දඹාන ගමන
Posted on July 7th, 2016
වෛද්‍ය රුවන් එම් ජයතුංග
1996 කාලයේ මම මහියංගන දඹාන ආදිවාසී ජනතාව බැලීමට ප්ලෑන් ආයතනය හෙවත් ජාත්‍යන්තර සැලසුම් ආයතනයේ ජයරත්න මහතා සමග ගියෙමි. එවකට මම මිනිපේ ප්‍රාදේශීය සෞඛ්‍යය සේවා අධ්‍යක්‍ෂකවරයා වූයෙමි. මේ කාලයේ වැදි නායක තිසාහාමිද ජීවතුන් අතර විය. අප බුලත් දුම්කොළ සහ පුවක් මගදී මිලට ගත්තේ තිසාහාමිට දීමටය. මේ ගමනේදී දඹානේ ගුනවර්ධන මුණ ගැසීමට මට අවශ්‍යතාවයක්ද තිබුනේය. දඹානේ ගුනවර්ධන ප්‍රථම ආදිවාසී උපාධිධාරියා විය. එසේම ඔහුගේ දඩබිමෙන් දඩබිමට කෘතියද මම කියවා තිබුණි. නමුත් අවාසනාවකට මෙන් අප ගිය දින දඹානේ ගුනවර්ධන සිටියේ නැත.
අපට වැදි නායක තිසාහාමි හමු විය. ඔහු දුර්වළව සිටියේය. තිසාහාමි අසල සිටි වර්තමාන ආදිවාසී නායක උරුවරිගේ වන්නියලැ ඇත්තෝ තිසාහාමි වැදි භාෂාවෙන් කියන දෙය ඉතා හොඳ වියත් සිංහලට පෙරලා කීවේය.
මම උරුවරිගේ වන්නියලැ ඇත්තෝ සමග කතා කලෙමි. ඉතා චතුර ලෙස සිංහල කතා කල ඔහු මගේ ප්‍රශ්න වලට පිලිතුරු දුන්නේය. මම ආර් එල් ස්පිට්ල් මහතාගේ මැකී ගිය දඩමං පොතේ එන වැද්දන් වූ පොරමලා, ගාමා , කයිරා , ගෝඹා, පොරමලා සකා , යනාදීන් ගැන ඇසුවෙමි. උරුවරිගේ වන්නියලැ ඇත්තෝ මේ වැද්දන් දන්නවාක් මෙන් කරුණු කීවද ඔහු පවසන්නේ සත්‍යක් නොවන බවත් ඔහු ආර් එල් ස්පිට්ල් මහතාගේ මැකී ගිය දඩමං පොත කියවා නැති බවත් මට වැටහුණි.
අප දඹානෙන් පිටත ඒමට හදන විට වැදි කොල්ලන් රැලක් අප වට කරගෙන දුනු හී , මීපැණි හා වේලපු දඩමස් විකිනීමට උත්සහ කලහ. අප මීපැණි හා වේලපු දඩමස් මිලට ගත් නමුත් මීපැණි යනු සීනි උණුකර වතුර දමා සැදූ පැණියක් ද වේලපු දඩමස් යනු මහියංගන හන්දියේ හරක් මස් කඩයෙන් මිලට ගත් හරක් මස් තීරු කපා වේලා ගත් ඒවාත් බවත් කියා පසුව ප්‍රත්‍යක්‍ෂ විය. මේ වැදි ගැටව් සරම් කැහැපොට ගසාගෙන සිටියද සමහරුන් ගේ සරම් යටින් රනිං ශෝට් පවා පෙනුනේය.
ඔවුන් සිංහල වචන මැදට පොජ්ජ , මංගච්චනවා , පාහිනවා වැනි වැදි භාෂාවේ යොදා අප සමග කතා කලහ. නමුත් මේ අය කරන්නේ රඟපෑමක් බව මට තේරුණි. මම ඔවුන් ගෙන් කළුදැවා කියන වැදි භාෂාවේ වචනයේ තේරුම ඇසුවෙමි. ඔවුන් එක් අයෙකුවත් එය දැන සිටියේ නැත. පසුව මමත් ජයරත්නත් සිනාසෙමින් දඹානෙන් පිටත් වී ආවෙමු.
වෛද්‍ය රුවන් එම් ජයතුංග