“කොරෝනා දෙවැනි රැල්ලක් ඇතිවීමේ අවදානම අඩුයි”
Posted on May 23rd, 2020

මව්බිම දැන්

අපේ රට කොවිඩ් 19 අවදානමින් කෙමෙන් දුරස් වෙමින් තිබෙන බවට මත පළවෙනවා. ඔබේ දැනුම හා අත්දැකීම් අනුව මෙහි සත්‍යතාවක් තිබෙනවාද?

අවසාන වශයෙන් රෝගීන් වාර්තා වුණේ නාවික හමුදාවෙන් සහ නිරෝධායන මධ්‍යස්ථානවලින් පමණයි. පිටස්තරව රෝගීන් වාර්තා වුණේ නැහැ. අපි විශාල වශයෙන් බාහිර සමාජයේ පරීක්‍ෂණ කරනවා. අපි රෝහල්වල බාහිර රෝගී අංශවල සහ විවිධ ක්‍ෂේත්‍රවල අහඹු නියැදි ලබා ගන්නවා. රෝගීන් වාර්තා වුණේ ඉහත කී කණ්ඩායම්වලින්ම පමණයි.

අහම්බෙන් හෝ බාහිර සමාජයේ කෙනෙක් ඒ අය සමඟ ගනුදෙනු කොට තිබුණොත් රෝගීන් වාර්තා වෙන්න පුළුවන්. අපි විදේශ රටවල සිට පැමිණෙන පිරිස් නිරෝධායනය කරනවා. නමුත් කලාතුරකින් රෝගියෙක් දෙන්නෙක් වාර්තා විය හැකියි. මොකද මේක ඇසට නොපෙනෙන පොඩි වයිරසයක්නේ. ඒ නිසා අපේ සෞඛ්‍ය පුරුදු ටික දිගටම පවත්වාගෙන යෑමට අපට සිදුවෙනවා.

මේ වෙද්දී පොදු ව්‍යාපාර සහ පෞද්ගලික ව්‍යාපාර හා සේවා ස්ථානත් විවෘත කොට තිබෙනවා නේද?

ඔව්. බොහෝමයක් ව්‍යාපාර ආයතන, සේවා ස්ථාන, කර්මාන්තශාලා, ආපනශාලා, රූපලාවණ්‍යාගාර, හෝටල් පාරිභෝගිකයන්ට විවෘත කොට තිබෙනවා.

ඒත් කර්මාන්තශාලා විවෘත කිරීමට අදාළ චක්‍රලේඛ තවමත් නිකුත් වෙලා නැහැ නේද?

ඇතැම් ආයතන, ආපනශාලා යම් ක්‍රමවේදයකට නතුකොට තිබෙනවා. රූපලාවණ්‍යාගාර සම්බන්ධයෙන් නම් චක්‍රලේඛයක් නිකුත් කළා. ඊට අමතරව නිෂ්පාදන කර්මාන්ත, රාජ්‍ය හා පෞද්ගලික කාර්යාල, සත්කාරක කර්මාන්ත, අවන්හල්, ආහාර වෙළෙඳසල්, සුපිරි වෙළෙඳසල්, පොදු ප්‍රවාහන, ආර්ථික මධ්‍යස්ථාන, විශ්වවිද්‍යාල, ඉදිකිරීම් කර්මාන්ත ආදිය විවෘත කිරීමෙන් පසුව පවත්වාගෙන යායුතු සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රම හා මාර්ගෝපදේශ පිළිබඳව අපි මෙහෙයුම් මාර්ගෝපදේශ නිකුත් කොට තිබෙනවා. ඉදිරියේදී කර්මාන්ත අංශයටත් චක්‍රලේඛ සහ ගැසට් පත්‍රිකාවක් නිකුත් කරනවා.

රාජ්‍ය හා පෞද්ගලික සේවා ස්ථාන විවෘත කරන විට ඒවා අනුගමනය කළ යුතු පූර්වාරක්‍ෂක ක්‍රම හා මාර්ගෝපදේශ මොනවාද?

ඒ ඒ ආයතනයට ගෙන්විය යුත්තේ අත්‍යවශ්‍යම පිරිසක් පමණයි. විශේෂයෙන්ම උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, උගුරේ වේදනාව තිබෙන සේවකයන් සේවා ස්ථානයට නොයා යුතුයි. ආසාදිත අය ඇසුරු කළ අයත් සේවයට වාර්තා නොකළ යුතුයි. සෙසු පිරිස් කාර්යාලවලට ඇතුළු වීමට පෙර අත් සෝදාගත යුතුයි. ඇඟිලි සලකුණු යන්ත්‍රය භාවිත කරනවා නම් භාවිත කිරීමෙන් පසු අත් සේදීම වැදගත්. පසුව එම යන්ත්‍රයත් පිරිසුදු කළ යුතුයි. මීට අමතරව ඇතුළු වන ස්ථානයේ 0.1% සෝඩියම්  හයිපොක්ලෝරයිට් ද්‍රාවණයක් මත ඇවිද යෑමට සැලැස්වීම හෝ පැලඳගෙන ආ පාවහන් ඉවත් කොට ආයතනයේදී පරිහරණය කිරීමට නව පාවහන් ලබාදිය යුතුයි.

රැකියාවට පැමිණෙන අයගේ ශරීර උෂ්ණත්වය පරීක්‍ෂා කිරීමත් වැදගත්. ඒ වගේම මීටරයක දුර පවත්වා ගැනීම, මුහුණ, කට, නාසය ඇල්ලීම, අනෙක් අයගේ උපකරණ භාවිත නොකිරීම, නිවෙසට යන විටත් දෑත් පිරිසුදු කිරීම, ගිය විගස ඇඳුම් පැලඳුම් පිරිසුදු කොට තමාත් පිරිසුදු වීම වැනි සෞඛ්‍ය පුරුදු අනුගමනය කළ යුතුයි.

නිතර භාවිත වන කාර්යාල මේසය, පරිගණක වැනි දේවලත් විසබීජහරණය කළ යුතුයි.

කාර්යාලයක තිබෙන ‍ෙදාර, අගුළු, කබඩ් වැනි ලෝහ පෘෂ්ඨ 70% මද්‍යසාර අඩංගු ද්‍රාවණයකින් පිරිසුදු කිරීමත්, ලෝහ නොවන පෘෂ්ඨ 0.1%ක සෝඩියම් හයිපොක්ලෝරයිට් ද්‍රාවණයකින් පිරිසුදු කිරීමටත් අනිවාර්යය දෙයක්. ‍ෙදාර අගුළු හැඬල නිතර ඇරෙන වැහෙන ‍ෙදාරවල් තිබෙනවා නම් ඒවත් සෑම වැඩමුරයකටම පෙරත් පැය තුනකට වරකුත් පිරිසුදු කොට විසබීජහරණය කළ යුතුයි. කාර්යාලයේ පුටු, මේස ආදිය දිනකට දෙවරක් විසබීජහරණය කළ යුතුයි.

සේවකයන්ට ප්‍රවාහන පහසුකම් සපයන විට මුලින්ම වාහනයේ විසබීජහරණය කිරීම වැදගත්. වාඩි වූ පසු මීටරයක දුරින් සිටිය යුතුයි. ‍ෙදාර වැහීමට ඇරීමට වෙනම අයකු යෙදවීමක් කළ යුතු දෙයක්.

සේවා ස්ථානයක කොවිඩ් 19 යැයි සැක හිතෙන පුද්ගලයකු සිටියහොත්?

එහෙම තත්ත්වයකදී 1390ට ඇමතුමක් දෙන්න පුළුවන්. ගිලන් රථයක් ගෙන්වා ඒ පුද්ගලයාව ළඟම තිබෙන රජයේ රෝහලට යවන්න පුළුවන්. සැක සහිත කෙනා දිගටම මුඛ ආවරණ දාගෙන අනෙක් අයගෙන් අෑත්වෙලා ඉඳීම අවශ්‍යයි. එම පුද්ගලයා රෝගී බව තහවුරු වුණොත් කාර්යාලයට සෞඛ්‍ය බලධාරීන් පැමිණෙනවා. ඉන් පසුව ඔවුන්ගේ උපදෙස් අනුව කටයුතු කරන්න වෙනවා.

ඉදිරියට දින වෙන් කොට ගත් මංගල උත්සව තිබෙනවා නම් ඒවා සිදුවිය යුත්තේ කොහොමද?

ලොකු පිරිසක් සමඟ ලොකු උත්සවයක් ගන්න බැරි බව මුලින්ම වටහා ගත යුතුයි. දින වෙන් කරලා තිබෙනවා නම් කල් දාන්නම බැරි නම් අත්‍යවශ්‍යම කිහිපදෙනෙක් ගෙන්වාගෙන චාරිත්‍ර කිරීමට සිදුවෙනවා. නෑදෑයෝ කීපදෙනෙක්, රූපලාවණ්‍ය ශිල්පියා, ඡායාරූප ශිල්පියා, විවාහ රෙජිස්ට්‍රාර් වගේ අත්‍යවශ්‍ය අය සමඟ සීමිත පිරිසක් පමණයි සහභාගි විය යුතු. උත්සව ශාලාවක හෝ හෝටලයක උත්සවය ගන්නවා නම් එන අමුත්තෝත් හෝටලයේ අයගේ පුර්වාරක්‍ෂක ක්‍රමවේද අනුගමනය කරන්න ඕනෑ. උෂ්ණත්වය බලලා, අමුත්තන් ලියාපදිංචි කරලා, අතපය සෝදලා සෝපාන, කැසිකිළි, වැසිකිළි භාවිත කරන ආකාරය ගැන උපදෙස් දීලා තමයි මංගල උත්සවය ගන්න වෙන්නේ.

මංගල උත්සවවලට පමණක් නොවෙයි අවමංගල්‍ය කටයුතු, ආගමික උත්සව ආදියටත් සාදවලටත්, විශාල පිරිසක් එක්රැස් කරන්න බැහැ. ඒවටත් ඉතාම අඩු පිරිසකුයි ගෙන්වා ගත යුත්තේ. අපි ක්‍රමිකව මේ පාලනයන් ලිහිල් කිරීමට උත්සාහ කරනවා.

ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසු මුල් දින එක, දෙක ඇතුළත ජනතාවගේ හැසිරීම එතරම් සුබදායී වුණේ නැහැ නේද?

මිනිසුන්ට මේ රෝගය සහ රටේ තිබෙන තත්ත්වය අමතක වෙන හැටි අපට දැනුණා. වයින් ස්ටෝර්ස්, කඩ සාප්පු විවෘත වුණු විට සමහරු හැසිරුණේ ස්වයං පාලනයකින් තොරවයි. ඒක නරකයි. නමුත් බහුතරයක් ඉතා හොඳින් කටයුතු කළා. කාර්යාලත් හොඳට කටයුතු කළා. නමුත් හිටපු ගමන් බස්වල සෙනඟ පුරවලා අරගෙන ගියා. ඒවා විය යුතු නැහැ. අපි වගකීම් සහගතව හැසිරිය යුතුයි.

මෙවැනි සමාජ හැසිරීම් නිසා කොවිඩ් 19 දෙවැනි රැල්ලක් රට තුළ ඇතිවීමේ අවදානමක් තිබෙනවාද?

දෙවැනි රැල්ලක් ඇතිවීමේ අවදානමක් නම් අඩුයි. නමුත් අතරින් පතර රෝගීන් එක්කෙනෙක් දෙන්නෙක් හමුවෙන්න අවකාශයක් තිබෙනවා. ඒ තත්ත්වය අපිට වළක්වා ගන්න පුළුවන් නම් රැලි ඒමේ ඉඩකඩ අඩුවෙනවා. අපේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය විමසිල්ලෙන් සිටිනවා නම් රෝහල්වලට එන රෝගීන් හඳුනා ගන්න පුළුවන් නම් එහෙම වෙන්න ඉඩක් නැහැ. ක්‍ෂේත්‍රයේ කවරකුට හෝ ශ්වසනාබාධ තත්ත්වයක් තිබෙනවා කියලා දැනගත් විගස කඩිනම් විය යුතුයි. රෝග ලක්‍ෂණ මතුවෙන අය බොහා් විට ඉන්නේ නිරෝධායන මධ්‍යස්ථානවල. බොහෝ දෙනෙක් නාවික සෙබළු. සමාජයේ පිරිස් ගැවසීම අඩු නිසා සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාවක් වුණත් දකින්න ලැබෙන්නේ අඩුවෙන්. ඉන්ෆ්ලුවෙන්සා වුණත් අඩුයිනේ දැන්. නැත්නම් අවුරුද්දකට කී පාරක් ඔය වයිරස් උණ තත්ත්වයන් එනවාද? සෙනඟ ගැවසීම අඩු නිසා ඒවත් අඩුයි.

පී.සී.ආර්. පරීක්‍ෂණ කරන විට වයිරසය ඇඟේ නොතිබුණත් දින කිහිපයකින් පසු වයිරසය සක්‍රිය වෙන්න පුළුවන්. ඒ නිසා රෝගීන් මඟහැරෙන්න පුළුවන් කමක් තිබෙනවාද?

රෝග ලක්‍ෂණ තිබෙන සැක සහිත අයටනේ පරීක්‍ෂණ කරන්නේ.  ක්‍ෂේත්‍රයේ අහඹු ලෙස කරන නියැදි පරීක්‍ෂාවකදී අද නැති කෙනකුට හෙට රෝගය තිබෙන්නට පුළුවන් විය හැකියි. විසබීජය ශරීරයට ඇතුළුවීමෙන් පසුව රෝග ලක්‍ෂණ පෙනෙන්නත් දවස් කිහිපයක් ගතවෙනවානේ.

WHO  පවසන පරිදි මේ වයිරසය ලෝකයෙන් තුරන් කිරීමට අපහසුයි. ඒ අනුව කොහොමද ජන ජීවිතය යථා තත්ත්වයට ගේන්නේ?

ශ්වසනාබාධ තත්ත්වයක් ලෝකයේම තිබෙන විට තුරන් කිරීම අමාරුයි. රටවල් සිය ගණනක තිබෙනවා. එකපාරට බින්දුවට බස්සවන්න බැහැ. එක රටක රෝගීන් නැති වුණත් අනෙක් රටවල් සමඟ නිරන්තර ගනුදෙනු සිදුවෙන කොට නැවත රෝගය බෝ විය හැකියි.

ඒ කියන්නේ අපට කොරෝනාත් සමඟ ජීවත් වෙන්න වෙනවා?

ඔව්. බෙහෙතක් හෝ එන්නතක් නිසියාකාරව සොයා ගන්නා තෙක් අපිට මේකත් සමඟ සෑහෙන  කාලයක් ඉන්න වෙනවා.

හයිඩේ‍රාක්සික්ලෝරෝක්වීන් ඔෟෂධය මෙයට ධනාත්මක ප්‍රතිචාර දක්වන්නේ නැද්ද?

අපිත් එය භාවිත කරනවා. නමුත් ඒකමද ඔෟෂධය කියලා අපිට තවම පැහැදිලිව කියන්න බැහැ. නිවැරැදිව ස්ථිරව එන්නතක් හෝ බෙහෙතක් තවම සොයාගෙන නැහැ. තවමත් ඒවා පර්යේෂණ මට්ටමේ තමයි පවතින්නේ. තව වසරකින්ද දෙකකින්ද ඔෟෂධයක් සොයා ගන්නේ කියලා ස්ථිරව කියන්න බැහැ.

මේ වයිරසය හා බැඳුණු දුර්මත රාශියක් තිබෙනවා. ප්‍රතිජීවක ඔෟෂධ ලබා ගැනීමෙන් මෙතනෝල්, එතිල්, ඇල්කොහොල් වැනි ද්‍රව්‍ය ගැනීමෙන් මෙම රෝගය සුවවෙන බවත් නොවැලඳෙන බවත් ඇතැමුන් විශ්වාස කරනවා නේද? 

අපි හරි දේ නිතර ජනතාවට කියනවා. මාධ්‍ය මඟිනුත් කියා දෙනවා. නමුත් දුර්මත පසුපස යන සුළු පිරිසකුත් සිටිනවා ඇති. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය නිතර ජනතාව දැනුවත් කළත් සමාජ මාධ්‍ය මඟින් දුර්මත පැතිරීමට පුළුවන්. වයිරසයකට ඇන්ටිබයෝටික්ස් (ප්‍රතිජීවක) බීලා නම් හරියන්නේ නැහැ. ඒ වගේ දේවල්වලින් රෝගය සුව වෙනවා කියලා හිතනවා නම් වැරැදියි. රෝග ලක්ෂණ තිබෙනවා නම් එවැනි දේවල් කර කර හිත හිත ගෙදර ඉඳලා බැහැ. රෝගය තමාගෙන් තව අයකුට බෝවීමට ඉඩ තැබිය යුතු නැහැ. 

කොවිඩ් – 19 රෝගය ලංකාවේ අයට වැලඳෙනවා අඩුයි. වැලඳුණත් සතියෙන් හොඳ වෙනවා. අපේ රටේ මිනිසුන්ගේ ප්‍රතිශක්තිය හොඳයි කියලා උදම් අනමින්, රෝගය නොතකා හැසිරෙන අයත් ඒ අතර නැත්තේම නැහැ නේද?

ඔව්. එහෙම කියන අයත් සිටිනවා. අපේ රටේ මේක වැලඳුණු අයගෙන් බොහෝ දෙනෙක් වයස අවුරුදු 50ට අඩු අය. ඔවුන් ඉක්මනට සුවය ලබලා ගියා. ඒක මේ අපේ රටේ අයගේ ප්‍රතිශක්තිය හොඳකමවත්, අපේ රටේ අයට අමාරු වෙන්නේ නැති එකවත් නෙවෙයි. එහෙම වුණේ අපේ රටේ ඉතා හොඳ සෞඛ්‍ය ක්ෂේත්‍රයක් තිබෙන නිසයි. ඉක්මනින් රෝහලට යොමු වෙලා ප්‍රතිකාර ලැබූ නිසා තමයි ඉක්මනින් ගෙදර ගියේ.

පොකුරු වශයෙන් සමාජයේ පැතිරුණා නම් වයස්ගත අයටත් මේක බෝවෙන්න ඉඩ තිබුණා. එහෙම වුණා නම් මේ තත්ත්වය වෙනස් වෙලා මරණ සංඛ්‍යාව මීට වඩා වැඩිවෙන්න ඉඩ තිබුණා. දැනට වාර්තා වන රෝගීන්ගේ 60%ක් පමණ අවුරුදු 31-50ත් අතර අය. මොකද සමාජ සම්ප්‍රේෂණය අඩුයි. තවම අපේ මරණ අනුපාතය 0.9% යිනේ. අපේ රෝහල්වල පහසුකම් සහ රැකබලා ගැනීම් ඉතා හොඳයි. ඊට අමතරව සමස්ත සෞඛ්‍ය ක්ෂේත්‍රයම යුහුසුලුව කටයුතු කරනවා. මේ තත්ත්වයෙන් අපි ඉන්නේ ඒකයි. 

ලෝක ප්‍රවණතාව අනුව මෙයට වැඩි වශයෙන් ගොදුරු වන්නේ පුරුෂ පාර්ශ්වය. ලංකාවෙත් එහෙමයි. මොකද්ද මේකට හේතුව?

ඔව්, අපේ රටෙත් පිරිමින්ට තමයි මේක වැඩිපුර වැලඳුණේ. අපේ රටේ 2/3ක්ම පිරිමි, ගැහැනු 1/3යි. ලෝකයේ වෙන රටවලත් වැඩිපුර එළියේ ගැවසෙන්නේ පිරිමි. ඔවුන් බාහිර සමාජය සමඟ කරන ගනුදෙනු කාන්තාවකට වඩා වැඩියි. මුලින්ම අපේ රටට ආවේ විදේශීය සංචාරකයෝ.

ඔවුන්ගෙනුත් පිරිමියි වැඩී. අපේ රටේ කෙනා සංචාරක මඟ පෙන්වන්නෙක්. ඉන්පසුව විදේශයන්හි රැකියාවට ගොස් පැමිණි නිරෝධායන මධ්‍යස්ථානවලට ගිය බොහෝ දෙනකුත් පිරිමි. ආගමික මෙහෙයට සහභාගි වෙලා තිබුණෙත් පිරිමි. පසුව සුදුවැල්ල, බණ්ඩාරනායකපුර, නාවික හමුදාව ගත්තත් වැඩිපුරම පිරිමි අයටනේ වැලඳුණේ. හේතුව ඔවුන් වැඩි වශයෙන් බාහිර සමාජය හා ගැටීම හා සමාජමය හැසිරීමයි. ඔය කියපු තැන්වල කාන්තාවන් නියෝජනය අඩු ඇති. එනිසා තමයි කාන්තාවන්ට වඩා මේක පිරිමින්ට වැලඳීමේ ඉඩකඩ වැඩි වුණේ. 

දුම්බීම කොවිඩ් – 19 වැලඳීමට හෝ වැලඳුණු අයට වැඩි සංකූලතා ඇතිවීමට හේතුවක් බව පැවැසුවා නේද?

දුම්බීම නිසා වයිරසය වැලඳෙන්නේ නැහැ. නමුත් එකම සිගරැට්ටුව පුද්ගලයන් කිහිප දෙනෙක් මාරුවෙන් මාරුවට ඉරීමේ නම් අවදානමක් තිබෙනවා. ඒ පිරිසේ එක් අයකුට මේක තිබෙනවා නම් අනෙකාට පහසුවෙන් සම්ප්‍රේෂණය වෙනවා. දුම්බොන කෙනෙක්ට කොවිඩ් – 19 වැලඳුණොත් සංකූලතා වැඩිවිය හැකියි. දුම්බොන අයගේ ශ්වසන ආස්තරයේ තිබෙන රෝම නැතිවෙනවා. ඉතින් පහසුවෙන් වයිරසය ශරීරගත වෙනවා. මිනිස් ශරීරය සැකසී තිබෙන්නේ ස්වාභාවිකවම රෝග සහ විසබීජ පහසුවෙන් නොයන විධියටනේ. නාසයේ තිබෙන රෝම කූප, ඇස්වල පිහාටු වුණත් තිබෙන්නේ ඒකටනේ. මුළු ශරීරයම සැකසෙන්නේ එහෙමයි. නමුත් දුම්බොන කෙනකුගේ නාසයෙන්, මුඛයෙන් ඉතා පහසුවෙන් මේ වයිරසය ඇතුළු වෙලා ශ්වසන පද්ධතියට යන්න පුළුවන්. 

ස්ත්‍රී / පුරුෂ ලිංගික අවයවවලින් නිකුත් වෙන තරලවලින් වයිරසය සම්ප්‍රේෂණය විය හැකි බවත් ආසාදනය වී සුවය ලැබූවත් කාලයක් යනතුරු ලිංගික තරලවල වයිරසය සක්‍රිය වන බවත් මාධ්‍යවල පළ වුණා. මෙහි සත්‍යයක් තිබෙනවාද?  

එහෙම කිව්වට තවම මේක තහවුරු කරගෙන නැහැ. වරෙක කිව්වනේ අසූචිවලත් තිබෙන්න පුළුවන් කියලා. එහෙම තිබුණත් මුඛය හෝ නාසය හරහා ශ්වසන පද්ධතියට එන්න පුළුවන්කමක් නැහැ. ශ්වසන පද්ධතියට යන්න නම් අපි රෝගී අයකු පිටකරන කැස්ස, හුස්ම ආශ්වාස කරන්න ඕනෑ. නැත්නම් ඒ කෙළ, සොටු අතපත ගාන්නට ඕනෑ. අතෙන් කටට, නහයට ගියොත් වයිරසය බෝ වෙනවා. පවුලේ එක් අයකුට තිබුණත් හැම සාමාජිකයාටම බෝ වෙන්නෙත් නැහැ. සමීපම සබඳතා තිබෙන්න ඕනෑ.

ගෘහාශ්‍රිතව වැඩෙන බල්ලන් සහ බළලුන්ගෙන් වයිරසය සම්ප්‍රේෂණය වෙනවද?

ඔවුන්ගේ ශරීරවල වයිරසය තිබෙන්නට පුළුවන්. නමුත් අපේ රට තුළ නම් එවැන්නක් තිබෙන බව පෙනෙන්නට නැහැ. දැනට ඒ නිසා වාර්තා වීමක් නැහැ.

විසබීජහරණ කුටි තැනීම සහ දියර ඉස ශරීරය පිරිසුදු කිරීම හොඳ බව මුලින් පැවැසුවා. නමුත් දැන් පවසන්නේ එය එතරම් හිතකර නැති බව නේද?

ඔව්. විසබීජහරණය කුටි භාවිතය සහ මිනිසුන්ගේ ඇඟට එම දියර ස්පර්ශවීම හෝ ඒවා ආඝ්‍රාණය වීම යහපත් නැහැ. එමඟින් ශ්වසන පද්ධතියට හානි වෙන්න පුළුවන්. ක්ෂුද්‍ර ජීව විද්‍යාවේදීන්ගේ සංගමය හා සෞඛ්‍ය අමාත්‍යාංශය, පාරිසරික හා වෘත්තීය සෞඛ්‍ය හා ආහාර සුරක්ෂිත අංශයෙන් මේවා අහිතකර බවට නිවේදනයක් නිකුත් කෙරුණා. පුද්ගලයන් මතට නොව පුද්ගලයන් බහුලව පරිහරණය කළ පෘෂ්ඨ  මතට විසබීජහරණ දියර ස්ප්‍රේ කළාට නම් කමක් නැහැ. 

නමුත් ඍජුව ශරීරවල තැවරීම සෞඛ්‍යාරක්ෂිත නැහැ.

මේ දිනවල පවතින වැසි සහිත කාලගුණය කොවිඩ් -19 පැතිරීම වේගවත් කරන්න හේතුවෙනවාද? කාලගුණික තත්ත්වයත් මෙයට බලපාන බවට විවිධ මත පළවීමක් දක්නට ලැබෙනවා නේද?

එහෙම නම් තහවුරු වෙලා නැහැ. නමුත් සාමාන්‍යයෙන් වර්ෂා කාලවල ශ්වසනාබාධ වැඩිපුර දක්නට ලැබෙනවා. ශ්වසනාබාධ තත්ත්වයන් ඇති වෙන්න වර්ෂාව බලපෑවත් වර්ෂාව නිසා කොවිඩ් -19 සම්ප්‍රේෂණය වෙන බව කියන්න බැහැ. ඒ වගේම කාලගුණික තත්ත්වයන් මේකට බලපාන බව කියන්නට අමාරුයි.

මුඛ ආවරණ පැලඳීම ගැනත් විවිධ මත පළවෙන බව පේනවා. විටෙක එය අත්‍යවශ්‍ය නැති බවත් තවත් වරක එය අත්‍යවශ්‍ය බවත් කියැවෙනවා. ඔබේ අදහස කුමක්ද?

අපි යමක් කරනවා නම් එය නිවැරැදිව කළ යුතුයිනේ. මාස්ක් දැමිල්ලත් එහෙමයි. හරියට දාන්නේ නැත්නම් නොදාම ඉන්න එක තමයි හොඳ. දිගුකාලීනව දාන නිසා නිතර මාරු කළ යුතුයි. 

හොඳට මුහුණට තද වෙන්න ඕනෑ. එහෙන් මෙහෙන් ඇරලා තිබෙන්න බැහැ. අතින් අල්ල අල්ල නිතර එහෙ මෙහෙ කරන්න බැහැ. කොටින්ම පලඳින විට ගලවන විට හැර අතින් අල්ලන්නම බැහැ. අල්ලනවා කියන්නේ අතේ තියෙන විසබීජ මුහුණටම ගෙනයනවා කියන එකනේ. අත් දෙක හොඳට පිරිසුදුව තිබෙනවා නම් ග්ලවුස් හෝ දානවා නම් වයිරසය එන්න තිබෙන ඉඩ අඩුයි.

මට නම් මාස්ක් එක දැමීමේ වාසියක් පේන්නේ නැහැ. මාස්ක් එක දාගෙන බඩු ගන්න පොර කනවා නම් අනෙක් අය සමඟ සමීපව කතා බහ කරනවා නම් පලක් නැහැ. මාස්ක් එක දැම්මත් මීටරයේ දුර තියාගන්න ඕනෑ. දැන් කට්ටිය මාස්ක් දාන්නේ පොලිසියට බයේ.

නමුත් මම මාස්ක් දාන්න එපා කියන්නේ නැහැ. මාස්ක් දැමීමෙන් කවරෙකුට හෝ රෝග ලක්ෂණ තිබෙනවා නම් එයාගෙන් තව කෙනකුට විසබීජ යන ප්‍රමාණය වැළකෙනවා. බෙහෝ දෙනෙක් හිතනවා අපි මාස්ක් දානවා නේ. ඒ නිසා අපිට බෝ වෙන්නේ නැහැ කියලා. නමුත් ඇත්තටම මාස්ක් එකකින් විතරක් මේක කරන්න බැහැ. 

එක දිගට මාස්ක් දානකොට අපහසුයිනේ. දාඩිය දානවා. එතකොට නිකටට පහත් කරනවා, ගලවනවා එහෙම මාක්ස් දාලා වැඩක් නැහැ. මාස්ක් එක දැම්මම ඔක්සිජන් අඩුවෙනවා. ඒකට දාඩිය දාලා. තෙත් වුණාම විවිධ දිලීර ආසාදන ඇති වෙන්න පුළුවන්. මේ සේරටම ඔරොත්තු දීගෙන තමයි මාස්ක් එක දාන්න ඕනෑ. එහෙම නැතිව දාන්නන් වාලේ දැමීමක් වැඩක් නැහැ. 

මේ දිනවල ඩෙංගු උණ පැතිරීමේ අවදානමක් තිබෙන බව පැවැසෙනවා. කොවිඩ් අස්සේ ඩෙංගුත් ආවොත් ලේසි වෙන්නේ නැහැ නේද?

දැන් අපි ඩෙංගු මර්දනයටත් කටයුතු ආරම්භ කරලයි තියෙන්නේ. ඩෙංගු මර්දන ඒකකයෙන් කීට සමීක්ෂණ කිරීම, අවශ්‍ය උපදෙස් ලබාදීම, මදුරුවෝ බෝ වෙන ස්ථාන ඉවත් කිරීම වැනි වැඩපිළිවෙළක් කරගෙන යනවා.

අරුණි මල්ලවආරච්චි

ඡායාරූප – උදේශ් රණසිංහ

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2021 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress