රාජිතගෙන් මරණ තර්ජන – සුදුවෑන් මාධ්‍ය හමුවේ සිටි දෙදෙනාගෙන් CIDයට පැමිණිලි -පැය පහකට පසු රහස් පොලිසියෙන් පිටව යයි
Posted on January 27th, 2020
උපුටා ගැන්ම හිරු නිව්ස්
පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න තමන්ට මරණ තර්ජන සිදුකරන බව පවසමින් සුදුවෑන් මාධ්‍ය හමුවට පෙනී සිටි පුද්ගලයින් දෙදෙනා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.
ඔවුන් සඳහන් කළේ මන්ත්‍රීවරයාට සම්බන්ධ බන්ධනාගාරගතව සිටින පාතාල සාමාජිකයෙකු විසින් මෙලෙස මරණ තර්ජන සිදුකරන බවයි.
රාජිත සේනාරත්න සමඟ සුදුවෑන් මාධ්‍ය හමුවට පෙනී සිටි මෙම පුද්ගලයින් දෙදෙනා පසුගිය දා අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැරීමටයි අධිකරණය කටයුතු කළේ.
කෙසේ වෙතත්, තමන් වෙත මරණ තර්ජන සිදුකරන බව පවසමින් ඊට අදාළ හඬ පටයත් රැගෙන සුදුවෑන් මාධ්‍ය හමුවට පෙනී සිටි අතුල සංජීව මදනායක සහ සරත් කුමාර අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබුවා.
මේ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න ද අද යළිත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියා.
ඒ මතභේදයට තුඩුදුන් සුදුවෑන් මාධ්‍ය හමුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමටයි. මන්ත්‍රීවරයා අද පෙරවරු 11.30 ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අතර පස්වරු 1.30 ට පමණවනතුරු ප්‍රකාශයක් ලබාදී ඉන් පිටව ගිය බවයි හිරු වාර්තාකරු සදහන් කළේ.
මන්ත්‍රීවරයා පසුගිය 14 වනදා ද, සුදුවෑන් මාධ්‍ය හමුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදුන්නා. සුදුවෑන් මාධ්‍ය හමුවට අදාළව පසුගිය දෙසැම්බර් 27 වනදා අත්අඩංගුවට ගනු ලැබූ රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා පසුගිය දෙසැම්බර් 30 වැනිදා ඇප මත නිදහස් කෙරුණා.
පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්නගේ මරණ තර්ජන ගැන පැමිණිලි කිරීමට පැමිණි, සුදු වෑන් මාධ්‍ය හමුවට පෙනීසිටි දෙදෙනා පැය පහකට පසු රහස් පොලිසියෙන් පිටව ගොස් තිබෙනවා.