වාසුදේව රතු සහෝදරයාට මොළේ පෑදීම
Posted on August 9th, 2016

චන්ද්‍රසිරි විජයවික්‍රම

1935 සිටම තටමා, 1964 දී චාටුවට හෝ මල් වට්ටියක් ගෙන දළදා මාළිගාවට යන කල්ම සිංහල බෞද්ධ සංස්කෘතිය නොතේරුණ එන් එම් කොල්වින් ලෙස්ලිලා අතහැරදා කැලෑ පාරේම  ගිය වාසුට දැන් 2016 දී මොළේ පෑදීම සතුටට කරුණකි. මාක්ස්වාදය ඔළුවේ ඔතාගෙන ඇස් කණවූ අයගෙන් තාමත් ඉතිරිව ඉන්නේ කොටින් හා නිදාගන්නා වික්‍රමබාහු පමණය. හාමුදුරුවරුන්ගේ සිවුරෙන් අදින්නට පවා සටනට යන කොටි ධේනුවකව සමීපව ආශ්‍රය කලත්,  රට කැඩීමේ බලු ව්‍යාපාරය තේරී, දැන් ඊට පටහැනිව සිටින වාසු, බාහු වගේ කැනඩාවට පැනගන්නට බැරිවූ හොරෙක් නොව අවංකවම මාක්ස්වාදය හරියයි සිතූ කෙනෙකි.

සමාජවාදී ජනතා පෙරමුණේ  සම්මේලනයේදී (නිව්ස් ෆර්ස්ට් සිරස ටීවී අගෝස්තු 4, 2016) තාමත් ලෙනින්-ස්ටාලින් අන්ධයෙක්‌වී සිටින බව පෙනෙන කොල්ලෙක් ඇසූ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් වාසු කියා හිටියේ, වමේ පක්‍ෂ එකතුව අනුමත කරන්නේ,

(1)  ඒකීය රාජ්‍යයක් තුල,
(2) පෙඩරල් වාදයකින් තොරව,
(3) ජනතාවට බලය විමධ්‍යගත කරන ව්‍යවස්ථාවක් බවය.

මෙය ඒකාබද්ධ විපක්‍ෂයේ ඉන්නා ඩලස් අලහප්පෙරුම වැනි පෙඩරල් කාරයින්ගේද ඇස් අරවන ප්‍රකාශයක් වන්නේය. මෙය මහින්ද රාජපක්‍ෂ මහතාගේ අවස්ථාවාදී ලාබාල මතයටද එල්ලවන පහරකි. ඊට හේතුව ඔහු, දයාන් ජයතිලක අනුව යමින් 13 ඒ බදාගත් කෙනෙකු වන නිසාය. 13 ඒ යනු පෙඩරල් ඉණිමඟ බව විනේශ්වරන් (සමහරු දැන් කියන්නේ පිග්නේශ්වරන් කියාය) මහින්ද රාජපක්‍ෂට පෙන්නා දුන්නේය. 1935 ගවර්‍මන්ට් ඔෆ් ඉන්ඩියා පනතට අනුව ඉන්දියාවේ ඇතිවූ ජාතිවාදී දේශපාලනය ලංකාවට ගෙන ඒම, 1987 දී 13 වන සංශොධනය මඟින් සිදුවිය. මේ මඟින් ඉන්දියාවේ පෙඩරල් ක්‍රමයටත් වඩා දරුණු පෙඩරල් ක්‍රමයක් ලංකාවේ අටවා ඇත. පිස්සු බල්ලෙක් මෙන් විග්නේශ්වරන් බුරන්නේ ඉදිරියේ රටේ සිදුවන විනාශයට සංඥා දෙමින් නොවේද? ටැමිල්නාඩ්වල මෙන් වතුර යුද්ධ ඊලම් මායිම වටේටම රටතුල හටගන්නා විට හොර සිංහල දේශපාලක රැළ කොහේ සිටීවිද?

කොටින්ම කියනවා නම් 13 ඒ උඟුල මගින් ලංකාවේ නැඟෙනහිර පළාතේ ඓතිහාසික දෙමළ නිජ භූමියක් තිබෙනවා කියා ජේ ආර් ජයවර්‍ධන විසින් පිළි අරගෙන ඇත. මේ නිසා මේ 13 ඒ තිබෙනතාක් මොනතරම් ඒකීය-ඒකීය කියා දේශපාලක වංචාකරුවන් කෑ ගැසුවත් වෙනම දෙමළ රටක් හදාගැනීමට නීතියෙන්ම ලබාදී ඇති පාර වැසෙන්නේ නැත. ඉෂෙට් හුසේන් වැනි පෙඩරල් මත තිබූ අයෙක් පවා දැන් කියන්නේ ලංකාව ඒකීය රටක් වශයෙන් සිටීමට, 13 ඒ ඉවත්කර දැමිය යුතුය කියාය.

තමන්ගේ පස්සෙන් එන පලාත් සභාකාරයින් නිසා 13 ඒ ගැන කෙළින් කතාකරන්නට රාජපක්‍ෂ කොටස කැමති නොවනු ඇත. ඔහු හැමදාම කර ඇත්තේ මේ වගේ සෙල්ලම්මය. නමුත් ඔහුට නැවත සිංහල බෞද්ධ චන්ද අවශ්‍යනම් ඔහු විසින් මේ 13 ඒ නැතිකිරීමට ප්‍රතිඥාවක් දිය යුතුය.  පලාත් සභා හොරු වෙනුවට ඔහු කල යුතු ප්‍රාදේශීය සභා වලට බලය යැවෙන ක්‍රමයක් සැදීමය. මෙය ජන සභා සංකල්පය යටතේද වඩාත හොඳින් කිරීමට හැකිය.

ප්‍රභාකරන් එලොව ගිය වහාම රට ගැන සැබෑ ආදරයක් හා දුර දක්නා නුවණක් තිබුණා නම්  රාජපක්‍ෂ මහතා විසින් කලයුතුව තිබුණේ ජනාධිපති ආඥාවක් මඟින් 13 ඒ අහෝසිකර, ජන සභා ක්‍රමය යටතේ බලය ජනතාවට මාරුකිරීමට පියවර ගැනීමය. දෙමළ ජනයා කඳුළු සලමින් ඔහුට කිව්වේ මහරජා කියාය.  එහෙත් රජෙක් මෙන් කලයුතුව තිබූ එවැනි දෙයක් ඔහුට කියලා දෙන්නවත් කෙනෙක් ඔහු ලඟ සිටියේ නැත. ඔහු වටා සිටියේ නූගත් ආත්මාර්‍ථකාමි නෑයින් පිරිසක් හා කළු සුද්දන් කොටසක් ය. ගෝඨාභය තනිවී සිටියේය. ඉන්පසුව දෙවැනි වරට ඔහු කලේ විග්නේශ්වරන්ගේ අතට කඩුව දීමය.

අද රටේ ඇති ව්‍යසනය මේ මෝඩ වැඩවල ප්‍රතිපලය. වාසුගේ කතාව ඉතා අගනා වන්නේ මේ පසුබිම යටතේය. දැන් ටිින්‌ඒ එක අල්ලා ගෙන ඉන්නා බෙදුම්වාදී නායකයින් කියන අතලොස්සට මිස දෙමළ ජනයාට පෙඩරල් හෝ ඊලම් හෝ පිස්සුවක් නැත. දකුණේ සිංහල ජනයාට නම් 13 ඒ වහකඳුරු වැනිය. ඒකාබද්ධ විපක්‍ෂය මේ 13 ඒ මර උඟුල ගැන නිහඬය. මෙය උඟුරට හොරා බේත් ගන්නට හදනවා වගේය. මහජනයා රැවටේ යයි සිතීම තුන්වන චන්ද මෝඩකම වනු ඇත.

මහජනයාට බලය මාරුවන, බෙදුම්වාදයට ඉඩ ඇහිරෙන, භාෂාව හෝ ජාතිය අනුව නොව රටේ භූගෝලීය සාධක අනුව ඇතිකල මායිම් සහිත ජන සභා ක්‍රමයක් පිළිඹදව සංහිදියා කොම්සමටත්, රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයාටත් කරුණු ඉදිරිපත් කලත් බැසිල් රාජපක්‍ෂ හා ලලිත් වීරතුංග යන දෙන්නා එයට අකුල් හෙලුවේය. මේ දෙන්නාගේ වැරදිවලට දැන් වන්දි ගෙවන්නේ හිටපු ජනාධිපති හා රටේ ජනතාවය.

චන්ද්‍රසිරි විජයවික්‍රම

අගෝස්තු 9, 2016

One Response to “වාසුදේව රතු සහෝදරයාට මොළේ පෑදීම”

  1. Christie Says:

    සින්හලය ඉන්දියානු කොලනියක් උනේ 1792 ඉඳල. 1956 දී සිට සින්හලයේ පාලනය ඉන්දියානු අදිරදයත් ඉන්දියානු පරපෝසිතයන් අතට පත්ව ඇත.

    අද චන්දිරිකා ඉන්දියානු ආන්ඩුකාරිය. සිරිසේන කූලියාය. රනිල් සෙබලයාය.

    සින්හලයට් සමජවාදය ගෙනාවේ ඉන්දියානු පරපෝසිතයන්ය. 1927දී ගාන්දියාව ගෙනාවේත් මෙම පරපෝසිත ඉන්දියානුවන්ය. සින්හලයෝ යුරෝපියානු සමජවාදය ඉගෙනගත්තේ මෙම ඉන්දියානු පරපෝසිතයන්ගෙන්ය. උන් සින්හලයන් අතර මතබේද ඇතිකර සින්හලන් කොටස් වලට බෙදුවේය. ඉන්දියානුවෝ අදත් අපව හූරාගෙන කති.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress