උපාය මාර්ගික ස්ථානවල පිහිටි කුඩා රටවල් ලෝක බලවතුන් විසින් අපයෝජනය කිරීම
Posted on November 6th, 2020

සංගදාස අකුරුගොඩ

එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයිකල් පොම්පියෝ පසුගිය අඟහරුවාදා කොළඹට පැමිණියේ ඉන්දීය නායකයන් සමඟ සාකච්ඡා කර ඉන්දියාව සමඟ ගිවිසුමක් අත්සන් කිරීමෙන් පසුව ය.
පසුගිය ඔක්තෝම්බර්  මස 9 වන දින ඉහළ පෙළේ චීන දූත පිරිසක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුව ශ්‍රී ලංකාවේ සමෘද්ධිය සඳහා චීනය සිය කැපවීම යළිත් අවධාරණය කළ අනතුරුව මෙම සංචාරය සිදුවිය.
ඇතැම් ධනවත් හෝ බලවත් කාමතුරයින් වෙසෙන ප්‍රදේශ අසල ජීවත්වන  පෙනුමැති අසරණ කාන්තාවන්ට මෙන් ලෝකයේ උපායමාර්ගික ස්ථානවල පිහිටා ඇති ශ්‍රී ලංකාව වැනි කුඩා රටවල් වලටද, ලෝකයේ ධනවත් හා කලාපීය බලවත් රටවලින් විවිධ දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදුව තිබේ.  බොහෝවිට කාමතුරයින්  එම කාන්තාවන් අපයෝජනයට ලක්කරනු ලබන්නේ උපායශීලීව  විමුක්තිකාමීන් ලෙස පෙනී සිටිමිනි. එක්සත් ජනපදය චීන ණය උගුලක්” ලෙස හඳුන්වන දෙයින් ශ්‍රී ලංකාව නිදහස් කර ගැනීමට ඉදිරිපත් වීමද එවන් ජාත්‍යන්තර උපායශීලී විමුක්තිකාමීන්ගේ තවත් උගුලකි.
පසුගිය දශක දෙක වෙත ආපසු හැරී බැලීමේදී ශ්‍රී ලංකාවට බලවතුන්ගේ උගුල්”  අලුත් දෙයක් නොවන බැව් පෙනීයන සාධක බොහෝ තිබේ.
2002 දී නෝර්වේජියානු ජාතිකයින් විසින් සංවිධානය කරන ලද සටන් විරාම ගිවිසුම මගින් රජය හා එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන් අතර සිදුකෙරෙන සාකච්ඡාවලදී  ප්‍රගතියක් පෙන්නුවහොත් ඇමරිකානු ඩොලර් බිලියන 4.5 ක ආධාර ලබාදීමට ප්‍රතිඥාවක්දී ශ්‍රී ලංකාව ‘’මූල්‍ය උගුලක්’’ මගින් අසුකරගැනීමට එක්සත් ජනපදය ප්‍රමුඛ ටෝකියෝ ‘’සම සභාපතිවරුන්’’ විසින් ගත් උත්සහය අපට මතකය. වාසනාවකට මෙන්, 2008 දී එම ගිවිසුම අහෝසි කරන ලද අතර 2009 දී ත්‍රස්තවාදය පරාජය කිරීමට අපේ ආරක්ෂක හමුදාවන්ට හැකි විය.
ඇමෙරිකානු එක්සත් ජනපදය, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය හරහා ජාත්‍යන්තර යුද අපරාධ විමර්ශනයකට අපගේ රණවිරුවන් ලක්කොට ශ්‍රී ලංකාව තවත් උගුලකට හසුකල ඇති ආකාරය සහ ත්‍රස්තවාදය පරාජය කොට නොබියව ජීවත් වීමට සහ උතුරු හා නැගෙනහිර පළාත් වල ප්‍රජාතන්ත්‍රවාදය නැවත ලබා දීමට උපකාරී වූ වත්මන් හමුදාපති ඇතුළු ඉහළ පෙළේ හමුදා නිලධාරීන්ට එක්සත් ජනපදය සංචාරක තහනමක් පනවා ඇති ආකාරය ද අපට මතකය. 
ජාත්‍යන්තරව, වර්ධනය වන චීන අභියෝග ජය ගැනීමට ඇමෙරිකානු එක්සත් ජනපදයේ මිලිටරි හා ආර්ථික හැකියාව එතරම් ප්‍රයෝජනයක් නැත.  ඒ එක්සත් ජනපදයට සහ ඔවුනගේ මිතුරු රටවලට ණය ලබා දීමට හෝ ලොව පුරා සංවර්ධන ව්‍යාපෘති භාර ගැනීමට චීනයට ඇති හැකියාව හා සැසඳීමට ප්‍රමාණවත් අතිරික්ත අරමුදල් නොමැති බැවිනි. .
පැහැදිලි හේතුන් මත චීනය අභියෝගනට මුහුණ දිය නොහැකි නොහැකි ඇමෙරිකානු එක්සත් ජනපදය, චීන ආධාර මත යැපෙන ශ්‍රී ලංකාව වැනි මෘදු ඉලක්ක වෙත යොමුවී ඇති අතර, ඔවුනගේ හීන වෙමින් පවතින බලය ඉහළ නැංවීම සඳහා අනෙකුත් ජාතීන් සමඟ සන්ධානගත වෙමින් සිටී.
ශ්‍රී ලංකාවට පැමිණ ජනාධිපති රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡා කිරීමෙන් පසුව, එක්සත් ජනපද ලේකම්වරයා  ඉතාමත් රාජ්‍ය තාන්ත්‍රික අන්දමින් සුළු දේවල් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළද, කොළඹට පැමිණීමට පෙර සිටම එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකාවට ලබා දී තිබුණු පණිවුඩයෙහි අර්ථය වුයේ ‘එක්කෝ ඔබ අප සමඟ හෝ ඔබ අපේ සතුරා වන චීනය සමඟ’  සිටීමට තීරණය කලයුතුය යන්නය.
එක්සත් ජනපදය, ඉන්දියාව, ජපානය සහ ඕස්ට්‍රේලියාව 2007 දී සන්ධානයක් ඇති කර ගත් අතර එය ක්වාඩ්රිලැටරල් සෙකුරිටි ඩයලොග්" (ක්වාඩ්) ලෙස හැඳින්වේ.  මෙම සන්ධානය,  තම සාමාජික රටවල් අතර  තමන්ගේ අරමණු සපුරා ගැනීම සඳහා අවශ්‍ය තොරතුරු හුවමාරු කරගැනීම් සහ මිලිටරි අභ්‍යාස පවත්වාගෙන යනු ලැබේ.
'ක්වාඩ්'  කණ්ඩාමේ මෙම ක්‍රියාවලියන් චීන ආර්ථික හා මිලිටරි බලය වැඩි කිරීම සඳහා වූ ප්‍රතිචාරයක් ලෙස සලකනු ලබුවද, චීන රජය ‘ක්වාඩ්’ සාමාජිකයින් වෙත ප්‍රතිචාර දක්වමින් රාජ්‍ය තාන්ත්‍රික විරෝධතා නිකුත් කරමින් සිටී..
වෙනත් වචන වලින් කිවහොත්, 1991 ට පෙර එක්සත් ජනපදය හා සෝවියට් සංගමය අතර පැවති යුද්ධයට සමානව එක්සත් ජනපදය හා චීනය අතර සීතල යුද්ධයක් දැන් සිදුවෙමින් පවතී.
මේ අනුව ක්වාඩ් කණ්ඩායම, ප්‍රධාන වශයෙන් එක්සත් ජනපදය හා ඉන්දියාව ආසියාව වටා ගොස් චීනයට එරෙහිව සන්ධාන ගොඩනඟා ගැනීමට උත්සාහ කරන අතර එකිනෙකා සමඟ ආරක්ෂක ගිවිසුම් අත්සන් කිරීම, නාවික අභ්‍යාස පැවැත්වීම සහ චීනය ප්‍රජාතන්ත්‍ර විරෝධී, මානව හිමිකම් උල්ලoඝනය කරන, විලෝපිකයෙකු ලෙස අපහාස කරන කරමින් සිටී.
ක්වාඩ් කණ්ඩායම, ඔවුන්ගේ අරමුණු වලට සරිලන පරිදි රටවල පාලන තන්ත්‍ර වෙනස් කිරීමට පවා ඔවුහු පසුබට නොවෙති.
හිටපු ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රිකයෙකු හා ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂකයෙකු වන එම්.කේ.භද්‍රකුමාර් විසින් 2020 සැප්තැම්බර් 30 දිනැති නිව්ස්ක්ලික්.ඉන් වෙබ් අඩවියේ ජියෝපොලිටික්ස් ඔෆ් ශ්‍රීලoකන් ටැමිල් පොරොබ්ලම්” (ශ්‍රී ලංකා දෙමළ ගැටලුවේ භූ දේශපාලනය) යන මාතෘකාව යටතේ පළ කරන ලද එක් ලිපියක ඉන්දීය සහ ඇමෙරිකානු පාලනයන් චීන ගැති යැයි සැලකෙන රාජපක්ෂ පාලනය නෙරපා හැර පාලන තන්ත්‍ර වෙනසක් සිදු කළේ කෙසේද යන්නත්, එසේ සිදුකළේ ඇයිද යන්නත් විස්තරාත්මකව සඳහන් කර ඇත.
පාලන තන්ත්‍ර වෙනස් කිරීමේ මෙහෙයුමෙන් ඉක්බිතිව 2015 මැයි මාසයේදී ශ්‍රී ලංකා වට පැමණි එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ජෝන් කෙරී,   දුෂ්කර තීරණ” ගැනීම ගැන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ සහ විදේශ ඇමති මoගල සමරවීරට ප්‍රශංසා කොට උතුරේ බෙදුම්වාදී දේශපාලන නායකයින්ද මුණගැසී ගිය අයුරු සිහියට නැඟේ.

2015 දී බිහිකල යහපාලන ව්‍යාපෘතිය අසාර්ථකවී 2020 දී යලි ස්ථාපිත වූ රාජපක්ෂ පාලනය යලිත් ශක්තිමත්වීම දුටු ඉන්දීය සහ ඇමෙරිකානු පාලනයන් ඔවුන්ගේ චීනය පාලනය කිරීම සඳහා ඇරැඹි ඉන්දු-පැසිෆික් උපාය” හමුවේ ශ්‍රී ලංකාවට වැඩි පීඩනයක් එල්ල කිරීමටත් රාජපක්ෂ රජය ක්වාඩ් කක්ෂයට ගෙන ඒමටත් තීරණය කළබැව් පෙනේ.

නමුත් කොළඹදී දෙපාර්ශ්වය අතර පැවති සාකච්ඡාවේදී, ආසියානු මහාද්වීපයේ අනෙකුත් බොහෝ රටවල් දරණ ස්ථාවරය අනුව යමින් ලෝක බලවතුන් අතර පැත්තක් ගැනීමට ශ්‍රී ලංකාව අකමැති බව අනාවරණය විය. ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය පිළිබඳව විස්තර කරමින් ජනාධිපතිවරයා පැවසුවේ එය මධ්‍යස්ථභාවය මත පදනම් වූවක් බවයි. ශ්‍රී ලංකාව සහ අනෙකුත් ජාතීන් අතර සබඳතා කොන්දේසි කිහිපයකින් මත තීරණය වන බවත්, එහිදී සංවර්ධන සහයෝගිතාවය, ඓතිහාසික හා සංස්කෘතික සබඳතා ආදිය  ප්‍රමුඛස්ථානය ගන්නා බවත් කුමන තත්වයන් යටතේ වුවද විදේශ සබඳතා පවත්වාගෙන යාමේ දී ජාතියේ ස්වාධීනත්වය, ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව පාවා දීමට තමන් සූදානම් නැති බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.
ඉහළ මට්ටමේ ආර්ථික සංවර්ධනයක් ළඟා කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව සමඟ සමීපව කටයුතු කරන ලෙස එක්සත් ජනපද ලේකම්වරයා දුන් සහතිකයට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති රාජපක්ෂ මහතා පැවසූයේ ශ්‍රී ලංකාවට අවශ්‍ය වන්නේ අඛණ්ඩව ණය ලබා ගැනීම නොව වැඩි විදේශීය ආකර්ෂණයක් ලබා ගනිමින් ඉහළ ආර්ථික වර්ධනයක් අත්කර ගැනීම බවයි.
මේ පිළිබඳව තවදුරටත් අවධාරණය කරමින් ජනාධිපති රාජපක්ෂ මහතා පැවසුවේ              ශ්‍රී ලංකාව යනු ඉහළ කෘෂිකාර්මික සංවර්ධනයක් ළඟා කර ගැනීම සඳහා අවශ්‍ය සාධක ඇති රටකි. අපේ කෘෂිකාර්මික අංශය නවීකරණය කළ යුතුයි. මෙම ඉලක්කය කරා ළඟාවීම සඳහා විද්‍යාත්මක පර්යේෂණ පැවැත්විය යුතුය. මේ සඳහා ඔබගේ සහාය අපි බලාපොරොත්තු වෙමු යනුවෙනි. බෙදුම්වාදී යුද්ධයේ අවසානයෙන් පසු රටේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට චීනය සහාය දුන් බව සඳහන් කළ ජනාධිපතිවරයා, ශ්‍රී ලංකාව ණය උගුලකට හසු නොවන බව යළිත් වරක් කියා සිටියේය.
මතභේදාත්මක මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් කොම්පැක්ට් (එම්.සී.සී.) සාකච්ඡා නොකළ බව පෙනෙන්නට තිබීම විශේෂයකි.. රූපවාහිනි  නාලිකාවක පැවති සම්මුඛ සාකච්ඡාවේදී විමසූ විට පොම්පියෝ කියා සිටියේ එය තීරණය කිරීම ශ්‍රී ලංකා රජයට පැවරී ඇති බවයි. ශ්‍රී ලංකාව මීට පෙර ප්‍රතික්ෂේප කළ බැවින්දෝ හමුදාවන් හා අදාල ගිවිසුමට (සෝෆා) අත්සන් කළ යුතු යැයි එක්සත් ජනපදය කළ මතභේදාත්මක ඉල්ලීම ගැන පවා කතා කර නැත.

සංගදාස අකුරුගොඩ

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2021 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress