පරඬැල් සහ පොල්කෝම්බ
Posted on February 25th, 2019

සජිත් රෝහිත ලියනගේ  උපුටාගැණීම  මව්බිම

දේශපාලනයට පිවිසෙන බොහෝ දෙනා අතර හදිසි ගංවතුරකදී ගසාගෙන එන පොල් කෝම්බ මෙන් වූවෝද සිටිති. ඒ පොල් කෝම්බවලින් කාටත් වැඩක් නැත. ගඟටද, ගං දියටද, මහ පොළොවටද වැඩක් නැත. ගසාගෙන ගොස් වැටෙන්නේ මහ මුහුදටය. මහ මුහුදට වැටුණොත් ආයේ සොයා ගන්නටද බැරිය. ඒ වනතුරු ගංවතුරේ කැලතී එන මේ පොල්කෝම්බ කාටත් වැඩක් නැත. පෙනුණත් එය කමකට නැතිය.

එක්සත් ජාතික පක්ෂය තුළ මෙවැනි පොල්කෝම්බ කිහිපයක්ම ඇත. රැල්ලට ගසාගෙන ආ කෝම්බද, ජනප්‍රියත්වය පමණක් නිසාම ආ කෝම්බද, ඡන්ද දායකයන්ට දෙන්නට හරි හමන් කෙනෙක් නැති නිසා දුන්න නිසාවෙන් මෙසේ ගසා ගෙන ආ පරඬැල්ද ඇත. පොල් කෝම්බවල කටවල් ඇරෙන්නේ උපන් නැකතටත්, පැමිණි පසුබිමටත් අනුවය. එය දැන් හොඳින් පැහැදිලිය.

ආණ්ඩු බලයක් ගත් පසු, පක්ෂයක් හැටියට ආණ්ඩුවක රැඳී සිටිනවා නම් එහි “සාමූහික වගකීමක්” තිබීම අනිවාර්ය වන්නේය. එය සදාචාරාත්මකද වන්නේය. ඉන් පිටුපා තම මතය කතා කිරීම සම්ප්‍රදාය විරෝධීය. පක්ෂ මතයට පටහැනිය. පක්ෂ නායකයා හෝ වෙන කවුරුන් හෝ වෙත්නම් ඔවුන්ද පක්ෂයේ එම පොදු මතයට යටත්ය. ඉන් පිටත කතා කියන්නට ඕනෑ නම් මන්ත්‍රිකම හෝ ඇමැතිකම තබා ගෙදර යා යුතුය. ගෙදර ගොස් තම මතයේ අභිමතයට අනුව කතා කළ හැකිය. එය ජනතාවට දැනවිය හැකිය. එහිදී ජනතාවට ඕනෑම නම් ඔහුගේ කතා පිළිගත හැකිය. ප්‍රතික්ෂේප කළ හැකිය.
නැතිනම් ඔවුන් යළිත් බලයට පත්වීම සදහටම වළකාලිය හැකිය.

සෙසු පක්ෂවල මෙන්ම එජාපය තුළත් අනවශ්‍ය කතාකාරයෝ සිටිති. ඔවුන්ගේ කතා අහද්දී ඔවුන්ගේ තරම වටහාගත හැකිය. ඒ ඒ අයට එක එක න්‍යාය පත්‍රය. එක එක අදහස්ය. විවිධ අදහස් මතින් රටක දියුණුවට සංකල්ප දිය හැකිය. එය පක්ෂය පෝෂණය කෙරෙන්නක් විය යුතුය. නමුත් මේ කියන උන්දැලා එලොවටත් නැති, මෙලොවටත් නැති කතා කීමෙන් පක්ෂයට හා රටට සිදුකරන්නේ බරපතළ වරදකි. එහිදී ඔහුට අනුව ඒවා සුපිරි කතාය. ගැලරියට වදින කතාය. මරේ මරුය. නමුත් පක්ෂයකට එය වින කටින්නක්ය. විනාශකාරීය. හිසරදයක් මවන්නකි. යන ගමනට බාධාවකි. කොටින්ම කියතොත් මේ කරන ගැලරි කතා තඹයක් වටින්නේ නැත. පුස්ස බින්දා වගේය. මෝඩය, තකතීරුය. එයින් පක්ෂයට වන හානිය බරපතළය. දේශපාලන ව්‍යාපාරයටද මාරකය.

මේ යන ක්‍රමයේ හැටියට දේශපාලන පක්ෂයක සාමාජිකයකු වීම කුඩුකාරයාගෙන් පටන් අරන් අන්ත දහදුරා වැඩ කරන එකාලාගෙන් යුක්ත වන්නට පුළුවන. එහෙත් යම් තැනකදී එසේ ගසාගෙන ආ විනාශකාරී අය පවා පසුව වෙනස්වී, ක්‍රමයට අනුගත වී වරද නිවැරැදි කරගෙන යහපත් ගමන් ගිය අවස්ථා ලෝකයේ ඕනෑ තරම්ය. එහෙත් මේ කියන දේශපාලන පොල්කෝම්බවලට එහෙම වෙනස් වෙන්නට බැරිය. ගායක්ද නැතිය. එහෙම වෙන පාටකුත් නැත.

එක්සත් ජාතික පක්ෂයේ ගාල්වී සිටින, එහි යහපත් ගමනකට අනවශ්‍ය පුද්ගලයන් කිහිප දෙනෙක් සිටිති. ඔවුන්ගේ පළමු කාරිය වී ඇත්තේ නායකයාට කකුල් මාට්ටු දැමීමය. හිර කිරීමය. වෙට්ටු දැමීමය. රහසේ සතුරු පිලට උඩ ගෙඩි දීමය. තමන් හරි යැයි සුදනකු යැයි පෙන්වීමය. මේවා බාල වැඩය. තක්කඩි වැඩය. නින්දා සහගත දේය. ලෝකයේ කොයි නායකයාගෙත් දාහක් අඩු තියෙන්නට පුළුවන. නමුත් ඒවා දේශපාලන ව්‍යාපාරයක් ලෙස පක්ෂයක් තුළ ‍ෙදාරගුළු වසා කතා කර, තර්ක කර, මත පළකර ශුද්ධ කරගෙන එක ගමනක් යා යුතු දේවල්ය.

එසේ නොකර එළියට විත් ගැලරියට කතා කර තමන්ට ඡන්ද ටිකක් ඩැහැගන්නට ඕනෑම තකතීරු කතාවක් කරන්නට පුළුවනි නම් එයින් විපත් සිදුවනුයේ පළමුව ඔහුට මෙන්ම දෙවනුව තමන්ට දෙපයින් නැඟී සිටින්නට අත දුන් පක්ෂයට බව මොවුහු අමතක කරති. එහෙව් උන්දැලාට කටේ බ්රේක් නැත. කියන්නේ මොනවාදැයි දන්නේ නැත. නමුත් ඔවුන් සිතා සිටින විදියට මහා විවේචකයෝය. තමන් තරම් ශුද්ධවන්තයන් තවත් නැතැයි සිතා සිටින්නේය.

එක්සත් ජාතික පක්ෂය තුළත් විවිධ කාල වකවානු තුළ විවිධ කතා කියූ සෙරෙප්පු සුප් පවා බොන්නට කැපවූ අය සිටිමුත් මෙයාකාරයෙන් පහත් පෙළේ කතා කියූ, පක්ෂයට වින කරන තැනට වැඩ කළ තකතීරු කතා කියූවන් සිටියේ නැති තරම්ය. එදා විවේචන තිබුණු අතර එම විවේචන බොහෝ අයට දේශපාලන ව්‍යාපාරයක් හැටියට පක්ෂයක් තුළ හිටගෙන කතා කර, අරගල කර ගත්තේ වුව පක්ෂයෙන් පිටතට ගිහින් ව්‍යාපාර හරහා මතවාදීමය වශයෙන් පතුරුවා හැරියේ වුවද අද තරම් එළිපිට තකතීරු කතා කීමක් නොවීය.

ඩී.එස්. සේනානායක මහතා උගතකු නොවුණත් ඔහු හොඳ ප්‍රායෝගික නායකයෙකි. ගැමියන් අතර ජීවත්වී, ගැමිකම හඳුනාගෙන, ඉංග්‍රීසියෙන් හිතලා සිංහලට කියනවාට වඩා, සිංහලෙන් හිතලා ගමේ ගොඩේ අයට අමු සිංහලෙන් කතා කීවේය. ඒ කතා වැඩි දිගු නැත. හරවත්ය. පපුවට වදින්නේය. හිත සැනසෙන්නේය. නායකයා හා හද බැඳගැනෙන්නේය. ඊට හොඳම සාක්ෂි කිහිපය වන්නේ ඩී.එස්. ගොවිජනපද හදා ගොවියන් මැදට ගොස් ගොවි ජනතාව පුබුදන්නට කියුවේ රසවත් කතාය.

ඩඩ්ලිට වෙනස් ශෛලියක් තිබුණේය. ඒ ඩඩ්ලිගේ හැටියටය. ඒ කතා අහන්නට දහස් ගණන් ජනතාව රැස්වුණේ නිකමට නොවේය. සංවේදී මිනිසකු වුවද ඩඩ්ලි හොඳ උපහාස කතාකාරයෙකි. තමන්ට විරුද්ධ මත දැරූ විරුද්ධ පක්ෂයේ නායිකාව වූ බණ්ඩාරනායක මැතිනියටත් කතා කළේ, පිළිතුරු දුන්නේ උපහාසයෙනි. ඒ උපහාස කතා තුළ දේශපාලන ගැඹුරක් තිබුණු අතර රසයක්ද තිබිණි. ඒ මැතිනිය යුද්ධයට කතා කරද්දී ඩඩ්ලි සාමයට කතා කළ උණුසුම් අවධියක් විය. 70 මැතිවරණ උණුසුම තිබුණු යුගයක දැදිගම ආසනයේ රැස්වීමකට පැමිණි මැතිනිය කියුවේ,

“මං හිතන්නේ… දැන් ඩඩ්ලි දේශපාලනයෙන් අයින් වෙන්න ඕන වයස. දැන් එයා අගමැති තනතුර දරන්න වයස වැඩියි” කියලාය. ඩඩ්ලිට මෙය ආරංචි වූ අතර ඔහු දැදිගම ජන රැලියකදී ඊට උත්තර දුන්නේය.
“සහෝදරවරුනි. මට ආරංචියි මේ පැත්තෙ ඇවිත් ළමිස්සියක් මං ගැන කතාවක් කළාය කියලා. එයා කිව්වලු ඩඩ්ලි දැන් වයසයි කියලා. රට වටේටමත් මට වයස වැඩියි වැඩියි කියාගෙන යනවලු. හැබැයි මට වයස වැඩියි කියන ඒ බණ්ඩාරනායක ළමිස්සිටත් දැන් මං හිතන්නේ පනහත් පැනලා” කියලාය.

මේවා හිත නොරිද්දන, යළි හමුවී දෙදෙනාට කතා බහ කරගත හැකිවන තරමට රසයෙන් පිරුණු කතාය. ඊට හේතුව නම් ඩඩ්ලිලා දේශපාලනයේ ගැඹුර දැනගෙන, එහි වටිනාකම් හඳුනාගෙන කතා කරන්නට පුළුවන් තරමට සම්පූර්ණ වූ මිනිසුන්ව පැමිණි නිසාය. ජේ.ආර්.ද එසේ තෙම්පරාදු වී, පොතපත කියවා දැනුම වැඩිකරගෙනම, දේශපාලනයේ හතර කොන යහමින් දැන ගෙන පැමිණි නායකයෙකි.

ඉන්දියාව අපට විවිධ කෙනහිලිකම් කරද්දී ජේ.ආර්. ඉවසා සිටි වාර අනන්තය. නමුත් ඔහු ඊට පිළිතුරු දුන්නේ කුණුහරුපයෙන් හෝ කුප්ප කතා කීමෙන් තොරවය.

ඉන්දියාව කෙනහිලිකම් කරන සමයක එය නොදැනුණා සේ ජේ.ආර්. තුන්වැනි සාක් සමුළුව අමතමින් තැනෙක මෙසේ කීවේය.

“ශේ‍ර්ෂ්ඨ කවියකු වූ බෙංගාලයේ සුරේන්ද්‍රනාත් බැනර්ජි මගේ සිහියට නැඟෙනවා. 1914-1918 අතර කාලයේ පැවැති පළමු ලෝක යුද්ධයට පෙර එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් ශිෂ්‍ය රැස්වීමක් අමතා දේශනයක් කිරීමට ගිය ඔහු එවකට එම ශිෂ්‍යයන් ඉන්දීය ජනතාව සමච්චලයට ලක් කිරීමේ පුරුද්දට පිළිතුරු වශයෙන් මෙසේ කීවා. මාගේ මිත්‍රයනි, ඔබේ මුතුන් මිත්තන් ආදි කල්පිත වනාන්තරවල ගස් මුදුනේ වල්ගවලින් එල්ලී සිටින විට අපේ මුතුන් මිත්තන් විසින් ලොවට දෙන ලද දර්ශනවාද අදත් ලොව මවිත කරවන අතර, අදත් ඒවා අනුගමනය කෙරෙනවා”

ජේ.ආර්. ජයවර්ධන
1987.11.02දා
ජේ.ආර්. ඉන්දියාවේ ඉන්දිරාට හිතන්නට යමක් ඉතිරි කර ඉන්දියාවත් අපත් රැකගෙන කළ කතාවෙන් “අපට වින කළත් නුඹලා අපි නම් එහෙම නෑ” යන්න ව්‍යංගයෙන් කීවේය.

ප්‍රේමදාසද ජේ.ආර්.ට වෙනස් වූ ශෛලියකින් කතා කළ අතර ඔහුගේ කතා ප්‍රහාරාත්මකය. ඇතැම් තැන්වලදී තද වැඩි වුවද ප්‍රේමදාස මහතාද විකාර කතා කියන්නට ගියේ නැත. පක්ෂයටත් නායකයාටත් හානිවන දේ කීවේ නැත.

ජේ.ආර්. නායකයා හැටියට තමන්ගේ පසුපසින් එන අය ගැන සිතා දුරදිග බලා කතා කළේය. ඔහුට ඕනෑ තැනම තම අනුගාමිකයන් පෙළ ගස්වා ගන්න උපායශීලීව වැඩ කළේය. කාගේත් හිත පිරෙන, කාටත් හිතට අල්ලන උපහාස කතාවෙන් පිරුණු ජේ.ආර්. පැය ගණන් කතා කරන්නට ගියේ නැත. ඔහු සාර්ථක කතාකාරයකු වීමේ ප්‍රායෝගික අත්දැකීම් ගැන දිනක් ප්‍රසිද්ධියේ තම ගෝල බාලයන්ට දැනෙන්නට කීවේ මෙසේය.

“අපි පුරුදුවෙලා තියෙනවා දීර්ඝ ලෙස කතා පවත්වන්නට. නමුත් අනෙක් කථිකයන් වගේ මම පැය ගණන් කතා කරන්නේ නැහැ. විනාඩි 10ක් නැත්නම් 15ක් වැඩිම වුණොත් විනාඩි 20ක් කතා කරයි. යම් කෙනෙක් කියනවා නම් තම අදහස් ප්‍රකාශ කරන්නට පැය භාගයක්වත් මදි කියලා. ඒ අයට මම මෙහෙම කියනවා. බුදු හාමුදුරුවෝ ධම්මචක්කපවත්තන සූත්‍රය දේශනා කෙරුවේ මිනිත්තු 10කින්. යේසුස් වහන්සේ කන්ද උඩ දේශනාව මිනිත්තු 5කින් ඉවර කළා. මිනිත්තු දහයකින් පුළුවන් ලෝකයම හොල්ලන්න කතා කරන්න”
ජේ.ආර්. තෙම්පරාදු වූ හැටි ප්‍රායෝගික අත්දැකීම්වලින් යුතුව ජනගත කළේ එහෙමය.

එනිසා ඩී.එස්ලා, ඩඩ්ලිලා, සර් ජෝන්ලා, ජේ.ආර්. ප්‍රේමදාසලා ගොඩනැඟූ එජාපය තුළ යහපත් ගමනක් යන්නට ඕනෑම නම් රනිල් ඉටුකළ යුතු දෙයක් ඇත.

ඔහුට අනුගාමිකයන් තේරීමේදී තද තීන්දු තීරණ ගන්නට පුළුවන් විය යුතුය. හදිසි ගංවතුරකට ගසාගෙන ආ පරඬැල්, පොල් කෝම්බ වැනි වගේ වගක් නැතිව ‍ෙදාඩවන, කටේ බ්රේක් නැති පිස්සු විකාර චරිත පක්ෂයට ගාල්වීම වළකාලිය යුතුය.

එය යහපත් ගමනක් යන්නට බලවත් හානියකි.

සාමූහික වගකීම දන්නා, ප්‍රායෝගික දැනුමැති අනුගාමිකයන් සමඟ දිගු ගමනක් යන්නට කැපවිය යුතුය. එවිට මේ කියන දේශපාලන පොල්කෝම්බ සහ පරඬැල් දේශපාලන ගංවතුරේම ගසාගෙන ගොස් මහ මුහුදට වැටෙනු ඇත.

 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2022 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress