වැලි සෙල්ලම් සහ කෙළි සෙල්ලම්
Posted on October 5th, 2018

තේජා ගොඩකන්දෙආරච්චි

‘ලිප ගිනි මොලවන තෙක් දිය සැලියේ….’ යනුවෙන් වන කවිය කුඩා කල කට පාඩම්කල අපි දැන් එහි අරුත ප්‍රායෝගිකව අත්විඳිමින් සිටින්නෙමු. රටේ ඇති උතුරායන ප්‍රශ්න සමුදාය ගැන යලි යලිත් කිවයුතු නොවේ. ‘රාජපක්ෂලාගේ කාලයේ තරම් රටේ ප්‍රශ්න තියෙනවාදැ’යි අසමින් පාලක පක්ෂයේ දේශපාලකයන් හදාගන්නට දඟලන්නේ ජනතාවගේ නොව තමන්ගේම සිතය. රාජපක්ෂටත් කලින් රට පාලනයකල විවිධ කණ්ඩායම් සිටි බවත්, එක් එක් කාලයේ මිනිසුන් විඳවන්නට හේතු වූ විශේෂිත ප්‍රශ්න තිබුන බවත්,  ඒ ප්‍රශ්න ඇතිවුනේද තම තමන්ගේම පාලන ක්‍රමයේ තිබූ හිදැස්  නිසා බවත්, ඔවුන්ට අමතක වූවා සේය. මොවුන්ට තවත් වැදගත් යමක් මතක් කරදිය යුතුය. ඒ, ජනතාව ගැලවීමක් අපේක්ෂා කරන්නේ, තමන් පෙලන ‘ප්‍රශ්න’ වලින් මිස ‘රාජපක්ෂ යුගයෙන්’, ‘බණ්ඩාරනායක යුගයෙන්’ හෝ වෙනත් යුගයකින් නොවන බවයි. ඒ ඒ යුගයේ තිබූ ප්‍රශ්න සංඛ්‍යාව සසඳා බැලීමක් ජනතාවට අවශ්‍ය නැත. කාලෙන් කාලෙට යුග මාරුවන්නේ එබැවිනි.

 එකල නම් ප්‍රශ්නයක් ඇතිවූ සෑම විටෙකම ජනතාවට පවසන්නට නිදහසට කාරණාවක් පාලකයන් වෙත තිබුනේය. නමුත් දැන් ඒ බරපතලම කාරණය වන වර්ගවාදී සන්නද්ධ යුද්ධය අවසන්ව ගොසිනි. යුද්ධය අවසන්ව ගිය පසුව, රාජපක්ෂ රජය වෙත ජාත්‍යන්තරයෙන් එල්ල වූ බව කියන පීඩනය, වර්තමාන රජයට නැති බව ඔවුන්ගේ පම්පෝරියෙන් පෙනීයයි. එසේ නම් මෙම ආර්ථික අර්බුධයට හේතුව කවරේද? රාජපක්ෂලා ඉතිරිකර ගිය ණය කන්දම පමනක්ද? ඒ අනුව දැන් ඔවුන්ට මේ ගැන තම නිදහසට දෙන්නට ඇති කාරණය කුමක් විය හැකිද කියා, තම කයිවාරු නවතා විමසා බලන්නේ නම් මැනවි.

  කාරණා මොනවා වුනත්, ජනතාවට, දැනෙන වෙනසක් අවශ්‍ය නම්, ප්‍රජාතන්ත්‍රවාදී රටක් නිසාම, ජනතාවට සිදුව ඇත්තේ මේ ක්‍රමය වෙනස් කිරීම සඳහා මැතිවරණ දිනයක් එනතුරු බලාසිටීමය. නමුත් එක අතකින් මැතිවරණයක් තුලින් වන වෙනසක් වුව, ‘හිසරදයට කොට්ට මාරුකිරීමක්’ පමනක් නොවේයැයි සහතිකකර කියන්නට බැරි අතර, අනිත් අතට නිසි කලට වේලාවට මැතිවරණ පැවැත්වේද නැද්ද යන්නත් ප්‍රශ්නයකි.

දැන් දැන් රටේ පාලකයන් තම කතන්දර කියන්නට තෝරාගෙන ඇත්තේ පාසල් යන පොඩි දරුවන්ය.

මෑතකදී මංගල සමරවීර, මුදල් ඇමතිවරයා, පටි තදකර ගන්නා ලෙස පැවසුවේ රාජකීය විදුහලේ දරුවන්ටයි. සිරිමාවෝ බණ්ඩාරනායක විදුහලේ ගෘහස්ත ක්‍රීඩාංගනය විවෘත කරන්නට එහි ගිය ජනාධිපතිවරයා, ශ්‍රී ලංකාව මත්ද්‍රව්‍ය නිවාරණය අතින් ඉහලින්ම සිටින රටවල් දෙකෙන් එකක් බව පැවසීය.

 ‘වැඩිහිටියන්ගේ කියුම් වලට කට දමන්නට සහ හරස් වචන කියන්නට හොඳ නැතැ’යි අපි දරුවන්ට කුඩාකල සිටම උගන්වන්නට පුරුදු වී සිටින්නෙමු. ඒ නිසා හෝ, තම වැඩිහිටියන්, තමන් පෙලන අසීරුතා දරුවන්ට දැනෙන්නට සලස්වන්නේ නැති නිසා මෙවැනි ප්‍රායෝගික නොවන කතා හමුවේ කථිකයා වෙත විරෝධයක් එල්ල නොවෙයි. එමෙන්ම මෙවන් ගොන් කතාවලට අභියෝග කල හැකි මට්ටමේ විෂය පරිබාහිර දැනුමක් ලබන්නට දරුවන්ට වැට බැඳ ඇත්තේද පවතින අධ්‍යාපන ක්‍රමය තුලින්මය. 

ඉදිරියට තම පටි තද කරගන්න සිදුවෙනු ඇතැයි මංගල සමරවීර පවසන්නේ මේ වනවිට රට මුහුණ දී සිටින ආර්ථික තත්වය මෙම දරු පරම්පරාව දක්වාම දික්ගැස්සෙන බවට වන පෙර ලකුණු දැනගෙන විය යුතුය. මෙවන් ආර්ථික අර්බුධයකදී රටක් වශයෙන් ගතයුතු පියවර ගැන ඔහු වෙත අවබෝධයක් ඇතිනම්, මෙසේ තම පටි තදකර ගන්නා ලෙස, රටේ තබා තම ගෙදර ආර්ථිකය හැසිරවීමට තරම්වත් නොමේරූ, යෞවන වයසේ දරුවන්ට මොහු නොපවසනු ඇත.

‘තම ආදායම අඩකින් අඩුවුනා නම්, ගෙදර ආර්ථිකය කඩා නොවැටී තබා ගන්නට කුමන පියවරක් ගත යුතුදැ’යි වරක් අපේ ගුරුවරයෙකු විමසූ ප්‍රශ්නය මට සිහිපත් වෙයි. ඊට පිළිතුර වූයේ තම වියදම් ලැයිස්තු ගතකර, ප්‍රමුඛතා අනුපිලිවෙලට පෙල ගස්වා, අත්‍යවශ්‍ය නොවන වියදම් කපා හැරීමත්, තමන්ට අමතර ආදායමක් උපයා ගතහැකි මාර්ගයන් වෙත්දැයි විමර්ශනයක් කිරීමත්ය. රටේ ආර්ථිකයද මීට වඩා වැඩි වෙනසක් නොවේ. මෙහිදී නැගෙන එකම ප්‍රශ්නය නම්, මෙවැනි අවස්ථාවකදී ප්‍රමුඛතා ලැයිස්තුවේ පහලම තැබිය යුතු කුමන වියදම්ද කියා මේ අය දන්නවාද යන්නයි.

එසේ නොදන්නවා වෙන්නටත් නොහැකිය. මැති ඇමතිවරුන්ගේ සැප වාහන ගෙන්වීම නතර කරන බව මුදල් ඇමතිවරයා පවසන්නේ එහෙයිනි. ඒ, ලබන වසර සඳහාය. නමුත් මේ වෙද්දී 225 දෙනාම තම වාහන ගෙන්වා අහවරය. වසර පහකට වරක් ලබාදෙන තීරුබදු රහිත වාහන බලපත්‍ර සම්බන්ධව නම් ලබන වසර තුල මෙම කතාව වලංගු නොවෙයි. පෙනෙන ආකාරයට ඇමතිවරුන් සඳහා සුඛෝපභෝගී වාහන නොගෙන්වීම, තමන් ජනතාව වෙනුවෙන් කරන ‘මහා පරිත්‍යාගයක්’ ලෙස හුවා දැක්වීමේ උත්සායක්දමේ කතාව තුල ගැබ්ව ඇත. තම සැප වාහන කතාව ගැන, ‘මග කඩාහැලෙන වාහනවල’ තමන්ට යා නොහැකි බව, වනජීවී අමාත්‍ය සරත් ෆොන්සේකා තවමත් නහයෙන් අඬමින් සාධාරණීකරනය කරන්නට දඟලන්නේය. මැති ඇමතිවරුන්, මතක ඇති කාලයක ‘මග කඩාහැලෙන වාහනයක’ යනු ඔබ දැක ඇතිද? මේ තම තමන්ට ප්‍රමුඛතාවයන් දැනෙන අයුරුය.

සියයකට වැඩි ප්‍රමානයක් වන අමාත්‍යවරුන් වාහන ඉල්ලා සිටින්නේ තම අමාත්‍යංශ රාජකාරි නොපිරිහෙලා ඉටුකිරීමට බව පවසමිනි. මේ කියන තරමට, රාජකාරි ඉටුවුනා නම්, මේ වෙද්දී රටට මෙතරම් නරක දසාවක් ලැබී තිබෙන්නට නොහැකිය. වනජීවී ඇමතිවරයාම ගනිමු. ඔහු තම සැපවාහනයද සහිතව වැඩට බැස්සකල වනජීවී විෂය පථය යටතට ගැනෙන ප්‍රශ්න නියමාකාරයෙන් හඳුනාගැනීමක් සිදුවී තිබේද? එම ප්‍රශ්න කෘෂිකර්මාන්තයට ගැට ගැසෙන්නේ කෙසේද? මෙම අමාත්‍යංශ එකිනෙක හුදෙකලාව තම රාජකාරි කරගෙන යනු මිස කිසිදු සම්බන්ධීකරණයක් ඇති බවක් නොපෙනේ. වල්ඌරු මස් ප්‍රවාහනයට අවසර දීම තුල පමනක් මෙම සම්බන්ධීකරනය ඇති නොවේ. මෙම වනසත්ව ගහනය පාලනය කිරීමේ විධිමත් සැලැස්මක් අවශ්‍යය.

කෘෂිකර්මය යනු වෙනම කතාකල යුතු මාතෘකාවකි. ඒ ඒ වකවානුවල සිටි කෘෂිකර්ම ඇමතිවරු කවුද කියා යමෙකුගෙන් විමසුවොත්, ඒ නම් මතකයෙන් කිව හැකිද? හැබැයි මහින්ද අමරවීරට පෙර සිටි කෘෂිකර්ම ඇමතිවරයා කාටත් මතකය. ඒ ඔහු කෘෂිකර්මාන්තයට කල සුවිශේෂ සේවාවක් නිසා නොව රාජගිරියේ ජීවත් වූ සබීතා පෙරේරා නම් සිනමා නිළියට, තම බැංකු ගිණුම මිලියන ගණනින් තර කරගැනීමේදීත්, කොළඹ 7, වෝඩ් පෙදෙසින් අලුත් නිවහනක් මිලට ගැනීමෙහිදීත් ඔහුගේ පාර්ශ්වයෙන් ඉටුවූ සේවාව නිසාය. එම සේවාවන් ඉටුවෙද්දී, රටේ ගොවීහු තම පොහොර ටික මිලට ගන්නට, අස්වනු ගබඩා කරගන්නට, විකුණා ගන්නට මං මාවත් දිගේ දුක් වින්දහ. වනජීවී අමාත්‍යවරු සුඛෝපභෝගී වාහනවලට පාරට්ටු කරද්දී, වන සතුන්ගෙන් තම අස්වනු බේරා ගැනීමට අරගල කලහ.

මෙවර අයවැයෙන් ජනාධිපති වැය ශීර්ෂය යලි සැලකිය යුතු ප්‍රමානයකින් ඉහල නංවා ඇත. ඒ, පරිසරය යන විෂය ජනාධිපති යටතට වැටෙන බව පවසමිනි. මත්කුඩු කන්ටේනර් පිටින් හසු වෙත්දී, මත්ද්‍රව්‍ය නිවාරනයේ ලා ලොව ප්‍රමුඛම රටවල් දෙකින් එකක් බවට ශ්‍රී ලංකාව පත්ව ඇතැයි පාසල් දරුවන්ට පවසන ජනාධිපතිවරයෙකුගෙන් අප පරිසරය දියුණු කිරීමක් අපේක්ෂා කල හැකිද?

ඔක්තෝබර් 2 වන දින ප්‍රවෘත්ති විකාශයක් ඔස්සේ ප්‍රචාරය වූ ප්‍රවෘත්තිය රටේ පරිසරය ගැන කටයුතු කෙරෙන ආකාරය පිලිබඳව යලි සිතා බැලීමට හොඳ උදාහරණයකි. එහිදී කලුතර, තෙබුවන පොලිසියට අනුයුක්ත පොලිස් සැරයන්වරයෙකු ගිනි අවියක් අතට ගෙන, පෑ විරෝධතාවය ශ්‍රී ලංකා පොලිසියේ වර්තමාන තත්වය රටටම විදහා පෑවේය. සැප්තැම්බර් 29 වන දින එම සැරයන්වරයා  විසින් අත්අඩංගුවට ගත් අනවසර වැලි ලොරියක්, ස්ථානාධිපතිවරයා විසින් තම අභිමතය පරිදි මුදාහැරීම මෙම විරෝධයට හේතුවිනි. මෙවන් විරෝධතාවයකට එම සැරයන්වරයා තල්ලුවූයේ කෙසේද යන්න ඉතාම පැහැදිලිව ප්‍රකාශකලේ ඔහුගේ සොහොයුරිය විසිනි. (ඔක්තෝබර් 4 දා හිරු ප්‍රවෘත්ති සවස 6.55 ) අනවසර වැලි ගොඩ දැමීම නිසා සිදුවන පරිසර හානියත්, වැලි හෝ පස් ජාවාරම් ආශ්‍රිතව හිස ඔසවන පාතාලයත් දැන් මුලු රටටම හිසරදයක්ව ඇත්තේය. මේවාට අනුග්‍රහය ලැබෙන්නේ කොතැනින්ද කියා මෙම සිද්ධියෙන් පැහැදිලි වන අතර මෙවන් වාතාවරණයක් තුල පරිසරයට අත්වන ඉරණම ගැන සැකයක් නොවේ. තම වැය ශීර්ෂයන් ඉහල දමමින් ජනාධිපතිවරයාට රකින්නට පරිසරයක් ඉතිරිවේද කියා සැක සහිතය. 

එම සිද්ධියේදී කැකිල්ලේ තීන්දුව ලැබුනේ වැලි ලොරිය අත්අඩංගුවට ගත් සැරයන්වරයාටමය. වරක් අපේ ප්‍රහසන නලුවන් වන ගිරිරාජ් කෞෂල්‍යය සහ විජය නන්දසිරි විසින් රඟපෑ නාට්‍යයක කොටසක් මෙහිදී සිහිපත් වෙයි. ඉතාම අවංකව තම රාජකාරියේ නියැලෙන විජය නන්දසිරි පෙන්වමින් ගිරිරාජ් තව කාටදෝ පවසන්නේ ”මම හිතන්නෙ මිනිහ ජාන විකෘතියකින් පෙලෙන එකෙක් වගේ” කියායි. මෙම සැරයන්වරයාගේ සිද්ධිය සම්බන්ධව, නීතිය හා සාමය පිලිබඳ ඇමතිවරයාත්, නියෝජ්‍ය ඇමතිවරයා වන නලින් බණ්ඩාර නම් එජාපයේ පෙත්තප්පුත් කතාකල අයුරු ඊට මැනැවින්ම ගැලපේ. ඔවුන්ගේ තීන්දුව වූයේ මේ සැරයන්වරයාට මානසික ආබාධයක් ඇති බවය. ඔවුන්ට අනුව මේ වැලි ලොරියේ කල් ඉකුත්වූ බලපත්‍රය වලංගු එකකි.

සොබාදහම කෙලෙසන්නා, තම වැදූ මවත් කෙලෙසන්නට හැකි අයෙකු විය යුතුය. එහෙව් අපරාධකරුවන්ට රැකවරණය සැලසූ පොලිස් ලොක්කා නිදොස් වෙද්දී, අපරාධයට එරෙහිව නැගී සිටි තැනැත්තාට දඬුවම් ලැබිනි. මේ අද රටේ නීතියයි. මහපොලවෙන් උපන් පරිසර හිතවාදී, අපේ අතිගරු ජනාධිපති තුමා මේවාට කුමක් කියාවිදැයි ඕනෑකමින් බලාසිටිමු.

එක අතකට මේවාට පුදුම වියයුතුත් නැත. නීතිය සහ සාමය පිලිබඳ ඇමතිට අනුව රටේ අපරාධ අඩුවී ඇත. හැබැයි සාහසික මිනීමැරුම් නම් ‘ටිකක්’ වැඩිවෙලාලු! එතකොට අනිත් අපරාධ කියන්නේ මොනවාද? සමහරවිට කෙසෙල්කැන් කැපීම ආදිය වෙන්නත් පුලුවන. රාජිත සේනාරත්නගෙන් ඇසුවොත්, ඇඟිලි නමා, ගණන් බලා, ”මිනීමැරුම් නම් වැඩියි තමා. ඒත් රාජපක්ෂගෙ කාලෙ තරම් නම් වැඩි නැහැ” යි පවසනු ඇත. සමහරවිට තමා ‘ප්‍රා’ එකේ වැඩකල කාලෙ තරම්නුත්!

පොලිස් මාධ්‍ය ප්‍රකාශකට අනුව මේ වනවිට පාතාලයෙන් 75% ක් පමන අල්ලාගෙන අහවරය. මිනීමැරුමක් වූ විට, මියගිය තැනැත්තාට වරද පටවමින්, එම මිනීමැරුම ‘ඉල්ලන් කෑ’ එකක් ලෙස පවසා සාධාරණීකරනය කරන්නට පියවරගන්නා, මෙම පොලිස් මාධ්‍ය ප්‍රකාශකයාත්, තමා වෙත අනන්ත චෝදනා එල්ල වද්දී, තම පට්ටමේම එල්ලීගෙන සිටින විලිලැජ්ජා නැති පොලිස්පතිවරයාත්, මොවුන් ආරක්ෂා කරමින්, ඔවුන්ගේ වැරදි සොයන බව පවසා මාධ්‍යයටම චෝදනා කරන විෂය භාර ඇමතිවරුත් විසින්, වර්තමානයේ පොලිස් සේවාවද, ඒ ඔස්සේ රජයද වැටී ඇති ආගාධය අපූරුවට පෙන්වයි.

රුපියල අවප්‍රමානය වීම සමහර ඇමතිවරුන්ට විහිලුවක් වී ඇති බව පෙනේ. පිටරටින් ගෙනෙන මුදල්වලට ඉහල අගයක් ලැබෙන නිසා ‘ඒකත් හොඳයි’ කියා වජිර අබේවර්ධන ඇමති පවසද්දී, රුපියල රාජපක්ෂ තරම් අවප්‍රමානය වී නැතැයි අමාත්‍ය අකිල විරාජ් පවසන්නේය. කණගාටුව නම් මේ විකාර අසා සිට අත්පොලසන් දෙන්නටද පිරිසක් සැදී පැහැදී සිටීමය. මේ පිරිස, තම මතය හා එකඟ නොවන අය ‘රාජක්ෂලාගේ වහලුන්’ කියා හංවඩු ගැසුවත්, නොදැනුවත්වම කවුරු කවුරුත්, කාගේ හෝ වහලුන් බවට පත්ව හමාරය.

අගමැතිවරයාද ‘ඉන්ටරස්ටිං කැරැක්ටර්’ එකකි. හැමදාම 2025 දී පූදින්නට පෙරුම් පුරන තම සිහින දේශය ගැන කතා පවත්වන ඔහුගේ සිහින ලැයිස්තුවට තවත් අපූරු හීනයක් එකතු වූයේය. ඒ නොර්වේහි ඔස්ලෝ නුවර ඇති XXL ගබඩා සංකීර්ණයේ, රොබෝ තාක්ෂණයෙන් ඇසුරුම් කටයුතු කරන ජාතියේ එකක් ලංකාවෙත් ඉදිකිරීමය. හරියට පුංචි දරුවෙකු තමන් දකින දෙයකට  ”මාත් ගන්නව ඒ ජාතියෙ එකක්” කියන්නාක් මෙනි. හරියට අපට මිනිසුන් මදිවී රොබෝවන්ද යොදාගන්නා තරමට අසුරන්නට ජාති පිරී ඉතිරී ගොස් ඇතුවාක් මෙනි.

ඉතින්! අප 2025 දක්වා ඉදිරියට යා යුත්තේ ළමයින් හමුවේ සෙල්ලම් කතා කියන, තමන් පිටරට සවාරිවල දුටු දේ ගැන රස කරමින්  කියන ළමා මානසිකත්වයක් ඇති දේශපාලක උත්තමයින් පිරිසක් සමගද?????

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2021 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress