අලුත් ව්‍යවස්ථාව භයානකයි- මහින්දගෙන් අනතුරු ඇඟවීමක්
Posted on March 13th, 2017

උපුටා ගැන්ම අද දෙරණ

රට ජාතිය නැති කිරීමට ව්‍යවස්ථා හා නීති සංශෝධන කෙටුම්පත් කිරීමේ උත්සාහය පරාජය කළ යුතුව ඇති බව හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතුව අද (13) නිකුත් කළ නිවේදනයක මේ බව දැක්වෙයි.

එකී නිවේදනයේ මෙසේද සඳහන්ය.

ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාවත්, රාජ්‍යයේ ව්‍යුහයත්, නීති පද්ධතියත් වෙනස් කිරීමට ආණ්ඩුව ගන්නා උත්සාහයන් ඉදිරි කාලයේදී කරළියට එන ලක්‍ෂණ දැන් පහල වී තිබේ. පසුගිය නොවැම්බර් මාසේ සිට එක්කො නිල වශයෙන් එළි දක්වනු ලැබූ, නැතිනම් වෙනත් මාර්ගයකින් මාධ්‍යට හෙළි වූ ලියවිලි කිහිපයකින් ආණ්ඩුවේ අභිමතාර්ථය පැහැදිලි වේ. ව්‍යවස්ථාදායක සභාවේ අනුකමිටු හයේ නිල වාර්ථා පසුගිය නොමේබර් මාසයේ එළිදක්වනු ලැබීය.අග්‍රාමාත්‍යවරයාගේ සංහිඳියාව හා සංක්‍රාන්තිකයුක්තිය පිළිබද කාර්යසාධක බලකායේ වාර්තාව ජනවාරියේ පලවිය.  GSP+ බදු සහනය නැවත ලංකාවට ලබාදීමට යුරෝපා සංගමය පැනවූ කොන්දේසි 58ත්, ත්‍ර‍ස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට අගමැතිවරයා යෝජනා කරන නව නීති කෙටුම්පතත් ඒ අතරතුර මාධ්‍යය හරහා ප්‍ර‍සිද්ධියට පත්විය.

මේ ලියවිලි සියල්ලේම පදනම වන්නේ 2015 ඔක්තෝබර් මාසයේදී ලංකාවේ යහපාලන ආණ්ඩුවේ උදව් සහ සම අනුග්‍රාහකත්වයද සහිතව ඔබාමා පාලනය සහ යුරෝපීය බලවතුන් විසින් එක්සත්ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය තුළ ලංකාවට එරෙහිව සම්මත කරගත් යෝජනාවයි. අද වෙන විට මහා දේශපාලන පෙරළියක් සිදුවී ඔබාමා පාලනය අතුගෑවී ගොස් තිබුණද, ඇමරිකාවේ අලුත් ආණ්ඩුවට කතා කොට, මේ භයානක ලියවිල්ලේ වගන්ති වෙනස් කරගැනීමට ලංකාවේ ආණ්ඩුව කිසිදු උත්සාහයක්දරා නැති බව මෙහිදී ජනතාවට දැනුම් දීමට කැමැත්තෙමි. 2015 දී යහපාලකයෝ මේ යෝජනාවට ලංකාවේ සම අනුග්‍රාහකත්වය ලබා දුන්නේද විදෙස් රටවල බලපෑමටම නොව, තමන්ගේද  නෛසර්ගික දේශද්‍රෝහී න්‍යාය පත්‍ර‍යඅනුවය. අද වෙන විට, 2015 දී ගෙනා යෝජනාව කර තියාගෙන යන්නේ ඇමරිකානු ආණ්ඩුවෙන් නොව ලංකාවේ ආණ්ඩුවෙන්ම බව පැහැදිලිය. මෙහි සදහන් කල ලියවිලි පහෙන් හෙළිවෙන සමස්ත සැලසුමේ අංගෝපාංග පහත දැක්වෙන ආකාරයට සම්පිණ්ඩනය කර දැක්විය හැක.

* අග්‍රාමාත්‍යවරයාගේ සංහිදියාව පිළිබද කාර්ය සාධක බලකායේ නිර්දේශ අනුවශ්‍රී ලංකා රජය මෙරටේ ඇතිවූ  සන්නද්ධ ගැටුම් වල ‘වින්දිතයන්ගෙන්’ සමාව ගත යුතුය.නමුත් ත්‍ර‍ස්තවාදී සංවිධාන හෝ ඔවුනට උඩගෙඩි දුන් වෙනත් දේශපාලන සංවිධාන කිසිවෙකුගෙන්වත්සමාව ගතයතුනොවේ. ඒ අනුව ත්‍ර‍ස්තවාදය මර්දනය කිරීමෙන් ශ්‍රී ලංකා රජය කර ඇත්තේ වරදක්ය යන අදහස ලෝකයට කියවේ.

* කොටි සංවිධානයේ සුසානභූමි පෙර තිබූ ආකාරයට නැවත සකස් කරදිය යුතු බවත්, කොටි මහවිරු දිනය සැමරීමටඅවශ්‍ය අයට ඒ සදහා ඉඩදිය යුතු බවත්, කොටි සාමාජිකයන්ගේ ඥාතීන්ට මියගිය කොටි සාමාජිකයන්ගේ ඡායාරූප කොටි නිල ඇඳුමද සහිතව තම නිවෙස්වල ප්‍ර‍දර්ශනය කිරීමට අවසර දියයුතු බවටද, අග්‍රාමාත්‍යවරයාගේ සංහිඳියාව පිළිබද කාර්ය සාධක බලකාය නිර්දේශ කර ඇත. නමුත් ත්‍ර‍ස්තවාදයට එරෙහි සටනේ දිවි පිදූරණවිරුවන් සැමරීමට වැඩපිළිවෙලක් හෝ ඔවුන් ලැබූ ජයග්‍ර‍ණ සැමරීමට වැඩපිළිවෙලක් ගැන හෝ මේ එක ලියවිල්ලකවත් සඳහන් වන්නේ නැත.

* චෝදනා ගොනු කරනු නොලැබූ සියලුම කොටි සැකකරුවන් වහාම නිදහස් කළ යුතුබවත්, අපරාධ සිදු කළා යයි සැක කරන සන්නද්ධ හමුදා සාමාජිකයන් හිරභාරයටගත යුතු බවත්, අග්‍රාමාත්‍යවරයාගේ සංහිඳියාව පිළිබද කාර්ය සාධක බලකායකියයි. සංහිදියාව ඇති කිරීමට මෙය අත්‍යවශ්‍ය සාධකයක් හැටියට ඔවුන් හුවා දක්වයි.

* 2015 ඔබාමා ආණ්ඩුවේ මානව හිමිකම් යෝජනාව හා යුරෝපා කොමිසමේ GSP+ කොන්දේසි මාලාවට අනුව යමින්, අපේ රණවිරුවන්ට එරෙහිව විදේශීය සහභාගීත්වයද සහිතව යුද අපරාධ අධිකරණයක් පිහිටවිය යුතු බවට අග්‍රාමාත්‍යවරයාගේ සංහිදියා කාර්ය සාධක බලකාය නිර්දේශ කර තිබේ. කොටි සාමාජිකයන් මේ වන විට එක්කො පුනරුත්ථාපනය ලබා තිබෙන නිසා, නැතිනම් පවතින නීතිය යටතේ ඔවුන්ට නඩු පවරා තිබෙනනිසා, මේ යුද අපරාධ අධිකරණය විසින් කොටි සාමාජිකයන්ට එරෙහිව ක්‍රියාමාර්ගයක් නොගත යුතු බවට යෝජනා වී ඇත. ඒ වෙනුවට කොටි සංවිධානයෙන් ඉවත් වී ආණ්ඩුව සමග එකතු වී කටයුතු කළ හිටපු කොටි නායකයන්ට එරෙහිව යුද අපරාධ විමර්ශන පැවැත්විය යුතු බවටඅග්‍රාමාත්‍යවරයාගේ සංහිඳියාව පිළිබද කාර්ය සාධක බලකාය කියයි.

* 2015 ජිනීවා මානව හිමිකම් යෝජනාවට අනුව යුද අපරාධ සිදු කළ බවට සැක කරන නමුත් යුද අපරාධ අධිකරණයට ඉදිරිපත් කිරීමට තරම් සාක්ෂි නැති සන්නද්ධ හමුදා සාමාජිකයන් පරිපාලනමය ක්‍රියාදාමයකින් සේවයෙන් ඉවත් කළ යුතු වේ. නමුත් ත්‍ර‍ස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට අග්‍රාමාත්‍යවරයා සම්පාදනය කර තිබෙන නව නීතියට අනුව යම් ත්‍ර‍ස්තවාදී සැක කරුවෙකුට එරෙහිව ප්‍ර‍මාණවත් සාක්ෂි නැතිනම් සමාව ඉල්ලීම, පසුතැවීම ප්‍ර‍කාශ කිරීම, පුනරුත්ථාපනය ලැබීම, ඉදිරියේදී අපරාධ නොකිරීමට පොරොන්දු වීම, ප්‍ර‍ජාසේවයේ නියුතු වීම, වැනි කොන්දේසියක් මත නීතිපතිවරයාට හෝ මහ අධිකරණයට එම ත්‍ර‍ස්තවාදියාට එරෙහිව ගෙන තිබෙන නීතිමය ක්‍රියාමාර්ග අත්හිටුවිය හැක.

* යුද අපරාධ සම්බන්ධයෙන් සැකකරුවන් වන සන්නද්ධ හමුදා සාමාජිකයන්ට කිසිදු පොදු සමාවක් ලබා නොදිය යුතු බව අග්‍රාමාත්‍යවරායාගේ සංහිඳියාව පිළිබද කාර්ය සාධක බලකාය කියයි. නමුත් ත්‍ර‍ස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට අග්‍රාමාත්‍යවරයා විසින් නිර්දේශ කර තිබෙන නව නීතියට අනුව උසාවියක් විසින් වැරදි කරුවෙකු කරනු ලැබූ ත්‍ර‍ස්තවාදියෙකුට වුවත්  ත්‍ර‍ස්තවාදය හෙළාදැකීම, පසුතැවීම ප්‍ර‍කාශ කිරීම, අදාළ  අපරාධය සිදු වූයේ ඉහළින් ආ බලපෑම් නිසා බව පෙන්වීම, යන කාරණා මත සිරදඬුවම් ලිහිල් කිරීමට වගන්ති ඇතුළත් කර තිබේ.

* අග්‍රාමාත්‍යවරයාගේ සංහිඳියාව පිළිබද කාර්ය සාධක බලකාය කර තිබෙන තවත් නිර්දේශයක් වන්නේ සන්නද්ධ හමුදා සාමාජිකයන්ට අවශ්‍ය දිරිගැන්වීම් දී කලින් විශ්‍රාමයැවීමයි. මේ සදහා සන්නද්ධ හමුදා සාමාජිකයන් පොළඹවා ගැනීමට ඔවුනගේ  ළමයින්ට හොඳ පාසල් ලබා දී, වෙනත් රැකියා සොයා දී,පිටත් කර යැවිය යුතු වේ. මේ ආකාරයට හමුදා විසුරුවා හැර, අත්දැකීම් සහිත හමුදා නිලධාරීන් හා සෙබළුන් ගෙදර යවා,  රටේ ආරක්‍ෂාව තහවුරු කරන්නෙ කෙසේද කියා මේ එක ලියවිල්ලකවත් සඳහන් නොවේ.

* ත්‍ර‍ස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ගෙන ඒමට යන අලුත් නීතියට අනුව අදාළ ප්‍රදේශයේ පොලිස් ස්ථානාධිපති, මානව හිමිකම් කොමිසම හා එම පළාතේ මහේස්ත්‍රාත්වරයා අත්අඩංගුවට ගන්නා ත්‍ර‍ස්තවාදී සැකකරුවන්ගේ සුරක්‍ෂිතභාවය තහවුරු කළ යුතු වේ. රඳවා ගැනීම් නියෝගයක් යටතේ සැකකරුවන් රඳවා ගැනීම මාස 03 සිට දවස් 30 දක්වා අඩු වේ. රඳවා ගෙන සිටිය හැකි උපරිම කාලය මාස 18 සිට මාස 06 දක්වා අඩු  වේ. සැකකරුට එරෙහිව අවුරුද්දක් ඇතුළත නඩු ගොනු නොකළොත්,  නැතිනම් නඩුවේ කාලය අවුරුදු දෙකකට වඩා දික් ගැස්සුනහොත්, සැකකරු ඇප මත නිදහස් කළ  යුතු වේ. ත්‍ර‍ස්තවාදී සැකකරුවන්ට උපරිම අවකාශය සලසන අතර රාජ්‍ය හමුදා වලට උපරිම ලෙස බාධා වෙන ආකාරයට මේ යෝජනා කෙටුම්පත් කර තිබේ.

* පොලීසිය, නීතිය හා සාමය අනු කමිටුවේ නිර්දේශවලට අනුව මාස තුනකට වඩා කාලයක්, නැතිනම් දින 180 ක් තුළ දින 90කට වැඩි කාලයක් හදිසි නීතිය පවත්වගෙන යන්න නම් ඒ සඳහා පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයක් අවශ්‍ය වේ. හදිසි නීතිය ප්‍රකාශ කිරීම මෙන්ම හදිසි නීති රෙගුලාසිත් විමර්ශනය කර ඒවා අවලංගු කිරීමට වුවත් ශ්‍රේෂ්ඨාධිකරණයට බලය පැවරීමට මෙහි නිර්දේශ කර තිබේ. නීතියහා සාමය බිඳ වැටීමකට සුදුසු  ආකාරයට ප්‍ර‍තිචාර දැක්වීමට විධායකයට ඇතිබලය මෙයින් සීමා වේ. මේ ආකාරයට විධායකයත්, හමුදාවත්, පොලීසියත් දඬුකඳේ ගසා නීතිය හා සාමය රකින්නේ කෙසේද යන්න මෙහිදී සලකා බලා නැත.

* ජාත්‍යන්තර සමමුතීන් ලංකාවේ නීති පද්ධතියට ඇතුළත් කරගන්නාක්‍රමවේදය වෙනස් කර ජිනීවා මානව හිමිකම් කමිටුවටලංකාවෙන් අභියාචනා ඉදිරිපත් කිරීමට ඉඩදිය යුතු බව අධිකරණය පිළිබද අනු කමිටුව යෝජනා කර තිබේ. එයින් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දු සමාලෝචනය කිරීමට ජිනාවාහි මානව හිමිකම් කමිටුවට බලය ලැබෙන නිසා ශ්‍රේෂ්ඨාධිකරණයට ලංකාවේ ඉහළම උසාවිය හැටියට ඇති තත්ත්වය අහිමි වේ. රටක අධිකරණය ජාත්‍යන්තර අධිකරණයකට යටත් කිරීම යනු ස්වාධිපත්‍ය අහිමි වීමකි. බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වීමට තීරණය කළේද යුරෝපා අධිකරණයේ ආධිපත්‍යයෙන් ගැලවීමටය.

* ලංකාව නිර්ආගමික රාජ්‍යයක් බවට පත් කිරීමේ යෝජනාව සලකා බලන ලෙස අග්‍රාමාත්‍යවරයාගේ සංහිඳියාව පිළිබද කාර්ය සාධාක බලකාය නිර්දේශ කර තිබේ. බුදු දහමට ඇති විශේෂ තත්ත්වය නැති කරන්නේ නැතෙයි කීවද එයත් මේ සමස්ත සැලසුමේ කොටසක් බව මේ ලියවිලි වලින් පෙනේ.

*  පළාත් ආණ්ඩුකාරවරුන්ගේ සියලු බලතල අහෝසි කිරීමට මධ්‍ය හා පර්යන්තය පිළිබඳ  අනුකමිටුව යෝජනා කරතිබේ. ඒ අනුව ආණ්ඩුකාරවරුන් අදාළ  මහඇමතිවරුන්ගේ අභිමතය පරිදි පත්කිරීමටත්, මහ ඇමතිවරයාගේ හා ඇමති මණ්ඩලයේ උපදෙස් පරිදි ආණ්ඩුකාරවරයාටකටයුතු කිරීමටත් සිදුවේ.  පළාත් සභා තුළ මධ්‍යම ආණ්ඩුවේ අණසක පවත්වාගෙන යන්නේ ආණ්ඩුකාරවරුන්ය. ඒකීය රාජ්‍ය රැකෙන්නේ ආණ්ඩුකාරවරුන්ගෙන්ය. ඒ තනතුරේ බලය හීන වුවහොත්, ලංකාව ඉබේටම ෆෙඩරල් රාජ්‍යයක් වෙනු ඇත.

* ඒකීය රාජ්‍යය නැති කිරීමේ පියවරක් ලෙස ව්‍යවස්ථාවේ සමගාමී බලතල ලැයිස්තුව අහෝසි කිරීමට නිර්දේශ වී තිබේ. ඒ අනුවදැනට මධ්‍යම ආණ්ඩුවට හෝ පළාත් ඒකක වලට අයත් නොවන සියලු බලතල පළාත් ඒකක වලට දිය යුතු බවට මධ්‍ය හා පර්යන්තය පිලිබද අනුකමිටුව යෝජනා කර ඇත. එපමණක්ද නොව දිස්ත්‍රික් ලේකම්වරු හා ප්‍රාදේශීය ලේකම්වරුත් පළාත් ඒකක යටතට පත් කිරීමටත් නිර්දේශ වී තිබේ. මෙය අදියරෙන් අදියර ඒකීය රාජ්‍යයේ ආණ්ඩුව දිය කර දැමීමේ වැඩ පිළිවෙලක් බව පෙනේ.

* ජාතික පොලිස් සේවයේ රාජකාරිය ජාත්‍යන්තර අපරාධ වැනි  කාරණා කීපයකට සීමා කර, සියලුම එදිනෙදා පොලිස් රාජකාරී පළාත් පොලිස් සේවාවන් 9 කට පවරා දීමට  නිර්දේශ වී ඇත. පළාත් පොලිස් සේවාවන් වලට පදිංචිය හා කතා කරන භාෂාව මත බදවා ගැනීම් සිදු කිරීමටත්, ඔවුන් භාවිතා කරන ගිනි අවි හා ලබන පුහුණුවද ඒ පළාත් බලධාරීන් විසින්ම තීන්දු කිරීමටත් නියමිතය. එමෙන්ම, මේ සංශෝධන වලින් පසුපළාත් පොලිස් සේවාවන් අදාළ  පලාතේ පොලිස් කොමිසමට මිස ලංකාවේ පොලිස්පතිවරයාට හෝ මධ්‍යම ආණ්ඩුවට වගකීමට බැඳී  සිටින්නේ නැත.

* මධ්‍ය හා පර්යන්ත පිළිබද අනුකමිටුවේයෝජනා වලට අනුව සියලු ඉඩම් බලතල පළාත් ඒකක වලට පැවරිය යුතු වේ. ජාතික ආරක්‍ෂාව වැනි මධ්‍යම ආණ්ඩුවේ කටයුත්තක් සදහා ඉඩම් අවශ්‍ය වුවහොත් ඒ සම්බන්ධයෙන් ඉල්ලීමක් අදාළ  පලාත් සභාවට ඉදිරිපත් කළ  යුතු වේ. මෙවැන්නකට උතුරු නැගෙනහිරෙන් ලැබීමට ඉඩ තිබෙන ප්‍ර‍තිචාරය කුමක්දැයි අපිට කල් තියාම සිතාගැනීම අපහසු නැත.

යහපාලන ආණ්ඩුව ව්‍යවස්ථාවත් නීතියත් වෙනස් කිරීමෙන් බලාපොරොත්තු වෙන දේ ඉහත සදහන් කාරණා වලින්  පැහැදිලි වේ. යුද්ධය දිනපු නිසා සන්නද්ධ හමුදාවන්ට දඬුවම් දීම,මධ්‍යම ආණ්ඩුවක්හෝ ඒකීය රාජ්‍යයක් නැති වන තරමටම බලය බෙදීම, නීතිය හා සාමය බිදවැටීමකට ශ්‍රී ලංකා රජයට මුහුණ දීමට නොහැකි වෙන තැනට වැඩ සැලසීම,  ලංකාවේ බහුතර ප්‍ර‍ජාවගේත් සන්නද්ධ හමුදා වලත් ජීවගුණය හා චිත්ත ධෛර්යය බිඳ, බෙදුම්වාදීන්ට හැකි තරම් වාසිදායක වාතාවරණයක් නිර්මාණයකරදීම මේ වැඩපිළිවෙලේ අරමුණ වේ.

                     අප මෙහි සඳහන් කළ ලියවිලි වල නිර්දේශ ක්‍රියාත්මක වුවහොත්, ඉතුරු වන්නේ ෆෙඩරල් ප්‍රාන්ත නවයකට බෙදූ ශ්‍රී ලංකාවකි. අභ්‍යනතර  කැරැල්ලකටමුහුණ දිය නොහැකි ආණ්ඩුවකි. එතැන් සිටවෙනම රාජ්‍යයකට  ඇත්තේ තව එක් පියවරක් පමණි.

දේශීය හා විදේශීය ඊළාම්වාදී පිරිස් ඇතැම් විදෙස්  බලවතුන්ද සමග එකතුවී 2015 ජනාධිපතිවරණයේ ප්‍ර‍තිඵලය විකෘති කරනු ලැබුවේ දශක හතරක  ත්‍ර‍ස්තවාදයෙන් ලබා ගැනීමටබැරි වූ දේ ඒඅයට ලබා දීමටසූදානම් ආණ්ඩුවක් බලයට ගෙන ඒමටය. ආණ්ඩුව තුළ සිටන සියලුම ශ්‍රිලනිප සාමාජිකයන්ටත්, එජාප මන්ත්‍රීවරුන්ටත් මා මෙහි සඳහන් කළ ලියවිලි පහ කියවා බලන ලෙස  මම ආරාධනය කරමි. මෙවැනි දේශද්‍රෝහී වැඩපිළිවෙලකට එකඟ වී රටත්, ජාතියත් පාවා දෙනවාද නැද්ද යන්න පක්‍ෂ භේද පසෙක තබා සෑම මන්ත්‍රීවරයෙකුම තනි තනිව ගත යුතු තීරණයක් වන්නේය. පසුගිය ජනාධිපතිවරණය සමයේ යහපාලකයෝ රටට දුන් ප්‍ර‍ධානම ව්‍යවස්තාමය ප්‍ර‍තිඥා දෙක වූයේ විධායක ජනාධිපති ක්‍ර‍මය අහෝසි කිරීමත්, මැතිවරණ ක්‍ර‍මය සංශෝධනය කිරීමත්ය. 

ජනතාවට දුන් මේ පොරොන්දු දෙකම සම්පූර්ණයෙන්ම පසෙක ලා, ඉහත සඳහන් වැඩපිළිවෙල මේ තරම් උනන්දුවෙන් ඉදිරියට ගෙන යෑමට මේ ආණ්ඩුව පෙළඹී ඇත්තේ, ඔවුන්ට මේ රටේ ජනතාවට වඩා වැදගත් වෙනත් හාම්පුතුන් පිරිසක් සිටින නිසා නොවෙදැයි මහජනතාව කල්පනා කර බැලිය යුතුය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress