2020 ව්‍යවස්ථා කෙටුම්පත් සම්පාදන විද්‌වත් කොමිටියේ ලේකම්තුමා වෙතටයි
Posted on November 1st, 2020

චන්ද්‍රසිරි විජයවික්‍රම, LL.B.,Ph.D.

(expertscommpublic@yahoo.com)
ප්‍රිය මහත්මයාණනි:

මෙවර සදන්නට යන ව්‍යවස්ථාව මීට පෙර ලේඛණ මෙන් නොව, 1815 සිටම සිංහලයාට <නීතියෙන්> හා ඊනියා නීතියට පිටින් සිදුවූ වෙනස්කම් හා මර්‌ධන වලට පිළිතුරු සැපයෙන, ඒ සමඟම සෙසු සුළුතර ජනව‌ර්‍ගවලට අසාධාරණයක් නොවන හා ආත්මගෞරවයකින් යුතුව සාමයෙන් ජීවත්‌විය හැකි සමාජයක් බිහිකිරීම අරමුණු කරගත් දෙයක්‌ය යන්න අපගේ විශ්වාසයය. මෙහිලා ව්‍යවස්ථා සම්පාදක ක්‍රියාවලිය මුළුමණින්ම පාරාදෘෂ්‍ය වීමත්, තීරණ ගැනීමේදී ඒ සඳහා එකතුකල හැකි සෑම තොරතුරක්ම සළකා බැලීමත් ඉතාමත් වැදගත්‌ය. මෙහි පහතින් දැක්‌වෙන්නේ, ඔබගේ කමිටුවේ සාමාජිකයින්ගේ අවධානයට යොමුකිරීම සඳහා සුදුසු යයි සිතන මූලික කරුණු කීපයකි.

  1. මහජනයාගේ කරමතට බර පැටවීම

මෙම භාරධූර කාර්යය සඳහා මහජන අදහස් හා යෝජනා, කෙටියෙන්, විෂය මාතෘකා 12 ක් යටතේ ගොනුකර, ටයිප්කර, කැමතිනම් ලියා පදිංචිකල තැපෑලෙන් හෝ ඊමේල් මගින්, නොවැම්බර් මස 30 දාට පෙර එවන ලෙස පලවූ දැන්‌වීම, අධිකරණ අමත්‍යාංශයේ වෙබ් අඩවියෙන් දුටුවෙමි. ඔබගේ මෙම කොන්දේසි මඟින් වන්නේ රටේ සාමන්‍ය ජනයා විසින් සිය අදහස් ඉදිරිපත් කිරීමට දිරිමත් වෙනවා වෙනුවට ඔවුන් උදාසීනවී යාමක් නොවේද? ඔබගේ කොමිටු කාර්යාලයට රක්‍ෂා නැතිව සිටිනා විශේෂ උපාධිධාරීන් දුසිමක් පමණ බඳවාගෙන, ඔවුන් ලවා කරවාගත හැකි දෙයක් නම් මහජනයා රචනා ලෙස එවන යෝජනා කියවා බලා එම යෝජනා ව‌ර්‍ගකර දත්ත සටහන් පිළියෙල කිරීම නොවේද? මෙම වගකීම ගම් නියම් ගම් වල අහිංසක ජනයාගේ කරමත පැටවීම නුසුදුසුය. තවද යම් යෝජනාවක් කෙටියෙන් ලියන්නට යෑමෙන් සිදුවන්නේ එම යෝජනාවට පසුබිම්‌වූ හේතුව ඔබලාට දැනගැනීමට නොලැබීම නොවේද? මීට සහභාගිවීම, රටවැසියාට ලැබෙන්නේ දුර්ලභ, වටිනා අවස්ථාවක් ලෙස ඔබලා විසින් සළකණ බව ඔවුන්ට ඒත්තු ගැන්‌වෙනවා නම් කෙතරම් අගනේද?

  1. ඩේටා ටේබල්

තවත් කාරණයක් නම් දැනටමත් ලිපිගොනුවල ඇති තොරතුරු විමසා විග්‍රකර දත්ත සටහන් (එක්‍ෂල්, ඇක්සස්, එස්පිිෙස්‌.එස්, සාස් වැනි ටේබල්) වශයෙන් පිළියෙල කිරීමයි. උදාහරණයක් වශයෙන්, 2007 තිස්ස විතාරණ ඒ.පී.ආර්.සී මැජෝරිටි හා මයිනෝරිටි වාර්තා, 1995-2000 චන්ද්‍රිකා ජනාධිපති යුගයේ පැකේජ් ඩීල් වාර්තා හතර, 2012 සංහිදියා කොමිෂන් වාර්තාව හා යහපාලන යුගයේ 2018 ඔරුමිත්තනාඩු කෙටුම්පත යනුවෙන් අති විශාල ලේඛන සම්භාරයක් දැනටමත් ඔබ සතුව ඇත. යහපාලන අවධියේ ලාල් විජේනායක කමිටුව විසින් (බොරුවට හෝ) මහජන රැස්වීම්ද පවත්‌වන ලදී. මීට පෙර මෙසේ මහජන රැස්වීම් පවත්‌වා අදහස් ලබාගත්තේ, 1947 සෝල්බරි ව්‍යවස්ථාවට කලින්, ඩොනමෝර් අමාත්‍ය මණ්ඩලය විසින් පිළියෙල කල කෙටුම්පතේදී පමණය. මෙහිදී බුද්‌ධ ශාසන කොමිසම් වා‌ර්තා, සළකා බැලීම අවශ්‍ය නැතත්. 1999 අභයවර්‍ධන පලාත් පාලන විමර්‌ශන කොමිෂන් සභාවේ ඉතාමත් වටිනා වා‌ර්තාවේ සාරාංශයක් වත් කමිටු සාමාජිකයින් විසින් දැන සිටිනවා නම් මැනවිය.

  1. ලංකාවෙබ් වෙබ් අඩවිය

මෙහිදී විශේෂයෙන් සඳහන් කල යුතු දෙයක් නම් ව්‍යවස්ථා සම්පාදකයින්ට ප්‍රයෝජනවත් වන අදහස්, මති මතාන්තර, යෝජනා, විශාල සම්භාරයක් ලංකාවෙබ් වෙබ්‌ අඩවියේ ගබඩා කර තිබෙන බවය. අවුරුදු දහයකටත් වඩා ඈතට දිවෙන මෙම ලිපිවල ඇති තොරතුරු ඉන්ටර්නෙට් හරහා නොමිලයේම ලබාගත හැකිය. කලම්බු ටෙලිග්‍රාෆ්, ඒසියන් ට්‍රිබියුන් හෝ ඩීබිිෙස්ජෙයරාජ්ගේ වැනි වෙනත් වෙබ් අඩවි මෙන් නොව, සිංහලයින්, සිංහල බෞද්‌ධයින් විසින් ලියන රචනා නිදහසේ පලකරණ දැනට ලෝකයේ තිබෙන පැරණිම හා විශාලම වෙබ් අඩවිය එයය. මෙම ලිපිවල අදහස් උකහා ගැනීමට පූර්‍ණකාලීන පර්යේෂණ සහකාරයෙක් යෙදවීම කෙරෙහි ඔබගේ අවධානය යොමු කරණ මෙන් ඉල්ලා සිටිමි. මෑතදී සදන ලද තවත් එවැනි ජනප්‍රිය සිංහල වෙබ් පුවත් පතක් නම් කලම්බු ටුඩේ වෙබ් අඩවියය.

  1. යෝජනා ඉදිරිපත් කරන්නේ රොබෝලා (අහසින් පාත්‌වූ අය) නොවේ

අදහස් හා යෝජනා ඉදිරිපත් කරණ අයගේ පසුබිම් තොරතුරු ඉල්ලා නොසිටීම, ප්‍රජාතනත්‍රවාදය හෝ පුද්ගලික නිදහසට ගරු කිරීමක් හෝ නොවේ. එසේ ඉල්ලා නොසිටියොත් ඒවා නොලැබෙන්නට හොඳටම ඉඩ ඇත. ඇමෙරිකාවේ කරණ සෑම සමීක්‍ෂණයකදීම වාගේ, වයස, ජාතිය, වෘත්තිය, අධ්‍යාපන මට්ටම විමසන්නේ එම කරුණු උඩ ඩිස්ක්‍රිමිනේට් කිරීමට නොව, ලබාගත් තොරතුරු විශ්ලේෂණය කිරීමේදී ඒවායේ ඇති අගය නිසාය. මෙය වඩා පැහදිලි කරනවා නම්, යෝජනාව ගේන්නේ දයාන් ජයතිලක, වික්ටර් අයිවන්, කුමාර් ඩේවිඩ්, ජයදේව උයන්ගොඩ, නිර්‌මාල් රංජිත් දේවසිරි හෝ ජෙහාන් පෙරේරා බව දන්නවා නම්, ඒ අදහස් සාපේක්‍ෂව තක්සේරු කර ගැනීමට පහසුය. යමෙකුගේ නම, කෙසේ වෙතත් ස්ත්‍රී-පුරුෂ භාවය හා ගම හෝ නගරය දැනගැනීමද වැදගත් ය. මීට හේතුව, මෙම ව්‍යවස්ථා සම්පාදනයේදී, විශේෂයෙන්ම 13-ඒ හරහා රට බෙදීමට අදාලව, දෙමළ හා මුස්ලිම් ජන කොටස් වල අදහස් වෙන් වශයෙන් හා පදිංචි ස්ථානය වශයෙන් හඳුනා ගත යුතු නිසාය. නිදසුණක් වශයෙන්, රට කැබලිකිරීමේ යෝජනා පිටුපස ඉන්නේ බෞද්‌ධ නොවන හා මාක්ස්වාදී පිරිස්‌ ය යන්න දැනටමත් පැහැදිලි කරුණක් නොවන්නේද? කෙසේ වෙතත්, එවැනි යෝජනාවක කතෘ එලෙස හඳුනා ගැනීම දුෂ්කර බව සැබෑය.

ලිබරල්වාදයේත් අන්තවාදයක් තිබේ!

මෙසේ පුද්ගල විස්තර නොසන්නේ, අධිකරණ ඇමතිවරයාගේ උපදෙස් මත නම්, එය ඔහු විසින් ලිබරල්වාදයේ අන්තයට යෑමේ අවදානමක් වන්නේය. සිංහල නොවන අයෙක් නිසා, ඔහු විසින් ඉතාමත්ම අපක්‍ෂපාත පුද්ගලයෙකු පෙනීසිටීමට දරණ වෑයම ඊට හේතුව විය හැකිය. මෙම තොරතුරු නොිල්ලන්නේ ඒ නිසා විය යුතු යයි සිතෙන්නේ, වෛද්‍යවරුන් විසින් තමන් සමලිංගික යයි කියනා පුද්ගලයින්ගේ රහස් ප්‍රදේශ, එම පුද්ගලයාගේ කැමැත්ත නැතිව පරීක්‍ෂා නොකල යුතුයයි ඔහු විසින් මෑතකදී කල ප්‍රකාශය නිසාය. ඇමෙරිකාවේ මා දැනසිටි එක්තරා අවිවාහක තරුණියක් කිසියම් හෝ අසනීපයක් සඳහා දොස්තරෙක් ලඟට ගියවිට බොහෝ විට ඇගෙන්, ඇය ප්‍රෙග්නන්ට්ද කියා අසණ බවත්, එය එම්බැරසින් බවත් කියා සිටියේය. යම් වෛද්‍යවරයෙක්, මෙවැනි ප්‍රශ්ණ අසන්නේ කොලොප්පමටද, එසේ නැත්නම් වෛද්‍ය අවශ්‍යතාවය නිසාද යන්න, ඇමතිවරයෙක් විසින් තීරණය කලයුතු දෙයක් නොවේ. මුත්‍රාශය ආශ්‍රිත හෝ එම පෙදෙසේ ච‌ර්‌ම ආභාධයක් හෝ නිසා නොවේ නම් දොස්තරගේ ඉල්ලීම ප්‍රතික්‍ෂේප නොකරන්නේ ඇයි?

මෙහිදී මට මතක් වන්නේ, ඇමෙරිකාවේ සමහර ජනාධිපතිලා පවා අල්ලේ නැටවූ, ගේ-ලෙසබියන් විරෝධියෙකු ලෙස ප්‍රසිද්‌ධියේ ක්‍රියාකල, ඇමෙරිකාවේ සී.අයි.ඩී ලොක්කාවූ එඩ්ගාර් හූවර් තම කන්තෝරුවේ ඔහුගේ දෙවෙනියාවූ පිරිමියා සමඟ බලවත් සමලිංගික සම්බන්‌ධතාවයක් රහසේ පවත්‌වාගෙන යාමය. මේ කියන දොස්තරලාත් එවැනි ආශා ඇති දෙබිඩි චරිත වනවා විය හැකිය! හින්දු ආගමේ විෂ්ණු හා ශිව යන කොටස් දෙකේදී ශිව ආගම යනු ශිව ලිංගයට වන්දනා කිරීම බවත්, එම ශෛලමය ලිංගය තබා තිබෙන්නේ ගලෙන් කෙටූ ස්ත්‍රී යෝනියක් මත බවත් දන්නවා නම් දේශපාලකයින් විසින් මේවාට අතපොවන්නට යන්නේ නැත. පූජා කිරීම සඳහා මල් කැඩීමෙන් මීමැස්සන්ගේ අයිතිවාසිකම් කඩකරණවා, කුඩා දරුවන් මහණ කිරීම ඔවුන්ගේ මානව අයිතිවාසිකම් අහිමිකිරීමක් යන චෝදනා මෙන්, ලිබරල් අන්තවාදයෙන් ගැලවීමට අප විසින් සිතා ගත යුතුය. ප්ලූරලිසම් යන්න අනවශ්‍ය හිසරදයක් වියයුතු නැත.

  1. The first thing we do, let’s kill all the lawyers”
    Shakespeare in King Henry VI

මීට පෙර අවස්ථාවලදී ව්‍යවස්ථා සැදීම තනිකරම නීතිඥයින්ගේ ක්‍රියාවක් විය. මෙවර ඇති විශේෂත්‌වය නම් කොමිටියේ සාමාජිකයෙක් ලෙස කීර්තිමත් භූගෝල විද්‍යාඥයෙක්වද ඇතුලත් කර තිබීමය. <භූගෝල විද්‍යාවට පටහැනි නීති පැණවිය නොහැකිය>, <සිංහයාට හා ගවයාට බලපාන්නේ එකම නීතිය නම් එතැන ඇත්තේ මර්‌ධනයය (oppression) >, යන කියමන් අනුගමනය නොකර මීට පෙර සැදූ ව්‍යවස්ථා (බොහෝ දුරට) අසාර්‌ථක ප්‍රයත්නම විය. යම් රටක ඉතිහාසය (ඉතිහාසය යනු අතීත භූගෝල විද්‍යාවය) හා භූගෝල විද්‍යව නොදන්නා නීතීඥයින් සදන ව්‍යවස්ථා ඒ රටට යහපතක් ගෙන එන්නේ නැත. 1832 දී කෝල්බ්‍ර‌ෑක් පලාත් පහකට රට බෙදුවේ දේශපාලන කරුණු මත පදනම් කරගෙනය. එහෙත් 1818 දී අවලංගු කල ගම් සභාව නැවත ප්‍රයෝජනයට ගැනීමට ඔහු යෝජනා කලේය. 1928 දී ඩොනමෝර් කොමිෂම, එංගලන්තයේ මෙන් කවුන්ටි සභා අදහස ගෙනාවේය. නමුත් සෝල්බරිවත්, ඩී‌.එස් ගේ අමාත්‍ය මණ්ඩල කෙටුම්පතවත්, පලාත් නමයේ කෘතිම බෙදීම ගැන කතා කලේ නැත. නිකමටවත් ඒ ගැන සඳහන් කලේ ජනාධිපති සිරිසේනගේ කතාවකදී පමණය.

  1. දේශපාලන ඒකක භූගෝල විද්‍යාත්මක (ස්වාභාවික පරිසර) ඒකක විය යුතුය

ඇමෙරිකාවේ, කැනඩාවේ හෝ කුඩා රටක් වන නිව්සීලන්තයේ මෙන් දේශපාලන ඒකක භූගෝල විද්‍යා-භූවිද්‍යා-ජල විද්‍යා-පරිසර විද්‍යා (ඉකොලොජි) නිර්‌ණායක අනුව මායිම් කිරීම, 2020 දී වත් ලංකාවේදී සිදුවිය යුතු දෙයකි. එසේ නොකිරීමෙන් රට විනාශය කරා යන්නේමය. නිදසුණක් වශයෙන්, 2000 වර්‍ෂයේ චන්ද්‍රිකා කෙටුම්පත හා ඒ අනුවම සැදූ 2018 ඔරුමිත්තනාඩු කෙටුම්පත ගැන සිතා බලන්න. රට කැබලි 10 කට කඩන්නට ඒවායින් යෝජනා කලේ පටු දේශපාලන අරමුණු උඩ මිස රටේ භූගෝල විද්‍යාව, පරිසර විද්‍යාව, හයිඩ්‍රොලොජි, සළකා බලා නොවේ.

ලංකාවේ පලාත් නවය සාදා ඇත්තේ සුදු පාලකයින් විසින් ඔවුන්ගේ යටත් විජිත පාලන ඉලක්ක සපුරා ගැනීමේ අරමුණින් මිස ස්වාභාවික මායිම් සහිත ඒකක වශයෙන් නොවේ. ලංකාව වැනි තෙත්, වියළි හා ශුෂ්ක කලාප ඇති, අවුරුද්දකට දෙපැත්තකින් මෝසම් සුළං හමනා කාල ඇති, මධ්‍යම කඳුකරයක සිට වටේට ගලනා ගංඟා 103 ක් ඇති දිවයිනක්, භාෂාව හෝ ආගම හෝ චන්ද කොට්ඨාශයක් හෝ අනුව දේශපාලන ඒකක වශයෙන් බෙදීමෙන් අනාගතයේ වතුර යු‌ද්‌ධ වලට ගොදුරුවන ඒකක වශයෙන් විනාශවී යන්නේය. දකුණු ඉන්‌දියාවේ ටැමිල්නාඩ්, කේරළ හා තෙලිඟු ප්‍රාන්තවල මෙම ජල ගැටුම් සුලභ දර්‍ශණයකි. විග්නේෂ්වරන් මහaැමති මොරගහකන්ද ජලාශයේ වතුර ලබාගැනීම ගැන මෙවැනි ප්‍රකාශයක් කලේ, එය ජිනීවා මානව අයිතිවාසිකම් කඩකිරීමේ පාරට දමණ අන්දමටය!

  1. භූගෝල විද්‍යාව-නීති විද්‍යාව- බුද්‌ධ ධර්‍මය

ඓතිහාසික වශයෙන්, අමාත්‍ය මණ්ඩල කෙටුම්පත වත්, අයිවර් ජෙනින්ස්‌වත්, කොල්වින්-ෆිලික්ස් ඩයස්ලාවත්, ජයවර්‌ධන දෙබෑයන්-ඒ.ජේ.විල්සන්ලාවත්, නීලන්-ජී.එල්-ජයම්පතිවත්, සුමන්තිරන්-ජයම්පතිලාවත්, භූගෝල විද්‍යාව යනු කුමක්ද කියාවත් දැන සිටි අය නොවීය. සමහර විට ඔවුන් පාසැලේදී ඉගෙනගත් භූගෝල විද්‍යාව වනාහි කොළඹ සිට ගාල්ල දක්‌වා ඇති දුම්‍රිය ස්ථානවල නම්, සමනල කන්දේ උස, මහවැලි ගඟේ දිග යනාදිය මිස, ඒවායේ ඇති භෞතික හා මානව සම්බන්‌ධය හා වැදගත්කම කුමක්ද යන්න නොවීය. ඇමෙරිකාවේ මෙන් ලංකාවේ නීතීඥයින්ට හා නඩුකාරවරුන්ට, අළුත් දැණුම් ලබාදෙන කාලීන වෘත්තීමය වැඩිදුර-වැඩිහිටි අධ්‍යාපනය (continuing education) අනිවාර්‌ය දැයි නොදනිමි. භූගෝල විද්‍යාව, නීතිවිද්‍යාව හා බෞද්‌ධ දර්‌ශණය යන ක්‍ෂේත්‍ර තුන අතර ඇත්තේ කෙතරම් ලඟ අන්නෝන්‍ය සම්බන්‌ධයක් දැයි දැනගන්නට අවස්ථාවක් ඔවුන්ට ලැබෙන්නේ එවිටය. මේ සමඟ ඇති ලින්ක් එකේ තිබෙන සටහන බලන්න: (http://www.srilankaguardian.org/2012/02/llrc-recommendations-and-path-of.html).

නීතිය හා භූගෝල විද්‍යාව අතර ඇති සම්බන්‌ධය නූතන යුගයේදී ප්‍රථමයෙන් අනාවරණය කලේ 1880 දී පමණ මැකින්ඩර් නම් දේශපාලන භූගෝල විද්‍යාඥයා විසින් ලෝ ඇන්ඩ් ජෝග්‍රෆි නම් පාඨමාලාවක් බ්‍රිතාන්‍ය පාසැල් විෂය මාලාවට යෝජනා කිරීමත් සමඟය. 1911, 1918 හා 1929 දී ඇමෙරිකාවේ හාවඩ් සරසවියේදී ශාක්‍ෂි නීතිවේදී විග්මෝර් හා භූගෝල විද්‍යාඥ එලන් සෙම්පල් විසින් ජෝග්‍රෆි ඔෆ් ලෝ යනුවෙන් නිබන්‌ධන පිළියෙල කරන ලදී. 1926 දී ජර්‌මනියේ ලීගල් ජෝග්‍රෆි> යනුවෙන් පර්යේෂණ ඇරඹිණ. 1987 වනවිට ඇමෙරිකාවේ සුප්‍රීම් උසාවියේ අගවිනිසුරුව සිටි වොරන් බර්‌ගර්, නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයට භූගෝල විද්‍යාව අත්‍යාවශ්‍යයයි කියා සිටියේය. අද වන විට, ඇප්ලයිඩ් ලෝ, එෆිකසි ඔෆ් ලෝ, භූගෝල විද්‍යාවේ එක් අනු විෂයකි. පොතේ ඇති නීතිය හා බිමේ ක්‍රියාවට නැඟෙන නීතිය (ලෝ ඉන් බුක් ඇන්ඩ් ලෝ ඉන් ඇක්‍ෂන්), වශයෙන් පොලොව මත සිදුවන ක්‍රියාවලීන්ගේ රටාවන් (පැටර්න්ස් ඇන්ඩ් ප්‍රොසෙසස්) හැදෑරීමේ කොටසක් ලෙස එය සැළකේ.

ලංකාවේ අනාදිමත් කාලයක සිට පැවති ගම-වැව-දාගැබ යන ත්‍රිත්‌ව, සමාජ, ආර්ථික, පරිපාලන මොඩලය මෙම භූගෝල විද්‍යා-නීති-බෞද්‌ධ ත්‍රිත්වය සමඟ හොඳටම පෑහේ. ලංකාවේ අනාගත බිම් මට්ටමේ පාලන මොඩලය විය හැකි: (1) පන්සල (2) යුද හමුදාව හා (3) පක්‍ෂ දේශපාලනයෙන් තොර ජන සභාව (ජනමූල සභාව) යන ත්‍රිත්වය මෙම අතීතයේ පැවති මොඩලයේ වත්මන් කාලයට ගැලපෙන සේ වැඩි දියුණු කිරීමකි. මේවා මඟින් රාජ්‍ය සිවිල් පාලනයේ කටයුතු සියේට 60-70 ක් පමණ ඉටුකර ගත හැකිවන්නේය. මීනින්ෆුල් ඩෙවොලූෂන් යනු එසේ මහජනතාව බලවත් කිරීමකටය. 1940 ස් ගණන් වල කළුකොඳයාවේ ප්‍රඥාශෙඛර නාහිමියන් විසින් සහකාර පොලිස් අධිකාරී ඔස්මන්ඩ් ද සිල්වා හා සුප්‍රිම් උසාවි විනිසුරු අක්බාර් සමඟ ඉතාමත් සාර්‍ථක ලෙස දියත් කල අපරාධ මර්‌දන හා ග්‍රාම ප්‍රතිසංස්කරණ ජාතික ව්‍යාපාරය මේ සඳහා කදිම ආදර්‍ශයකි. මෑත කාලයේදී ගැමි දිරිය සංකල්පය මෙන් ඒ කාලයේදී එම ව්‍යාපාරයද කඩාකප්පල්වී ගියේය (උන්වහන්සේගේ ස්වයංලිඛිත චරිතාපදානයෙන් (1970) උපුටාගත් කොටස් සඳහා බලන්න):

  1. Catastrophic theory of planning

දැන් දක්නට ලැබෙන එක් ශුභදායි උපනතියක් නම් නායයාම්, ගංවතුර, නියං, ජල හිඟය, ගස් කැපීම, කඳු සමතලා කිරීම, ගල් කැඩීම, පස් කැපීම, ගංඟා ඉවුරු වල වැලි ගොඩදැමීම, වඟුරුබිම් ආක්‍රමණය, භූමිකම්පා, වෙරළ ඛාදනය, වායු ගෝලය උණුසුම්වීම යන තර්‍ජන ඉදිරියේ <ගම් මට්ටම> ගැන යොමුවෙන අවධානයය. මේවා රැකගත හැක්කේ ගම් මට්ටමේ, ග්‍රාම සේවා නිලධාරී වසම් මට්ටමේ මැදිහත් වීමකින්‌ය. සංහිඳියා කොමිෂමත්, ඔරුමිත්තනාඩු කෙටුම්පතත්, මේ ගැන සඳහන් කරන්නේ දේශපාලන හේතු මිස, පරිසර හේතු නිසා නොවේ. මේ නිසා, ජලය මූලික කරගෙන ගම්, ග්‍රාම සේවා වසම්, ප්‍රාදේශීය සභා කොට්ඨාශ මායිම් කිරීම නිව්සීලන්තයේ මෙන් ව්‍යවස්ථාගත රීතියක් වීම අත්‍යාවශ්‍යය. භූගෝල විද්‍යාඥයින් යම් සංසිද්‌ධියක් දෙස බලන්නේ සමස්ත ක්‍රියාදාමයක් ප්‍රතිපලයක් ලෙසය (හොලිස්ටික්/සිස්ටමැටික් ඇප්‍රෝච්). එය බුද්‌ධාගමේ කියන හේතුඵල වාදය වැනිය. කෑළෑවත්, ගසුත් දෙකම දැකීමය.
ස්තුතියි!

චන්ද්‍රසිරි විජයවික්‍රම, LL.B.,Ph.D.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2021 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress