පාර්ලිමේන්තුව අද බොරු ගුහාවක්
Posted on January 15th, 2019
ආචාර්ය නාලක ගොඩහේවා උපුටාගැණීම මව්බිම
පාර්ලිමේන්තුව යනු ගෞරවාන්විත තැනක්ය යන හැඟීම දිනෙන් දිනම ජනතාව අතරින් ගිලිහෙන්නේ පාර්ලිමේන්තුව තුළ ව්‍යවස්ථාදායකයන්ගේ බාල හැසිරීම නිසාය. විශේෂයෙන්ම මෑත ඉතිහාසයේ ආණ්ඩු පක්‍ෂයේත් විපක්‍ෂයේත් හැසිරීම සාමාන්‍ය ජනතාවගේ අප්‍රසාදයට ලක්වූ බව නොරහසකි.
පාර්ලිමේන්තුව තුළ බොරු කීමේ ප්‍රවණතාවද දිගින් දිගටම ඉහළ යමින් පවතී. සාමාන්‍යයෙන් එවැනි හැසිරීමක් බලාපොරොත්තු විය හැක්කේ පසුපෙළ මන්ත්‍රිවරයකුගෙන් වුවද රටේ අග්‍රාමාත්‍යවරයා පවා පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වී ජනතාව මුළා කිරීමට උත්සාහ කරනු දක්නට ලැබීම සැබැවින්ම කනගාටුවට කරුණකි.
මෙහි සමීපතම උදාහරණ කිහිපයක්ම පසුගිය සතියේ රූපවාහිනි නාළිකා හරහා ජනතාවට දැකගන්නට ලැබිණි. ඒ අගමැතිවරයා ලංකාවේ රාජ්‍ය ණය හා විදේශ සංචිත ගැන කළ ප්‍රකාශ දෙකක් හා ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය පිළිබඳව දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රිවරයකු කළ ප්‍රකාශයකි.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ 2019 ලංකාව විසින් ගෙවන්නට ඇති සමස්ත ණය ප්‍රමාණය ඩොලර් මිලියන 590ක් බවය. මේ අවස්ථාවේ ඔහු පාර්ලිමේන්තුව අමතා පැහැදිලිවම කියා සිටියේ මේ සියල්ල පසුගිය ආණ්ඩුව විසින් ලබාගෙන ඇති ණය කියාය. මෙය සත්‍යයක්ද අසත්‍යයක්දැයි සොයා බැලීමට අපට යහපාලන ආණ්ඩුව විසින්ම මින් පෙර ඉදිරිපත් කළ සංඛ්‍යා ලේඛන විමසා බැලිය හැකිය.
2015දී යහපාලන ආණ්ඩුවේ පළමු මුදල් ඇමැති වූයේ රවි කරුණානායක මහතාය. ඔහුත් ඔහුගේ නායකයා මෙන්ම රාජපක්‍ෂ යුගයේ ගත් ණය ගැන දිගින් දිගටම ප්‍රකාශ නිකුත් කළ අයෙකි. එක් අවස්ථාවක රවි කරුණානායක හිටපු මුදල් ඇමැතිතුමා 2015 සිට 2020 දක්වා සෑම වසරකම ආපසු ගෙවිය යුතු ණය ප්‍රමාණය සඳහන් කරමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කළේය. මේ ඔහු එදා ඉදිරිපත් කළ අගයන්ය.
2015 වසරේදී ගෙවිය යුතු මුදල රු. බි. 276
2016 වසරේදී ගෙවිය යුතු මුදල රු. බි. 269
2017 වසරේදී ගෙවිය යුතු මුදල රු. බි. 355
2018 වසරේදී ගෙවිය යුතු මුදල රු. බි. 377
2019 වසරේදී ගෙවිය යුතු මුදල රු. බි. 586
2020 වසරේදී ගෙවිය යුතු මුදල රු. බි. 509
මේ අනුව 2019 ගෙවීමට නියමිතව තිබුණු රු.බි. 586ක මුදල එදා ඩොලර්වල අගයට අනුව ඩොලර් මිලියන 4400ක් පමණ වේ.
නමුත් අද රනිල් වික්‍රමසිංහ මහතා කියන ආකාරයට 2019 ගෙවිය යුතු ණය මුදල ඩොලර්වලින් නම් මිලියන 5900කි.
එසේ නම් රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රකාශයට අනුව පසුගිය වසර 4 තුළ 2019දී ගෙවිය යුතු ණය ප්‍රමාණය ඩොලර් මිලියන 4400 සිට ඩොලර් මිලියන 5900 දක්වා ඉහළ ගොස් ඇත.
ඒ ඩොලර් මිලියන 1500ක පමණ විශාල ණය වැඩිවීමකි.
මෙම ඩොලර් මිලියන 1500 අද වටිනාකම අනුව රුපියල්වලින් නම් රුපියල් මිලියන 2,70,000ක පමණ ඉහළ අගයකි.
ජනතාවට සාධාරණ ලෙස උපකල්පනය කළ හැක්කේ 2019 ගෙවිය යුතු ණය ප්‍රමාණය මේ ආකාරයට ඉහළ ගොස් ඇත්තේ යහපාලන රජය විසින් පසුගිය වසර 4 පුරා ගත් කෙටි කාලීන ණය නිසා බවය. වෙනත් හේතුවක් තිබිය නොහැකිය.
මීට අමතරව ජනතාවට සිතා ගත හැක්කේ මේ යහපාලන ආණ්ඩුව පසුගිය වසර තුළ ගත් අති විශාල ණය කන්දරාවෙන් 2019 ගෙවිය යුතු මුදල පමණක් බවය. පසුගිය වසර 4 තුළ රජය ඇමෙරිකානු ඩොලර් මිලියන 20,000කට වඩා ණය ලබාගෙන ඇත. මේ ණයවලින් බහුතරය ගෙවන්නට සිදුවන්නේ අනාගතයේ පත්වන ආණ්ඩු විසින්ය.
තමන්ගේ බැරිකම වසා ගන්නට අනුන් මත වරද පැටවීම රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉතිහාසගත පුරුද්දකි. 2015 යහපාලන ආණ්ඩුව බලයට පත්වූ දා සිට ඔහු කීවේ මහින්ද රාජපක්‍ෂ මහතා රට ණය උගුලක පටලවා ඇති නිසා ආර්ථිකය හැසිරවීම අපහසු බවය. රාජපක්‍ෂ ණය ගැන නහයෙන් අඬමින් රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව ඉතිහාසයේ කිසිම ආණ්ඩුවක් නොකළ ආකාරයට ලංකාව ණය උගුලක පැටලුවේය. 2017 අවසන් වන විට රාජ්‍ය ණය රුපියල් බිලියන 7391 සිට රුපියල් බිලියන 10,313 දක්වා 40%කින් ඉහළ ගියේය. 2017 දෙසැම්බර්වලින් පසු ණය විස්තරය යහපාලන ආණ්ඩුව සඟවා ඇත. ඒ විස්තර මහ බැංකු වෙබ් අඩවියේවත් නැත. බලයට එනතුරු ජනතාවට තිබුණ තොරතුරු දැන ගැනීමේ අයිතිය පවා කාටත් හොරෙන් නැති කොට තිබෙන ආකාරය අපූරුය.
ණය සම්බන්ධයෙන් මේ ප්‍රකාශය කළ දිනම ලංකාවේ විදේශ සංචිත සම්බන්ධයෙන්ද ජනතාව නොමඟ හරින ප්‍රයත්නයක අගමැතිවරයා නිරත වනු දක්නට ලැබිණි.
ඔහු කියා සිටියේ 2018 ඔක්තෝබර්වල මහ බැංකුව සතුව විදේශ සංචිත ඩොලර් මිලියන 7900ක් තිබුණ බවත් 2018 නොවැම්බර් හා දෙසැම්බර් මාසවල පැවැති මහින්ද රාජපක්‍ෂ මහතාගේ දින 51ක කෙටි පාලන කාලය තුළ මේ සංචිත අඩු වී ඇති බවත්ය.
මෙයද හුදෙක්ම ජනතාව නොමඟ යැවීම සඳහා කළ ප්‍රකාශයකි.
2015 ජනවාරිවල රනිල් වික්‍රමසිංහ මහතා අගමැති වශයෙන් පත්වන විට ආණ්ඩුව සතු විදේශ සංචිත ඩොලර් මිලියන 8300ක් තිබිණි. ඒ 2005 මහින්ද රාජපක්‍ෂ මහතා බලයට එන විට තිබුණු ඩොලර් මිලියන 2,300ය. වසර 9ක් තුළ ඩොලර් මිලියන 6000කින් වැඩිවීමකි.
2015-2014 මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපතිව සිටි වසර 9යෙන් 4 1/2ක්ම මේ රටේ යුද්ධයක් තිබිණි. එසේ තිබියදීත් වසරකට ඩොලර් මිලියන 667කින් සංචිත වැඩි වී තිබිණි.
මේ අවම වේගයෙන් ගියත් රනිල් වික්‍රමසිංහ මහතා ආර්ථික කළමනාකරණය අතට නොගත්තා නම් අද වන විට විදේශීය සංචිත අවම වශයෙන් ඩොලර් මිලියන 10,900ක්වත් විය යුතුය.
එසේ නම් එදා පාර්ලිමේන්තුව තුළ විපක්‍ෂය ප්‍රශ්න කළ යුතුව තිබුණේ 2014 අවසන් වන විට තිබුණු ඩොලර් මිලියන 8,300 වසර 4ක් තුළ ඉහළ යනවා වෙනුවට ඩොලර් මිලියන 7,900ට පහළ ගෙන ආවේ කෙසේද කියාය.
2015 ජනවාරි මස 09දා සිට මේ වන තෙක් දින 51ක් හැරුණු විට මුළු කාලයම එනම් දින 1400කට වඩා රට පාලනය කළ රනිල් වික්‍රමසිංහ මහතා සහ ගෝල පිරිස අලුතින් පත්වූ ආණ්ඩුව රටට පෙන්වමින් රඟන නාටකයට රැවටෙන අයද සිටිනා මුත් රටේ සියලු ජනතාව මෝඩයන් නොවේ.
අගමැතිවරයාගේ බොරු කීමට නොදෙවැනි වන්නට සිතාදෝ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රි ශ්‍රී ධරන් මහතා පාර්ලිමේන්තුව අමතමින් කියා සිටියේ යුද්ධයේ අවසාන කාලයේ ලංකාවේ හමුදාව දෙමළ ජනතාවට එරෙහිව රසායනික අවි භාවිත කළ බවය.
ශ්‍රී ධරන් මහතාගේ කතාවට පිළිතුරු මීට වසර කිහිපයකට පෙර පළ වූ ඉන්දියාවේ හිටපු ආරක්‍ෂක ලේකම් ශිවශංකර් මෙනන් මහතාගේ ‘ඉන්දීය විදේශ ප්‍රතිපත්තියේ ඇතුළාන්තය’ නමැති පොතේ සඳහන්ව ඇත. එහි ඔහු මෙසේ කියයි.
ත්‍රස්තවාදය යුද්ධයකින් අවසන් කළ අවස්ථා ලෝකයේ සීමිතය. ලංකාව ඊට එක් උදාහරණයකි. යුද්ධයකදී දෙපැත්තටම හානිවීම වැළැක්විය නොහැකිය. මෙහිදී යමකුට ඇසිය හැකි සාධාරණ ප්‍රශ්නයක් නම් ශ්‍රී ලංකා රජය යුද්ධය කඩිනමින් අවසන් කිරීමට දරුණු අවි භාවිත නොකළේ මන්ද යන්නයි. එසේ දරුණු අවි භාවිත කළද එය සාධාරණීකරණය ලංකාවේ ආණ්ඩුව අපහසු නොවන්නට ඉඩ තිබිණි. මන්ද ඇමෙරිකාව පවා දෙවැනි ලෝක යුද්ධයේදී ජපානයට එරෙහිව රසායනික අවි භාවිත කොට කීවේ ඒ නිසා යුද්ධය කලින් අවසන් කර ගත හැකි වූ බව කියාය.
නමුත් ලංකාවේ රාජ්‍ය නායකයා වූ මහින්ද රාජපක්‍ෂ සිතුවේ වෙනස් ආකාරයකටය. යුද්ධය නිසා තමුන්ගේම රට වැසියන් වූ සාමාන්‍ය දෙමළ ජනතාවට වන හානිය අවම කිරීමට ඔහුට අවශ්‍ය විය.
යුද්ධය අවසන් කාලයේ බර අවි භාවිතය පවා හමුදාවට තහනම් වූ නිසා හමුදාව යුද්ධ කළේ සැහැල්ලු අවිවලින් පමණි. ඒ නිසා හමුදා සෙබළුන් වැඩි පිරිසකට හානි සිදු වුවද දමිළ සිවිල් වැසියන් වැඩි පිරිසක් ආරක්‍ෂා විය.
ශ්‍රී ධරන් රසායනික අවි භාවිතයක් ගැන පාර්ලිමේන්තුව තුළ ගජබින්න ඇද බාන්නේ එවැනි මානුෂික මෙහෙයුමක් කළ නායකයකුට හා හමුදාවකට එරෙහිවය.
ලංකාවේ වත්මන් පාර්ලිමේන්තුවේ සුජාත භාවය ගිලිහී ඇතැයි පසුගිය සතියේ විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා කළ ප්‍රකාශය සමඟ මේ රටේ ජනතාවගෙන් බහුතරයක් පක්‍ෂ භේද නොතකා එකඟවනු නිසැකය. එසේ නම් මේ පාර්ලිමේන්තුව කෙසේ හෝ විසුරුවා අලුතින් ඒ සඳහා නියෝජිතයන් පත්කර ගැනීමේ අවස්ථාව ජනතාවට ලබාදිය යුතුම කාලයක් එළැඹ ඇත.