හම්බන්තොට වරායේ පිහිටුවන චීන නාවික කඳවුරක් ගැන ඇමෙරිකා උප ජනාධිපති කියා ඇත්තේ බොරුවක්
Posted on October 8th, 2018

ඉෂාරා සිල්වා උපුටාගැණීම  මව්බිම

හම්බන්තොට වරාය චීනයට පවරාදීම හේතුවෙන් අනාගතයේදී චීන නාවික කඳවුරක් හම්බන්තොට වරාය පදනම් කරගනිමින් ඇති වන බවට ඇමෙරිකානු උප ජනාධිපතිවරයා සිදුකළ ප්‍රකාශය සාවද්‍ය බවත් ඒකාබද්ධ විපක්ෂය එම ප්‍රකාශය හෙළා දකින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය බන්දුල ගුණවර්ධන පැවැසීය.

ජාත්‍යන්තරයට මෙවැනි ප්‍රකාශ සිදුකිරීමට අවශ්‍ය වාතාවරණය සකස් කර දුන්නේ අගමැතිවරයා බවද මන්ත්‍රිවරයා අවධාරණය කළේය.

ඊයේ (07දා) පුංචි බොරැල්ල, වජිරාශ්‍රමයේ පැවැති ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකයේ මාධ්‍ය හමුවට එක්වෙමින් මන්ත්‍රිවරයා වැඩිදුරටත් මෙසේද කීය.

පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන
ඇමෙරිකා උප ජනාධිපති මයික් ෆෙන්ස් මහතා හම්බන්තොට වරාය චීනයට පවරාදීමෙන් අනාගතයේදී චීන නාවික කඳවුරක් හම්බන්තොට වරාය පදනම් කරගෙන ඇති වන බව ඇමෙරිකා එක්සත් ජනපදය මේ පිළිබඳ පූර්ණ අවධානය යොමුකර මේ චීන ණය උගුලෙන් ගැලවීම සඳහා ලංකාවට ඇමෙරිකන් ආධාර සැපයීමට සූදානම් වන බව ප්‍රකාශ කළා. මෙය ඉතාම සාවද්‍ය ප්‍රකාශයක්. ලංකා ආණ්ඩුව නිදහසින් පසු කිසිම දිනෙක ණය වාරික පොලී ගෙවාගත නොහැකි තත්ත්වයකට මුහුණ දීලා නැහැ. හම්බන්තොට වරාය වගේ ඉතාම කුඩා ගනුදෙනුවක් තමයි මුළු ලෝකයටම ඇමෙරිකාව පෙන්වලා දෙන්නේ.

හම්බන්තොට වරායේ මුළු වටිනාකම ලෙස තක්සේරු කරලා තිබෙන්නේ ඇ.ඩො. බිලියන 1.4යි. 2015 වසරේදී ලෝක වෙළෙඳපොළේ වාණිජ තෙල්මිල අඩුවීම නිසා තෙල් ආනයනය කිරීමට ගිය වියදම අඩුවුණා ඇ.ඩො.බි. 1.9කින්. 2015 මේ රජය පැමිණි වහාම හම්බන්තොට වරායේ ණය සියල්ල එකවර ගෙවලා දැම්මත් ඇ.ඩො.මි. 500ක් ඉතුරු වෙනවා.

මෙහෙම තත්ත්වයක් තුළ තමයි ඇමෙරිකානු උප ජනාධිපතිවරයා ලංකාවේ කීර්තිනාමයට බරපතළ පලුද්දක් ඇතිවන ලෙස මෙම ප්‍රකාශය සිදුකර තිබෙන්නේ. ඒකාබද්ධ විපක්ෂය හැටියට අපි මේ ප්‍රකාශය හෙළා දකිනවා. හම්බන්තොට වරාය මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා හැදුවේ වාණිජ නිදහස් වරායක් ලෙස ගොඩනඟාගෙන ඒ යටතේ රට සංවර්ධනයේ ප්‍රධාන උපාය මාර්ගික සංවර්ධනයක් සඳහා යොමුවීමටයි.
මේ ආණ්ඩුව භාරගත් දිනයේ සිට අවසන් දිනය දක්වා අගමැතිවරයා ලංකාවේ කීර්තිනාමයට අපහාසයක් සිදුවන ණය කන්දක් ගැන අසත්‍ය කරුණු පතුරුවා හරිනවා. ජාත්‍යන්තරයට මෙවැනි ප්‍රකාශ සිදුකිරීමට වාතාවරණය සකස් කරලා දුන්නේ අගමැතිවරයා.

2017 වසරේ අයවැය කතාවේ 110 වැනි පිටුවේ ඉතා පැහැදිලිව සඳහන් වෙනවා මහින්ද රාජපක්ෂ මහතා කළ ව්‍යාපෘති 08ක් ඵලදායි නැති බවත් ඒ සඳහා රු.බි. 301ක මුදලක් වැය කර තිබෙන බව.
ඇමෙරිකානු උප ජනාධිපතිවරයාට පැහැදිලි උත්තරයක් ලබාදීලා තිබෙනවා චීනයේ ශ්‍රී ලංකා තානාපති කරුණාසේන කොඩිතුවක්කු මහතා. ඔහු කියා තිබෙනවා චීනය ලංකාව ණය උගුලකට හසුකර නැති බව.
අපි නොවෙයි හම්බන්තොට වරාය චීනයට දීර්ඝකාලීන බද්දකට ලබාදුන්නේ. එජාප ආණ්ඩුවයි. විශාල සංවර්ධනයකට ‍ෙදාරටු විවර කිරීමට විනා බදු දෙන්න නොවෙයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හම්බන්තොට වරාය

මේ ආණ්ඩුව ඇවිල්ලා අවුරුදු 04ක් තුළ රුපියල අවප්‍රමාණ කිරීම හේතුවෙන් ජාතියේ ණය බර බිලියන 1000කින් වැඩි වුණා. ඇමෙරිකානු උප ජනාධිපති ඇයි ඒ ගැන කතා නොකරන්නේ. මේ වෙද්දි ණය බර රු.මි. 1022කින් වැඩි වෙලා. කවුරු හරි ඇමෙරිකානු උප ජනාධිපතිවරයාට දීලා තියෙන්නේ සාවද්‍ය කරුණු. සමහරවිට අගමැති ඇතුළු එජාපය වෙන්නත් පුළුවන් මේ දේවල් කියලා තියෙන්නේ. ඇමෙරිකාව මේ රටට ගෙන්වා ගැනීමේ වුවමනාවට.

2014 මුළු ණය බර රු. බිලියන 7390යි. 2015 වසරේදී එජාපය මේ ණය තොගය වැඩි කළා රු. බිලියන 1112කින්. නිදහසින් පසු ලංකාවේ ණය බර මෙතරම් ප්‍රමාණයකින් වැඩි කළ ආණ්ඩුවක් තිබුණේ නැහැ.

පාර්ලිමේන්තු මන්ත්‍රි සිසිර ජයකොඩි

මේ රටේ කර්මාන්ත දවසින් දවස කඩාවැටෙනවා. ජාත්‍යන්තරය සමඟ ඇති කරගන්නා වෙළෙඳ ගිවිසුම් සහ ජාතික ප්‍රතිපත්තියක් නැති වීම නිසා නිදහසේ භාණ්ඩ මේ රටට ගලාගෙන එනවා. ස්වදේශික කර්මාන්තකරුවන් අඩපණ වෙනවා.

වන වගාව වාණිජමය වශයෙන් සිදුවන්නේ ඉතාම අල්ප වශයෙන්. ඒ අතරේ දේශපාලනඥයෝ නකල්ස් රක්ෂිතයේ තිබෙන ඉඩම් අක්කර 21,000ක් හිතවතුන්ට බදුදීලා තිබෙනවා. මේ වනාන්තර විනාශය ගැන රටේ නායකයන් කරන ප්‍රකාශ විහිළුවක් බවට පත්වෙලා.

ඉෂාරා සිල්වා

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2023 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress