සුළු හා මධ්‍ය පරිමාන සහල් නිෂ්පාදකයන්ට ණය පහසුකම් සලසන්න අග්‍රාමාත්‍යතුමාගෙන් උපදෙස්
Posted on January 8th, 2021

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

සුළු හා මධ්‍ය පරිමාන සහල් නිෂ්පාදකයන්ට ණය පහසුකම් ලබාදීමට පියවර ගන්නැයි ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ 2021.01.07 උපදෙස් දුන්නේය.

සමස්ත ලංකා සුළු හා මධ්‍ය පරිමාන සහල් නිෂ්පාදකයින්ගේ සංගමයේ නියෝජිතයින් සමඟ පාර්ලිමේන්තුවේදී කමිටු කාමර 02 පැවති සාකච්ඡාවකට එක් වෙමින් අග්‍රාමාත්‍යතුමා මේ බව පැවසීය.

මහා පරිමාන සහල් නිෂ්පාදකයින්ගේ ගැටලුවලට පෙර සුළු හා මධ්‍ය පරිමාන සහල් නිෂ්පාදකයින්ගේ ගැටලු විසදීමට පියවර ගන්නැයි අග්‍රාමාත්‍යතුමා බලධාරීන්ට උපදෙස් දුන්නේය.

රටේ පවතින සහතික වී මිලට අනුව පෙබරවාරි 01 සිට මාස 06 කට යාවත්කාලීන වන සහල් සඳහා ස්ථීර පාලන මිලක් ලබා ගැනීම ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මෙම සාකච්ඡාව පැවැත්විණි.

මෙහිදී සුළු හා මධ්‍ය පරිමාන වී මෝල් හිමියන්ට සහනදායී වශයෙන් ණය ගෙවා දැමීමට අවශ්‍ය පහසුකම් සැලසීම පිළිබදව ද අවධානය යොමු විය. 

මෙම අවස්ථාව සඳහා වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන, රාජ්‍ය අමාත්‍යවරුන් වන ලසන්ත අලගියවන්න, ෂෙහාන් සේමසිංහ, ඉන්දික අනුරුද්ධ, අජිත් නිවාඩ් කබ්රාල්, ශෂීන්ද්‍ර රාජපක්ෂ, මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්.ආටිගල, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් නීතිඥ චමින්ද කුලරත්න මහත්වරු, බැංකු, සතොස හා වී අලෙවි මණ්ඩලයේ නිලධාරීන් ඇතුළු රාජ්‍ය ආයතන ප්‍රධානීන් හා සුළු හා මධ්‍ය පරිමාන සහල් නිෂ්පාදකයෝ එක්ව සිටියහ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress