පලාත් සභා මර උඟුල නමැති මිණී වල හෑරීම – 2 කොටස
Posted on December 19th, 2020

චන්ද්‍රසිරි විජයවික්‍රම, LL,B., Ph.D.

කුරිරු ගොර සපුන් ගේ දළ”ගෙහි විසය
මදුරු මැසි කැලන් ගේ තුඩ” ගෙහි විසය
රුදුරු නුහුසුවන් ගේ වල” ගෙහි විසය
නපුරු දුදනන් ගෙ සිය ලඟෙහි මැ විසය
සුභාෂිතය

මෙම ලිපියේ 1 කොටසින් සළකා බැලු මාතෘකා වූයේ:
*පලාත් සභා නමැති රන් ආකරය
*රටකැබලිකිරීමේ විෂබීජය
*ජේ.ආර්-ලංකාවේ කපුටු බෝගස
*ජේ.ආර් රටට කල එකම සේවය
*කළුසුද්දන්ගේ සම්භවය හා ආධිපත්‍යය
*අනාගාරික ධ‌ර්‌මපාලතුමාගේ ආගමනය
*වයිට් මෑන්ස් බර්‌ඩන්-බෙදා පාලනය
*වයිට් මෑන්ස් බ‌ර්‌ඩන්-හීනමානය රිංගවීම, යන කාරණාය.

හීනමානයේ රඟ

සුද්දන් විසින් යමෙකුගේ හිතට, සර්‌වාංගයටම, හීනමානය රිංගවීම ලේසියෙන් ගැලවිය හැකි දෙයක් නොවේ. මේ හීනමානයෙන් මා ගැලවුනේ ඇමෙරිකාවට ඇවිත් එහි විශ්ව විද්‍යාල ගුරුවරයෙකුවී පශ්චාත් උපාධි සඳහා සුදු ශිෂ්‍යයින් සුපවයිස් කිරීමේදීවත් නොව, මා යටතේ සුදු සේවකයින් වැඩ කරණ විටය; කොලේජ් ප්‍රසිඩන්ට්ලාට, ඩීන්ලාට හා මහාචාර්යවරුන්ට, ඔවුන්ගේ රක්‍ෂාවල කාර්යක්‍ෂමතාවය මණින්නට උපදෙස් දෙන විටය. මේ හීනමානයෙන් ගැලවුණු ලංකාවේ එකම දේශපාලකයා ලෙස මා දකින්නේ අගමැති බණ්ඩාරනායක පමණය. යැස්මින් ගුනරත්න, රිලටිව් මෙරිට්ස් නම් බණ්ඩාරනායක පවුලේ ඉතිහාසය පිළිඹඳ පොතේ (1987), ඇගේ මව වන ගයානා ඉන්දියානු සම්භවයක් ඇති එස්තර් ට යැස්මින්ගේ බාප්පා කෙනෙක්‌වූ අගමැති බණ්ඩා සිංහල ජාතිය ගැන දුන් ආඩම්බර අවවාදයක් සඳහන්වේ. අද වනවිට මේ හීනමානයෙන් ගැලවීමේ ප්‍රවනතාව පේන්නේ ගොඨාභය රාජපක්‍ෂගේ, ඔහුගේ බිරිඳගේ හා පුතාගේ පමණය. බණ්ඩාරනායකව ළඳරු කාලයේ සිට බලාගත්තේ සුදු නැනීලාය. මේ නිසා වෙනත් අය මෙන් ලන්ඩන් ගොස් සුද්දියක් සමඟ ඒමට තරම් සුදු හමට ආශාවක් ඔහුට ආවේ නැත. ඔහු ලංකාවෙන්ම සුදුසු තරුණියක් සොයා ගත්තේය. එසේ සෙවූ එක තරුණියක් ජේ. ආර් විසින් උදුරා ගත් අතර, ඩඩ්ලිගේ යාළුවා වශයෙන් බලන්නට ගිය බලංගොඩ මනමාලිය, බුලත් හෙප්පුව ඇල්ලුවේ ඩඩ්ලිට නොව ඔහුටය.

මෙම හීනමානය ලෝක මට්ටමේ පැවති ආකාරය පෙන්වන පොතක් මට කියවීමට ලැබුණේය (The World Revolution of Westernization: The Twentieth. Century in Global Perspective, Theodore H. Von Laue, 1987). ඒ අනුව නේරු, නසාර්, නිකෘමා, ටිටෝ, සුකර්ණෝ, ස්ටාලින් හා මාවෝ සේතුන් පවා ඒ යටි හිතේ තිබූ හීනමානය නිසාම මතුපිටින් ඊට විරුද්‌ධ සේ හැසිරීමට උත්සාහ කල අයය. නේරු හා ගාන්‌ධි අතර ඇතිවීමට තිබූ මතවාදී ගැටුම ගාන්‌ධිගේ ඝාතනය නිසා යට ගියේය. ගාන්‌ධි පවා කියා සිටියේ, ඉන්‌දියාව නැත්නම් ඔහු තෝරා ගන්නේ ලන්ඩන් යනුය. පලවෙනි ලෝක යුද්‌ධයේදී බ්‍රිතාන්‍ය හමුදාවට ඉන්දියන් භටයින් බඳවා ගන්නා ඒජන්ට් කෙනෙක් වශයෙන් තමාව පත්කරණ ලෙස ඔහු ආණ්ඩුකාරයාගෙන් ඉල්ලා සිටියේය. යමෙක් යමෙකු ගැන නිවැරදි තොරතුරු වැඩි වැඩියෙන් දැනගැනීමේ යම් වටිනා කමක් තිබේ.

බුද්‌ධාගම කියන්නේ බොරුවක්!

මෙම හීනමානයට ප්‍රායෝගික මනෝවිද්‍යමය බේතක් (1920-40 දශකවලදී) දුන්නේ අනාගාරික ධ‌ර්‌මපාලතුමාය. ඔහු සුද්දාගෙන් කළුසුද්දා වෙන්කර හඳුනා දුන්නේය. කොරෝනා පැණි, එන්ජින් ඔයිල් යයි කියමින් දේශීය හෙළ වෙදකම හෙලා දකිමින්, එයත් ගෝඨාභයට විරුද්‌ධ ආයුධයක් ලෙස යොදාගන්නට හදන යහපාලන රොඩු මේ කළුසුද්දන් නොවේද? උසාවියේ ගින්නත් ආණ්ඩුවේ වැඩක් ලෙස මහජනයාගේ හිත දූෂ්‍ය කරණ මොවුන්ට, ලී ක්වාන් හිටියා නම් කරන්නේ කුමක්ද? ඒ කාලයේ ධර්‌මපාලතුමා ඉල්ලා සිටියේ, පඹයෙකු හදා, ඊට සුදුහුණු ගා, ගෙයි මිදුලේ තබා, උදේට, හවසට, පර සුද්දා-පර සුද්දා, කියමින් ඊට පයින් හෝ අතින් ගසන ලෙසය. මෙය මක්කම දෙස බලා දවසට පස් වරක් වඳිනවා වැනි මිනිසුන්ගේ ආත්මවිශ්වාසය ගොඩනඟන සියුම් උපායක් විය. සුද්දෙකුට මහපාරේදී පයින් ගැසු ජෝන් කොතලාවලට (සර් ජෝන්ගේ පියා) ධ‌ර්‌මපාලතුමා ආදරයෙන් ආමන්ත්‍රණය කලේ <අපේ ජෝන්> කියාය. ගම්වල බල්ලන්ට, ඉංග්‍රීසි නම් මිස, පියදාස, ජිනදාස තබා, රංජිත්, නිමල්, අතුල වැනි නමක් වත් නොදැම්මේ මේ බලපෑම නිසාද කියා මට සිතේ! ටොරින්ටන් ආණ්ඩුකාරයා විසින් ලංකාවේ බල්ලන්ට බද්දක් දැම්මේද මේ කාලයේය (1847).

මේ හීනමාන කතාවේ බලවත්ම පැත්තක් නම් බුද්‌ධාගම කියන්නේ බොරුවක් යයි කියමින් ක්‍රිස්තියානි පූජකයින් විසින් කල අපහාසයය. පන්සල හා ගම අතර ඇති බැඳීම 1798/1802 නෝත් ආණ්ඩුකාරයාගේ සිටම යටත් විජිතවාදයට තිබූ භාධකයක්‌වූ නිසා, හා 1815 දී බුද්‌ධාගම රකින්නට බොරුවට පොරොන්‌දු වූවත්, සුදු පාලකයාගේ ව්‍යංග අනුග්‍රහය මේ අපහාස ප්ලෑනට තිබුණි. පුදුමය වන්නේ හින්‌දු ආගම හෝ මුස්ලිම් ආගම බොරුවක් කියන්නට කවුරුත් කට නෑරීමය. බයිබලය හා කෝරානය එකම දෙවියන්ගේ ගෝලයින් දෙන්නෙක්ගේ වැඩක්ද? මේ හීනමාන ව්‍යපෘතියට, මැකෝලිගේ ඉංග්‍රීසි උගන්‌වා දුඹුරු පාට මිනිසුන්ට සුදු පාට හිතක් දීම (1835) මේ හීනමානය රිංගවන ඔක්‍ෂිජන් බටය විය. 1832 දී කෝල්බ්‍ර‌ෑක් සාමි මෙහි පෙරගමන්කරු විය. රාජකීය විද්‍යාලය, සාන්ත තෝමස් යනාදිය ඉංග්‍රීසිය සමඟ, යම් බෞද්‌ධ ළමයෙක් ආවොත් ඔහුව ක්‍රිස්තියානීද කරණ පාසැල්ද විය.

විද්‍යෝදය-විද්‍යාලංකාර පිරිවෙන් බිහිකිරීම

පානදුරේ, වලානේ සිරි සිද්‌ධාර්‌ථ හිමිඳුන් විසින් රත්මලානට වැඩමකර 1841 දී පරම ධම්ම චේතිය පිරිවෙන ආරම්භකලේ, මෙම බෞද්‌ධ විරෝධී සටන් බිමේ පෙරමුණේ සිටීම සඳහාය. 1835 දී ඉන්දියාවේදී මැකෝලි බිහිකල කළුසුද්දන් බෝ කිරීමේ ඉංග්‍රීසි අධ්‍යාපන ව්‍යාපාරයට, දේශීය ප්‍රතිුත්තරයක්සේ උන්වහන්සේ කලේ භික්‍ෂූ පිරිවෙන් අධ්‍යාපන ක්‍රමයක් ආරම්භ කිරීමය. උන්වහන්සේගේ ගෝලයෝ විද්‍යෝදය (1873) හා විද්‍යාලංකාර (1875) මහ පිරිවෙන් දෙක පිහිටුවා ඒ මඟින් බුද්‌ධාගම රැක ගත් බලකොටු රාශියක් රට පුරා බිහිකලේය. වැඩිකල් නොගොස් රටෙන් බුද්‌ධාගම අතුරුදහන් වනවායයි, පසුකලෙක සිංහල භාෂා (සිදත් සඟරාව) පණ්ඩිතයෙක්‌වූ ජේම්ස් ද අල්විස් (බණ්ඩාරනායක පවුලේ) කියා සිටියේද 1840 ස් ගණන් වලය (1848 කැරැළ්ල හා ටොරින්ටන්ගේ දරුණු පාලනය ගැනද සිතන්න). මෙම අභියෝග ඉදිරියේ වාද පහකට පසුව ක්‍රිස්තියානි පූජකයින් හරියටම ඉල්ලන්කෑවේ 1873 පානදුරා මහා වාදයෙනි.

ඕල්කොට් බෞද්‌ධයින්

මෙම වාදයට පසු 1880 දී ගාල්ලෙන් ගොඩබැසි කර්‌නල් ඕල්කොට් හොඳට හෝ නරකට ලංකා යටත් විජිතයේ සෑහෙන බලපෑමක් කලේය. ඔහු හා එක්‌ව සිටි හික්කඩුවේ සුමංගල, මිගෙට්ටුවත්තේ ගුනානන්ද හා ඩේවිඩ් හේවාවිතාරණ (පසුව ධර්‌මපාල) යන තුන් දෙනාගෙන් ගුනානනද හිමියන් හා ඩේව්ඩ්, වැඩිකල් නොගොස්ම ඕල්කොට්ගේ ඇදහීම් හා බුදුදහම අතර වෙනසක් දැක ඔහුගෙන් වෙන්‌විය. එහෙත් ඕල්කොට්ගේ ඉංග්‍රීසි සිංහලබෞද්‌ධ පාසැල් සමඟ විශාල ගිහිපිරිසක් එකතුවිය. ඕල්කොට් විසින් ක්‍රිස්තියානි පාසැල් ක්‍රමයට සමාන පාසැල් ක්‍රමයක් ආරම්භ කලේය. මෙය පසු කාලයක, ඇමෙරිකාවේ ජීවත්‌වූ ගනනාත් ඔබේසේකර විසින් <ප්‍රොටෙස්ටන්ට් බුඩිසම්> වශයෙන් බෞතීස්ම කලේය. මෙලෙස බිහිවූ බෞද්‌ධ ගිහි පිරිස නිසා පිරිවෙන් ආශ්‍රිතව ගොඩනැඟුන අධ්‍යාපනය ක්‍රමය හා හාමුදුරුවරු ක්‍රමයෙන් පිළිකන්නට තල්ලුවී ගියේය. පාලි හා සංස්කෘත ඉගෙනගත් හාමුදුරුවරු මිස ඉංග්‍රීසි භාෂාව ඉගෙනගත් හාමුදුරුවරු දුර්ලභ විය. ඉංග්‍රීසියෙන් එන ටෙලිග්‍රෑම් එකක් කියවීම, ගැමියාට මෙන්ම පන්සලේ <වියත්> හාමුදුරුවන්ටද ප්‍රශ්ණයක් විය! මෙම වරද පිරිවෙන් වටහාගත්තේ 1940 ගණන් තරම් වනතෙක් ප්‍රමාදවීය.

ඩොනමෝර් බෞද්‌ධයින්

ඩොනමෝර් කොමිෂමෙන් සර්‍වජන චන්දබලය දීමත් සමඟ මෙම ඕල්කොට් බෞද්‌ධයින් හා ඩොනමෝර් බෞද්‌ධයින් අතර සම්මිශ්‍රණයක් ඇතිවිය. පෘතුගීසි කාලයේ සිටම කාලයෙන් කාලයට සිදුවු අයුරු සුදුපාලකයින්ගෙන් වාසි ලබාගැනීම සඳහා ආගම් මාරුකල සිංහලයින්, බෞද්‌ධ චන්ද ගැනීම සඳහා බොරුවට බුද්‌ධාගම වැලද ගැනීම හා සිය දරුවන්ට ආර්ය සිංහල නමක් හෝ ඉංග්‍රීසි හා සිංහල වශයෙන් නම් දෙකක් දැමිමද (සිරිල්-බණ්ඩා, ආනන්ද-එඩ්වර්ඩ්) කලේය. සිංහල නොදත් හෝ කැඩිච්ච සිංහල දත්, මේ කළුසුද්දන් හාමුදුරුවරුන් පාවිච්චිකලේ ගමේ චන්ද දායකයින් ඉදිරියේ තමන් බෞද්‌ධ යයි ඇඟවීමටත්, භාෂා පරිවර්‌තකයින්සේ යොදා ගැනීමටත්‌ය.

වතු හිමියන්ගේ අන්තඃප්පුර

1911 පමණ සිට සිංහල කළුසුද්දන් හා දමිළ (මලබාර්) නායකයින් අතර ඇතිවූ ඝට්ටනය හා 1948 වනවිට ඇතිවූ බෙදීම වටහා ගැනීමේදී ඉහතින් සඳහන් කල ඓතිහාසික කරුණු වැදගත් වන්නේ, සිංහල බෞද්‌ධ ශිෂ්ටාචාරය හෝ 1815 දී අහිමිකල සිංහලේ අයිතීන් ගැන හෝ අබමල් රේණුවක තරම් හෝ අවධානයක් ඔවුන්ට නොතිබුණු නිසාය. සිය සුදු මව සමඟ ලන්ඩන් වල හැදුන-වැඩුන විශාඛා කුමාරී ජයවර්‌ධන (සොයිසා) මේ කාලය ගැන ලියූ පොත්‌වල (The rise of the labor movement in Ceylon, 1972; Nobodies to Somebodies: The Rise of the Colonial Bourgeoisie in Sri Lanka, 2002), උකහා දක්වන්නේ, ගතානුගතික, මධ්‍යස්ථ හා ලිබරල් වශයෙන් මේ කළුසුද්දන් බෙදී සිටි අන්‌දම හා ඔවුන් අතර තිබූ කුලභේදය මූලිකවූ තරගය ගැනය. උග්‍ර මාක්ස්වාදිනියක‌වූ ඇය නැගී එන සිංහල බෞද්‌ධ අන්තවාදයක් සඳහා උදාහරණ ලෙස ගත්තේ, ඉන්දියන් බෝරා, සින්ද් වෙළඳුන් ලංකාවේ වෙළඳ ඒකාධිකාරයක් පවත්‌වනවාට විරුද්‌ධව කම්කරු නායක ඒ. ඊ. ගුණසිංහ කල උද්ඝොෂණය. සිය සැමියාවූ ලාල් ජයව‌ර්‌ධන සමඟ, ස්ටැන්ලි තම්බයියා ලියූ බුඩිසම් බිට්‍රේයිඩ් යන පොතට මුදල් ආධාර හා එහි කවරයට මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ මාරාවේශවූවා වැනි මූණක් සැපයූවේ ඇයය. ඇය මිලින්ද මොරගොඩගේ නැන්දා කෙනෙකි.

මේ කළුසුදු ලංකා ජාතික සංගමය වැනි දේශපාලන සංගම් පිහිටුවා ගත් අය, යටත් විජිත පාලන ක්‍රමය යටතේ ධනය හා බලය ලබාගත් අය හෝ ඔවුන්ගේ දූදරුවන්‌විය. අරක්කු රේන්ද, මිනිරන් පතල්, තේ, රබර්, පොල් ඉඩම් හිමියන්, ආණ්ඩුවේ කොන්ත්‍රාත්කරුවන් වූ මොවුන් ගත කල ජීවිතය සමාන කල හැක්කේ, ඇමෙරිකාවේ කපු වතු හිමිව සිටි වහලුන් අයිතිකරුවන්ටය. ඔවුන්ට වහලා භාණ්ඩයක් විය. ඇහැට කණට පේන වහළියන් ගෙදර වැඩටත්, සෙස්සන් වත්තේ වැඩටත් (හවුස් ස්ලේව්ස්-ෆීල්ඩ් ස්ලේවිස්) යොදාගන්නා ලදී. ඕනෑම වහළියක තමන්ගේ ලිංගික ආශා සඳහා භාවිතා කල හැකිවිය. ලංකාවේ ඒ කාලයේ සිටි ධනවතුන් බොහෝ දෙනාද ළමාතැනීට අමතරව හොර ගෑණුන් තබාගත්තේය. ධර්‌මපාලතුමා වැන්නෙක් ඔවුන් සැළකුවේ සුද්දන්ට බැලමෙහෙකරමින් ඔවුන් ගත කල ජීවන රටාවට භාධා කරන්නෙක් ලෙසය. තේ වතු සඳහා පාරවල් දැමීම, රටේ සම්පත් සූරා රට පැටවීම සඳහා පාරවල් සැදීම සුදු වතු අයිතිකාරයින්ගේ හා කළුසුදු කුඩා වතු (ඉඩම්) හිමියන්ගේ ඉල්ලිම් විය. ඒ අතර ආ හීනමාන ඉල්ලීමක් නම් තමනටත් රජයේ රක්‍ෂා කොටසක් ඉල්ලා සිටීමය.

1915 මුස්ලිම්-සිංහල කෝලාහලය

කොළඹ ආණ්ඩුකාරයාගේ ව්‍යවස්ථාදායක සභාවේ නිලනොලත් සාමාජිකයින් වශයෙන් ක්‍රියාකල හා නොකල සිංහල නායකයින් අතරින්, සිංහල බෞද්‌ධ යයි කී නායකයින්ට අත්‌වූ වෙස්වලාගත් භාග්‍යයක් වුයේ මුස්ලිම් කෝලාහලයය. ගම්වල ජීවත්‌වූ දුගී ජනයා, තමන් ගලවා ගැනීම සඳහා <දියසේන කුමාරයෙක්> එතැයි සිතමින්, පතමින් සුසුම් හෙළුවේය. ඔවුන් බුදු අම්මෝ බෞද්‌ධයින් විය. කොළඹ සිටි ඕ මයි ගෝඩ් බෞද්‌ධයින්ව අසාධාරණ ලෙස හිරභාරයට ගැනීම, මිලිටරි නීතිය යටතේ, මැලේ, බර්‌ගර්, භටයින් යොදවා සිංහල බෞද්‌ධයින් මර්‌දනය කිරීම, නිසා ඔවුන් හිරෙන් එලියට ආවේ සිංහල ජාතික වීරයින් ලෙසය. ජනප්‍රවාද අනුව හිරගෙදරදී, ඩී බී ජයතිලක පිරිතුත්, ඩී. එස් පැල්කවිත් කිව්වේය. දමිළ නායක අරුණාචලම් සහෝදරයින් සිංහලයින් වෙනුවෙන් පෙනී සිටියේය. සිංහලයින් උඩරට හා පහතරට වශයෙන් බෙදා සිටි නිසා දමිළයින් සුළු ජන වර්‌ගයක් නොවේය යන ආකල්පයක් රටේ තිබුණේය. ඔවුන් අධ්‍යාපනය අතින්ද සිටියේ ඉහළ තලයකය. මෙය කෙතරම් කාවැදී තිබුණාද යත්, ඔවුන් සිංහලයින්ගේ නායකයින් නොවන බව කීමට පවා ආණ්ඩුකාරයෙක් ඉදිරිපත්‌විය.

ඕල්කට්තුමාද මැදිහත්‌ව, 1884 දී වෙසක් රජයේ නිවාඩු දිනයක් කිරීමේ යෝජනාවට ආණ්ඩුකාරයා හා අරුණාචලම්/රාමනාදන් පොන්නම්බලම් සහාය දුන්නත්, සිංහල නියෝජිතයා ඊට විරුද්‌ධවූයේ නත්තල් සඳහා ආගමික නිවාඩු දින ගණනාවක්ම ඇති නිසා තවත් ආගමික නිවාඩු දිනයක් අනවශ්‍යයයි කියමිනි. බන්ඩාරනායක-ද සේරම් පවුලට අයත්‌වූ ඔහු ක්‍රිස්තියානියෙක් විය. 1911 න් පසු රටේ හාමුදුරුවරු, 1873 ට, 1880 ට පෙර මෙන්, සමාජයේ ක්‍රියාශීලි කොටසක් වූවා නම්, සිංහල-දෙමළ සමඟිය, 1921-24 දී සිට මුහුණ දුන් ව්‍යසනයට (රට බෙදීමේ විෂබීජය) පරිවර්‌තනය නොවීමට හොඳටම ඉඩ තිබුණා නොවේදැයි සිතේ.

බෞද්‌ධ මධ්‍යම ප්‍රතිපදාව වෙනුවට, ලෝභ-ද්වේශ-මෝහයෙන් පිරි පංචස්කන්‌ධ (විග්නේශ්වරන් දේශපාලනයට ඒමට පෙර කල කතාවකදී, අරුණාචලම්ව රැවටූ දෙන්නා ලෙස නම් කල ජේම්ස් පීරිස් හා එඩ්මන්ඩ් සමරවික්‍රම ප්‍රමුඛ ක්‍රිස්තියානි සිංහලයින්) සියල්ල අවුල් කලේ මැනිං නම් කූඨ ආණ්ඩුකාරයාගේ ගැටවලට අසුවීය. රුවන්වැලි මහසෑය ඉදිරියේ දිවුරුම් දීමෙන් ජනාධිපති ගෝඨාභය විසින් කරන්නට අදහස් කලේද ජාතියේ මුරදේවතාවුන් වන හාමුදුරුවරුන්ගේ උපදෙස් අනුව, 1921-24 දී වරද්දාගත් පාර නිවැරදි කරගැනීම විය යුතුය. ඒ අනුව, පලාත් සභා අහෝසි කර, ජනයාව, කෙළින්ම ජන සභා ක්‍රමයක් යටතේ බලවත් කිරීම, බෞද්‌ධ රාජ්‍ය පාලන ක්‍රමයට (රනිල් නොදන්නා ලිච්චවි ක්‍රමය) හා රාජ්‍ය බලය උපරිම භූමි ඒකක සංඛ්‍යාවකට බෙදා දිය යුතුය යන මොන්ටෙස්කිගේ න්‍යායයටද අනුකූලය.

3 කොටස -මැත් ප්‍රොපෙසර් සුන්දරලිංගම් සදාදුන් තනිකර සිංහල ඇමති මණ්ඩලය…

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2021 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress