය. බොහෝ දෙනෙකුට ස්වභාවික මරණයක් හිමි නොවීය. එය ස්වභාදහමේ නියතය විය. ඇතැම් බෝම්බවලට හසුවී අකල් මරණයන්ට ලක්වූ අයගේ අළු පොදක් පවා සොයාගැනීම අසීරු විය. ජනප්‍රවාදයේ ප්‍රකට කියමනක් වන්නේ කරන කලට පව් මීරිය මීසේ – විඳින කලට දුක් දැඩිවෙයි ගිනි සේ යන්නය. වධදීම් සහ ඝාතන වලට සම්බන්ධවු බහුතරයකටම වාගේ සුවදායක ජිවිතයක් හෝ ගෞරවනීය මරණයක් හිමිවූයේ නැත.

dharman140516A03.60,000කට ආසන්න පිරිසක් ඝාතනයට ලක්කරමින් ජවිපෙ දෙවැනි කැරැල්ල පරාජය කිරීමට සංවිධානාත්මක නායකත්වය දුන් එජාප සභාපති සහ ජාතික ආරක්ෂක ඇමති රන්ජන් විජේරත්න දෙමළ බෙදුමාවාදී කොටි සංවිධානයේ කාර් බෝම්බයකින් හැව්ලොක් ටවුමේ පොලිස් ක්‍රීඩාංගනය ඉදිරිපිටදී 1991 මාර්තු 2වැනිදා ඔහුගේ වාහනය සමගින්ම දැවී අළුවී ගිය අයුරු(ඉහළ) ඇමති විජේරත්න ඇතුළු පුද්ගලයින් 17ක් ඝාතනයවූ එම ස්ථානයේ දර්ශනයක්(පහළ).

ජන ජීවිතයට එරෙහි ජාතික ආරක්ෂාව අනාරක්ෂිත කළ කැරැල්ලක් ලෙස ආණ්ඩුවක් විසින් ප්‍රථමයෙන් හැදින්වූයේ 1971 ජවිපෙ අප්‍රේල් කැරැල්ලය. එම 71 කැරැල්ල මැඩීමට එවකට රජය හදිසි නීති පනවා සන්නද්ධ හමුදාවන් මුදාහරින ලදී. සැකපිට හමුදා අත්අඩංගුවේ සිටි කතරගම ප්‍රේමවතී මනම්පේරි කතරගම හමුදා අනුඛණ්ඩයේදි දූෂණයකර නගර මධ්‍යයේ ප්‍රසිද්ධියේ වෙඩිතබා මරා දැමීය. එකී නඩුවේදී සාක්ෂි දුන් හම්බන්තොට දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිලධාරි කර්නල් නුගවෙල කියා සිටියේ චුදිතයාවූ ලුතිනන් විජේසූරිය විශ්වාසය තැබිය හැකි උදාර නිළධාරියෙකු බවත් ඔහුගේ සටන් කෞෂල්‍යය සහ දක්ෂතාවය නිසා තිස්සමහාරාම සහ කතරගම සාමාන්‍ය තත්ත්වයට පත්වූ බවත්ය. එහෙත් පලවන චූදිතයාවූ ලුතිනන් විජේසූරියට මනම්පේරි ඝාතන චෝදනා කල අධිකරණය ඔහුට 16 වසරකට සිර දඬුවම් නියම කළේය. මනම්පේරි ඝාතනයෙන් වැරදිකරුවන්වී දඬුවම් විද නිදහස්වූ දෙදෙනෙක්ද ජවිපෙ දෙවැනි කැරැල්ලේදී පසුව කැරළිකරුවන් අතින් ඝාතනයට ලක්විය.

ප්‍රේමවතී මනම්පේරි නඩු තීන්දුවේ මෙසේද සඳහන්ය. ‘’….1971 අප්‍රේල් 17 දින ප්‍රදේශයේ තත්වය සටන්කාමි හෝ සාමකාමි වුවා විය හැකිය. එකී කුමන තත්වයක් යටතේ වුවද,  අත් අඩංගුවේ සිටි සිරකරුවෙකුට වෙඩි තැබිම යුක්ති සහගත නොවේ. යුද්ධ නිතියට යටත් සෙබලෙකු සිවිල් නිතියේ ආරක්‍ෂකයෙකු ලෙස, පොලිස් වගකිම් දැරිය යුතුවේ. මෙම වගකිම් ඉටුකිරීමේදී ඔහු සාමාන්‍ය පොලිස් නිලධාරියෙකු තරමටම සිවිල් නීතියට යටත්විය යුතුවේ. කිසිදු හමුදා නිලයකට නීති විරෝධි ක්‍රියාවත් කිරිමට අවසර නැත. ඉහළ නිලධාරියෙකු දෙන නීති විරෝධි නියෝගයකට අවනතවීමද වරදකි…”

dharman140516A04අත්අඩංගුවට ගෙන පැය 11කින් ඝාතනයට ලක්වී කොළඹ කනත්තේ දැවී අළුවී ගිය රෝහණ විජේවීර ඇතුළු ජවිපෙ දේශපාලන මණ්ඩල සභිකයින් කිහිපදෙනෙක් උලපනේදී අත්අඩංගුවට ගත් කර්නල් ජානක පෙරේරා උතුරු මැද පළාත් සභාවේ එජාපය නියෝජනය කරමින් විපක්ෂ නායකවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී 2008 ඔක්තෝබර් 6 වැනිදා අනුරාධපුරයේ එජාප කාර්යාලයක් විවෘත කරමින් සිටියදී ඔහුගේ බිරිඳ සමඟින්(ඉහල කොටුව තුළ), මේජර් ජනරාල් ජානක පෙරේරාගේ සහ ඔහුගේ බිරිඳගේ දේහයන් අවසාන ගෞරවය සඳහා සීල් තැබූ පෙට්ටියකින් නිවසේ තැම්පත් කර තිබූ ආකාරය(මැද ඡායාරූපය) සහ දෙමළ බෙදුම්වාදි කොටි සංවිධානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් එදිනම ජානක පෙරේරා ඝාතනයට ලක්වී සිටි අයුරු(පහළ). එහිදී ඔහුගේ බිරිඳ වජිරා, වෛද්‍ය රාජා ජෝන්පුල්ලේ ඇතුළු 31 දෙනෙකුද මරු වැළඳ ගත්හ.

වධහිංසනය යනු ගොදුරුවන වින්දිතයාට පමණක් නොව අපරාධකරුටද අනර්ථයක් සිදුකරන දෙපැත්තම කැපෙන අසිපතක් බව ඒ පිළිබඳව පර්යේෂණ පැවැත්වූ වෛද්‍ය විශේෂාංගවරුන්ගේ මතයවී තිබේ. වධ හිංසනය පමුණුවන බහුතරය විවිධ මානසික අපගමනයන්ගෙන් යුක්ත වන අතර පරපීඩාකාමී තෘප්තියක් ලබන බව වෛද්‍ය රුවන් එම්. ජයතුංගේ පර්යේෂණ වලින්ද තහවුරුවී තිබේ. පමුණුවන්නාගේ චිත්තාවේගී අවශ්‍යතාවයන් වධහිංසනය මගින් එක්තරා දුරකට සන්තර්පනය වන්නේ සිය කැමැත්තෙනි. වධකයින් සහවේදිතාවයෙන් ඌණවන අතර වින්දිතයාගේ දුක්බර වේදනාත්මක ප්‍රතික්‍රියා, විලාප හා ආයාචනා ඔවුනට බලාධිකාර හැඟීමක් හා උච්චභාවයේ වින්දනයක් ලබාදේ.

දෙවන කැරැල්ලේදී රැඳවුම් කඳවුරු, වධකාගාරවල සැකකරුවන්ට වධහිංසා සිදුවීමේ ක්‍රම ගණනාවක් දියත් විය. දණහිස් මගින් එල්ලීම, නිර්වස්ත්‍රකර ශරීරයට උණුවතුර දැමීම, මොහොතින් මොහොත ශරීරයට පාපහරදීම, අතුල් පහරදීම, බැටන් පොලුවලින් හිසට පහරදීම, හිස මත පොතක් තබා ප්‍රහාර එල්ල කිරීම, ඇඟට විදුලි සැර ඇල්ලීම, මේසය මත මුණින් අතට වැතිරීමට අණකර පිටට දෙපාවලට සහ යටිපතුලට පොලුවලින් සහ පීවීසි බටවලින් පහරදීම, පිහියකින් කපා ඇගේ ලේ ගලා යෑමට සැලැස්සවීම, ඇණ සහ යතුරු ගිල්ලවීම්, විදුලි ස්ත්‍රිකයෙන් පිට මැදීම, ටියුබ් ලයිට් අනුභවයටදීමද ඒ අතර වේ.

dharman140516A05ඉන්දියාවේ රාජ්‍ය ත්‍රාන්තික බලහත්කාරයෙන් ඉන්දු ලංකා ගිවිසුම ශ්‍රී ලංකාව සමඟ ඉන්දීය අගමැති රජිව් ගාන්ධි විසින් 1987 ජුලි 29 අත්සන් කිරීමෙන් පසු නික්ම යාමට පෙර 1987 ජුලි 30වැනිදා පැවති ආචාර පෙළපාලියේදී නාවික සෙබල විජිත රෝහණ විජේමුණි රයිෆල් බඳෙන් ඉන්දීය අගමැතිවරයාට පහරදුන් අවස්ථාව(ඉහළ) ඉන්දියාවේ මදුරාසියේ පෙරුම්බුදුර්හි 1991 මැයි 21වැනිදා පැවති ඡන්ද රැස්වීමකදී ඉන්දීය අගමැති රජිව් ගාන්ධි දෙමළ බෙදුම්වාදී කොටි සංවිධානයේ මරාගෙන මැරෙන බෝම්බ කතක් ඇතුළු කිහිපදෙනෙක් පිළිගත් අවස්ථාව(පහළ වමේ) එම මොහොතේම පුපුරාගිය බෝම්බයෙන් අගමැති ගාන්ධි ඇතුළු 15 දෙනෙකු මරු වැළඳගෙන සිටියේ මෙසේය.(පහළ දකුණ)

එමෙන්ම සැකකරුවෙක් ගෝනියක බහා උදළු වලින් පහරදී අන් අයට පෙනන සේ මරා දැමීම, දෑත් සහ දෙපා ධර්මචක්‍ර සංකේතයක් ලෙස බැඳ සැකකරු කරකවමින් පොලු කැබලිවලින් යටිපතුල්වලට පහරදී ධර්මවක්‍ර වධය පැමිණිම, දැල්වෙන දුම්වැටිවලින් පිලිස්සීම, දරුණු වේදනා ඇතිවන අයුරින් ලිංගේන්ද්‍රය ලාච්චු තුලට දමා වැසීම, සැකකරුගේ දෑත් සහ දෙපා බැඳ ජලය පිරවු බාල්දියක් වෙතට ගෙන ගොස් ඔහුට හුස්ම ගැනීමට නොහැකි අයුරින් හිස අල්ලා විනාඩි කිහිපයක් බාල්දියේ එබීම සිහිසුන්වන තෙක් සිදුකිරීම, දෑත් පිටුපසට කර බැඳ සැකකරු දෙපාවලින් බාල්දියක එල්ලා පසුව භූමිතෙල් ස්වල්පයක් සමඟ ප්ලාස්ටික් මල්ලක් තුලට ඔහුගේ හිස ඔබා බඳිනු ලැබීම, සැකකරුගේ අධෝමුඛ මාර්ගයට පීවීසි බටයක් සෙන්ටිමීටර් 8 පමණ ඇතුල් කොට පසුව කටු කම්බියක් බටය ඔස්සේ ගුද මාර්ගයට ඇතුල් කිරීමෙන් අනතුරුව කටු කම්බිය තිබියදී බටය අධෝ මුඛයෙන් පිටතට ගෙන කම්බිය එහා මෙහා කරමින් ප්‍රශ්න කිරීම, කන තුළට ප්‍ලාස්ටික් පැනක් ඔබා එය පොතක් මගින් තදින් එබීම, මිරිස් ගෝනියක් තුළට ඔළුව බහාලීම යන වධක්‍රමද ක්‍රියාත්මක විය. වධහිංසා ලැබීමේ ප්‍රතිඵල වශයෙන් මරණයට පත්නොවූ අවස්ථාවන්හිදී දිගුකාලීනව අසහනය, ලිංගික බෙලහීනත්වය, ආත්ම ශක්තිය හීනවීම, නපුරු සිහින දැකීම, හිසරදයෙන් පෙලීම, පාලුව තනිකම දැනීම ඇතුළු සිද්ධීන් ගණනාවක් වින්දිතයින්ට පසු කාලයේදී ඇතිවිය.

dharman140516A06අගමැති ප්‍රේමදාස, ඇමති ලලිත් ඇතුළු පිරිසක් වර්ජනයකර තිබියදී ඇමති ගාමිණී දිසානායකගේ සෘජු මැදිහත්විම සහිතව ඉන්දු ලංකා ගිවිසුම 1987 ජුලි 29වැනිදා අත්සන් කල අවස්ථාව(ඉහළ) එජාප නායක සහ විපක්ෂ නායක වශයෙන් සිටියදී 1994 ජනාධිපති අපේක්ෂකයා වශයෙන් තරඟ කරද්දී 1994 ඔක්තෝබර් 24වැනිදා තොටලඟ රැස්වීමේදී ගාමිණි දිසානායක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 3 ඇතුළු තවත් ප්‍රබල එජාප ක්‍රියාකාරිකයින් 16 දෙනෙකු සමඟ ඝාතනයට ලක්වූ අයුරු(පහළ)

වධකයින් ලෙස ආරක්ෂක කඳවුරුවල සේවයකල නිලධාරින් සහ සෙබළුන් ඇතැමෙකුටද පසු කාලයේ විවිධ මානසික රෝග ඇතිවූ බව විශේෂඥ මනෝ වෛද්‍යවරුන් වෙත වාර්තා වී තිබිණි. වධබන්ධන වලට තමන් අතින් ලක්වූ අයගේ කෑ ගසන හඬ ඇසීම, යකුන් භූතයින් අවි ආයුධ දරා තමා වටා සිටින බව පැවසීම, සිහිනෙන් බියවීම, අත්පා පණ නැතිව බිම වැටී වේදනා විදීම, ඇඳෙන් නැගිට රාත්‍රියේදී එක්වරම එළියට දිවීම, විවිධ මායා දර්ශන ඔවුනට දිස්වී අතර ඇතමෙකුගේ දරු පවුල්ද ඔවුහු අතහැර ගියහ. ඇතැම් වධකයින්ද සියදිවි නසාගත් අවස්ථා කිහිපයක්ද වාර්තාවී ඇත.

පොළොන්නරුව මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මීගස්වැව ආශ්‍රිතව පැවති ඒකනායක වල ප්‍රදේශයේ දේශපාලඥයෙකුගේ මුලිකත්වයෙන් පවත්වාගෙන ගිය අතර එහි ඝාතනයට ලක්වූයේ පල්ලියගොඩැල්ල, මැදිරිගිරිය, වඩිගවැව, ගොඩපොත්ත, අඹගස්වැව ආශ්‍රිතව ක්‍රියාත්මක වුණ රැඳවුම් කඳවුරුවලට රැගෙන ආ සිය ගණනක් තරුණ තරුණියන්ය. අවසානයේ කඳවුර භාරව සිටි නිලධාරියෙකුවූ ඩයස්ටද හදිසි අනතුරකට ලක්ව දෙපා අහිමිවූ අතර පසුව ජීවිතයෙන් සමුගත්හ.

dharman140516A07කීර්තිධර මාධ්‍යවේදී රිචඩ් සොයිසා(වමේ) ඔහු සිය රාජගිරියේ නිවසේ සිටියදී 1990 පෙබරවාරි 18 අලුයම 3.30ට පැහැරගෙන ගොස් ඝාතනයකර සොයිසාගේ සිරුර මොරටුව මුහුදට දැමූ සැලසුම මෙහෙයවූ ජේෂ්ඨ පොලිස් අධිකාරි රොනී ගුණසිංහ(දකුණේ)ද 1993 මැයි 01 ජනපති ප්‍රේමදාස ඝාතන සිදුවීමේදී එම බෝම්බයටම හසුවී දැවී අළුවී ගියේය. රිචඩ්ගේ සිරුර 1990 පෙබරවාරි 19වැනිදා මොරටුව කොරළවැල්ල දුම්රිය ස්ථානය අසළට ගොඩගසා තිබිණි. රිචඩ් පැහැරගත් පුද්ගලයෙකුවූ පොලිස් පරික්ෂක ධර්මසිරි රංචාගොඩ රිචඩ්ගේ මව විසින් පසුව හඳුනා ගත්තාය.

මනුෂ්‍ය ඝාතන එකල හැදින්වූයේ 55 එෆ්.එෆ් මරණ යනුවෙනි. අදාළ වචනයන්ගේ සාමාන්‍ය තේරුම නැතිකර දමනවා හෝ මරා දමනවා යන්න බව බටලන්ද කොමිසම ඉදිරියේ පොලිසිය පිළිගත්තේය. එවකට සිටි පොලිස්පති අර්නස්ට් එඩ්වඩ් පෙරේරා ඉවත් කොට දැමීම යනු අධිකරණ ක්‍රමයෙන් බාහිරව කඩා කප්පල්කාරීන් ඝාතනය බව පිළිගත්තේය. සිරුර මත ටයර් දමා ගිනිතැබීම  හැදින්වූයේ ටයර් සෑයවල් නමින් බව ඔහුගේ තවත් පිළිගැනීමක් විය. බටලන්ද කොමිසම හමුවේ සාක්ෂි දීමට පොලිස් පරික්ෂක ශ්‍රී නිශ්ශංක කැඳවීමට ටික වේලාවකට පෙර තමාටම වෙඩිතබා‍නමින් බව ඔහුගේ පිළිගැනීම විය. බටලන්ද කොමිසම හමුවේ සාක්ෂි දීමට සියදිවි හානි කර ගත්තේය. නීතිඥ ලියනාරච්චි ඇතුළු කිහිපදෙනෙකුගේ වධ බන්ධන සහ ඝාතන සම්බන්ධයෙන් ඔහු චෝදනා ලැබීය. ඩග්ලස් පීරිස් ඇතුළු තවත් නිලධාරින් 5 දෙනෙකුට පුද්ගලයින් පැහැරගෙන යෑම සම්බන්ධව බරපතල වැඩ සහිතව 5 අවුරුදු සිර දඬුවම් නියම විය. ලියුම්කරු ඩග්ලස් පීරිස් සමඟද මෑතකදි කථාබහ කළේය. මානසික විවේකයක් ලද විටදී සාකච්ඡාවක් දෙන බවද ඔහු දැනුම් දුන්නේය. ඔහුගේ පුත්‍රයාද විදේශ රටක  වෛද්‍ය විද්‍යා උපාධිය හදාරමින් සිටියදී නේවාසිකාගාරයේ ඇතිවූ ගින්නකින් ඉන් බේරීම සඳහා උඩුමහලෙන් පනිනු ලැබූ අවස්ථාවකදී ඉන් ඇතිවූ බරපතල තුවාලවලින් පීඩා විදීනු ලබයි.

dharman140516A08

ජවිපෙ සාමාජිකයින් සහ හිතවතුන් 1,222ක් ඝාතනය කල ආණ්ඩුවේ අර්ධ මිල්ටරි කණ්ඩායමක් වූ ප්‍රා සංවිධානයේ සම නිර්මාතෘ ඔසී අබේගුණසේකර, මහජන පක්ෂයේ නායක විජය කුමාරතුංග සමඟින්  1987 ජනවාරි 05 යාපනයට ගිය අවස්ථාවේදී දෙමළ බෙදුම්වාදී කොටි සංවිධානයේ රහීම් සහ ආරක්ෂක හමුදාවේ කපිතාන් ජයන්ත කොතලාවල සමඟ යාපනයේදී මෙහි වේ. ඔසී අබේගුණසේකර 1994 ඔක්තෝබර් 24 තොටලඟ මරාගෙන මැරෙන දෙමළ බෙදුම්වාදී කොටි සංවිධානයේ බෝම්බයෙන්ද, ජවිපෙ කැරැල්ලේ අවසාන භාගයේදී ක්‍රියාකාරිව සිටි ලුතිනන් කර්නල් ජයන්ත කොතලාවල හමුදාවෙන් නෙරපීමෙන් පසු කෝට්ටේ බංගලා හංදියේදී මහමඟ සිටියදීද රිය අනතුරකින් මරමුවට පත්විය.(ඉහළ) සරසවි සිසුන් 200කට ආසන්න සංඛ්‍යාවක් ප්‍රා සංවිධානය සමඟ එක්වී ඝාතනය කිරීමට මුල්වූ කොළඹ සරසවි ස්වාධීන ශිෂ්‍ය සංගමයේ නායක කේ.එල් ධර්මසිරි ජවිපෙ කැරළිකරුවන් විසින් 1989 ඔක්තෝබර් 20 ඝාතනයෙන් පසු ඔහුගේ සිරුර රජයේ ලිපිකරු සේවා සංගම් මූලස්ථානයේ අවසන් ගෞරවයට තබා තිබූ අයුරු(පහළ)

ජවිපෙ 2වැනි කැරැල්ල පරාජය කිරීම සඳහා ඒකාබද්ධ මෙහෙයුම් එක්කය(ඔප්ස් කම්බයින්) 1989 අගෝස්තු 4වැනිදා පිහිටවු අතර එහි ප්‍රධානියා වූයේ හමුදා කාර්ය මණ්ඩල ප්‍රධානි මේජර් ජනරාල් සිසිල් වෛද්‍යරත්නය. එහි දෙවැනියාවූ කර්නල් ලක්ෂ්මන් අල්ගම යටතේ තොරතුරු විමර්ශන ඒකකයක්ද  කර්නල් ජානක පෙරේරා යටතේ විශේෂ මෙහෙයුම් ඒකකයක්ද පූර්ණ බලතල සහිතව පිහිටුවනු ලැබීය. ජවිපෙ 2වැනි කැරැල්ල පරාජයට පත්වීමෙන් පසු ඔප්ස් කම්බයින් 1990 මාර්තු 8 වැනිදා විසිරවනු ලැබීය.  ලකී අල්ගම 1940 ජුනි 2වැනිදා උපන් අතර 1999 දෙසැම්බර් 18වැනිදා දෙමළ බෙදුම්වාදී කොටි සංවිධානයේ මරාගෙන මැරෙන බෝම්බයකින් ජාඇලදී මරමුවට පත්වූයේ එක්සත් ජාතික පක්ෂ මැතිවරණ රැස්විමකට සහභාගිවීමෙන් සිටියදීය. කැරළි සමයේ ලකී අල්ගම දකුණු පළාතේ මෙහෙයුම් ගණනාවකටම නායකත්වය ලබාදුන් අතර අනුකම්පා විරහිත ලෙස කැරළිකරුවන් මර්ධනයකර තිබිණි. ඌව පළාත සඳහා ප්‍රධාන සම්බන්ධීකාරක නිලධාරියා වශයෙන් කැරළිකරුවන්ට එරෙහිව කටයුතු කල මේජර් ජනරාල් ලකී විජේරත්නද 1990 දෙසැම්බර් 18වැනිදා මොරවැවදී බිම්බෝම්බයකට ගොදුරු වීමෙන් ඝාතනයට ලක්විය. ගාල්ල මහින්ද විදුහලේ ආදි ශිෂ්‍යයෙකුවූ ඔහු උපන්නේ 1944 ඔක්තෝබර් 30වැනිදාය.

dharman140516A09මසකට රුපියල් 300කින් වැටුප් වැඩිකරන ලෙස ඉල්ලා 1980 ජුනි 5වැනිදා ලක්ෂයකට ආසන්න වැඩකරන සේවකයින් කෑම පැයේ පිකටින් ව්‍යාපාරය සිදුකරද්දී එයට එරෙහිව 31 ශ්‍රී 1111 දරණ ජිප් රථයෙන් පැමිණි අගලවත්ත එජාප මන්ත්‍රී මෙරිල් කාරියවසම් ඇතුළු මැර කණ්ඩායමක් පැමිණ ප්‍රහාරයක් එල්ල කිරීමෙන් මියගිය රජයේ සැපයුම් දෙපාර්තමේන්තුවේ දෙද්දුවගේ සෝමපාලගේ අවමඟුල් පෙරහැර බොරැල්ල කනත්ත දක්වා ගමන්ගත් අයුරු(වමේ) සහ එම මැර ප්‍රහාරය එල්ල කිරීමට චෝදනාවට ලක්වුවද කිසිදු පරික්ෂණයකට ලක්නොවූ එජාප මන්ත්‍රී මෙරිල් කාරියවසම් ජවිපෙ කැරළිකරුවන් අතින් 1989 සැප්තැම්බර් මස ඝාතනයට ලක්විය(දකුණේ).

භීෂණ සමයේදී වයඹ පළාතේ තත්ත්වය බොහෝ සෙයින් දරුණු විය. එහි ප්‍රදේශය භාර යුධ හමුදා ආඥාපතිවරයා වූයේ කර්නල් ජානක පෙරේරා වන අතර ප්‍රදේශය භාර ජේෂ්ඨ පොලිස් අධිකාරිව සිටියේ එඩිසන් ගුණතිලකය. එම ප්‍රදේශයන්හි දිගට හරහට ඝාතන රැසක් සිදුවිය. තරුණ තරුණියන් පුළුස්සා දමා තිබිණි. ඉන් බොහෝ මරණ ස්වභාවික ලෙසට සිදුවූ මරණ නොවන බව නිකවැරටිය සහ මහව දිසා විනිසුරු ලෙනින් රත්නායක වරෙක කියා සිටියහ. ඒ නිකවැරටියත් වාරියපොලත් අතර පිහිටි පාදෙනිය හංදියේ මහා මාර්ගයේ විශාල ඝාතන වලක් ඇති බවට තොරතුරු ලැබීමෙන් පසුවය. ඒ අනුව මහව මහේස්ත්‍රාත් අධිකරණයේදී නඩු අංක 35545(විශේෂ) යටතේ නඩුවක්ද පසුකලෙක පැවරිණි. කර්නල් ජානක පෙරේරා විශ්‍රාම ගොස් උතුරු මැද පළාත් සභාවේ විපක්ෂ නායක වශයෙන් සිටියදී සිය බිරිඳ වජිරා ද සිල්වා ඇතුළු 31 දෙනෙකු සමඟ 2008 ඔක්තෝබර් 06වැනිදා අනුරාධපුරයේදී දෙමළ බෙදුම්වාදී කොටි සංවිධානයේ මරාගෙන මැරෙන බෝම්බයක ගොදුරක් බවට පත්විය.

පොලිස් අධිකාරිවූ එඩිසන් ගුණතිලක හැදින්වූයේ ගඩාෆි ලෙසය. වසර 1971 අප්‍රේල් කැරැල්ලේදී අගමැතිනි සිරිමා බණ්ඩාරනායක පැහැර ගැනීමේ ප්‍රහාරය සම්බන්ධයෙන් එම කණ්ඩායමට අයත් එඩේරමුල්ලේ සරත් සහ රාජා, සෝමවංශ අමරසිංහ නිමල් ඇතුළු කිහිපදෙනෙක්ම 71 අප්‍රේල් 05 රාත්‍රී අත්අඩංගුවට ගැනුනේ එම ප්‍රහාරයට සම්බන්ධව සිට පසුව තොරතුරු හෙළිකල මෙම එඩිසන් ගුණතිලක විසිනි. එඩිසන්ගේ පියා ඒ පිළිබඳව එජාපයේ ජේ.ආර්.ජයවර්ධන මගින් අගමැතිනියට ඒ බව දැනුම්දුන්නේය. පසුව ඇගමැතිනි බණ්ඩාරනායකගේ විශේෂ ඉල්ලීමක් පරිදි එඩිසන් පොලිසියට බඳවා ගත් අතර පසුව ඔහු පොලිස් අධිකාරි දක්වා උසස් විය. ජවිපෙ දෙවැනි කැරළි සමයේ එඩිසන් ගුණතිලකගේ ගෝලයන් කුරුණෑගල දිසාවේ සෑම පොලිසියකටම අනුයුක්තව සිටියහ. වයඹ පළාතේ මිනිසුන් ඝාතනයට ලක්ව තිබුණේ සිය ගණනින් නොව දහස් ගණනකි. පාදෙනිය සහ මහව බ්මිබෝම්ප පිපිරීමෙන් පසු එම වලවල්වලට දමා රැඳවියන් ඝාතනය කර තිබිණි.  ගල්ගමුව පොලිසියේදී පොලිස් පරික්ෂක වූයේ පසුව නියෝජ්‍ය පොලිස්පතිවූ නිමල් මතුරටය. එහෙත් ගල්ගමුව පොලිසියේ අත්අඩංගුවට ගත් මිනිසුනට අනේක වධදී පසුව මරා පුළුස්සා දැමූ බවට චෝදනා ඒල්ල වූයේ සාජන්ට් අබේකෝන්ටය. විශ්‍රාම දිවියෙන් පසු පිස්සු හැදී ඉබාගාතේ ඇවිදගෙන ගිය ඔහු නුවරදී මියගියේය. ගඩාෆිටද දැන් අංශභාගය සෑදී ඇත.

dharman140516A10ජවිපෙ 2වැනි කැරැල්ලේ  තරුණයින් දහස් ගණනක් කෘර ලෙස ඝාතනයට ලක්වු අනුරාධපුර, මාතර, සහ අම්පාර දිස්ත්‍රික්කයන්හි ආරක්ෂක හමුදා සම්බන්ධීකරණ නිලධාරියා ලෙසද 1990 පුනුරුත්ථාපන කොමසාරිස් වශයෙන්ද කටයුතු කල තිදරු පියෙකුවූ බ්‍රිගේඩියර් ආනන්ද ගුණරත්න වීරසේකර(ඉහළ වම) සහ ගිහි ජීවිතය කලකිරී පසුව ඔහු බුද්දංගල ආරණ්‍යයේදී භික්ඛු ආනන්ද නමින් මහණ දිවියට ඇතුළත්වඉහළ දකුණ), ජවිපෙට එරෙහිව ඔවුන්ගේම මනුෂ්‍ය ඝාතන ක්‍රියාවලිය ක්‍රියාවට නඟනු ලැබූ පළමුවැන්නා බවට චෝදනා ලැබූ තංගල්ල ජේෂ්ඨ පොලිස් අධිකාරි උඩුගම්පොල තංගල්ල තානායමේදී 1988 මාර්තු 26වැනිදා ලියුම්කරු හමුවූ අවස්ථාවේ(මැද පෙළ වම) සහ පසුව ජනපති ප්‍රේමදාසගේ එදිරිවාදියෙකු බවට පත්ව අභ්‍යන්තර සිද්ධීන් හෙළිකිරීම නිසා බෝට්ටුවෙන් ඉන්දියාවට පලාගොස් සැඟවී සිට ජනපති ප්‍රේමදාසගේ ඝාතනයෙන් පසු යළි කටුනායක ගුවන්තොටුපොළේ දිවයිනට ලඟාවූ අවස්ථාවේදී(මැද පෙළ දකුණ), බටලන්ද වධකාගාරය පවත්වාගෙන ගිය ප්‍රධාන සැකකරුවෙකුවු කැළණිය කොට්ඨාශයේ සහකාරි පොලිස් අධිකාරි මෙහෙයුම් සහ වැඩබැලූ පොලිස් අධිකාරිවු ඩග්ලස් පීරිස්(පහළ වම සහ දකුණ) උඩුගම්පොල සහ ඩග්ලස් පීරිස්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජික විවිධ ප්‍රතිවිපාක වලට මුහුණදීමට සිදුවිය.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැහැර යුද හමුදා කඳවුරද ජානක පෙරේරා යටතේ තිබූ අතර එයට ගෙන එනු ලැබූ හලාවත, ගල්ගමුව, තඹුත්තේගම, ගිරිඋල්ල, මාවතගම, රිදීගම සහ පොල්ගහවෙල සහ අවට ගම්මානවලින් එන එන ලද තරුණ තරුණියන් සිය ගණනක් දෙපයින් එල්ලා බොලොක්ක ආකාරයෙන් ගිණි මැලවලට පහත් කරමින් වද හිංසාවලට ලක්කර ආකාරය පිළිබඳව ආසියානු මානව හිමිකම් කොමිසමේ 2001 ජුනි මාසයේ නිකුත් කල වාර්තාවක සඳහන්ය. සෙබළුන් 200කට ආසන්න පිරිසක් සිටි වැහැර කඳවුරේ නිලධාරි අණදෙන ගජබා රෙජිමේන්තුවේ ලුතිනන් අසේල දසනායක අවසානයේ මඩකලපුවේදී ප්‍රහාරයකින් එතැනම මිය ගියේය. වැහැර සිටි ලුතිනන් මංජුල මනතුංග ප්‍රහාරයකින් ආබාධිතය. වැහැර කඳවුරේ රැඳවියන් 400-500ත් අතර ප්‍රමාණයක් විවිධ අවස්ථාවන්හි ලොරිවල පටවා රාත්‍රී පිටට ගෙන ගියද යළි කිසිවෙකු නොදුටු අතර ඔවුහු මරාදමන ලද බව එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන්ය. වැහැර රැඳවියන් ඝාතනය කර පුළුස්සා තිබුණේ බඩගමුව රක්ෂිතය, කුරුණෑගල කනත්ත, හෙට්ට්පොල හන්දිය ඇතුළු ස්ථාන ගණනාවකදීය. එමෙන්ම තෝරදෙණියගේ නායකත්වයෙන් යුත් හමුදා ඛණ්ඩයද කොළඹ සිට කුරුණෑගල දිස්ත්‍රික්කයේ ක්‍රියාකාරි විය.

dharman140516A11ජවිපෙ සැකකරුවන්ට කෘර ලෙස සැලකූ බවට චෝදනා ලැබ පසුව දෙමළ බෙදුම්වාදී කොටි සංවිධානයේ මිනිස් බෝම්බයකට ලක්වී ඝාතනයට 1999 දෙසැම්බර් 18 ජාඇලදී ගොදුරුවූ ජවිපෙ 2වැනි කැරළි සමයේ දකුණු පළාත් ආරක්ෂක හමුදා ප්‍රධාන සම්බන්ධිකරණ නිලධාරි විශ්‍රාමික මේජර් ජනරාල් ලක්ෂ්මන්(ලකී) අල්ගම, කැරැල්ලේදී ඌව පළාතේ ආරක්ෂක හමුදා ප්‍රධාන සම්බන්ධීරණ නිලධාරි ලෙස කටයුතු කල පසුව 1990 දෙසැම්බර් 18වැනිදා මොරවැවදී බිම් බෝම්බයකට ගොඳුරුවූ මේජර් ජනරාල් චූලාභය ලක්ෂ්මන්(ලකී) විජයරත්න, කැරළි සමයේ කොළඹ රැඳවුම් කඳවුරු ගණනාවක ‘ලොකු වැඩකොටසක්’ කල දෙමළ බෙදුම්වාදීන්ගේ වෙඩි පහරකින් ඝාතනයට ලක්වූ ලුතිනන් කර්නල් තුවාන් මුතාලිෆ්, කුරුණෑගල වැහැර රැඳවුම් කඳවුරේ නිලධාරි අණදෙන ලුතිනන් අසේල දසනායක( කපිතාන් අසේල පසුව මඩකලපුවේ ඝාතනය විය.) සමඟ සැකකරුවන් ‘ඉවත් කිරීම’ පිළිබඳව චෝදනා ලැබූ ලුතිනන් මංජුල මනතුංග(ප්‍රහාරයකින් ආබාධිතව සිටින බ්‍රිගේඩියර්වරයෙකු වන ඔහු වර්තමානයේ රණවිරු සෙවනට අනුයුක්තය), 83 කළු ජුලිය, 87 තහනම් මැයි දිනය සහ 1987 ජුලි 28 කොටුව බෝගහ අසළ සත්‍යග්‍රහය වැනි ස්ථානවලදී ආන්දෝලනාත්මක වෙඩි තැබීමේ සිද්ධීන් වලට නියෝග දුන් කොළඹ දකුණ ජේෂ්ඨ පොලිස් අධිකාරි අබ්දුල් කාදර් අබ්දුල් ගපූර්ද විශ්‍රාම ලබා 2004 දෙසැම්බර් 11 මියයන විට පවුල් දිවිය ඇතුළු ප්‍රශ්න ගණනාවකට ලක්වී දුක්ඛිත දිවියක් ගෙවීය.

දකුණු පළාතේ ඔප්ස් කම්බයින් සම්බන්ධීකාරක වූයේ ජේෂ්ඨ පොලිස් අධිකාරි රොනී  ගුණසිංහය. රිචඩ් ද සොයියා ඇතුළු ඝාතන රැසක ඇගිල්ල යොමුවූයේ ඔහුටය. එමෙන්ම කොළඹ කනත්ත අසල ගොල්ෆ් පිටියේ 6වන වල අසළ කනේරු ගස ලඟදී රෝහණ විජේවිරට 1989 නොවැම්බර් 13වැනිදා අළුයම 1.35ට වෙඩිතබා ඝාතනය කල බවට ඔහුට චෝදනාවකි. පේරාදෙණිය සරසවියේදී 1976 නොවැම්බර් 12වැනිදා රෝහණ වීරසූරිය සිසුවා වෙඩිතබා ඝාතනය කරන ලද්දේ මාතලේ මූලස්ථාන පොලිස් පරික්ෂක රොනී ගුණසිංහගේ නායකත්වයෙන් එහි පැමිණි පොලිස් කැරළි මර්ධන කණ්ඩායම්ය. කඩවත පොලිසියට 1971 අප්‍රේල් 5වැනිදා රාත්‍රී ජවිපෙ කැරළිකරුවන් එල්ලකල ප්‍රහාරයෙන් රොනීගේ අතකටද වෙඩි වැදී තිබිණි. එහිදී පොලිස් වෙඩි පහරින් ජවිපෙ සමාරම්භකයෙකුවු මාබෝලේ එච් මිල්ටන් ඝාතනයට ලක්විය. ජේෂ්ඨ පොලිස් අධිකාරි ගුණසිංහ 1993 මැයි 1වැනිදා කොළඹ ආමර්වීදියේදි මියගියේ සිරුර අළු බවට පත්කල බෝම්බයකිනි.

කළුතර නාගොඩ තෙල් පිරි පහදුව ඉදිරිපිට මුළුමනින් නිරුවත් කොට ඝාතනය කර තිබූ තරුණයන් 5 දෙනෙකුගේ හිස නැති කඳවල් පහක් දක්නට ලැබිණි. එයට සම්බන්ධ වූයේ කළුතර ප්‍රදේශයේ ආරක්ෂක බලවතෙකි. ඔහු ඇතුළු පවුලේ සියළුම අය සංචාරයක් යමින් සිටියදී 2004 දෙසැම්බර් 26 සුනාමියට ගොදුරු විය. එක් අයෙකුගේ පමණක් සිරුර හමුවිය. පානදුර වෑකඩ හමුදා තූර්ය වාදක කණ්ඩායමේ සාමාජිකයින් ඇතුළු 5 දෙනෙකු ජවිපෙ කැරළිකරුවන් විසින් ඝාතනය කරන ලද දිනයට පසුදින පානදුර හොරණ පාරේ තරුණ තරුණියන් 30ක්ද පානදුර නව ගාළුපාරේ අළුත් පාලම යට තවත් 17 දෙනෙකුද ඝාතනය කර තිබිණු අතර එයට නායකත්වය දුන්බවට චෝදනා ලත් අයෙකු  මීරිගම සිය මහගෙදර සිටියදී කපා කොටා මරා දමා තිබුණේ නිවස කොල්ලකෑමට ආ මංකොල්ලකරුවන් පිරිසක් විසිනි. එයට සම්බන්ධ තවත් අයෙකු නිවසේ ගැස් සිලිංඩරය පිපිරී ගොස් ඉන් පිළිස්සී මියගියේ ටයර් සෑයක් සේය. හබරාදූවේ උපන් කැලණි සරසවි සිසු නායකයෙකුවූ නිහාල් ජයවීර සිය පියාවූ වල්පිටගමගේ පියසේනගේ මැදිහත්වීමෙන් එජාප මන්ත්‍රීවරයෙකු හරහා විදේශ ගමන් බලපත්‍රය සාදාගැනීම සඳහා යාමේදී 1990 මාර්තු 07වැනිදා එම දේශපාලඥයාගේම ඔත්තුවක් මත නිහාල් ජයවීර අත්අඩංගුවට ගත් අතර පසුව ඔහු ඝාතනයකර කඩුවෙල පාලමෙන් කැලණි ගඟට දමා තිබිණි. ඒ පිළිබඳව චෝදනා ලැබූ පොලිස් පරික්ෂක කාලෙයි ඩයස් යාපනයේ සතොස වෙළෙඳසැලක් විවෘත කිරීමකදී දෙමළ බෙදුම්වාදී කොටි සංවිධානය මගින් තැබූ බෝම්බයකින් බ්‍රිගේඩියර් හමන්ගොඩ ඇතුළු කිහිප දෙනක් සමඟම ඝාතනයට ලක්විය.

ජවිපෙ කැරැල්ලේදී කැරළිකරුවන් සංවිධානාත්වකව ‘ඉවත්කිරීමට’ ප්‍රථමයෙන් නායකත්වය දුන් ප්‍රේමදාස උඩුගම්පොලටද විවිධ ප්‍රතිවිපාක විදීමට සිදුවිය. උඩුගම්පොල දකුණු පලාතේ මෙන්ම මධ්‍යම පලාතේද පොලිස් ප්‍රධානියා ලෙස කටයුතු කළේය. ඔහුගේ මව වන ඇලිස් චන්ද්‍රවතීද සොහොයුරෙකුවූ පාලිතද එම සොහොයුරාගේ බිරිඳ සහ කුඩා දරුවන් දෙදෙනාද 1988 ජුලි 28වැනිදා කැරළිකරුවන් විසින් ඝාතනය කර නිවසද ගිනිතබා තිබිණි. කැරළි සමයේ කොළඹ රේස්කෝස් රැඳවුම් කඳවුර සහ තවත් ස්ථාන කිහිපයක් භාරව සිටි ඔහුගේ සොහොයුරු පොලිස් පරික්ෂකයෙකුවූ කුලසිරි උඩුගම්පොළට වරෙක සේවය අහිමි විය. රාජ්‍ය රහස් පනත උල්ලංඝණය සම්බන්ධයෙන් නඩුද පැවරිණි. උඩුගම්පලගේ තවත් සහෝදරයකු වූයේ මේජර් පද්මසිරිය. අත්අඩංගුවට ගත් ජවිපෙ සැකකරුවන්ට වධබන්ධන ලක්කල බවට චෝදනා ලත් පොලිස් ප්‍රචණ්ඩ ක්‍රියා මර්දන කොට්ඨාශයේ අධ්‍යක්ෂවරයා වශයෙන් සිටි ජේජ්ඨ පොලිස් අධිකාරි ටෙරන්ස් පෙරේරා 1987 දෙසැම්බර් 12 වැනිදාද, අපරාධ පර්යේෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වශයෙන් සිටි බෙනට් පෙරේරා 1989 මැයි 1වැනිදාද, සහකාර පොලිස් අධිකාරි එම්. සාබ්දීන්ද කැරළිකරුවන් අතින් ඝාතනයට ලක්විය.

නිතිය ක්‍රියාත්මක කරන නිලධාරින් නීිතියට එකඟව කටයුතු කල යුතුය. උසස් වීම් සහ විවිධ වරදාන බලාපොරොත්තුවෙන් නීතියේ කඩතුරාවට. නිලඇඳුමට මුලාවී නීතියට පටහැනිව ක්‍රියාකාරීමට කිසිවෙකුටත් නොහැකිය. අද ජාතික වීරයෙකු හෙට ජාතිදෝහියෙකු විය හැකිය. ඒ නිසා නීතියට අනුව සාධාරණව ක්‍රියාකල යුතුය. ඇතැම් විට නීතියෙන් බේරුණද ස්වභාදහමෙන් හෝ කර්ම විපාකයෙන් බේරිය හැකි පුද්ගයෙකු මේ විශ්ව ලෝක ධාතුව තුළම නැත. ජවිපෙ 2වැනි කැරැල්ලට අදාළ  ඉහත කථා පමණක් නොව මෙහි පළ නොවූ ලියුම්කරු සතුව ඇති බොහෝ දෑ මේ ජීවිතයේම කළකම්  පළදෙන හැටි පුවත් අනුසාරයෙන් කියාදෙන අත්පොතකි.

දෙවැනි කැරළි සමයේ ආරක්ෂක හමුදාවන්හි සිටි බහුතරයක්ම මේවාට සම්බන්ධ නොවේ. මෙවැනි වධදීම්වලට සම්බන්ධවූයේ සුළු පිරිසකි. ආරක්ෂක හමුදාවේ බහුතර පිරිසක් අත්අඩංගුවට ගත් කැරළිකරුවන්ට මිනිස් හැසිරීම් රටාව ගැන තිබූ අවබෝධයෙන් යුතුව කටයුතු කළේ රටේ සම්මත නීතියට ගරු කරමිනි. එවන් දහස් ගණන් තරුණයෝ අවසානයේ රැඳවුම් කඳවුරු වලින් පුනරුත්ථාපන කඳවුරු වලට යොමුවූයේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. ජීවිතය නිවැරදි මඟට ගැනීමට නිවැරදි මඟ පෙන්වීමක් අවැසිය. බුදුදහම ඇතුළු බොහෝ ආගම්වල හරය වනුයේ එයයි.The writer is a senior journalist who could be reached at ejournalists@gmail.com OR 011-5234384(ජවිපෙ 2වැනි කැරළි සමයවූ 1986 සිට 1990 දක්වා කාලය තුළ එයට සම්බන්ධවු අයට කළකම් පළදුන් හැටි පිළිබඳව මෙබඳු කථා දන්නේනම් එය පහත ලිපිනය යොමුකල හැකිය. ධර්මන් වික්‍රමරත්න, තැපෙ 26,  434/3 ශ්‍රීජයවර්ධනපුර. දුරකථනය:011-5234384 විද්‍යුත්තැපෑල: ejournalists@gmail.com)

 

ධර්මන් වික්‍රමරත්න

ejournalists@gmail.com

 

7 Responses to “මෙන්න කර්මය!”

  1. Dham Says:

    Udugampola is still living. He was not punished by English law. People knew his family say in his family had genetically extraordinary physical strength. It is also known that he became more revengeful after his family members were killed. Here the writer implies his family was killed because of his kamma. Batalanda Wrukaya is still alive and having a good time. ( may be because “ජීවිතය නිවැරදි මඟට ගැනීමට නිවැරදි මඟ පෙන්වීමක් අවැසිය. බුදුදහම ඇතුළු බොහෝ ආගම්වල හරය වනුයේ එයයි. ” )
    Let us see what would happen to more recent හෙණ ගහන අපරාධ​.

  2. Ratanapala Says:

    Subject of Karma is infinite – Karma wishaya achintai! Although we see it happening and sometimes not, it cannot be generalised in a simple fashion. However, now, later or much later the results of Karma will return to the doer – just as the “Cart follows the Driver”.

    Batalanda Wrukaya too will meet his waterloo one day – in this life or who knows in another life. One thing we can see from his actions is that he is the reincarnation of Don Juan Dharmapala – the traitor king who abdicated Sri Lanka’s sovereignty to the despicable Portuguese and the even more deplorable Catholic Church. It is easily seen from his actions that he has ‘returned’ to complete an ‘unfinished task’ from 500 year ago.

    His aim in life is to deny the due place and recognition for the Sinhala Buddhists.

  3. Dham Says:

    Karma does not come into action according to media reports of Patta Pal Boru by Pattarakarayos now given a more respectable name called “journalists”. Instead Karma will come after them too like චක්කංව වහතෝ පදං. Watch out !

    If that is what Batalanda Wrukaya aims to achieve (due to our bad kamma ?) and why is he aiming to do this ?
    Has Sinhalaya done so much bad kamma ? I don’t think so. We are doing so much “pin” for thousands of years.

  4. Ancient Sinhalaya Says:

    Lk porisada killed so many Sinhalese Buddhists without mercy and he got his desserts. Thanks to the algusowa’s
    demise so many Buddhist lives were spared. How do this murderous UNPatriotic party get Sinhalese to kill Sinhalese
    and still people don’t realise is a mystery. Only answer to this mystery is that old saying Sinhalaya are modayas.

    Traitor alugosu thambi mudiyanse was the one who started this murderous campaign against the Sinhalese.
    He wasn’t just a murderous fox he was a traitor of the highest calibre as well. He put the foundations to break up our
    country by signing 13 with slimy india whose only motive is to please tamils in tn. Now 350 mile-long island
    has presidents, pm, ministers, dep ministers, provincial cms, mayors, etc. etc. ets. More of these freeloaders
    than ordinary citizens. These deshapaluwan do nothing but plundering our resources. Just this YAMPALLAN
    STEAL, STEAL AND SAY MR IS A THIEF WHICH THEY COULDN’T PROVE AFTER NEARLY 2 YEARS. That’s
    how Sinhala modays work. They have no brains to think. So these YAMA PALLAN COME AND STEAL STEAL
    AND KILL THEIR OWN PEOPLE. Still Sinhala modayas vote for the murderous UNPatriotic party!

    Being a very very crafty murderous man he got forces’ personnel to kill forces’ family members to provoke
    them. That way the alugosuwa intensified the murderous regime. Still Sinhala modaya called him darmistaya.
    Thambi mudiyanse wanted to give the reins to his murderous nephew pol pot ponil. Then alugosu lk porisadaya
    got more brutal with his soththi upali and thambi mudiyanse feared for his life and gave the reins to
    lk porisada reluctantly. Then lk porisadaya became even more brutal than thambi mudiyanse. Thank god lk
    porisadaya tasted his own medicine. It was too quick for him. But for all the Sinhalese families he killed
    he left them with life time grieving. Hope the mass murder will never reborn in our country.

    Then came wolf in sheep’s clothing. Treacherous die-hard catholic, token Buddhist fooled the Sinhala modayas
    and got his catholic police buddies to destroy enough Buddhist population in the country by carrying on
    massacring Buddhist jvpers and prolonging the war. He even sent the millennium city intelligence officers to
    catholic tigers of tamil drealam bullet. But luckily for the BATALANDE BUTCHER SINHALA MODAYAS STILL
    COULDN’T SEE HIS TRUE COLOURS.

    BATALANDE BUTCHER knows he is untouchable. So he doesn’t give a toss. He wasn’t punished for Batalande
    massacres. He was not punished for millennium city murders. He wasn’t punished for central bank robbery of
    5000 billion rupees. Let alone punishing nobody even talked about any punishment. Catholic
    west will always protect him. So he has no worries. Only problem for him is doing all this murderous deeds
    to promote catholicsm in Sri Lanka, he amasses a lot of sins. Now in his next life he is going to suffer immensely
    and we sincerely hope he will. Hope he will never reborn in our country to be a traitor like this. I always wonder
    when the traitor finally dies, what sort of service he will be wishing for. Is it his beloved church or his token Buddhist
    way? I’m sure, being a crafty to the core man like the thambi mudiyanse, he will chose a private funeral and
    quietly get the blessing of his beloved church.

  5. Christie Says:

    කර්මය කියන එක හින්දු ආගමෙත් තියෙනව. නමුත් මම දකින්නෙ බුදු කර්මය හේතු පල දර්මය තුලින්.

    සින්හලයේ සින්හල ත්‍රස්තයන් ඇතිකෙරුවේ ඉන්දියාවත් ඉන්දියානු පරපෝසිතයනුත් විසිනි. අහින්සක සින්හලයෝ මලේය.

  6. Dham Says:

    1988 JVP uprising was a “terrorism” too. If it continued and Wijeweera grabbed power, what would have happened to Sri Lanka ?
    Surly LTTE in the north and JVP in the South could have been very much convenient to India and out enemies. By now Sri Lanka would have been a colony of India.
    I consider Udugampola as a cold blooded murderer who took revenge and killed many innocent Sinhala youth.
    Are we only angry when some one kills “innocent Sinhala youth” only and are we indifferent to killing of an innocent person other than “innocent Sinhala youth”.

    However there are a lot of people consider him as a hero, who got rid of terrorism from Sri Lanka. I know one of his assistance ( a strong Catholic) who says he would worship him next to God.

  7. Dham Says:

    Apology for English language lovers, for many obvious mistakes made.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress