යහපාලනයෙන් ඩොලර් බිලියන හතරක් පුච්චයි.. බැදුම්කරේ හෙලි නොවු රහස් රැසක් මෙන්න…
Posted on August 14th, 2017

– ප‍්‍රදීප් අනුර කුමාර  lanka C news

යහපාලනයෙන් ඩොලර් බිලියන හතරක් පුච්චයි.. බැදුම්කරේ හෙලි නොවු රහස් රැසක් මෙන්න…

හම්බන්තොට වරාය ඇතුළු ජාතික සම්පත් විකුණා දැමීමට සිදුව ඇත්තේ ඒවා පවත්වාගෙන යා නොහැකි නිසා නොව ආණ්ඩුවට වැඩ බැරි නිසා බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

වරාය පමණක් නොව මත්තල ගුවන් තොට, ඩී. ආර්. විජයවර්ධන මාවතේ ඇති ඉඩම්, නුවරඑළිය වැනි ඵෙතිහාසික වටිනාකමකින් යුත් තැපැල් කන්තෝරු පවා විකිණීමට ආණ්ඩුව සැලසුම් කර ඇති බවත් ගුණවර්ධන මහතා පෙන්වා දුන්නේය.

ඒ මහතා මෙසේ ප්‍රකාශ කළේ ගම්පහ දිස්ත්‍රික්කයේ ස්වයං රැකියා නියුක්තිකයන් දැනුවත් කිරීම සඳහා මිනුවන්ගොඩ, උඩුගම්පොළ දී පසුගිය සෙනසුරාදා  (12) පැවැති වැඩමුළුවක් අමතමිනි. බන්දුල ගුණවර්ධන මහතා එහිදී වැඩිදුරටත් මෙසේ ද ප්‍රකාශ කළේය.

අද අපි රටක් වශයෙන් ඉන්නේ ඉතාමත් තීරණාත්මක ස්ථානයකයි. මෙතැන ඉන්න තමුන්නාන්සේලා කවුරුත් පසුගිය කාලවකවානුවල අභියෝග රාශියක් යටතේ දුක් කරදර වින්ද උදවියයි. අපේ පෙර පරම්පරාවලට අත්දැකීමක් නොතිබුණු සුනාමි ව්‍යසනය වගේම ත්‍රස්තවාදය නිසාත් තමුන්නාන්සේලා දුක්වින්ද බව අමතක කරන්න බැහැ.මහින්ද රාජපක්ෂ මහතා තමයි ත්‍රස්තවාදය පරාජය කරලා මේ ජනතාවට නිදහස දිනා දුන් එකම නායකයා.

මහින්ද මහත්තයා රට පාලනය කරන කාලයේ යුද්ධය තිබුණා. කෝටි ගණන් මුදල් යුද්ධයට වැය වුණා. ඒ වගේම තෙල් අර්බුදය, ආහාර අර්බුදය වගේම මූල්‍ය අර්බුදයකටත් ලෝකය මුහුණ පා සිටියා. අද එහෙම කිසිම අර්බුදයක් නැහැ. අද රටේ කිසිම තැනක යුද්ධයක් නැහැ. යුද්ධයක් නැති හින්දා වියදමක් නැහැ. එහෙනම් එදා වගේ නොවෙයි අද සල්ලි කඳක් රට ඇතුළේ ඉතුරු වෙලා තියෙන්‍න ඕනේ.

එදා අපි භාණ්ඩ ගෙන්වන්න රුපියල් සියයක් වැය කළොත් ඉන් විසි පහක්ම වැය කෙරුණේ තෙල් ගෙන්වන්නයි. මම ඕනේම ආර්ථික ඔස්තාර් කෙනකුට අභියෝග කරනවා පුළුවන් නම් ඒක එහෙම නෙමෙයි කියලා ඔප්පු කරලා පෙන්වන්න කියලා. අමෙරිකානු ඩොලර් බිලියන 4ක් ගියා එදා තෙල් ගෙන්වන්න. නමුත් ලෝකයේ තෙල් මිල දැන් අඩු වෙලා. 2015 සහ 2016 වර්ෂවල පමණක් එසේ අඩු වීම නිසා ඉතුරු විය යුතු මුදල ඩොලර් බිලියන 4කට වැඩියි.

ඩොලර් බිලියන 4ක් කියන්නේ රුපියල් කෝටි 60,000ක් පමණ මුදලක්. හම්බන්තොට වරාය චීනයට විකුණලා මේ ආණ්ඩුව හම්බ කරන්න යන්නේ ඩොලර් බිලියන 1.1යි. පසුගිය අවුරුදු දෙකේ තෙල්වලින් ඉතුරු වුණ මුදලෙන් හම්බන්තොට වරාය වගේ වරායන් තුනක් අලුතෙන් ඉදිකරන්න තිබුණා. අපේ රට ලබාගෙන තිබෙන ණයවල වාරික සහ පොළිය වාර්ෂිකව ගෙවන්න ඩොලර් බිලියන තුනක්, හතරහමාරක් හෝ පහක් වැනි මුදලක් සාමාන්‍යයෙන් අවශ්‍යයි.

2015 දී එම මුදල ඩොලර් බිලියන 4.6යි. 2026 දී 4.3යි. වෙන මොන මුදලක්වත් නැතුව තෙල්වලින් ඉතුරු වුණ මුදලෙන් පමණක් මේ ණය පොලී වාර්ක තිබුණා. පුළුවන් නම් අගමැතිවරයාගෙන් අහන්න තෙල් මිල අඩු වීම නිසා ඉතුරු වුණ රුපියල් කෝටි 60,000ට මොකද වුණේ කියලා. එතුමා කියන්නේ නැහැ. මේ ආණ්ඩුව ඉතිහාසයේ ප්‍රථම වතාවට අමෙරිකානු ඩොලර් බිලියන 4ක් පිච්චුවා. මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා දන්නවා මේ සල්ලි පුච්චපු හැටි.

ඒ මුදල් තිබුණා නම් වරාය විකුණන්න වෙන්නේ නැහැ. වරාය විතරක් නොවෙයි මත්තල ගුවන්තොටුපළ, ඩී. ආර්. විජයවර්ධන මාවතේ ඉඩම් ටික, ඵෙතිහාසික තැපැල් කන්තෝරු ටිකත් විකුණන්න මේ ආණ්ඩුව සැලසුම් කරලා ඉවරයි. මේවා විකුණන්න වෙන්නේ නැහැ අර මුදල තිබුණා නම්. මේ විකුණන්නේ ආණ්ඩුවට වැඩ බැරි නිසා මිසක් වෙන හේතුවක් හින්දා නොවෙයි කියන එකත් මතක තබා ගත යුතුයි.

රවී කරුණානායක හිරේ යන්න ඕනේ මුදල් විශුද්ධිකරණය හින්දා නොවෙයි මුදල් ඇමැතිකමේ වගකීම් හරිහැටි ඉටු නොකළ හින්දයි. අපේ රටේ තියෙනවා මූල්‍ය කළමනාකරණ වගකීම් පනත කියලා එකක්. ඒක ගෙනාවේ 2003 දී රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවෙන්. ඒ පනතට අනුව ණය ගන්න විට පාර්ලිමේන්තුව දැනුවත් කරන්න ඕනේ. ඒ පනතේ තියෙනවා රටේ ණය බර දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 80 ඉක්මවා යන්න බැහැ කියලා.

නමුත් විගණකාධිපති කියනවා රටේ ණය බය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 83.3ක් දක්වා ඉහළ ගිහින් ගියලා. එහෙම නම් රවී කරුණානායක අස්වෙන්න තිබුණේ එදායි. විපක්ෂයේ ඉන්න කාගේ හරි නූල් පොටකවත් වංචාවක් තිබුණොත් ඇපත් නැහැ. විමල් වීරවංශ, උදය ගම්මන්පිල වගේ අය ඇප නොදී මාස ගණන් රඳවා ගත්තා. හැබැයි රවී කරුණානායක ශ්‍රීමතාණන්ට එහෙම දුක්කරදරවලට මුහුණ දෙන්න වෙන්නේ නැහැ.

එතුමාගේ පවුලේ අය හිමිකාරිත්වය දරන සමාගමේ සභාපතිවරයා පෝර උර වගේ ලොකු මලු දෙකක රුපියල් කෝටි 1450ක් දාගෙන ගිහින් සේප්පුවේ දැම්මා කියලා කොමිසම හමුවේ අනාවරණය වුණා. ඒ මුදල් දීලා තමයි මොනෑක් එපාර්ට්මන්ට් එකේ ගෙයක් මිල දී ගත්තේ. සාමාන්‍ය මිනිහෙක්ගේ ගෙදර එහෙම මලුවල සල්ලි තිබ්බා නම් රටේ ඉන්න සේරම හමුදාව ඒ ගේ වට කරලා එකම යුද්ධයයි.

හැබැයි මෙතුමාට නම් එහෙම නැහැ. අස්වෙන එක එතුමට ආඩම්බරයක්. එදා ඒකාබද්ධ විපක්ෂය වශයෙන් මමත් නිමල් සිරිපාල ඇමැතුතමත්, තිලංග සුමතිපාල නියෝජ්‍ය කතානායකවරයාත් ගිහින් මහ බැංකුව වටලලා බැඳුම්කර මගඩිය ගැන ප්‍රශ්න කරා. අද කෑගහන අය කවුරුත් එදා හිටියේ නැහැ. එහෙම තමයි අපි මේ ප්‍රශ්නය සමාජය ඉදිරියට ගෙනාවේ. නැත්නම් මේවත් දැන් යටගහලා ඉවරයි.

නීතිපති දෙපාර්තමේන්තුවේ උගත් නීතිඥයන් හරි හෝ වැරැදි වෙන්න පුළුවන් දේශපාලනඥයන්ට එම තීන්දුවලට අභියෝග කරන්න පුළුවන්කමක් නැහැ. එහෙම වුණොත් සාමාන්‍ය මිනිස්සුන්ටත් අධිකරණය ගැන තියෙන විශ්වාසය බිඳ වැටිලා රටම අරාජික වෙන්න පුළුවන්. අපට මොන අසාධාරණකම් වුණත් ඒකාබද්ධ විපක්ෂය විදියට අපි අධිකරණයේ ගෞරවය ආරක්ෂා කළ යුතුයි කියන මතයේ ඉන්නවා.

විජයදාස රාජපක්ෂ කියන්නේ සිංහල බෞද්ධ නායකයෙක්. අපේ රටට ඇවිත් අපේම ජනතාවට එරෙහිව කටයුතු කරපු මානව හිමිකම් කොමිසමේ ඉහළම නිලධාරීන්ට එරෙහිව කොන්ද පණ තියාගෙන කතා කරන්න පුළුවන් වුණේ විජයදාස රාජපක්ෂට පමණයි. එතුමා කැබිනට් මණ්ඩලය පෙන්වා දුන්නා එහෙම කොන්ද පණ තියාගෙන කටයුතු කරන්නේ කොහාමද කියන කාරණය.

 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress