ලංකාවේ කොරෝනා ආසාදිතයන්ට ගාණක්වත් නෑ.. රෝහලට ඇතුළු කරන්නවත් සුදුසු 16යි.. – BBC ලොව පුදුම කරමින් කියයි..
Posted on May 6th, 2020

උපුටා ගැන්ම ලංකා සී නිව්ස් Courtesy BBC sinhala

නව කොරෝනාවෛරසයට එරෙහිව ශ්‍රී ලංකාව තුළ දියත් වූයේ සුවිශේෂී ක්‍රියාදාමයක් බවත් එය ජාත්‍යන්තර සම්මන්ත්‍රණයකදී කැපී පෙනුණු බවත් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසයි.

චීනය, ජපානය, හොංකොං, ඔස්ට්‍රේලියාව, ශ්‍රී ලංකාව, ඉන්දියාව ඇතුළු ආසියාතික රටවල් සහ බ්‍රිතාන්‍යය, එක්සත් ජනපදය ඇතුළුව මෙම සම්මන්ත්‍රණයට සහභාගි වූ රටවල් ගණන 42කි.

අන්තර්ජාලය ඔස්සේ පැවැත්වුණු මෙම සම්මන්ත්‍රණයට එම රටවල් නියෝජනය කරමින් විද්වතුන්, වෘත්තිකයන් සහ බලධාරීන් 800ක් පමණ සහභාගි වූ බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පැවසීය.

ආසියා ශාන්තිකර කලාපීය ප්‍රජා සෞඛ්‍ය පිළිබඳ ජාත්‍යන්තර සංසදය සහ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය එකාබද්ධව මෙම සම්මන්ත්‍රණය සංවිධානය කර තිබිණි.

මෙම සම්මන්ත්‍රණයට සම්පත් දායකයෙකු ලෙස හොංකොං රාජ්‍යය නියෝජනය කරමින් සහභාගි වී තිබුණේ ශ්‍රී ලාංකික සම්භවය සහිත විද්‍යාඥයෙකු වන මහාචාර්ය මලික් පීරිස්ය.

හොංකොං විශ්වවිද්‍යාලයේ සමාජ සෞඛ්‍ය පිළිබඳ විද්‍යායතනයේ වෛරස් අධ්‍යයන විද්‍යා අංශයේ කටයුතු කරන ඔහු නව කොරෝනාවෛරසය හඳුනා ගැනීම සහ එය පාලනය කළ හැකි ක්‍රමවේද පිළිබඳ පර්යේෂණවල යෙදී සිටින්නෙකි.

‘මේක ඉක්මනින් ඉවරයක් වන දෙයක් නෙවෙයි’

කොරෝනාවෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා විවිධ රටවල් දියත් කළ ක්‍රියාදාමයන් පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමටත් එහිදී ලත් අත්දැකීම් එකිනෙකා අතර බෙදා හදා ගැනීමටත් මින් අවස්ථාව උදා වූ බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති, කොළඹ වෛද්‍ය විද්‍යාලයේ මහාචාර්ය ඉන්දික කරුණාතිලක පැවසීය.

මේක ඉක්මනින් ඉවරයක් වන දෙයක් නෙවෙයි. මේ කොරෝනාවෛරසය සමග තවත් සැලකිය යුතු කාලයක් මිනිසුන්ට ජීවත් වෙන්න සිදු වෙනවා. ඒ නිසා මේ පිළිබඳව ජනතාව දැනුවත් කිරීම මීට වඩා හොඳින් සිදු කරන්න ඕන. ඒ නිසා රජය ඒ ගැන මීට වඩා උනන්දු විය යුතුයි,” මහාචාර්ය ඉන්දික කරුණාතිලක අවධාරණය කළේය.

පරීක්ෂා කිරීමෙන් අනතුරුව වෙන්කර තැබීම

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ උප සභාපති, මහාචාර්ය රස්නායක එම් මුදියන්සේ පැහැදිලි කළ ආකාරයට, කලාපයේ අනෙකුත් රටවල් සමඟ සංසන්දනය කිරීමේදී ශ්‍රී ලංකාව කොරෝනාවෛරසය පාලනය කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ගවල විශේෂත්වය මෙසේය.

කොරෝනාවෛරසය ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා බොහෝ රටවල ක්‍රියාත්මක කර ඇත්තේ පරීක්ෂා කිරීමෙන් අනතුරුව වෙන්කර තැබීමේ ක්‍රමයයි. (Test and Isolate) නමුත් ශ්‍රී ලංකාව තුළ ප්‍රධාන උපාය මාර්ගය ලෙස දියත් වී ඇත්තේ රෝගියෙකු වාර්තා වූ වහාම එම ප්‍රදේශය වසා දමා ඉන් අනතුරුව සියලු දෙනා පරීක්ෂාවට ලක් කිරීමය. (Isolate and Test)

එමෙන්ම රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන අවධියේ දී පවා ආසාදිතයා නිවසෙන් වෙන් කොට රෝහල්ගත කර තැබීම ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන තවත් විශේෂිත උපක්‍රමයකි.
මීට අමතරව ආසාදිතයා ආගිය තැන් සහ ඇසුරු කළ පිරිස සොයා මෙහෙයුම් දියත් කිරීම ද බොහෝ රටවල සිදුවී නොමැත. කලාපයේ අනෙකුත් රටවල් හා සංසන්දනය කිරීමේදී එහි විශේෂත්වය නම් ශ්‍රී ලංකාව මේ සඳහා බුද්ධි අංශ නිලධාරීන් යොදා ගැනීමය.

ඉතා දරුණු ලෙස ව්‍යාප්ත වන හා ව්‍යාකූලතා ඇති කරන රෝගී තත්ත්වයක් මෙසේ පාලනය කිරීමට හැකිවූ ප්‍රධානම සාධකය වන්නේ කල් තියා ම රෝගීන් හා ගැටුණු අයවලුන් හඳුනා ගැනීම හා ඔවුන් වෙන්කර තැබීම. මේ අයුරින් සමාජ දුරස්තතාව පවත්වා ගැනීම සඳහා ලංකාව තුළ දියත් වුණ ක්‍රියාදාමය සුවිශේෂී එකක්,” මහාචාර්ය මුදියන්සේ ප්‍රකාශ කළේය.

මරණ සංඛ්‍යාව

ඉහත කී ජාත්‍යන්තර සම්මන්ත්‍රණයේදී එක් එක් රටවල් ලබා දුන් සංඛ්‍යා ලේඛන අනුව බලන කළ ශ්‍රී ලංකාවේ ජනගහනයට සාපේක්ෂව කෝවිඩ්-19 රෝගීන් ගණන සහ සිදුවන මරණ සංඛ්‍යාව පහළ මට්ටමක පවතින බව මහාචාර්යවරයා තවදුරටත් පැවසීය.

එමෙන් ම ආසාදිතයන්ගේ සංඛ්‍යාවට සාපේක්ෂව සිදුවන මරණ සංඛ්‍යාව, අන් රටවල් හා සංසන්දනය කරන විට අඩු මට්ටමක පවතින බව ඔහු කියා සිටියේය.

දැනට ලංකාවේ වාර්තා වී ඇති 700 ට (මේ වන විට 770 ඉක්මවා තිබේ) ආසන්න රෝගීන්ගෙන් 2/3 ක් ම කිසි ම රෝග ලක්ෂණයක් නොපෙන්වන රෝගීන් ඇසුරු කළ අය අතරින් හඳුනාගත් රෝග වාහකයින්. රෝග ලක්ෂණ ඇති රෝගීන් අතරින් පවා වාට්ටුවකට ඇතුල් කිරීමට තරම් රෝග ලක්ෂණ පෙන්වන රෝගීන් සිටියේ 16 දෙනයි. ඔවුන්ගෙන් 7 දෙනෙකු මිය ගියා,” පේරාදෙණිය වෛද්‍ය පීඨයේ මහාචාර්ය රස්නායක එම් මුදියන්සේ ප්‍රකාශ කළේය. (මේ වනවිට 9 දෙනෙකු මියගොස් තිබේ)

සෑම ආසියාතික රටක් ම පාහේ දියත් කර ඇති ක්‍රියාදාමය තුළ දක්නට ඇති විශේෂත්වය නම් රෝගය ව්‍යාප්ත වීම පාලනය කර ගැනීම වෙනුවෙන් රෝගියාට වඩා වැඩි අවධානයක් දක්වා තිබීමය.

මේ සඳහා ශ්‍රී ලංකාවේ හොඳින් ස්ථාපිතව ඇති ප්‍රජා සෞඛ්‍ය සේවාව ඵලදායී ලෙස ප්‍රයෝජනයට ගත් බව ඉහත කී සම්මන්ත්‍රණය අමතමින් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය අනිල් ජාසිංහ පැවසීය.

වර්තමානයේ බොහෝ රටවල ප්‍රජා සෞඛ්‍ය සේවාව පිළිබඳව එතරම් සැලකිල්ලක් නොදක්වන තත්ත්වයක් පෙනෙන්නට තිබියදී එම ක්‍රියාවලිය ද විශේෂිත වන බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ අදහසය.

මෑතකදී කෝවිඩ්-19 රෝගය වැළඳුණ, මත් කුඩුවලට ඇබ්බැහි වූ කණ්ඩායමකට සේවාවන් සැපයීමේදී නිරාවරණය වූ නාවික සෙබල පිරිසකටත් එම භටයන්ගේ ඇසුරට ලක්වූ තවත් භට කණ්ඩායමටත් රෝගය ව්‍යාප්තවීම සැලකිය යුතු පසු බෑමක් වුණා. මේ නාවික හමුදා කණ්ඩායමට අදාළව රෝගීන් 200 කට අධික සංඛ්‍යාවක් වාර්තා වුණා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂතුමා වාර්තා කරන ආකාරයට රට තුළ හඳුනාගත් පොකුරු 32 ක් අතරින් තවමත් ක්‍රියාත්මක වශයෙන් රෝගය පැතිරවීමේ ප්‍රවණතාව ඇත්තේ පොකුරු හතරක් පමණයි,” මහාචාර්ය රස්නායක මුදියන්සේ පැවසීය.

අප්‍රේල් මාසය අවසානය වන විට ‘වර්ඩොමීටර්’ සැපයූ දත්ත අනුව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය මෙම වගුව පිළියෙල කර තිබේ. එම දත්තයන්ට අනුව ඔවුන් කලාපීය රටවල් කිහිපයක් සමඟ ශ්‍රී ලංකාව මෙසේ සංසන්දනය කර තිබිණි.

වගුව නිරීක්ෂණය කළ විට ලංකාවේ ජනගහනයට සාපේක්ෂ රෝගීන් සංඛ්‍යාව මිලියනයකට 30 ක් වැනි ඉතා අඩු අගයක් ගනී. (හොං කොං 138 , මැලේසියාව 184, ඉන්දියාව 24, සිංගපූරුව 2672, ඔස්ට්‍රේලියාව 265, චීනය 58)

සම්මන්ත්‍රනයට සහභාගි වූ රටවල ‘ජනගහනයට සාපේක්ෂව මරණ සංඛ්‍යාව’ ද අඩු අගයක් ගනී. ශ්‍රී ලංකාව මිලියනයකට 0.3 කි. (හොංකොං 0.5, ඉන්දියාව 0.8, සිංගපූරුව 2, ඔස්ට්‍රේලියාව 3, චීනය 3)

හඳුනා ගත් රෝගීන් ගණනට සාපේක්ෂව ගත් කළ දක්නට ලැබෙන මරණ සංඛ්‍යාව ((total death/total cases)x1000) ඉතා පහළ මට්ටමක පවතී. ලංකාව රෝගීන් දහසකට 11 කි. (හොංකොං 4, ඉන්දියාව 33, සිංගප්පූරුව 1, ඔස්ට්‍රේලියාව -13, චීනය 56)

කෙසේ වෙතත් දේශපාලන වාසි සඳහා ඉදිරිපත් කරන මති මතාන්තර හේතුවෙන් කෝවිඩ් වසංගතය වැලැක්වීමේ ප්‍රජාදායක්වය හා බල ගැන්වීම අඩාල නොවන සේ වග බලා ගැනීම ඉතා ම වැදගත්” බව මහාචාර්ය රස්නායක මුදියන්සේ අවධාරණය කළේය.

වියට්නාමය
කෝවිඩ්-19 ලොව පුරා පැතිර යමින් තිබෙන අතරේ ඉන් බලපෑම් ඉතා අඩුවෙන් එල්ල වූ තවත් රටක් ගැන පසුගිය දිනවල කතා බහට ලක්විය. ඒ වියට්නාමයයි.

වියට්නාමය, කොරෝනාවෛරස් වසංගතය ආරම්භ වූ චීනයෙන් වෙන්ව පවතින්නේ ගොඩබිම් දේශ සීමාවකිනි. අග්නිදිග ආසියාවට අයත් වියට්නාමය පුද්ගලයින් නව කෝටි හැත්තෑ ලක්ෂයකට (මිලියන 97) නිවහන වෙයි. නමුත් මේ දක්වා වියට්නාමයෙන් වාර්තා වී ඇත්තේ කොරෝනාවෛරස් ආසාදිතයින් 271 දෙනෙකු පමණක් වන අතර එකදු මරණයක් හෝ එරටින් වාර්තා වී නොමැත.

සිය ජනයා බලමුළු ගන්වමින් කොරෝනාවෛරසයට එරෙහිව යුද්ධයක්” ප්‍රකාශයට පත් කළ වියට්නාමය මේ වන විට සීමා ලිහිල් කිරීම ආරම්භ කර තිබේ. පාසල් යළි විවෘත කිරීමට අවසර ලබා දී ඇත.

ජනවාරි අග භාගයේ කොරෝනාවෛරසය ආසාදිතයන් පළමුව වාර්තා වූ මොහොතේදී ම වියට්නාමය වහා ක්‍රියාත්මක විය. චීනය අතර වන දේශ සීමා වසා දැමීමට එරට බලධාරීහු උත්සුක වූහ. එමෙන් ම ඕනෑ ම ප්‍රධාන ගුවන් තොටුපොළකින් රට තුළට පැමිණෙන මගීන් ශරීර උෂ්ණත්ව පරීක්ෂාවක් සඳහා යොමු කිරීමට කඩිනම් පියවර ගත්හ.

එවක වාර්තා වූ ආසාදිතයන් සියලු දෙනා ම පාහේ විදෙස් රටවල සිට පැමිණි අය බව වටහාගත් වියට්නාම් ආණ්ඩුව එලෙස පැමිණෙන සියලු දෙනා ම දින 14 ක නිරෝධායනයකට යොමු කළේය.

මාර්තු අග වන විට වියට්නාම් ආණ්ඩුව තවත් ඔබ්බට යමින් සියලු ම විදේශිකයන්ට රට තුළට පැමිණීම තහනම් කළේය.

කොරෝනාවෛරසය ආසාදිත යයි තහවුරු වූ පුද්ගලයන් ඇසුරු කළ පිරිස සොයා යාම ශ්‍රී ලංකාවේ මෙන් ම වියට්නාමයේ ද වේගයෙන් ක්‍රියාත්මක විය.

එසේ ම අඩු පිරිවැයකින් කෝවිඩ්-19 පරීක්ෂණ උපකරණ කට්ටල නිර්මාණය කිරීමටත් එය රට තුළ ම නිෂ්පාදනය කිරීමටත් වියට්නාමයට හැකි වූ බවක් පෙනෙන්නට තිබේ.

නවසීලන්තය

කොරෝනාවෛරසය පැතිරීම ආරම්භ වූ සැණින් ඉතා දැඩි පියවර ගැනීමට පෙළඹුණු රටක් ලෙස නවසීලන්තය ද වාර්තා විය.

ඔවුහු දේශසීමා වසා දැමූහ. වෙනත් රටවලින් පැමිණ සිටි සියලු දෙනා නිරෝධායනයට ලක් කළහ. රට වසා දමමින් ආසාදිතයන් ඇසුරු කළවුන් සොයා යාමට ඔවුහු ද පියවර ගත්හ.

අප්‍රේල් 04 වන දා වන විට එරටින් වාර්තා වී තිබුණේ මරණ 20ක් පමණි. ජනතාව දැනුවත් කිරීම ද ඉතා හොඳින් කර තිබුණු බවට නවසීලන්ත රජය පැසසුමට ලක් විය.

– BBC sinhala

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2021 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress