කොරෝනාවෙන් ලංකාවට ලැබී ඇති වෙස්‌වලාගත් භාග්‍යය
Posted on May 23rd, 2020

චන්ද්‍රසිරි විජයවික්‍රම, LL.B.,Ph.D.

දිසාපති හාමුදුරුවෝ මන්තිරීට සර් කීම

පක්‍ෂ දේශපාලකයින් විසින් ලංකාව විනාශ කිරීමේ එක් සන්‌ධි ස්ථානයක් වූයේ රාජ්‍ය සේවය සඳහා අයැදුම් කිරීමේදී මන්ත්‍රීගෙන් ලියුමක් ඊට ඈඳන ලෙස ශ්‍රී ලංකා-සමසමාජ සභාග ආණ්ඩුකාලයේදී (1962-64, 1970>) ගත් තීරණයය. මහ බැංකුවට බඳවා ගන්නා ආධුණික විධායක නිලධාරී තනතුරු වලදී, විශ්ව විද්‍යාල ආර්ථික විද්‍යා ගෞරව උපාධිධාරීන්ට පවා මෙසේ කරන්නට සිදුවිය. චන්ද කාලයේ යමෙකුගේ දෙමාපියන් වැඩකලේ මන්ත්‍රීගේ පක්‍ෂයට වෙනස් පක්‍ෂයකට නම් මේ නිසා ඇතිවන අනිසි මානසික බලපෑම (හීනමානය) අතිමහත්‌ය.

උසාවි බාල්දු කිරීම

ෆිලික්ස් ඩයස් විසින් කුරුණෑගල දේශපාලකයෙකුවූ ජයා පතිරණව සුප්‍රීම් උසාවියට පත් කිරීමේ සිට, ලංකාවේ සිදුවු මේ විනාශකාරී පෙරළියට හොඳම උදාහරණය නම්, පසු කලෙක ලංකාවේ පක්‍ෂ මාරුකිරීමේ ඔස්තාර් යයි ප්‍රසිද්‌ධවූ රොනී ද මැල් ය. සිවිල් සේවය අතහැර දේශපාලනයට ඒමට ඔහු තීරණය කලේ නිලධාරියා අභිභවා මන්තිරී පරාණ හිස ඔසවන්නට වීමේ උපනතියත් සමඟය. එහෙත් පානදුරේ කෝටිපති බස් මුදලාලි ලියෝ ප්‍රනාන්දුගේ එකම දරුවාවූ ඔහුගේ බිරිඳ ඊට ඉඩදුන්නේ නැත. දිසාපති හාමුදුරුවන් ඉදිරියේ සර් කියන මන්තිරීලා ඇය නිතරම දැක ඇත. එහෙත් අන්තිමේදී ඇයටද පෙනීගියේ තම සැමියා නිවැරදි බවය. ඔහු කෙතරම් සතුටු වූවාදයත්, විශ්‍රාම වැටුපත් එපා කියා සේවයෙන් ඉවත් ‌විය!

දේශපාලක ගැට

නිලධාරී පංචස්කන්‌ධ, මන්තිරී පංචස්කන්‌ධ විසින් යටපත් කර ගැනීමේ උපක්‍රමයේ හොඳම නිදසුනක් එක් නිලධාරිනියක් මට කියා සිටියාය. පරිපාලන සේවයට බඳවා ගන්නා ආධුනික නිලධාරීන්ට පුහුණුවීම් පාඨමාලා ලබාදෙන එක්තරා ජ්‍යෙෂ්ඨ නිලධාරීයෙක් ඔවුන්ට දෙන එක් අවවාදයක් නම්, තම රාජකාරියේදී, විශේෂයෙන් ඉඩම් බෙදාදීමේදී, මන්ත්‍රී පරාණ දාන <ඇමට> අසු නොවන ලෙසය. ඒ ඇම නම්, මිනිසුන්ට ඉඩම් කට්ටි බෙදන අවස්ථාවේදී, ඉතා අහිංසක ලීලාවෙන් මන්ත්‍රී විසින් ඉඩම් බෙදීම භාර නිලධාරීයාට කියන, <මහත්තයෝ, ඔන්න ඔය කට්ටියකට ඔබතුමාගෙ නමත් දාගන්නකෝ> යන යෝජනාවය! ඕනෑ තරම් ඉඩම් කට්ටි ප්ලෑනේ ඇති නිසා, යම් නිලධාරියෙක් ඒ අවස්ථාවේදී ඇතිවෙන ක්‍ෂණික තන්හාව උඩ මේ ලණුව ගිල්ලොත්, ඔහු සදාකාලිකවම මන්ත්‍රීගේ පඹයෙක් නොව ප්‍රාණ ඇපකාරයෙක් වන්නේය. ඔහුගේ රාජකාරී තීරණ ගෙදර නෝනාට/ මහත්තයාටවත් කියන්නට බැරි තරමින් පාච්චල් වන්නේය.

මේ අන්දමේ කතා දුසිම් ගණනක් වුනත් ලියන්නට හැකිය. තව කිවයුතු එක කතාවක් නම් මා දන්නා තරුණ යුවලක, ස්ත්‍රියට දුෂ්කර පලාතක සිට කළුතරට ගුරුමාරුවක් ගැනීමය. අවශ්‍ය අවම කාලයවූ අවුරුදු 5 වෙනුවට 7 ක්ම සේවය කල ඇයව ඈ ඉන්නා පාසැලෙන් මුදාහැරීමටත්, ඈ ව භාරගන්නට කළුතර පාසැලේ විදුහල්පති කැමතිවී සිටියත්, අධ්‍යාපන කාර්යාල දෙකේ අධ්‍යක්‍ෂකලා දෙන්නා ගුරුවරියව අවුරුදු දෙකක් පුරාම රස්තියාදු කලේය. ඉහළ දේශපාලන සම්බන්‌ධයක් හරහා මහ ඇමතියාට බැගෑපත්‌ව ඉල්ලා සිටියත් ඔහු එයද නොසලකා හැරියේ ලොකු පගාවක් බලාපොරොත්තුවෙන් බව නිසැකය.

අන්තිමේදී සිදුවූයේ කුමක්ද? මහ ඇමතියාගේ එක් සම්බන්‌ධීකරණ ලේකම් කෙනෙක් රුපියල් 50,000 කට එක දවසින් මාරුව සදා දුන්නේය! අවුරුද්දකට පමන කලින් පිටරට සිට ටෙලිවිෂන් එකක් ගෙනත් දෙන ලෙස ඔහු ඉල්ලා සිටියත් එය අතපසු කලේ යුක්තිසහගත මාරුවක් එසේ හෑල්ලු කිරීමට තිබූ අකමැත්ත නිසා මිස ටෙලිවිෂන් එකකට සල්ලි දීමේ ලෝභ කමකට නොවේ. ඒ ලේකම්, මහ ඇමතියාගේත්, ඔහුගේ චැක්ගෝල අධ්‍යක්‍ෂකගේත් හොර ගණු දෙනු දන්නේය. ඒවායේදී ඔහුද අධ්‍යක්‍ෂකට උදව්කර තිබේ. වරක් අධ්‍යක්‍ෂකට ලැබුණු ස්ථාන මාරුවක්ද මහaැමතිට කතාකර නතර කර දුන්නේය. දුෂ්කර පලාතේ නගරයත්, කළුතරත් අතර මාරුව ලබාදීමට වාහනයේ එහාට මෙහාට රවුම් ගසනා අතුර ලේකම්, ගුරුවරියගේ ස්වාමියාට කිව් කතා, පලාත් සභා මට්ටමින් රටට සිදුවන විනාශය ගැන චිත්‍රපටියක් බැලුවා වැනිය. මහaැමතිට දියයුතු දඬුවම හිරගෙදර නොව, වැව් ශුද්‌ධ කිරීමට ගෙනයාමය.

මේ අන්දමට විනාශය කරා ගිය රටකට, අළුත් ජනාධිපතිට, කොරෝනාව දිව්‍ය වරමක් වැනිය. රටේ ජනයා විසින් දේශපාලක හොරා දමණය කර, ඒ <රස්සාව> ඔවුන්ට අතින් පාඩු වෙන එකක් බවට පෙරලිය හැකිය, යුතුය. රටට විනයක් ගෙන ඒමේලා ජනාධිපතිට උපදේශක මණ්ඩල ක්‍රමයක් තිබිය යුතුසේම, වහාම වැරදි නිවැරදි කල හැකි, හොරුන් හා වංචාකාරීන් අල්ලාගත හැකි චරපුරුෂ සේවා ක්‍රමයක්ද තිබිය යුතුය. චෝදනා ප්‍රසිද්‌ධ කර කඩිනමින් ඒවා විසඳන ක්‍රමයක් තිබිය යුතුය. ගම් මට්ටමින් මෙය සිදුවිය යුතුය. ඒකාධිපතිවාදයක් යන චෝදනාව වැලකෙන්නේ එසේය.

හෝමාගම අළුත් ක්‍රිකට් ක්‍රීඩා භූමියක් සැදීමේ යෝජනාවට වූ දෙය මේ සඳහා හොඳ මඟ පෙන්‌වීමකි. ක්‍රීඩා දක්‍ෂතාවය නිසාම (නෑකම්, දේශපාලන පන්දම් නොව) දිවයිනේ නමක් දිනාගෙන ඇති දෙතුන් දෙනෙක් මැදිහත්‌වී මෙම යෝජනාවේ නුසුදුසුකම එලිකල නිසා එය අකුලා ගන්නට දේශපාලකයින්ට සිදුවිය. මෙය මොන අන්දමකටවත් සාධාරණීය කරණය කල නොහැකි පුදුමම යෝජනාවකි. එය මඩවඟුරක පාර්ලිමේන්තුවක් සදා රටට කල දියවන්නා හෝටල් හානිය වැනිමය. ඒ අවට මෙන්ම කොළඹ පවා වැස්සෙන් යටවෙන්නේ මේ නිසාය. අළුත් එකක් ඕනෑනම් එය සැදිය යුතුව තිබුනේ කොළඹින් ඈත රජරටය.

ඒ කාලයේ ගල් ඔය ඉහළ නිම්නයේ කුඩා ජලාශ කීපයක් වෙනුවට, පහල යෝධ සමුද්‍රයක් සදන්නට එපා යයි දොස්තර එස්. ඒ. වික්‍රමසිංහ මහතා කල ආයාචනය ඩී. එස්ලා විසින් නොසළකා හැරීමේ විපාක රටම විදෙව්වේය. මේ සඳහා කොපි කල ඇමෙරිකාවේ ටෙනසි ගංඟා නිම්නයේ කර තිබුනේද වික්‍රමසිංහ මහතා කී දෙයමය. හුණුගල් තට්ටු උඩ යෝධ වික්ටෝරියා ජලාශය සැදීමද මෙවැනි අඥාන වැඩකි. එහි බර නිසා හුණුගල් පාෂාණ දෙදරා ඇතිවන ප්‍රතිඵල ලැබෙන්නේ තව පරම්පරා දෙකකට පසුවය. දේශපාලකයින්ගේ මහා පරිමාණ යෝධ වැඩ පිස්සුව, කොරෝනා යුගයත් සමඟ 2020 සිට අවසන් කිරීමට ක්‍රිකට් මෙන්ම අනිකුත් අංශවල උගත්, බුද්ධිමත්, දක්‍ෂතා සහිත විශ්‍රාම ගිය හා නොගිය පුරවැසියන් බලකර සිටිය යුතුය. දැන් ජනයාගේ සිත් තුල කිඳාබැසගෙන තිබෙනා මතයක් නම් මේ යෝධ ව්‍යාපාර රෝගයට හේතුව ඊට සම්බන්‌ධ කොමිස් කුට්ටි ගාය බවය.

ලංකාවේ අධිවේගී ගායද මෙවැනිය. ඉදිරියට හෝ සිදුවිය යුත්තේ ප්‍රධාන රේල් පාරවල් ඩබල් ලයින් කර, ගොවියන්ට තම නිෂ්පාදන ඊට ගෙන ඒමට පහසු වන සේ පාරවල් රටාවක් සැදීමය. මෙතරම් පැහැදිලි ප්‍රතිපත්තියක් වෙනුවට සංකීර්‍ණ පරිවහන සැලැස්මවල් හදාගෙන දඟලන්නේ ඇයි? ලංකාවේ ගම්වල නම්වල ආරම්භය පිළිඹඳව ආකරාදියක් සදා ඇති කැනඩාවේ වසන මහාචාර්ය චන්ද්‍රේ ධර්‌මවර්‌ධන කියන්නේ යාපනයට විදුලි දුම්‍රියක් දැම්මොත් යාපනය, දැන් වැල්ලවත්ත-දෙහිවල මෙන්, කොළඹ පරිවාර නගරයක් වෙන බවය. ඊළම් ව්‍යාපාරය ඉබේම කොට උඩ යන බවය!

කොරෝනාව, කොසොල් රජතුමාගේ සීන දාසැය ලෝකයටම සැබෑ කලේය. එහි පෙන්වා දී ඇති රාජ්‍ය පරිපාලන දූෂණ නැති කිරීමේ අවස්ථාව, ජනාධිපති ගෝඨාභයට ලැබී ඇත. මේ සඳහා ජන මූල සභා (ජනසභා) මට්ටමෙන් රටේ විනයක් ඇති කිරීමේ යෝධ කාර්යයට (පාරේ කෙළ ගැසීමේ-ග්‍රාම සේවකට පගා දීමේ සිට ඉහළට), රටේ යුද හමුදාවත්, රටේ පන්සල් හා පල්ලිත් යොදාගත් විට, මිලිටරීකරණයක් ගැන තටමන යහපාලන හොරුන් නිරුත්තර වනු ඇත. මෙහිදී සුද්දගෙ නීතිය සංශොධනය කල යුතු, ඒ නිතීය හිරි-ඔත්තප්ප වලින් භය පමණක් සළකණ නිසාය. ජේවීපීකාරයින් 1971, 1988/89 කාලයේදී කලා මෙන් භයත්, ලැජ්ජාවට පත් කිරීමත් යන දෙකම අවශ්‍යය. කොරෝනා ඇඳිරි නීති කඩ කරමින් මිනිසුන් හැසුරුණු ආකාරයෙන් රටේ මධ්‍යස්ථ ජනයාට අවභොධවූයේ එයය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress